ඉන්දීය සාගරය ගිනියම් වෙයි !

Limu_o_Pele.jpg

මේ දිනවල පවතින දැඩි සූර්ය රශ්මිය මනුෂ්‍ය ශරීරය විජලනය වන තත්ත්වයක් කරා ම ගෙන ගොස් ඇති බවක් ද අසන්නට ලැබේ. මේ අතර අධික සූර්ය තාපය නිසා හටගත් ආසාදන සඳහා ප්‍රතිකාර ගත් අවස්ථා හිඟ නැති බවටත් රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. මේ තත්ත්වය තවදුරටත්, විශේෂයෙන්ම සමකය ආසන්න රටවලට මේ කාලයේදී හිරු මුදුන් වීම නිසා හටගත් තත්ත්වයක් ය යන සුපුරුදු කාලගුණ වාර්තාවෙන් පමණක් විස්තර කළ හැක්කක් නොවන බව පැහැදිලිය. ඒ නිසාම පරිසර ජනමාධ්‍යවේදීන් ඉහත කාරණයට අදාළව සිය තොරතුරු මූලාශ්‍රය බවට පත් කොටගෙන ඇත්තේ විෂය බද්ධව සිදු කෙරෙන විශේෂඥයන්ගේ පර්යේෂණ වාර්තාය.

ඒ අයුරින් ඉකුත් වසර 50ක කාලය පාදක කරගෙන සිදු කරන්නට යෙදුණු කාලගුණ විශේෂඥයන්ගේ කාලගුණය සහ දේශගුණික හැදෑරීමක විස්තර වාර්තාවක් පසුගිය දිනවලදී ප්‍රකාශයට පත්ව තිබේ. එයින් හෙළිදරව් වුණේ ඉන්දීය සාගරය දැඩි උණුසුම් වීමක් කරා ගමන් කරමින් සිටින බවයි. එමෙන්ම ඒ තත්ත්වය කලාපයේ දේශගුණික සහ කාලගුණ තත්ත්වයේ පැහැදිලි වෙනස්කම් ඇති කරමින් තිබෙන බවක් ද ඉන් කියැවිණි.

ඉන්දීය සාගර උෂ්ණත්වය මෙසේ ඉහළ යෑම එක් අතකින් උෂ්ණත්වය ඉහළ යෑමක් මෙන්ම අනිත් අතින් මෝසම් වර්ෂාපතනයේ පහළ යෑමක් ද අපේක්ෂා කළ හැකි යැයි එකී පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි. කලාපයේ ඇතැම් ප්‍රදේශවලට ලැබිය යුතු වර්ෂාපතනය මේ වන විටත් සියයට විස්සක් තරම් ප්‍රතිශතයකින් අඩු වී ඇති බව ද හඳුනාගෙන තිබේ. එය පසුගිය පනස් වසරක් තරම් කාලයක් තුළ වර්ධනය වෙමින් ආ තත්ත්වයක් බවටත් සනාථ කෙරෙන ආකාරයේ නිරීක්ෂණ ද එම වාර්තාවේ තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය ද අද පවතින්නේ අවරෝහණය වන අගයකය. ඒ අනුව මෙරට වාර්ෂික වර්ෂාපතනය 1931 – 1960 කාල පරිච්ඡේදයට සාපේක්ෂව 1961 – 1990 කාල වකවානුවේදී සියයට 7 ක පැහැදිලි අඩු වීමක් පෙන්වයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පසුගිය තොරතුරු වාර්තා ඒ බව තහවුරු කොට තිබේ. මෙතැනදී වර්ෂාපතනයේ විෂමත්වයක් එසේ නැත්නම් නිසි ආකාරයට වැසි නොලැබෙන තත්ත්වයක් ද හඳුනාගෙන ඇත. ඒ ඇතැම් ප්‍රදේශවලටය. මඩකලපුව, රත්නපුර, කුරුණෑගල යනු එම ප්‍රදේශයි. කාලගුණ විශේෂඥයෝ එය පවත්නා ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම නිසා හටගත් තත්ත්වයක් විය හැකි යැයි පෙන්වා දෙති. විශේෂයෙන් ම සීමාවකින් තොරව වායු ගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු විමෝචනය වර්ෂාපතනයේ මේ විසමතා ඇති කරන බව ද හඳුනාගෙන තිබේ.underwater_volcano1

