ආසියාවට වඩාත් වැඩි ශීත දේශගුණයක්

DENVER SMOG
BROWN CLOUD–11-29-01–The worst brown cloud since last winter shrouds downtown Denver Thursday and created a red pollution day.
  • ආසියානු කලාපය වසාලන අඳුරු දූවිලි වලාකුළක්!
  •  යුරෝපයේ ශීතල නැතිවී උෂ්ණය වැඩිවේ
  •  අයිස් කඳු දියවී වැසි අඩුවී උෂ්ණය වැඩිවේ
“සුන්දරත්වය සහ එහි බලපෑම ලොව විස්මය ද අසිරිය ද වන්නේ ය. හැඩතල, වර්ණ, ආලෝකය සහ සෙවණැලි ද ඒ කී ආකාරයෙන් ම විස්මයෙන් අනූනය.” (IN RUHUNU JUNGLE)ඒ සා පාරිසරික විශිෂ්ටත්වයක්, විනාශ කරමින් සිටින අද්‍යතන මිනිසා ඒ විනාශයෙන් උපත් විපරීත ප්‍රතිඵලවලට “දේශගුණික විපර්යාස” යන නම තබා ඇත්තේය. දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුම (UNFCC) “දේශගුණික විපර්යාස” යන්න නිර්වචනය කර ඇත්තේ මෙසේ ය. “සැලකිය යුතු කාලයක් තුළ සිදු කොට ඇති නිරීක්ෂණවලට අනුව ඍජුව හෝ වක්‍රව මානව ක්‍රියාකාරකම්වල බලපෑම නිසා සිදුවෙතැයි සැලකෙන දේශගුණික විපර්යාස ස්වාභාවික වෙනස්වීම්වලට අමතරව ගෝලීය වාතාවරණයේ සංයුතිය වෙනස් කරවයි.”අසීමත වායු දූෂණය හේතු කොට ගෙන ආසියාව වසා ගනිමින් පවතින අඳුරු වලාකුළක් ගැන පාරිසරික වාර්තාවක් ඉදිරිපත් කරමින් ලෝකයා ඒ ගැන දැනුවත් කළේ ද එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. ආසියාවේ මහා දුඹුරු වලාකුල යනුවෙන් ද එය හඳුන්වා දී ඇත.එය සෑදී ඇත්තේ අළු, දූවිලි, අම්ල, මෙන්ම වායු විසින් නිකුත් කරන්නා වූ අප ද්‍රව්‍යවලිනි. ඒ නිසා මෙය ස්වාභාවික වලාකුළු මෙන් ජල වාෂ්පවලින් සැදෙන්නක් නොවේ. එහි හැසිරිම ද වෙනස්ය. ඒ අනුව සූර්යාලෝකය පෘථිවියට පැමිණීම අවහිර කිරීමටත්, එය පාව යන්නේ සාගර කලාපයක් හරහා නම් සාගරයට හිරු එළිය පතිත වීමෙන් වැළැක්වීමටත් මේ දැවැන්ත වලාකුළට පුළුවන්කමක් ඇතැයි හඳුනාගෙන තිබේ.
දුඹුරු වලාවක් ඒ ආකාරයෙන් නිර්මාණය වෙමින් පවතින බවට මුලින්ම තොරතුරු එළි කරන්නේ විද්‍යාඥයන් නොවේ. ගුවන් නියමුවන් ය. ඒ ගැන කරුණු සොයා බැලීමට විද්‍යාඥයන් ඉන් පසුව උනන්දු වූ අතර මුලින් ම එය හොඳින් දැක බලා ගත්තේ චන්ද්‍රිකා ඡායාරූප වලිනි. තව ද ඒ වන විටත් හිමාලය ඇසුරේ එය හොඳින් දැක ගැනීමට පුළුවන් වූ බවත් මේ විද්‍යාඥයින් පවසා තිබේ. මේ අනුව සියයට 10 ක් 15 ක් අතර ප්‍රමාණයකින් ආසියාවේ දකුණු සහ නැ‍ඟෙනහිර කලාපවලට හිරු එළිය පතිත නොවීමක් බලාපොරොත්තු විය හැකි බවට ද විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. එපමණක් නොව පකිස්ථානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ බටහිර චීනය ආශ්‍රිත ප්‍රදේශ සඳහා වැසි ලැබීම සියයට 20 සිට 40 දක්වා අඩු විය හැකි බවට ද කරුණු පෙන්වා දී තිබේ.