ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට තිරසර විසඳුමක් ඕනෑ

දැනට ඇත්තේ පැලැස්තර ඇලවීම් පමණය

mississippi_river_pollution_jef_110510_wg.jpg

ගාමණි නම් ග්‍රාම පාලකයකුගේ නායකත්වයෙන් පැවැති මෙරට සමාජ දේශපාලන සංවිධානය රජු කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් බවට පත් වන්නේ පණ්ඩුකාභය රාජ්‍ය සමයත් සමඟ ය. එසේ ගත් කල නගරය කේන්ද්‍ර කොටගත් සමාජාර්ථික සංවර්ධනයක් අප මුලින් ම හඳුනාගන්නේ මහරජ පණ්ඩුකාභය ගෙනි. විධිමත් නගර සංවර්ධනයක් වෙනුවෙන් පාලන බලයක් සහිත නගර පාලක තනතුරක් “නගර ගුත්තික” නමින් හඳුන්වා දීම ද ඒත් සමඟම සිදු වූවකි. කෙසේ වෙතත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ නීතියක් මුලින්ම මෙරටට හඳුන්වා දෙන්නේ 2008 ජුලි මස 30 දින අති විශේෂ ගැසට් පත්‍රයකිනි.

අද වන විට දිනෙන් දින ඉහළ යන සමාජ හා පාරිසරික ගැටලු අතරට අර කී ආකාරයට ඝන අපද්‍රව්‍ය එකතු වීම ද ඇතුළු වී තිබේ. ඇතැම් නිර්වචනයකට අනුව ආර්ථික වශයෙන් ඍජු වටිනාකමක් නැති ඝන තත්ත්වයෙන් ඉවත ලන දෑ ඝන අපද්‍රව්‍ය වශයෙන් හැඳින්වූවත් ඒ ඉවත ලන අපද්‍රව්‍යයන්හි සැඟවුණු ආර්ථික මතු නොව පාරිසරික වටිනාකමක් නැතැයි යන්නක් ඉන් අදහස් නොවේ. කසළ පරිසර හිතකාමීව බැහැර කළ යුතු ය යන්න ස්ථාවර පිළිගැනීමක් වශයෙන් ඉදිරිපත් වුණේ ද ඒ තත්ත්වය සැලකිල්ලට ගැනීමෙනි. ඒ අනුව යමින් පරිසර අමාත්‍යාංශය ද කසළ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීකරණය අරමුණු කරගෙන පිළිසරු ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තුන් අවුරුදු ව්‍යාපෘතිය ආරම්භ කළේය. ඒත් සමඟම ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ නිරතව සිටි ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා වැනි ආයතන මහත් ශක්තියක් ලබා අවදි වූ ආකාරයක් ද එම කාලයේ දී අපට දකින්නට ලැබිණි. තිරසර ලෙස කසළ බැහැර කිරීම මෙහි අරමුණ බව ද ප්‍රකාශ කෙරුණේ නිකම්ම නොවේ. උත්සවාකාරයෙනි. එහෙත් ඒ අවුරුදු තුන අද වන විට ගෙවී අවසන් ය. ගැටලුවට පැලැස්තර ඇලවීමක් විනා තිරසර විසඳුමක් ලැබී ඇති බවක් නම් දකින්නට නැත.

පළාත් පාලන ආයතනයන්හි අණ පනත් පරීක්ෂා කරන විට තම ප්‍රදේශයන්හි ජනනය වන කසළ දේපළක් ලෙසින් අර්ථකථනය කොට ඇති අයුරු දැකිය හැකිය. එසේ ගත් කල තමන් සතු සෙසු සම්පත් කළමනාකරණය වන ආකාරයටම මෙම සම්පත ද කළමනාකරණය කරගැනීමට එකී ආයතනවලට වගකීමක් තිබේ. ඒත් ඒ ගැන විමසද්දී එකී ආයතන අප හමුවේ පැවසුවේ එසේ කිරීම සිතන තරම් පහසු නැති බවයි. ඊට හේතුව මෙම දේපළ (අපද්‍රව්‍ය) ජනනය කිරීම වෙනත් පාර්ශ්වයක් (ජනතාව) අතින් සිදු වීමයි. අනිත් අතට තම ආයතන සතු නිශ්චල දේපළ කළමනාකරණය සම්බන්ධයෙන් ද ගැටලු මතු ව ඇති පසුබිමක මේ කෙරෙහි පූර්ණ අවධානයකින් කටයුතු කිරීම අපහසු මෙන්ම අතපසු කටයුත්තක් බවට පත්ව ඇති බවයි.

බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය අධිකාරිය ස්ථාපිත කෙරෙන්නේ 1999 අංක 9 දරන පනත යටතේ ය. 2007 වර්ෂයේ දී එයට වැදගත් සංශෝධනයක් එකතු වන අතර ඒ අනුව පළාත් සීමාව තුළ නාගරික මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ද පවිත්‍රතාව හා මානුෂීය යහපැවැත්ම වෙනුවෙන් ද එහි ක්‍රියාකාරිත්වය පුළුල් කොට දක්වන්නට යෙදිණි. එපමණක් නොව ශාක සහ සත්ත්ව ප්‍රජාවගේ යහපැවැත්ම ද ඊට ඇතුළත් කෙරිණි.

කෙසේ වෙතත් කසළ ඉවත් කරගැනීමට අදාළව මෙරට ඇති එකම ආයතනය බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යැයි නොසිතිය යුතුය. ඒ වෙනුවෙන් තවත් නෛතික ක්‍රියාකාරිත්ව ත්‍රිත්වයක් ම තිබේ.

1947 අංක 29 මහ නගර සභා ආඥා පනත ඉන් පළමුවැන්නයි. දෙවැන්න ඊටත් පෙර පැනවුණු 1939 අංක 61 දරන නගර සභා ආඥා පනතයි. තෙවැන්න ඊට බොහෝ කාලයකට පසුව සම්මත කර ගත් 1986 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතයි. එසේ බලන විට විශේෂයෙන් ම බස්නාහිර පළාත මුල් කරගෙන නගරාශ්‍රිතව පවත්නා කළමනාකරණයකින් තොරව ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම පුදුම සහගත කාරණාවක් නොවේ දැයි විමසිය යුතුව තිබේ.

GB-2

ඇත්තම කියනවානම් මෙතැන ඇත්තේ කල් මැරීම පිළිබඳ ප්‍රශ්නයකි. එසේ නැත්නම් කාර්යක්ෂම ලෙසින් ඉදිරිපත් නොවීම පිළිබඳ ප්‍රශ්නයකි. පරිසර අමාත්‍යාංශය මේ වන විටත් සිදු කොට ඇති ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළව සිදුකළ සමීක්ෂණයකට අනුව සියයට 50 ක්ම ඝන අපද්‍රව්‍ය අයත් වන්නේ පහසුවෙන් ම දිරා යන ශාක හා සත්ත්ව කොටස්වලට ය. එය පළාත් පාලන අණ පනත්හි එන කසළ දේපළක් ය යන අර්ථ නිරූපණය පැහැදිලි සත්‍යයක් බව පෙන්වා දෙන්නකි. පිළිසරු අපද්‍රව්‍ය කළමනාකරණ වැඩ පිළිවෙළ යටතේ කොම්පෝස්ට් පෝර ව්‍යාපෘති වෙනුවෙන් පුළුල් සම්පත් මූලාශ්‍රයක් එහි තිබේ. මේ සම්බන්ධයෙන් ඉතා සාර්ථක අත්හදා බැලීමක් සිදු කොට ලාබදායි පෝර ව්‍යාපෘතියක් ඇති කරගැනීමට බලන්ගොඩ නගර සභාව සමත් වූ ආකාරය සමීපව නිරීක්ෂණය කිරීමට අපට අවස්ථාවක් ලැබිණි.