කාලගුණ දෙපාර්තමේන්තු නිරීක්ෂණයට අනුව මෙරට වාර්ෂික වර්ෂාපතනය දෙයාකාරයකින් ප්‍රකාශයට පත් වනු ඇත. ඉන් පළමු ආකාරය වන්නේ ඉහතින් පෙන්වා දුන් පරිදි වාර්ෂික වර්ෂාපතනය අවම වීමයි. දෙවැන්න වර්ෂාපතනයේ තීව්‍රතාව ඉහළ යෑමයි. එය ද විෂම තත්ත්වයක් වේ. එසේ හෙයින් සැලකිලිමත් අවධානයක් මේ වෙනුවෙන් යොමු විය යුතුය. වර්ෂාපතනයේ විෂමත්වයට මුහුණ දෙන ප්‍රදේශ මොනවාදැයි විස්තරාත්මකව හඳුනා‍ගත යුතුය. දෙවනුව එම ප්‍රදේශ අදාළ වෙනස්කම්වලට මුහුණ දිය යුතු ආකාරය වෙනුවෙන් සැලසුම් සකස් කළ යුතුය. එසේ නොවුණහොත් එය කළමනාකරණය කළ නොහැකි ආපදාවක් බවට පත් වෙනු ඇත.

මේ අතර ඉන්දීය සාගරය උණුසුම් වීමට අදාළව නිවර්තන කාලගුණ අධ්‍යයන ඉන්දීය ආයතනය සහ ඇමෙරිකානු කාලගුණ සංගමය විසින් ද තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කොට තිබේ. එමඟින් කලාපීය වර්ෂාපතන හැසිරීම සම්බන්ධයෙන් වඩාත් එහාට ගිය කරුණු අනාවරණයක් සිදු වේ. ඒ අනුව වර්ෂාපතනය අවම වීම මධ්‍යම ඉන්දියාව හරහා පකිස්ථානයේ දකුණු සීමාව දක්වාම විහිදෙයි. එසේ ගත් කල ඊට බංගලාදේශය ද අයත් ය. ඉනුත් අවම වන වර්ෂාපතන තත්ත්වය වඩාත් බරපතළ ප්‍රතිවිපාක ලබා දෙනු ඇත්තේ මධ්‍යම ඉන්දීය කලාපයටය. ඒ අනුව වාර්ෂික ප්‍රධාන වර්ෂාපතනයේ අවම වීම මධ්‍යම ඉන්දියාව තුළ පමණක් සියයට 10ත් 20ත් අතර තත්ත්වයකින් ප්‍රකාශයට පත් වෙනු ඇත. එය බරපතළ තත්ත්වයකි. එමෙන්ම ඉන්දීය සාගරයේ උණුසුම, ඉකුත් ශත වර්ෂයක කාලයක් තුළ දී විශේෂයෙන්ම බටහිර ප්‍රාන්ත ආශ්‍රිතව අංශක 1.2 ක අගයකින් ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය කොට තිබේ. මේ අගය සෙසු නිවර්තන කලාපීය සාගර ප්‍රදේශවල සාගර ජලය උණුසුම් වීමට සාපේක්ෂව ගත් කල වඩාත් ඉහළ අගයක් යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. නිවර්තන කාලගුණ අධ්‍යයන ඉන්දීය ආයතනයේ හඳුනා ගැනීමට අනුව සාගර සහ ගොඩබිම උෂ්ණත්වය පැහැදිලිවම වෙනස් තත්ත්ව යටතේ පවතින බවට ද හඳුනාගත හැකිය.maxresdefault.jpg