මේ වලාකුළ කි. මී. 3 ක් දක්වා ඝනකමින් වැඩි විය හැකි බවටත්, සතියක් තුළ දී අඩුම තරමින් ලෝකය වටා අර්ධ වටයක් තරම් දුරක් ගමන් කිරීමට ඊට ඇති හැකියාව ගැනත් පර්යේෂණය මෙහෙය වූ විද්‍යාඥ කණ්ඩායම මෙහි දී තවදුරටත් කරුණු හෙළි කරයි.මහා දුඹුරු වලාව මේ ආකාරයෙන් පැතිරෙමින් නිර්මාණය වීම තුළ ආසියානු කලාපයට හොඳින් හිරු එළිය ලැබීම යන දේශගුණික තත්ත්වය මේ නිසා අවහිර වීම නොවැළැක්විය හැකි කරුණක් වේ. එහි ප්‍රතිඵලයක් ආසියාවට වඩාත් වැඩි ශීත දේශගුණයක් ලැබීමට ඇති හැකියාව ගැන ද අදාළ විද්‍යා වාර්තාවන්හි සටහන් වී තිබේ. එහි ඊළඟ ප්‍රතිඵලය යුරෝපයේ දැනට පවතින ශීත කාලගුණය ක්‍රමයෙන් උෂ්ණ කලාපීය තත්ත්වයක් ඇති කිරීම ය, යන්න ද ඒ අතර ඇති තවත් පෙන්වා දීමකි. ඒත් සමඟම සාගර දියවැල් උණුසුම් වීමත්, අයිස් කඳු දියවීම අකල්හි සිදුවීමත් තුළ බලාපොරොත්තු නොවන ආකාරයේ පාරිසරික වෙනස්කම් සමූහයක් උත්පාදනය වීම වැළැක්විය නොහැකි වනු ඇත.විශේෂයෙන්ම නැ‍ඟෙනහිර සහ දකුණු ආසියානු කලාපය තුළ වැසි අවම වෙමින් උෂ්ණාධික කාල වකවානු වැඩිවීම ද බලාපොරොත්තු විය යුතු ය යනුවෙන් ද පර්යේෂණ කණ්ඩායම ඊට අදාළව පෙන්වා දී තිබේ. නිදසුනක් ලෙස 1999 සහ 2000 යන වර්ෂවල වයඹදිග ඉන්දියාවේත්, පකිස්ථානයේත් ඇතිවූ නියං කාල මහා දුඹුරු වලාකුළේ බලපෑම පෙන්වා දුන් අවස්ථාවක් ලෙසින් පර්යේෂණ කණ්ඩායම හඳුනාගෙන ඇත. තව ද බංග්ලාදේශය, නේපාලය ආශ්‍රිතව ඇතිවෙමින් පවතින අධික වර්ෂාපතනය යට කී අපිරිසුදු වලාකුළ විසින් කලාපයේ දේශගුණ තත්ත්වයට සිදු කරන්නා වූ බලපෑම මැනැවින් පෙන්වා දෙන්නක් වේ.
මෙය තවදුරටත් තහවුරු කරමින් ආසියානු කලාපයේ පරිසර දූෂණය හේතු කොට ගෙන ලෝක මට්ටමින් සිදු විය හැකි දේශගුණික විපර්යාස ගැන නාසා ආයතනය විසින් කරන්නට යෙදුණු නවතම අධ්‍යයනයක් ගැන ලන්ඩන්හි ඩේලි මේල් ප්‍රකාශනය විසින් පසුගිය දිනක පෙන්වා දී තිබුණි. ඒ අනුව චීනය සහ අනිකුත් ආසියාතික රටවල් සිදු කරන්නා වූ වායු දූෂණය හේතු කොටගෙන උතුරු ඇමෙරිකානු කලාපයේ කාලගුණික රටාව බරපතළ ආකාරයකින් වෙනස් වෙමින් පවතින්නේ යැයි ඔව්හු පවසති. විශේෂයෙන්ම වඩාත් වැඩි කුණාටු සහිත තත්ත්ව මේ නිසා ඇතිවිය හැකි බව ද පෙන්වා දී තිබේ. මේ වන විටත් සාගර ආශ්‍රිතව එවැනි තද කුණාටු සහිත කාලගුණික තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ද ඔවුහු සාක්ෂි සහිතව පෙන්වා දෙති.
