නිසි පියවර නොගත්තොත් අනතුරු අනිවාර්යයි

150603Route27-1000x647.jpg

කඩා පාත්වුණු ඒ මහා පස් කන්ද කෙඳිරිගෑවේ නැත. ඒත් පස් කන්ද ඇතුළත අන්ධකාරයේ නො ඇසෙන ඉකි ගැසීමක් නැතැයි අපට කිව හැකි ද? අපේ පැවැත්මට සා‍ෙප්ක්ෂව ජීවිතය යැයි කියන්නේ මහ දිග කතාවක් වුණත්, නො සිතන තත්පර කිහිපයක දී එය අවසන් වීමේ අවදානම ද ඒ කතාව තුළම ලියැවී තිබේ. ධාරානිපාත වර්ෂාව එදාට වඩා අද අප බිය ගන්වයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව අවට සෑම තැනකම අප විසින් නිර්මාණය කරගනු ලැබ ඇත්තේ කඩා වැටීම් ය. වෙනත් රටවලට සාපේක්ෂව ඉතාම සුරක්ෂිත භූ පැවැත්මක් සහිත රටක් කඩා වැටීම් බහුල අවදානම් කලාපයක් බවට පත් කරගෙන ඇත්තේ අප විසින් ම ය. මේ ආකාරයට නිර්මාණකරුවාත් අපරාධකරුවාත් එක් අයෙකු බවට පත්වී සිටියි.

පසුගියදා හටගත් අනපේක්ෂිත වර්ෂාව රටේ පහත්බිම් ජලයෙන් යට කර දැමී ය. උස් බිම් පස් කඳු, ගල් පර්වත මතු නොව සියලු ම ඉදිකිරීම් බිමට ඇද දැමීය. ඒ කතාව අදටත් අවසන් වී නැත. සංවේදී කඳුකර කලාපවල සීමාවකින් තොරව කිසිදු පරිසර හැදෑරීමක් නැති ව සිදු කෙරෙන්නා වූ සියලු ආකාරයේ මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන සමස්තයක් වශයෙන් ඒ උස් භූමි කලාපය ම අද පවතින්නේ පූර්ණ අනාරක්ෂිත පිහිටීමක ය. භූ විද්‍යාඥයින් ඉතා පැහැදිලිවම පෙන්වා දෙන්නේ මින් ඉදිරියට නාය යෑම් යනු වළක්වාගත නො හැකි අවදානමක් බව යි. නාය යෑමේ අවදානම කෙරෙහි බරපතළ අන්දමින් අවධානය යොමු කරමින් ජීවත් වෙනවා හැරෙන්නට ඒ සම්බන්ධයෙන් වෙනත් විකල්පයක් මේ වන විට නැති බවයි භූ විද්‍යාඥයින් ගේ හඳුනාගැනීම.

සාමාන්‍යයෙන් ස්වභාව ධර්යට අනුව ද නාය යෑම් ද සිදුවේ. අංශක 25 ත් 35 ත් අතර බෑවුම් වලදී එවැනි නාය යෑමක් සඳහා වැඩි ඉඩක් තිබේ. එහෙත් මානව ක්‍රියාකාරකම් හමුවේ විනාශයට පත් වූ බෑවුම් කලාප භේදයකින් තොරව කොයි මොහොතේ නාය යෑ‍ෙම් අවදානමක් සහිත තත්ත්වයකට පත්වී ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. කෙසේ හෝ වේවා නාය යෑමකදී සිදු වන්නේ වැලි, රොන්මඩ, මැටි, බොරළු සහ විශාල ගල් පර්වත සහිත මහත් බරකින් යුත් භූ පදාසයක් එක්වනම පහළට ගලා ගෙන ඒම යි. එය ඇතැම් තැනකදී අඩි 2ක් හෝ 3ක් වීමටත්, තවත් තැනකදී අඩි 2000ක් හෝ 3000ක් වීමටත් පුළුවන. සමහර විට ඊටත් වඩා වැඩි විය හැකි ය.

