අවදානම එනතුරු නොසිට සූදානම වැදගත්!

අක්කර 20 ක ජලාශයක් දූෂණයවීමට ජංගම දුරකථන බැටරියක් ඇති

 ඉදිරි පාරිසරික ප්‍රතිඵල සුළුවෙන් තැකිය යුතු නෑ

අපේ සිසු දරුවන් වායුගෝලය සහ ජලගෝලය ගැන සිතන්නේ තමන්ගේ ජීවන පැවැත්මට අදාළ ජෛව සංසිද්ධීන් වශයෙන් නොවේ. පාසල් පොතේ ඇති විභාගයේදී කට පාඩම් කර පිළිතුරු සැපයිය යුතු පාඩම් දෙකක් හැටියටය.

පසුගිය දා අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ කොස්ගම ප්‍රදේශයට අයත් සාලාව හිදී පුපුරා ගිය යුද අවි ගබඩාව ඍජුවම බලපෑම් එල්ල කරන පරිසර පද්ධති දෙකක් වේ නම් ඒ අප අර කීව වායුගෝලය සහ ජලගෝලයයි. එකී පාරිසරික පැවැත්මවලට යම් විෂ රසායනික සංඝටකයක් එකතු වුණහොත් එය ඉවත් කිරීම නොකළ හැක්කක් තරමට ම අසීරු වේ. අනිත් අතින් ගත් කල වායුගෝලය හෝ භූගත ජල ගෝලය දූෂණය වීම යනු ඍජුවම මනුෂ්‍ය පැවැත්මට බලපෑම් කරන, පොදුවේ සියලු ජෛව හැසිරීමක්ම ගිලන් කරන විෂ දූෂණයක්ම වේ. එවැනි පසුබිමක අර කීව යුද අවි ගබඩාව පුපුරා යෑමෙන් ඇති විය හැකි මතු පාරිසරික ප්‍රතිඵල සුළුවෙන් තැකිය යුතු නොවේ.

13325622_1021781964595356_783164757766474116_n.jpg

මෙතැනදී බරපතළම කරුණ ජලගෝලයේදී එවැනි රසායනික දූෂක ද්‍රව්‍යයක් විසින් ඇති කරනු ලබන සහ ඒ අනුව නිර්මාණය කෙරෙන රසායනික ප්‍රති ක්‍රියාකාරකම්ය. උදාහරණයකින් කිවහොත් ජංගම දුරකථන බැටරියක් හරහා අක්කර 20ක ජලාශයක් රසායනික වශයෙන් දූෂණය කළ හැකි බවට සොයාගෙන තිබේ. ඒ එසේ වන්නේ රසායනිකයන්ගේ ප්‍රතික්‍රියාකාරක හැසිරීම නිසාය. එවැනි පසුබිමක ‍කොස්ගම, සාලාවහිදී සිදුවූ අවි ගබඩාවේ පුපුරා යෑම ප්‍රදේශයේ භූගත ජල නිධිවලටත් ඊට සාපේක්ෂව විශාල කලාපයක වායුගෝලයටත් කළ හැකි බලපෑම සාමාන්‍ය මට්ටමින් තක්සේරු කළ හැක්කක් නොවන බව පැහැදිලිය.

අනිත් කාරණය වන්නේ රසායනික පුපුරා යෑමක දී පතිත වන අළු වර්ෂාවයි. භෂ්ම පතනය වශයෙන් ද අපට මේ තත්ත්වය හඳුනාගත හැකිය. මෙකී පතනය දෙයාකාරයකින් මනුෂ්‍ය පැවැත්මටත්, පොදුවේ සෑම ජීව ප්‍රභේදයකටමත් බලපෑ හැකිය. ඉන් එක බලපෑමක ගමන් මාර්ගය වන්නේ ශ්වසනයයි. ඒ අනුව පෙණහැල්ල, ශ්වසන මාර්ගය, ස්නායු සංවේදීතාව සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු විය යුතුව තිබේ. ඉහත කී දෙවැනි බලපෑමේ ගමන් මාර්ගය වන්නේ ජලයයි.

ජලයෙන් සිදු විය හැකි ආසාදන කෙටි කාලීන සහ දිගු කාලීනව සිදු විය හැකි ප්‍රතිඵල වශයෙන් හඳුනාගෙන තිබේ. කෙටි කාලීන ආසාදන යනු අද මේ මොහොතේ ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලින් ජලය පානය කිරීමෙන් සිදු විය හැකි රෝග ආසාදනයන්ය. එය අපට වළක්වාගත හැකිය. එහෙත් දිගු කාලීනව ඇති විය හැකි ආසාදන එසේ වළක්වාගත හැකි ද යන්න ගැටලුවකි.

