සංවේදී පරිසර පද්ධති ගැන අප සතු අසංවේදී බව

 546587

ජාතික රුක් රෝපණ ප්‍රයත්නය ඔක්තෝබර් මාසයත් සමඟ පැමිණ තිබේ. පසුගිය අතීතය පුරාම කිසිඳු සැලසුමකින් තොරව කපා හෙළූ වනාන්තර රුක් රෝපණ මාසයක් නියම කළ පමණින් ම ගොඩ ගැනීමට නොහැකි වුණත් එය ප්‍රශංසා කටයුතු උනන්දුවක් වේ. එවැනි උනන්දුවකින් වනාන්තර රැක ගැනීමේ සහ යළි ස්ථාපනය කිරීමේ උනන්දුවක් ඇතිව තිබෙන මේ අවස්ථාවේ දී මෙරට හරිත ආවරණය ක්‍රමානුකූලව ඉවත් කළ ආකාරය ගැනත් දැනුම්වත් වීමේ අවශ්‍යතාව ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.ලංකාවේ වියළි කලාපීය වනාන්තරයක දීර්ඝ කාලයක් විසූ ඩග්ලස් රැෆල් නම් ඉංග්‍රීසි ජාතිකයා පසුව සිය අත්දැකීම් අලළා ලියූ කෘතියක් INRUHUNU JUNGLE නමින් හැඳින්වේ. එහි දී ඔහු මෙරට වියළි කලාපීය වන වැස්ම විනාශයට පත් වූ ආකාරය ගැනත් ඒ වන වැස්මේ අගය ගැනත් විවිධ අයුරින් සාකච්ඡා කොට තිබේ.
“හිරු බැස යන තැන ඇතිවන අද්භූත සුන්දරත්වය දෙස මම බොහෝ අවස්ථාවලදී බලා සිට ඇත්තෙමි. ඒ චමත්කාරය චිත්‍රයකට නඟා ඉදිරිපත් කරන්නට බොහෝ විට උත්සාහ කොට ඇත්තෙමි. ඒත් එය අසාර්ථක තැතක් ම ය. ස්වර්ගයේ වෙසෙන ඒ දේව කාන්තිය චිත්‍රයකට නඟන්නේ කොහොම ද? ඒ සියුම් වර්ණ අලංකාරය අසලට යෑම කළ හැක්කක් නොවේ.”නව කෘෂිකාර්මික අවශ්‍යතා උදෙසා වනාන්තර එළි පෙහෙළි කිරීම අවශ්‍යම සංවර්ධන කටයුත්තක් වූ තැන දී රජය ඊට යොමු වැළැක්විය නොහැකිය. එහෙත් එතැන දී ඇති වන පාරිසරික ව්‍යසනය අවම කරගැනීමට අප සතුව උත්සාහයක් තිබේ ද? ඒ නිසා අතීතයේ දි ඇතිවූ සමාජ ප්‍රතිවිරෝධතා අවම කරගැනීමට අප සතුව සැලසුමක් තිබුණි ද යන්න පිටස්තරයකු වශයෙන් ඩග්ලස් රැෆල් නිරීක්ෂණය කොට තිබුණේ මෙසේ ය.“වනගතව වෙසෙන මිනිස්සු සැබෑ ලෙසින් ම මිනිස්සු ය. ආගන්තුක සත්කාරයේ ලා ඔවුන් ගේ කැමැත්ත අති මහත් එකකි. ඔවුහු අවංක හදවත් ඇත්තෝ වෙති… අද ඇතිවන නොයෙක් ජනපද යෝජනා ක්‍රම හේතු කොට ගෙන විශාල වශයෙන් වනාන්තර කලාප එළි පෙහෙළි වෙමින් පවතී. ඒ අලුත් ජනපදවලට පැමිණෙන ආගන්තුක මිනිසුන්ගේ ගතිගුණ ද අර වනගත ව විසූ මිනිසුන් ගේ සාම්ප්‍රදායික ඇවැතුම් පැවැතුම්වලට වඩා වෙනස් ය. ඒ අය කලහයට කැමැති වෙති. වන සෞන්දර්යය ගැන හැඟීමක් ඇත්තේ ම නැති තරම් ය. මේ නාගරික සංස්කෘතියේ මිනිසුන් වන සම්පත්වල ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරතැයි සිතීම අසීරු ය.”