එක දිගට ඇද හැළෙන වර්ෂාවක් පෘථිවි පෘෂ්ඨය මතට ඇද වැටී පහළට ගලා යමින් දුර්වල ස්ථානයක දී භූ ගර්භයට ඇතුළු වේ නම් බොහෝ විට එය භයානක නාය යෑමක් නිර්මාණය කරන පූර්ව අවස්ථාව විය හැකි ය. විශේෂ දීර්ඝ පෑවිල්ලකට පසුව ඇද හැලෙන වර්ෂාවකදී භූ රූප රටාවේ වෙනස්කම් නිරීක්ෂණය කිරීම අවශ්‍යම වේ. මන්ද එසේ වර්ෂාව පතිත වීමේදී එකී භූ රූපරටාව තුළ ඇති වන හදිසි වෙනසක් බරපතළ නාය යෑමක් ගැන පවසන පූර්ව සංඥාවක් විය හැකි බැවිනි. ඒ අනුව කඳු මුදුන් මතට වර්ෂාව පතිත වී ජලය පහළට ගලා විත් එක්වනම අතුරුදහන් වීම මෙන් ම මෙතෙක් නොවූ අයුරින් බෑවුම් වලින් ජල උල්පත් මතු වීම වැනි වෙනස්කම් සැලකිලිමත් විය යුතුමය. භූ විද්‍යාවේදී Base Flow නමින් හැඳින්වෙන තත්ත්වය ගැන ද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එතැනදී සිදු වන්නේ කුඩා දිය පහරක් ලෙසින් අලුත් ජල මාර්ගයක් කිසිම හේතුවක් නැතිව නිර්මාණය වීමයි. පසුගිය කාලයේ දී ගම්පොළ සිංහපිටියේ ඇති වූ නාය යෑම ඊට නිදසුනකි. එමෙන් ම එහිදී නාය යෑමට පෙර ප්‍රදේශයේ වූ නිවෙස්වලින් ජල උල්පත් ද මතු වූයේ යැයි ප්‍රදේශවාසිහු කීහ.

භූ විද්‍යාඥයින් යටි ගැල්මේ ස්වභාවය යනුවෙන් හඳුන්වන්නේ ද නායයෑමට අදාළ පූර්ව නිමිත්තකි. ඒ අනුව එතෙක් අවර්ණව ගලා ගිය ජලය දුඹුරු පැහැයට හ‍ැරෙමින් ගලා යෑමක් සිදු වන්නේ නම් එය හඳුනාගත යුත්තේ යටි ගැල්මේ ස්වභාවය වෙනස් වීමක් වශයෙනි. එය ද නාය යෑමේ පූර්ව නිමිත්තකි.

ඇතැම් නාය යෑම් සිදු වන්නේ මහා පිපිරුම් හඬක් නිකුත් කරමිනි. 1992 දී තැන්නේ වත්තේ දී ඇති වූ නාය යෑම වාර්තා කිරීමට ගිය පුවපත් කලාවේදීන් හමුවේ ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ මුලින් ම ගුවන් යානයකින් නැ‍ඟෙන හඬකට සමාන පිපිරුම් හඬක් හටගත් බවයි. කන්ද පුපුරා හැලුණේ ඉන් පසුව ය.

නාය යෑමක් ආසන්නයේ දී එම භූමියේ බුරුල් පසේ වැඩෙන පොල්, පුවක් වැනි ශාක හිටි හැටියේ ම මිය යයි නම්, එසේ නැත්නම් එවැනි ශාක බෑවුම දෙසට ක්‍රමයෙන් ඇළ වෙයි නම් වහා ම එම ප්‍රදේශය අත්හැර යාම සුදුසු ය. එමෙන් ම ගලා යන ජල දහරාවක් එක්වනම අතුරුදහන් වී එසේ නැත්නම් පොළව යට ගිලී ගොස් වෙනත් තැනකින් මතු වෙයි නම් එය භයානක නාය යෑමක පෙර නිමිත්තක් ලෙසින් සැලකෙයි.

පොදුවේ හඳුනාගෙන ඇති අන්දමින් නාය යෑම් පහත ආකාරයට වර්ග ‍කොට තිබේ.

* පාෂාණපතනය – Rock Fall

* කුට්ටි ප්‍රපාතය – Bedding glide

* රූරා යෑම – Creep

* මඩගලනය – Mud Flow

* භූමි ගලනය – Earth Flow

* ගිලා බැසීම් – Slump / Sub Sidence

1947 වසරේ සිට 2000 දශකය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දරුණු ම මට්ටමේ නාය යෑම් 13ක් සිදු වී තිබේ. ඒ නිසා අහිමි වූ ජීවිත සංඛ්‍යාව පන්සියයක් පමණ යැයි ද දෙදහසක් පමණ නිවාස සහ ගොඩනැඟිලි විනාශ වී ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුව භයානක නාය යෑම් අතරින් වඩාත් කැපී පෙනෙන බිහිසුණු ම උදාහරණය හැටියට වාර්තා කෙරෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ සිදු වූ නායයෑම යි.