ඕනෑම ප්‍රදේශයක ජල පරිසරය එහි භූ පරිසරයේ ස්වාභාවික රසායනයන් සමඟ ගනුදෙනු කරයි. උදාහරණයකින් දක්වතොත් වනෝකයිට් පාෂාණ සහිත ප්‍රදේශයක ජලයේ යකඩ සහ මැග්නීසියම් මූලද්‍රව්‍ය බහුල වශයෙන් අඩංගු වේ. ඊට හේතුව අර කීව පාෂාණ විශේෂයයි. මෙවැනි පසුබිමක ඇති ජල පරිසරයකට තවදුරටත් බාහිරින් විෂ සහිත රසායන එකතු වූ කල මනුෂ්‍ය පැවැත්මට ඒ නිසා කුමන ආකාරයේ බලපෑමක් ඇති වේ ද යන්න දිගු කාලීනව තීරණය වන්නක් වේ. ඇතැම් විට ඒ නිසා කෙටි කාලීනව ප්‍රතිඵල ලබා දුන්නත් එම තත්ත්ව කාලයක් යනතුරුම නො නැසී පැවැතීමට ඇති ඉඩකඩ වැඩිය

13339431_1022317974541755_1376970106011387530_n.jpg

1984 දෙසැම්බර් දෙවැනිදා මධ්‍යම රාත්‍රියේ දී ඉන්දියාවේ බෝපාල් නගරයේ පිහිටි කෘෂි රසායන, බැටරි සහ වෙනත් අතුරු රසායන ද්‍රව්‍ය රාශියක් නිපද වූ යුනියන් කාබයිට් කම්හලේ බිම් මහලේ වූ පිපිරුම ද කොස්ගම, සාලාව හි ඇතිවූ පිපිරුමට වෙනස් වන්නේ එය යුද අවි ගබඩාවක් නොවේ ය යන තැනදීය. එමෙන් ම අනාරක්ෂිත බව හමුවේ සේවකයන් විශාල පිරිසක් වැඩ කරමින් සිට මියගිය ආකාරය දෙස බලන විට එය මනුෂ්‍ය ඛේදවාචකයක් ලෙසින් විනා අනිත් ආකාරයකින් ගත නොහැකිය. එවැනි ඛේදවාචකයක් කොස්ගම, සාලාව හිදී සිදු නොවීය. එහෙත් රසායන ද්‍රව්‍ය අන්තර්ගත කුමන හෝ පුපුරා යෑමක් තුළ පාරිසරික වශයෙන් ඇති කළ හැකි බලපෑම ප්‍රමාණාත්මක වෙනස්කම් මැද වුව එක සමාන විය හැකි බව අමතක නොකළ යුතුය. ඒ නිසා එවැනි පාරිසරික ව්‍යසන ගැන කල්පනාකාරී වීම අවශ්‍යමය. මෙවැනි අවස්ථාවලදී අවදානම එන තෙක් නොසිට සූදානම් වීම වැදගත්ය. කෙසේ වුව මෙතැනදී අප වාසනාවන්ත වන්නේ විෂ රසායන සහිත අවි අදටත් අපේ යුද හමුදාව සතුව නැති නිසාය.

නිදර්ශනයකින් පැහැදිලි කළහොත් මීතයිල් අයිසෝසයනේට් වැනි ප්‍රබල විෂ කාරක වායුවක් මෙහි දී නිදහස් වුණේ නම් බරපතළ මනුෂ්‍ය ඝාතනයක් සිදු වීමට පැය 24ක් වත් ගත වන්නේ නැත.

කෙසේ වුව රසායනික ද්‍රව්‍ය සහිත පුපුරා යෑමකින් මනුෂ්‍ය පැවැත්මට සිදු විය හැකි රෝග ආසාදන තත්ත්ව වෛද්‍ය වාර්තාවලට අනුව පහත පරිදි වේ.

පෙණහලු ආබාධ ඉන් ප්‍රධානය. සාමාන්‍යයෙන් දරු උපත්වලදී අඩු බර දරුවන් ඉපදීම ද සිදු විය හැකි වේ. එමෙන් ම මෙවැනි පුපුරා යෑමක දී පාංශු පරිසරයට DDT සහ BHC යන විෂ රසායනිකයන් එකතු වේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතු ය. විශේෂයෙන් ම ඒවා මනුෂ්‍ය ශරීරයට දරාගත හැකි තත්ත්වයෙන් ඔබ්බට ගමන් කිරීම බරපතළය.

යුද අවි ගබඩාවේ පිපිරීම හේතු කොටගෙන එම ප්‍රදේශයට කුමන ආකාරයේ පාරිසරික බලපෑමක් ඇති වේ ද, යන්න ගැන නිසි තක්සේරු වාර්තාවක් දිය හැක්කේ එහි පුපුරා ගිය, එනිසා ම පරිසරයට නිදහස් වූ රසායන විශේෂ මොනවා ද යන්න ගැන පූර්ණ අධ්‍යයනයකින් පසුව ය.