රැෆල්ගේ ඒ නිරීක්ෂණය අතිශයෝක්තියක් හෝ සිතින් මවා ගත් තත්ත්වයක් නො වන බව අද වන විට සනාථ වී තිබේ.එසේ බලන කල වනාන්තර ඇද වැටුණේ ඒ වන පෙත් හා බැ‍ඳෙමින් විසූ ශික්ෂිත මිනිසුන් ගේ පැවැත්ම ද සමඟින් ය. මෙය ද වනාන්තර විනාශයට පැහැදිලි හේතුවක් වූ බවට අද්‍යතන පරිසර වාර්තා හඳුනා ගනියි.ලංකාවේ උඩරට කඳුකරය ඉංග්‍රීසි විජිත සමයේ දී මුළුමනින් ම වාගේ වතු වගාවට ගොදුරු විය. ඉංග්‍රීසි පාලන සමයේ දී නව ආර්ථික වගා වෙනුවෙන් කඳුකර වනාන්තර එළි පෙහෙළි කිරීම වැළැක්විය නො හැක්කක් වුණත්, තමන් එළි කරන වනාන්තරය මුළුමනින් ම සෝදා පාළුවීමෙන් වළක්වා ගැනීමට පරිසර ආරක්ෂණ ක්‍රම යොදා ගැනීමට ද ඔවුන් කටයුතු කළ බව නම් කිව යුතුමය. ඒ අනුව තෝරාගත් කඳු භූමියේ මැද ප්‍රදේශය සිය වගාව වෙනුවෙන් එළි පෙහෙළි කළ සුදු මිනිසා කඳු බිමේ මුදුන් හිස වනාන්තරයට අතවත් නොතැබුවේය. වර්ෂා සමයේ දී වැසි ජලය ඒ මුදුන් කඳු හිස්වල වනාන්තර වැස්මෙන් සෑහෙන ප්‍රමාණයකට පාලනය වීම නිසා තේ බිම් අධික ලෙසින් සෝදා පාළුවීම වැළැකිණි. ඉනුත් නො නැවතී කඳු භූමියේ සංවේදී ස්ථාන (ගිලා බැසීම් සිදු වන්නේ එවැනි තැන්වලිනි) හඳුනා එවැනි තැන්වල පස ආරක්ෂා කරන ආකාරයේ ශාක විශේෂ වැවීමට ද කටයුතු කෙරිණි. ඒ අනුව සුදු ජාතිකයන්ගේ තේ වතුවල පලින් පල වටිනා ශාක විශේෂ දැකිය හැකි විය.කෙසේ වෙතත් පසුව බොහෝ වතු ජනසතු වූ අතර ඊටත් පසු ව මෙරට පෞද්ගලික ව්‍යවසායකයින්ට ද ඒවා විකිණීම සිදු විය. අධිරාජ්‍යවාදය එතැනින් අවසන් වුණ ද ඇතැම් නිලධාරීන් ගේ සහ ග්‍රාම්‍ය තලයේ ව්‍යවසායකයින්ගේ මැදිහත් වීම් හේතු කොට ගෙන අද බොහෝ වතුවල අර කී ආරක්ෂිත මුදුන් වන හිස් දක්නට නැත. සංවේදී බිම් ආරක්ෂා කළ වෘක්ෂ ආරක්ෂණය ද නැත. ඒ අනුව උඩරට කඳුකරය අද පවතින්නේ මුළුමනින් ම අනාරක්ෂිත ඉරණමක ය. ඊට අවශ්‍ය උදාහරණ ඕනෑ තරම් පසුගිය කාලයේ දී අපට අසන්නට දකින්නට ලැබිණි. නාය යෑම් සිදු වුණේ ගම්මාන පිටින් අතුරුදන් කරමිනි. arunchal-759