කෙසේ වෙතත් මෙරට නායයෑම් වල වර්ධනීය තත්ත්වයක් දැකිය හැකි වන්නේ 70 දශකය අවසානයේ දී ය. අසූවේ දශකය තුළ දී එය වඩාත් ඉහළ අගයකට යනු දැකිය හැකි ය. එසේ ක්‍රමානුකූලව මානව ක්‍රියාකාරකම්වලට ගොදුරු වූ ඉහළ කඳුකරය අද වන විට පූර්ණ වශයෙන් නාය යෑම තුළ පවත්නා භූ කලාපයක් ය යන්න භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය වුව මුළුමනින් ම ප්‍රතික්ෂේප නොකරයි. තවත් විදියකින් කියනවා නම් වර්තමානයේ කඳුකර වැසියන්ට නාය යෑම් සමඟ ජීවත් වීමට සිදුව තිබේ.

භූ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ නාය යෑම් බහුල කලාපයක් බවට පත්ව ඇති කඳුකරය විශේෂයෙන්ම මහා පරිමාණ කෘෂිකාර්මික වගාවලින් ඉවත් කළ යුතු බවයි. ඊට හේතුව කඳුකර භූමියේ භූ පිහිටීමට අනුව එහි පාංශු තලය යට මැටි ස්තරයක් දැකිය නො හැකි වීම යි. ඒ අනුව දිගුකාලීන වශයෙන් ජලය බැඳ සිදු කරන ගොවිතැන නිතර පස බුරුල් කරමින් සිදු කරන මහා පරිමාණ අල වගා ව්‍යාපෘති කඳුකර බිමට නුසුදුසුම ය. පැරැණියෝ වී වගාවේදී හෙල්මළු ක්‍රමය අනුව වගා කළේ ද කඳුකරයේ (ජලය නිතර ම බැස යෑමක් එතැන දී සිදු වේ. මේ තත්ත්වය ගැන තිබූ අවබෝධය නිසා බව පැහැදිලි ය. එහෙත් එවැනි පාරිසරික කියවීමක් එවැනි පරිසර හිතවාදී පැවැත්මක් වර්තමාන තරගකාරී වාණිජ කෘෂිකර්ම රටාව තුළ වෙසෙන මිනිසුන්ට ඇද්ද යන්න පැහැදිලි නැත. ඒ හැරුණ කළ තදින් පො‍ළොව කැණීමෙන් පසු වගා කෙරෙන දුම්කොළ මෙන් ම මහා පරිමාණ එළවළු වගා බිම් ද සංවේදී කඳුකර පරිසරය තුළ නාය යෑම් නිර්මාණය කරයි. මේ නිසා කළ යුතුව ඇත්තේ හඳුනාගත් එවැනි කඳු බිම් හි උස්ව නොවැඩෙන එහෙත් හොඳින් පස වසා ගන්නා තෘණ විශේෂ වගා කිරීම ය. ඒ කටයුත්ත සැම අතින් ම සුදුසු ය. කඳුකරය තිරසාරව පවත්වා ගැනීමට අදාළව වනාන්තර වැස්ම නම් අවශ්‍යම ය. විශේෂයෙන් ම කඳු මුදුන් හි වන වැස්ම ආරක්ෂා කළ යතු තරමට ම කඳුකර පහත් බිම්හි ගිනි තැබීම් ද නොකළ යුතුමය. මේ ආකාරයට පරිසර විපත් හමුවේ විනාශ නොවීමට නම් පාරිසරික කියවීම යන්න අවශ්‍ය ම කොන්දේසියක් වේ.

කඳුකර ඇසුරේ ජනාවාස ඇති කිරීමේ දී වැදගත් තැනක් දිය යුත්තේ කන්දේ පිහිටීමට මිස නිවසේ සැලැස්මට නොවේ. අනිත් අතට ජලය බැස යාමේ දි නිවැරදි ආකාරයට, ජලය එක තැන නො රැඳී ආරක්ෂිත පහත් බිම් කරා බැස යන ආකාරයට කානු පද්ධති සකස් කිරීම ද අවශ්‍යමය. වතු වගාව සඳහා කඳුකර වනාන්තර එළි පෙහෙළි කළ සුදු අධිරාජ්‍යවාදීහු ද මේ සම්බන්ධයෙන් අතිශයින් ම සැලකිලිමත් වූහ. එහෙත් බොහෝ තන්හි මේ තත්ත්වය සම්බන්ධයෙන් ඇත්තේ අතිශයින් දුර්වල අවධානයකි. නොසැලකිල්ලකි.