කෙසේ වුව පුපුරා ගොස් ඇත්තේ යුද අවි ගබඩාවක් වීමත් එවැනි පුපුරා යෑමක් තුළ කෘත්‍රිම රසායන සහිත පිපිරුම් සිදු වන්නේ ය යන හඳුනා ගැනීමක් මෙහිදී අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. එනිසා පොදුවේ ගත් කල රසායනික ද්‍රව්‍ය අන්තර්ගත පුපුරා යෑමකින් පරිසරයට සිදු විය හැකි හායනය සහ අවසානයේ එය මනුෂ්‍ය පැවැත්මට කුමන ආකාරයේ බලපෑමක් කළ හැකි ද යන තත්ත්වය ගැන පොදුවේ විමසා බැලීමක් මෙහි දී සිදු වේ. එය වනාහි මුලින් ද කී ආකාරයට අවදානමට පෙර සූදානම වැදගත් ය යන පිළිගැනීම මත සිදු කෙරෙන්නක් වේ.

රසායනික කාබනික දූෂකවල පවත්නා විශේෂ සහ භයානක ලක්ෂණය වන්නේ නොනැසී පැවැතීමයි. ඒ නිසා එවැන්නක් පරිසරයට එකතු වූ විට ප්‍රතිසංස්කරණය කළ නොහැකි ඇතැම් විට පහසු විසඳුම් සපයා ගත නොහැකි අවදානමක් එමඟින් ජෛව පැවැත්මට එක් වෙයි. ඒ ආකාරයට පරිසරයට එකතු වූ කල නොනැසී පවතින ජෛව පැවැත්මට නරක බලපෑම් එල්ල කරන හානි කාරක රසායන විශේෂ දොළහක් ගැන මේ වන විටත් අනාවරණය කරගෙන තිබේ. මෙසේ දිගු කාලයක් පවතින රසායන විශේෂ ඉතා කුඩා සාන්ද්‍රණ තත්ත්වයේදීත් විශාල වශයෙන් හානි පැමිණවීමට සමත් ය. පෘෂ්ඨයකට වේගවත්ව අවශෝෂණය වීමේ හැකියාවත්, ජලයේ දී අද්‍රාව්‍ය ස්වභාවයත් මේවායේ ඇති වෙනත් ලක්ෂණ වේ. මේ නිසා ම මනුෂ්‍යයා ප්‍රමුඛ ජීවි දේහවලට ඇතුළු වූ කල ද බොහෝ කාලයක් ඉවත් නොවී සිරුරු තුළ පැවැතීම එහි ඇති විපත්කාරී ලක්ෂණයයි. අනිත් කනගාටුදායක ලක්ෂණය වන්නේ එය සිරුරු මේදයේ දිය වීමට දක්වන හැකියාවයි. ඒ නිසා ඒවා මේදයේ තැන්පත් වීම වැළැක්විය නොහැකි ය. තව ද ආහාර දාමයට අදාළව ඉහළ මට්ටම්වලදී සිය සාන්ද්‍රතාව ඉහළින්ම පවත්වා ගැනීමට ද මේ දූෂිත රසායනිකයන්ට පුළුවන. එමෙන් ම ඒවායේ විෂ කාරක කොයි ආකාරයෙන්වත් අහෝසි නොවේ.

ඉහත කරුණු සලකා බැලීමේදී රසායන විශේෂ පරිසරයට එකතු වීම යනු සැම අතින්ම වැළැක්විය යුතු කාරණයක් වශයෙන් පෙන්වා දීම අමුතුවෙන් කළ යුත්තක් නොවේ යැයි සිතමි. එහෙත් පුදුමයට කරුණ වන්නේ එවැනි අවදානම් ගැන පූර්ණ අවබෝධයක් තිබියදීත් රසායන කම්හල්, අවි ගබඩා මනුෂ්‍ය ජනාවාස අතරේ ම ඉදිකිරීමට කටයුතු කිරීමය. මෙවැනි ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය ඒ හේතු කොටගෙන වගේම වෙනත් ද්‍රව්‍ය සමඟ එක් වීමෙන් හෝ ප්‍රතික්‍රියා කිරීමෙන් (Synergism) තවදුරටත් අවුල් සහගත ප්‍රතිඵල ඇති කිරීම නිසා හට ගන්නා රෝග තත්ත්ව පවා විනිශ්චය කිරීමේ අපහසු බවක් ඇති කොට තිබේ. වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාණවත් නොවීමට හෝ නොමඟ යෑමට ද ඉඩ තිබේ. රසායනික දූෂක පරිසරයට ‍එකතු නොකරනු යි පරිසරවේදීන් හඬ නඟා පවසන්නේ එසේ වුණහොත් ඒවායේ ප්‍රතිඵල නිවැරැදි කිරීම අතිශයින්ම අසීරු සංකීර්ණ තත්ත්වයක පැවැතීම නිසා ය. චර්නොබිල් රසායන කම්හල පුපුරා යෑමෙන් හටගත් බිහිසුණු ප්‍රතිඵල අදටත් ඉන්දියාවෙන් සහමුලින්ම තුරන් වී නැත.

බී. කේ. එම්. එස්. ආරියවංශ

13344761_1022849994488553_4498543303019299633_n.jpg

13347012_1022300631210156_1964207842729894377_n.jpg

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s