මහාචාර්ය සරත් කොටගම වරක් ප්‍රසිද්ධ දේශනයක දී පැවසූ ආකාරයට ඉංග්‍රීසි විජිත සමය අවසන් වන විටත් මෙරට වන වැස්ම සියයට පනහකින් ආරක්ෂා වී තිබිණි. නමුත් අද වන විට මෙරට වනාන්තර ගහනය සියයට 20 ක් යැයි පොදුවේ පිළිගැනුණ ද සිදුවන වන විනාශය හමුවේ එය සියයට 18 – 15 ක් අතර වීමට ඉඩ ඇතැයි පරිසරවේදීහු පවසති.ඩග්ලස් රැෆල්ට අනුව මෙරට වියළි කලාපයේ ජනතාව බුද්ධිමත් ය. නිසි වර්ෂාපතනයක් වෙනුවෙන් වැසි වනාන්තරවල අවශ්‍යතාවය ඔව්හු හොඳින් දැන සිටියහ. එහෙත් අවාසනාවකට මෙන් මේ සම්බන්ධයෙන් දැනුම්වත්කමක් නැති රාජ්‍ය නිලධාරීහු ද සිටිති.“වියළි කලාපය යනුවෙන් හඳුනාගන්නා ප්‍රදේශයට අවස්ථානුකූල ව සැලකිය යුතු වර්ෂාපතනයක් අදටත් ලැබෙන්නේ මේ වන විටත් ඉතිරි වී ඇති වන බිම් නිසා ය. එහෙත් මෑතක සිට ගංගා නිම්න ඇසුරේ ඇති එවැනි වන පෙත්වලට ද බලපෑම් එල්ල වෙමින් පවතී. එළි පෙහෙළි වන වනාන්තර හමුවේ ඇද හැළෙන වර්ෂාව අතීතයේ දී ඒවා වනාන්තර වශයෙන් පැවැති කාලයේ දී ලැබුණු වර්ෂාපතනයට සාපේක්ෂව අවම අගයකට ගොස් තිබේ. කොළඹ ක්‍රමය යටතේ ලංකාවට පැමිණෙන විදේශීය විශේෂඥයින්, මෙරට බලධාරීන් ප්‍රාදේශිය ව වෙසෙන බුද්ධිමතුන්ගෙන් මතු නොව මේ පිළිබඳව දැනුමක් ඇත්තවුන් ගෙන් ද ඊට අදාළව උපදෙස් ගැනීමක් සිදු නොකරයි. වනාන්තර කොයි තරම් විශිෂ්ට සම්පතක් ද යන්නත්, ඒ ප්‍රදේශවල වර්ෂාපතනයට අදාළව කොතරම් සේවාවක් සපයන්නේ ද යන්න ගැනත් විමසා බැලීමට ඔවුහු උනන්දු නොවෙති.”බොහෝ විට සංවේදී පරිසර පද්ධති ගැන ජාතියක් වශයෙන් අප සතු අසංවේදී බව කොතෙක් ද යන්න පිටවල පතන නම් සුවිශේෂී පරිසර පද්ධතියට සිද්ධ කළ අකටයුත්ත ම පැහැදිලි උදාහරණයක් වේ. මේ පිළිබඳව හෙළිදරව් කිරීමක් ජගත් කුමාර විජේසිංහ විසින් කරනු ලැබ තිබේ. “තම්බපණ්ණි” පරිසර කතිකාවතට අනුව පිටවල පතන යනුවෙන් හැඳින්වෙන්නේ දුම්බර (නකල්ස්) වනාන්තරයට අයත් ප්‍රකට ම ස්ථානයකි. මාතලේ ප්‍රදේශයේ සිට රිවර්ස්ටන් හරහා ඉලුක්කුඹුර දෙසට යන විට හමුවන මේ පරිසර පද්ධතිය තැනිතලා පතන් බිමකි. එය වඩාත් ප්‍රකට වීමට ශ්‍රී ලංකාවට අදාළව ඒක දේශීය (Endemic) පතන් අල ශාක නම් විශේෂය (Brachystelma lankama) 1972 දී හඳුන්වා දීම හේතු විය. පසුව එය වඳ වීමේ ආසන්නම සීමාවට පැමිණ සිටින දුම්බර ගල්පර මැඩියාව ද මේ ප්‍රදේශයෙන් හඳුනා ගැනීම නිසා තවදුරටත් ප්‍රසිද්ධියට පත් වුණි.