The collapsed cliff next to the East Cliff funicular railway on Bournemouth Beach

නාය යෑම් සම්බන්ධයෙන් හේතු වන තවත් හේතුවක් වශයෙන් භූ කම්පන ද හඳුනාගෙන ඇත. සුමාත්‍රා දේශය ඊට සුදුසු උදාහරණයකි. එදා මේ තත්ත්වය පහසුවෙන් ම නොතකා හැරීමට අපට පුළුවන්කම තිබුණත් අද අපට එසේ කළ නො හැකිය. විශේෂයෙන් ම 2004.12.16 දායින් පසු ශ්‍රී ලංකාව ද ලෝක භූකම්පන සිතියම් තුළ ස්ථානගත වී තිබේ. ඉන් භූ පැළීම්, පුපුරායෑම් නිරීක්ෂණය කළ හැකිව තිබේ. සනාථ කළ වාර්තා ද තිබේ. මේ නිසා නො නවත්වා ඇද හැලෙන තද වර්ෂාපතනයක් අද දවසේ ශ්‍රී ලංකාවට අදාළව ආපදා අවදානමක් වේ. විශේෂයෙන් ම එවැනි භූ පැළුම්, පුපුරා යෑම් හරහා නාය යෑම් නිර්මාණය වීමේ පැහැදිලි අවදානමක් තිබේ. භූ විද්‍යාඥ වාර්තා පෙන්වා දෙන අන්දමට එවැනි ප්‍රදේශවලට දින 3ක් නොකඩවා වර්ෂාපතනයක් ලැබීම යනු නියත වශයෙන් ම නාය යෑමකින් කෙළවර වීමක් විය හැකිය.

පොදුවේ ගත් කල මෙරට කඳුකරයට අයත් භූමියෙන් සියයට 40 ක් තරම් කලාපයක් පවතින්නේ දුර්වල නායයෑමේ අවදානමක් පහසුවෙන් නිර්මාණය විය හැකි තැනක ය. පසුගිය කාලය පුරා ම මානව ක්‍රියාකාරකම් සිදු වුණේ මේ සම්බන්ධයෙන් ස්වල්ප අවධානයක් හෝ ඇතිව නොවන බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. ඉනුත් කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ ගැන සුවිශේෂ අවධානයකින් කටයුතු කළ යුතුව තිබේ. මේ ප්‍රදේශ අද පවතින තත්ත්වය දෙස බලන විට (මානව ක්‍රියාකාරකම් නිසා ම) මෝසම් වර්ෂාව පවා තර්ජනයක් වීමට ඇති ඉඩකඩ වැඩි ය.

සාමාන්‍යයෙන් නිරිත දිග ‍‍මෝසම් වැසි සමය ආරම්භ වන්නේ මැයි මාසයෙනි. එය සැප්තැම්බර් මාසය දක්වා ම පවතී. ඒ අතර කාලයේ දී කඳුකරයට තද වැසි ලැබීම නියතියක් වේ. භූ විද්‍යාඥයින්ට අනුව මි.මී 100 ක වර්ෂාපතනයක් පැය 24ක් පුරා එක දිගට ඇද හැලෙන්නේ නම් එය නාය යෑමක් සඳහා ප්‍රමාණවත් ය. අද වන විට කඳුකරය පවතිනේ එය ආරක්ෂා කළ අවම වනාන්තර වැස්ම ද අහිමි කරගත් තැනක ය. ඒ අනුව වර්තමානයේ කඳුකරය යනු පූර්ණ වශයෙන් ම අනාරක්ෂිත ඒ නිසා ම අවදානම් කලාපයකි. එසේ ගත් කළ ඉහත කී ‍මෝසම් සමයේ දී එක් නාය යෑමක් හෝ (සුළු වශයෙන් හෝ මහා පරිමාණයෙන්) බලාපොරොත්තු වීමට ආපදා කළමනාකරුවන්ට සිදු වේ.

විශේෂයෙන් ම බටහිර බෑවුම් ප්‍රදේශ (මහනුවර, බදුල්ල, කෑගල්ල, රත්නපුර) ඉහතින් කී දීර්ඝ මෝසම් වර්ෂාවට ඍජුව ම මුහුණ පාන බව අමතක නො කළ යුතු ය. සාමාන්‍ය අගය තුළ වුණත් මි.මී. 2075 ක වාර්ෂික වර්ෂාපතනයක් වාර්ෂිකව මේ ප්‍රදේශවලට ලැබේ. ලිහිල් පාංශු ස්වභාවයක් ඇති මේ කලාපය අද වන විට කොතැනින් හෝ කඩා හැලෙන අන්දමේ අස්ථාවර ‍එමෙන් ම අවදානම් සහිත ඉරණමකට ගොදුරු වී ඇත්තේ මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන ය. ඒ අනුව ස්වාභාවිකව මේ කලාපය ආරක්ෂා කළ වන වැස්ම අවම මට්ටමකින්වත් ඉතිරි වී නැත. එවැනි පසුබිමක් තුළ අද කඳුකරය පවතින්නේ පහසුවෙන් ප්‍රතිසංස්කරණය කරගත නො හැකි බරපතළ අවදානමක ය යන්න අමතක නොකළ යුතු ය.

බී.කේ.එම්.එස්. ආරියවංශ

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s