ඉනුත් පැසිෆික් සාගරය ගැන විශේෂත්වයකින් කරුණු ඉදිරිපත් කරන ඒ පර්යේෂණ කණ්ඩායම ඒ නිසාම යට කී දේශගුණ සහ කාලගුණ විපර්යාසය ලෝකයේ වෙනත් රටවලට බලපෑම් කරනු ඇතැයි ද පෙන්වා දී තිබේ. පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ JET PROPULSION රසායනාගාරයේ යූ ආන් වැන්ග් ය. ආසියානු කලාපයේ වායු දූෂණය උතුරු ඇමෙරිකානු කාලගුණ රටාවත්, ඉනික්බිති ලොව සෙසු රටවලටත් බලපෑමක් කරන්නේ ය යන ප්‍රකාශය මුල් අවස්ථාවේදී ඔවුන් තුළ ඇති කළේ සැකයකි. ඒ තුළ අවුස්සන සුළු බවක් ඇතැයි ද ඔවුහු කීහ. එවැනි වායු දූෂණයක් සිදු වන්නේ නම් එහි ප්‍රතිඵලය ඝන වලාකුලක් විය හැකි ය යන්න ඔවුන්ගේ පෙන්වා දීම යි. එසේ නිර්මාණය වන වලාකුළක් ඉහළට ඇදි යමින් යළි පෘථිවියට බලපෑම් කරනු ඇත්තේ පතනය වීමක් ලෙසින් ය යන්නත් ඔවුන්ගේ පෙන්වා දීමකි. කෙසේ වෙතත් අදාළ වායු දූෂණය හේතුකොට ගෙන පැසිෆික් සාගරයේ කුණාටුව වේගවත් වෙමින් ඇතැයි යන තර්කය මෙහි දී ඔවුන් මුළුමනින්ම බැහැර කොට නැතත්, එය මීට වසර 30 කට පමණ පෙර කාලයක සිටම සියයට 10 ක තරම් ප්‍රමාණාත්මක අගයකින් ශක්තිමත්ව තිබුණේ යැයි පෙන්වා දී තිබේ.කෙසේ වෙතත් මේ අධ්‍යයනය National Academy of Science යන අධ්‍යයනය මේ වනවිටත් ප්‍රකාශයට පත් කොට ඇති අතර එහි පළමු අධ්‍යයනය 1850 – 2000 අතර කාල වකවානුව තුළ සිදුව ඇති වායු දූෂණ තත්ත්ව ගැන සැසඳීමක් සිදු කරයි. මානව ක්‍රියාකාරකම් හේතු කොට ගෙන ආසියාවෙන් පැමිණෙනවා ය කියන දූෂිත අංශුන්හි සංඝටනයෙන් පැසිෆික් කුණාටුව ලොව වෙනත් රටවල් කරා බලපවත්වන්නේ ද යන්නත් මෙහි දී සොයා බලා ඇත.
එතැනදී මේ පර්යේෂණ කණ්ඩායම දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් අන්තර් රාජ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු ‘විමෝචනය’ නම් සංසිද්ධියට අදාළ දත්ත සැලකිල්ලට භාජනය කරයි. ඒ, අවස්ථා දෙකක් යටතේ ය. ඉන් පළමු අවස්ථාව වන්නේ 1850 වර්ෂයට අයත් එනම් පුර්ව කාර්මික යුගය පිළිබඳව කළ පරීක්ෂණයයි. දෙවන අවස්ථාව වන්නේ වසර 2000 කාලය පදනම් කරගත් වර්තමාන වකවානුව ගැන සිදු කොට ඇති හැදෑරීම යි.අධ්‍යයනයෙන් ලබාගත් ප්‍රතිඵල පවත්නා දේශගුණික අර්බුදය නම් සංසිද්ධිය සමඟ සැසඳීමක් සිදු කොට තිබේ. එසේ කටයුතු කිරීමෙන් පසු පර්යේෂණ කණ්ඩායම සොයා ගත්තේ මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන වායු ස්ථරයට ඇතුළුවන ආගන්තුක ද්‍රව්‍ය විසින් වලාකුලක් වැනි තත්ත්වයක් නිර්මාණය කරනු ලැබිය හැකි බව යි. එමෙන් ම පැසිෆික් කුණාටු පථයේ මධ්‍ය අක්ෂාංශ සීමාව තුළ කුණාටු නිර්මාණය වීමේ තත්ත්වයක් ඉහත කී පසුබිම් තුළ ඇතිවීමේ ඉඩකඩක් ද පවතින බවයි. ඒ බව පර්යේෂණ කණ්ඩායම විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. එසේ ගත් කල මුලින් කී දේශගුණික වෙනස්වීම එනම් ආසියානු කලාපයේ වායු දූෂණය හේතු කොට ගෙන පැසිෆික් සාගර සීමාව තුළ කුණාටු හට ගැනීමේ ප්‍රවණතාවය පිළිබඳව යම් ආකාරයක තහවුරු කිරීමක් ඉහත කී නිරීක්ෂණයන් විසින් සිදු කොට තිබේ.