දික්පතන යන නමින් ද හඳුනාගන්නා මේ සුවිශේෂ පරිසර පද්ධතිය පිහිටීමක් වශයෙන් ගත් කල පාෂාණයක් මත එක් රැස්වුණ කෙටි පස් තට්ටුවකි. වැසි සමයේ දී දිගින් දිගට ම ජලය උරා ගැනීමේ හේතුවෙන් එය පෙඟුණ පාන් ගෙඩියක තත්ත්වයට පත් වේ. තෙත් හා වියළි කාලගුණවලට දී එකම ආකාරයට මේ පස් තට්ටුව ගැලවී යාමේ අවදානමක පවතින්නේ මානව ක්‍රියාකාරකම් මෙන් ම කුර සහිත සතුන් ගේ හැසිරිම් ද කරණ කොට ගෙන ය. මේ දෙයාකාරයෙන් ම අද වන විට පිටවල පතන අවදානමට ලක් වෙමින් තිබේ. ගෘහස්ථව ඇති කරන හරකුන් පිටවල පතන නිදැල්ලේ හැසිරෙද්‍දී අවිධිමත් සංචාරක හැසිරීම් ඇතුළු බරපතළ මානව ක්‍රියාකාරකම් ගණනාවක් හමුවේ අද මේ භූමිය විනාශය අත්දකිමින් පවතියි.සති අන්තයේ මෙහි පැමිණෙන සංචාරකයන්ගේ බේබදු හැසිරීම, ඔවුන්ගේ ක්‍රීඩා සරඹ බෝතල් කටු, පොලිතින් ආදි අපද්‍රව්‍ය තැන තැන දමා යාම තුළත් පවත්නා තහනම් ජය ගනිමින් වාහන, අසුන් පිට යෑම් රූගත කෙරෙන චිත්‍රපට, ටෙලි නාට්‍ය මෙන් ම ප්‍රචාරක දැන්වීම් සඳහාත් මේ භූමිය ප්‍රයෝජනයට ගත් ආකාරය පසුගිය කාලයේ දී අපට දකින්නට ලැබිණි. මෙරට වනාන්තර විනාශය සහ තදබල අයුරින් උෂ්ණත්වය ඉහළ යෑම නම් පරිසර විනාශකාරී සංසිද්ධියට අදාළ ව ඉහත ක්‍රියා සැලකිය යුත්තේ ඇත්ත වශයෙන් ම පරිසර අපරාධ වශයෙනි. ඒ නිසා රුක් රෝපණ, වන රෝපණ වැනි වැදගත් ප්‍රයත්නවල දී ඉහත කී ආකාරයේ පරිසර විරෝධී අපරාධ කටයුතු ගැන ද සැලකිලිමත් විය යුතුම ය.කිසිදු හැඟීමකින් තොර ව අප සතු වෘක්ෂ ලතා ගැවසුණු වන බිම් වනසා දැමීමට අප ව යොමු කළේ දැයි සොයා බැලීමෙන් අවැඩක් සිදු නොවේ. මන්ද ඊට ප්‍රතිකර්ම යෙදිය හැකි බැවිනි. පරිසරය හා බැඳුණු විශිෂ්ට නිර්මාණාත්මක පොත් පත්, ලිපි ලේඛන, පරිසර කතිකාවත් හරහා ඒ දේ වඩා විශිෂ්ට අයුරකින් කළ හැකි ය. ජාතික මට්ටමෙන් සිදු කෙරෙන රුක් රෝපණ, වන රෝපණ වැනි ව්‍යාපෘති සාර්ථක ව ඉදිරියට ගෙන යාමට එවැනි පසුබිම් නිර්මාණාත්මක සේවා ප්‍රයෝජනයට ගත හැකි ය. අපේ පාරිසරික සම්පත් සහ ඒ සම්බන්ධයෙන් ඇති අවබෝධයේ පොහොසත්කම ලෝකයා හඳුනාගන්නේ ද එවිට ය.
බී. කේ. එම්. එස්. ආරියවංශ
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s