මෙහි බරපතළ කරුණ වන්නේ ඉන්දීය සාගරය උණුසුම් වීම හේතු කොට ගෙන මෝසම් වර්ෂා සමයේදීත් එම ප්‍රධාන වර්ෂාපතනය ද අවම තත්ත්වයකින් පතිත වීමට ඇති ඉඩකඩයි. එසේ බලන විට අප ද ඇතුළුව විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපීය රටවල ප්‍රදේශ බොහොමයකට මෝසම් සමයේ ලැබිය යුතු නියමිත වර්ෂාපතනය ද නොලැබී යාමේ අවදානමක් මේ වන විටත් නිර්මාණය වෙමින් පවතී. එය වඩාත් උග්‍ර ලෙසින් අපට දැනෙනු ඇත්තේ නිසි කලට නිසි වැසි නොලැබී ඇතිවිය හැකි වියළි හෝ නියං කාලගුණය කලාපයේ ගොවිබිම් හරහා ප්‍රකාශ වන විටය. ඉතා පැහැදිලිවම මෙවැනි තත්ත්වයක් හමුවේ කලාපය තුළ ආහාර අනාරක්ෂිතතාව ඉදිරි කාලීනව බරපතළ අන්දමින් සමාජ දේශපාලන ආර්ථික මතු නොව මානුෂිය වූ කඩා වැටීම් ද නිර්මාණය කරනු ඇත. එය වැළැක්විය හැකි වේ ද යන්න පවා ගැටලු සහගතය.

ඉහත කාලගුණ වාර්තාවට අනුව සාගර කලාපයක් උණුසුම් වීම තනි සිද්ධියක් නොවේ. මන්ද ඒත් සමඟම ඊට ඉහළින් ඇති වායු කලාපය වියළී යාම ද ඒත් සමඟම සිදු වන හෙයිනි. එසේ වියළි – උණුසුම් වායු ස්ථරයකට තමන් කරා එන (වාෂ්ප වෙත) ජල වාෂ්ප බොහෝ කාලයක් (එය වර්ෂාවක් බවට පත් නොකොට) තබාගත හැකි ය. එහෙත් ස්වාභාවික පරිසර හැසිරීමට අනුව නිවර්තන කලාපීය උණුසුම් සාගර කලාප යනු වැසි උත්පාදනය කරන සාරවත් වර්ෂාපතන සහිත පරිසර පද්ධතීන් ය. එහෙත් ඉන්දීය සාගරය අද මුහුණ දී ඇත්තේ ස්වභාවිකත්වය ඉක්මවා ගිය විපරීත උෂ්ණත්ව තත්ත්වයකට ය. එය කොයි ආකාරයෙන් වැසි ඇති කරන්නක් නොව වර්ෂාව හීන කරන්නකි. ඒත් සමඟම නිර්මාණය වන ඉහළ වියළි වායු ස්තරය ජල වාෂ්ප තමන් තුළ දීර්ඝ කාලයකට රඳවා ගැනීමකට විනා වර්ෂාවක් ලෙසින් පතනය කිරීමක් නොකරයි.