නාගරික මට්ටමෙන් එක්රැස් වෙන කසළ අපද්‍රව්‍යවලින් ඉතිරි අඩකට ආසන්න ප්‍රමාණයක් සමන්විත වන්නේ වීදුරු, ප්ලාස්ටික් මෙන් ම ලෝහ වැනි අපද්‍රව්‍යවලිනි. මේ කියන ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දෑය. එමෙන් ම එසේ සිදු කළ හැකි පහසු ඉඩක් එසේ නැත්නම් ක්‍රමවේද ද මේ වන විට රටේ නැතුවා නොවේ. ඒ නිසා අවශ්‍ය වන්නේ විධිමත් කළමනාකරණයකින් කසළ එක්රැස් කිරීමකට යෑම ය. එමෙන් ම ඒවා වර්ගීකරණය කොට නිසි පරිදි අදාළ ප්‍රති නිෂ්පාදන කාර්යයන්ට යොමු කිරීම ය. එසේ ප්‍රති නිෂ්පාදනය කළ නොහැකි එසේ නැත්නම් ප්‍රතිඵලයක් ලද නොහැකි කසළ බැහැර කිරීම් වශයෙන් අවසානයේදී මෙකී ආයතන හමුවේ ඉතිරි වන්නේ සියයට දෙකක් තරමේ වැඩිම වුණොත් සියයට 5කට ආසන්න කසළ ප්‍රතිශතයක් පමණි. ඊට සුදුසු ක්‍රමවේදයක් සකසා ගැනීම පහසුකම් සහිත එවැනි ආයතනයකට කොහෙත්ම අසීරු කටයුත්තක් වෙනු ඇතැයි සිතිය නොහැකිය.

සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට නාගරික ක්ෂේත්‍රයන්හි ඝන අපද්‍රව්‍ය එක්රැස් වීම දළ වශයෙන් මෙට්‍රික් ටොන් 700ක් මට්ටමේ පවතී. එය ඉහළ යාමේ ප්‍රවණතාවක් විනා අඩු වීමේ තත්ත්වයක් ද නො පෙන්වයි.

ඝන අපද්‍රව්‍ය අතර අනිවාර්යයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ යුතු, අඩකටත් වැඩි ප්‍රමාණයකින් එක්රැස් වෙන ද්‍රව්‍ය විශේෂ දෙකක් ලෙසින් ඉවතලන ප්ලාස්ටික් සහ වීදුරු කටු ගැන ඉහතින් සඳහන් විය. ඉනුත් කොළඹ නගරය සහ තදාසන්න ප්‍ර‍දේශයන්හි වඩාත් බරපතළ ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කොට ඇත්තේ ප්ලාස්ටික්වලටත් වඩා වීදුරු කටු ය. එහෙත් පුදුමය වන්නේ මෙය බොහෝ අයගේ සැලකිල්ලට ලක් නොවීමය. බොහෝ විට තමන්ගේ නිවෙසේ බි‍ඳෙන වීදුරු බඳුන් කැබලි විධිමත් ලෙස ප්‍රතිචක්‍රීකරණයට ඉදිරිපත් කිරීමක් අදටත් සිදු වන්නේ නැත. ජනතාව පුරුදු වී සිටින්නේ විශේෂයෙන්ම වීදුරු ඝන අපද්‍රව්‍ය ගෙවත්තේ ම වළ දැමීමට ය. එසේ නැත්නම් හෙමින් සීරුවේ අසල ඇති පාළු ඉඩමකට විසි කර දැමීමට ය. මේ ආකාරයට දිවයින පුරා ඉවතලන වීදුරු කටු ඝන අපද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් හමු වන්නේ බස්නාහිර පළාතෙන් යැයි ද ප්‍රතිශතයක් වශයෙන් ගත් කල එය සියයට 90ක් තරම් ඉහළ අගයක් වන්නේ යැයි ද අනාවරණය කොට ගෙන තිබේ. එසේ බලන කල වීදුරු කටු වැනි සමස්ත ජෛව පැවැත්මටම හානිකර අපද්‍රව්‍යයක් වගකීම් විරහිත ලෙසින් බැහැර කිරීමට අදාළව අධ්‍යාපනයක් සහිත මිනිසුන් වැඩි ප්‍රතිශතයක් වෙසෙනවා ය කියන බස්නාහිර පළාත හඳුනා ගැනීම ඇත්තටම කනගාටුදායකය.

වීදුරු කටු යනු මිලක් සහිත අපද්‍රව්‍යයක් වේ. වීදුරු නිෂ්පාදනය කරන සමාගම් බිඳුණු වීදුරු කැබලි එකතු කොට ප්‍රතිචක්‍රීකරණය කිරීමට වැඩි උනන්දුවක් දක්වයි.