තව ද වේගවත් සංවර්ධනීය ගමනක යෙදී සිටින ආසියානු ආර්ථිකයේ ඒ ගමන් වේගය තුළදී පාරිසරික වශයෙන් සිදුවන අකටයුතුකම් ගැන ආපසු හැරී බැලීමක් සිදු නොවේ. ඒ අනුව නිර්මාණය වෙමින් පවතින පැසිෆික් කලාපීය කුණාටු සහිත තත්ත්වය නිසා තවදුරටත් ගෝලීය වශයෙන් වායු සංසරණයේ යහ පැවැත්ම අවම අගයක් කරා පහත වැටෙමින් ඇති ය යන්න වටහා ගැනීම අසීරු නැත. ඔවුන්ගේ ගවේෂණ තොරතුරුවල කුණාටුවල ස්වභාවය ගැන ද හඳුනා ගැනීමක් තිබේ. ඒ අනුව ඉතා ගැඹුරින් උපදින මේ කුණාටු ශක්තිමත් ය. වේගවත් හැසිරිමක් සහිත ය.“මේ අධ්‍යයනය විසින් ගෝලීය මට්ටමෙන් ඇති කරන ලද්දේ පර්යාලෝකයක් වැනි තත්ත්වයක් වේ. අප විශ්වාස කරනවා ලෝක මට්ටමෙන් ඉහත තත්ත්වය ගැන සිදු කරන්නට යෙදුණු පළමු පර්යේෂණ අත්දැකීම ද මෙයයි.” ඊට තවදුරටත් අදහස් එකතු කරමින් පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ මේ වන විටත් මානව ක්‍රියාකාරකම් විසින් වායු ගෝලයට බොහෝ එකතු කිරීම් සිදු කරනු ලබන බවයි. අන් සියල්ල පසෙකින් තැබුවත්, දීර්ඝ කාලයක් තුළ ආසියාව හා පැසිෆික් කලාපය ඔස්සේ සිදු වන ගමනාගමනයෙන් වායු ගෝලයට එකතු වීම් සිදු වී ඇති ආකාරය චන්ද්‍රිකා ඡායාරූප විසින් මැනැවින් පෙන්වා දෙනු ලබයි. ඒත් සමඟම මේ කුණාටු පථය තුළ ගමනාගමනයේ ඒ එකතු කිරිම් හේතු කොට ගෙන උපදවා ඇති ශීතලය සහ උණුසුම පාරිසරික වශයෙන් දරුණු සංසිද්ධියක් යැයි පර්යේෂණ කණ්ඩායම පෙන්වා දී තිබේ.මේ ශීතලය සහ උණුසුම ක්‍රියාකාරි පාරිසරික සංසිද්ධියකි. ඒ අනුව මේ ද්වන්දය අතර සිදුවන හුවමාරු ක්‍රියාවලිය විසින් අර කී කුණාටු පථය පුළුල් කිරිමක් සිදු කෙරේ. මෙයින් පැහැදිලි වන්නේ අද වන විට සිදු වෙමින් පවතින ආසියානු කලාපයේ වායු දූෂණ පිටාරය (පමණ ඉක්මවා වායු ගෝලය දූෂණය කිරීම) පැසිෆික් කුණාටු පථය තවදුරටත් පුළුල් කිරීමක් දක්වා ගෙන යමින් තිබෙන බවයි. ඒ අනුව ආසියානු කලාපයේ සිට වායුගෝලයට එකතු වෙන දූෂඛ අංශු ගෝලීය දේශගුණ රටාව වෙනස් කිරිමට පැහැදිලි බලපෑමක් එල්ල කරමින් පවතින බව පැහැදිලි යැයි පවසන මේ පර්යේෂණ කණ්ඩායම තමන්ගේ පර්යේෂණයේ නිගමන ඒ තත්ත්වය තවදුරටත් තහවුරු කරන්නේ ය යනුවෙන් ද පෙන්වා දෙයි.Traffic jam in New Delhi, India

බී. කේ. එම්. එස්. ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s