geothermals-nighttime.adapt.536.1.jpg

එසේ ජල වාෂ්ප දිගු කලක් පුරා රඳවාගෙන සිටීමේ ඊළඟ ප්‍රතිඵලය වන්නේ දීර්ඝ කාලයකට වර්ෂාව නැති වියළි කාලගුණයක් නිර්මාණය වීමය. එවැනි පසුබිමක් තුළ තවදුරටත් අධික වර්ෂා සහිත කාලගුණ තත්ත්ව මේ කලාපයට නොලැබෙනු ඇත. ඒ බව කාලගුණ නිරීක්ෂණ වාර්තා විසින් පෙන්වා දී තිබේ. තව ද ඒ අයුරින් නිරීක්ෂණාත්මක නිගමනයක් ඉදිරිපත් කොට ඇත්තේ ද පසුගිය වසර 15ක කාලයක් තුළ බලපැවැත්වූ නියං කාල පිළිබඳව අධ්‍යයනය කොට එම තොරතුරු පෙළ ගස්වා කළ තක්සේරු කිරිම් ඔස්සේය. ඒ අනුව එය හුදෙක් උපකල්පන මත ඇති කරගත් නිරීක්ෂණයක් හෝ නිගමනයක් නොවේ. පවත්නා තත්ත්ව විශ්ලේෂණාත්මකව තක්සේරු කොට ඇති කරගත්තා වූ නිරීක්ෂණ ඇසුරින් බැස ගත් නිගමනයකි. ඒ නිසාම එකී නිරීක්ෂණ වාර්තා මෙන්ම පර්යේෂණාත්මක නිගමන සම්බන්ධයෙන් සැලකිලිමත් වීම මතු නොව ඒ වෙනුවෙන් පූර්ව සූදානමක් ඇති කරගැනීමේ අවශ්‍යතාව කොයි ආකාරයෙන්වත් සුළුකොට තැකිය යුතු නොවේ. උදාහරණයක් ලෙස සුනාමි අවදානම ගැන පූර්ව සූදානමක අවශ්‍යතාව අප මතු කරන්නේ ඒ සම්බන්ධයෙන් විය හැකි සහ විය නො හැකි බව පිළිබඳව කාල නිර්ණයක් නිශ්චිතව දැක්විය නොහැකි පසුබිමකය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පූර්ව සූදානමක දැඩි අවශ්‍යතාවක් මතු වන්නේත් ඒ නිසාම ය. නමුත් ඊට සාපේක්ෂව ඉන්දීය සාගර කලාපය උණුසුම් වීමේ අවදානම ඉතා පැහැදිලිවම අපට දැනෙන තත්ත්වයකි. එහි ප්‍රතිඵල දෛනිකව ලබා දෙන්නක් වේ. අප හා බැඳී පවතින අවදානමක් බවට පත් වීම ද නොවැළැක්විය හැක්කක් නොවේ. එනිසාම ඒ සම්බන්ධයෙන් මඳකින් හෝ ලිහිල් නොවූ අවධානයක් අපට අවශ්‍ය ය යන්න අවධාරණයෙන්ම කිව යුත්තකි.

indian_man_with_umbrella_under_sun-1.jpg

කෙසේ හෝ වේවා අනාවරණය වී ඇති කරුණු වලින් පමණක් ම සෑහීමකට පත් නොවී ඉන්දීය සාගර කලාපයේ උණුසුම ඉහළ යෑම නම් මේ තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ පැවැත්වීමේ අවශ්‍යතාව ද එම කාලගුණ පර්යේෂණ පවත්වන විශේෂඥයන් විසින් අවධාරණය කරනු ලැබ තිබේ. මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීම තුළ බරපතළ අන්දමේ ආහාර අනාරක්ෂිතතාවක් ද කලාපීය වශයෙන් මතු වීමේ ඉඩකඩක් ද නිර්මාණය වීම නියතියක් වශයෙන් පැවැතීම ඊට හේතුවයි. ඔවුන් මේ තත්ත්වය ගැන වැඩි උනන්දුවකින් කටයුතු කරන්නේ ද එම තත්ත්වය වැඩි සැලකිල්ලකට ලක් කර ගනිමින් ය යන්න පැහැදිලිවම දැකිය හැකිය. ශ්‍රී ලංකාව නම් අප වෙසෙන භූමිය මුළුමනින්ම අයත් වන්නේ ඉන්දීය සාගර කලාපයට හා යන්න ද මෙහිදී අමතක නොකළ යුත්තකි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s