නමුත් ප්‍රශ්නය වී තිබෙන්නේ එසේ ඒ අපද්‍රව්‍ය ගැටලුවකින් තොරව එක්රැස් කරගැනීමේ නිසි ක්‍රමවේදයක් ඔවුන්ට නැතිකමයි. අනිත් අතට මේ ආකාරයට බිඳුණු වීදුරු කැබලි භූගත නොවන තැනට වග බලා ගැනීමේ පැහැදිලි වගකීමක් ද නගර සභා ඇතුළු පළාත් පාලන ආයතනවලට තිබේ. එහිදී අර කී සමාගම්වලට ඒ වෙනුවෙන් ක්‍රමවේදයක් සලසා දෙමින් හවුල් ක්‍රියාකාරිත්වයක් තුළින් ආදායම් උපදවාගත හැකි තැනකට පළාත් පාලන ආයතනවලට නො හැකි දැයි කල්පනා කර බැලීම වටී.

අවස්ථා කිහිපයකදීම කරන ලද සමීක්ෂණ ගණනයන්ට අනුව අදටත් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා එකතු කර ගැනෙන්නේ (සමස්තයක් වශයෙන්) ටොන් 15,000ක් තරම් වන වීදුරු කටු ප්‍රමාණයක් වේ. එහෙත් රට පුරා ඉවතලන එම ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 37,000ක් පමණ වේ. එහෙත් එය එක්රැස් කර ගැනීමේ නිසි ක්‍රමවේදයක් හෝ සැලැස්මක් නැත. ඒ අනුව වැඩි වීදුරු කටු ප්‍රමාණයක් අදටත් භූගත වෙමින් පවතින්නේ යැයි ද හෙළිදරව් කරගෙන තිබේ. මෙය කොතරම් කනගාටුදායක තත්ත්වයක් දැයි කල්පනා කර බැලීම වටී.

වීදුරු නිෂ්පාදන ආයතන අභ්‍යන්තර ගණන වාර්තා පෙන්වා දෙන අන්දමට වීදුරු බෝතල් 70,000ක් මාසයකට නිෂ්පාදනය කරන ආයතනයක් ඉන් 20,000ක් අපනයනය කරයි. ඉතිරි 50,000 ම නිකුත් කෙරෙන්නේ දේශීය වෙළෙඳ පොළටය. එහෙත් නැවත කර්මාන්ත ශාලාව කරා ඝන අපද්‍රව්‍යයක් වශයෙන් පැමිණෙන වීදුරු කටුවල ප්‍රමාණාත්මක අගය පොදුවේ ටොන් 15,000ක් යැයි හඳුනාගෙන තිබුණ ද ඇතැම් විට ටොන් 10,000කටත් අඩු වන අවස්ථා ද තිබේ. මෙසේ ගත් කල මෙරට ඝන අපද්‍රව්‍ය එක්රැස් වීමට අදාළ වීදුරු කටු ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම ගැන බරපතළ අවධානයක් වගකිව යුතු ආයතන විසින් යොමුකළ යුතුව තිබේ.

ඝන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේදී අතිශය සැලකිල්ලකින් කටයුතු කළ යුතු වුව එහෙත් එසේ නොවේ යැයි චෝදනා ලබන තවත් ක්ෂේත්‍රයක් ලෙස ආරෝග්‍ය ශාලා හඳුනාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ මහ රෝහල මෙන්ම ප්‍රාදේශීය රෝහල්හි නිලධාරීන් පොදුවේ අසන පැනයක් තිබේ. ඒ, රෝහල්වලින් ඉවත් කෙරෙන එන්නත් කටු මූලික සංකීර්ණ අපද්‍රව්‍ය මෙන් ම විෂබීජ සහිත ගෝස් ඇතුළු බොහෝ ඝන අපද්‍රව්‍ය වෙනත් අපද්‍රව්‍ය ද සමඟ කුණු ලොරියකට දමාගෙන පොදුවේ බැහැර කිරීම කොයිතරම් දුරට සුදුසු ද, සෞඛ්‍යාරක්ෂිත ද යන්නයි. ඉතාම සරලව ගත්තත් ශරීර උණුසුම මනින උෂ්ණත්ව මාපකයක් එසේ පොදුවේ බැහැර කරන අවස්ථාවක දී එහි ඇති රසදිය ප්‍රමාණය සුළු වූවත් ස්වාභාවික ජල මූලාශ්‍රයකට ප්‍රමාණවත් අන්දමේ අහිතකර බලපෑමක් කිරීමට එය සමත් බවට හෙළිදරව් කරගෙන තිබේ. මේ අනුව ඉතා පැහැදිලිවම මෙරට ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළව තිරසර ක්‍රමවේදයක් සහිත විධිමත් සැලැසුමක් අවශ්‍යව තිබේ.

බී. කේ. එම්. එස්. ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s