නිහඬ කළ සමාජ දේශපාලන සංවාදයක්

kk

තමන්ගේත් ජාතියේත් වගකීම ගැන තරුණ පරපුර අවධානය යොමු කළ යුතු කාලය එළැඹ තිබේ. ජාතික නිදහස දිනාගෙන රැකීරක්ෂා, ආහාර, නිවාස, අධ්‍යාපන සහ අනෙකුත් පොදු ප්‍රශ්න විසඳා ප්‍රීතිමත් සෞභාග්‍යවත් සමාජයක් කරා ජනතාව මෙහෙයවිය හැකි නව සංවිධානයක් අවශ්‍ය යැයි ගුණපාල පෙන්වා දුන්නේය. (පිරුණු හඳක්)

ඉතිහාසයේ නියමය අනුව කයිසාරුවත්තෙලාගේ බිඳ වැටුණු මහ ගෙදරින් එළියට එන නන්දා අවසානයේ දී පියල් සමඟ විවාහ වන්නේ ඒ වන විටත් කොළඹ නගරය කේන්ද්‍රීය ව ගොඩ නැ‍ඟෙමින් පැවැති නව සමාජ ආර්ථික බලයක් සහිත මධ්‍යම පන්තියට අහිමි ව තිබූ සාම්ප්‍රදායික ප්‍රභූත්වය ඊට එක් කර දෙමිනි. මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය නවකතාවේ මූලික සමාජ හරය වශයෙන් පැහැදිලි කරනුයේ එකී සමාජ පෙරළියයි. කෙසේ වුව ඒ නව සමාජ පන්තිය තුළ තමන්ගේ සාම්ප්‍රදායික මෙන් ම අතීත සංස්කෘතික ප්‍රභූත්වය ඉදිරි පරම්පරාව ඔස්සේ තවදුරටත් ඉදිරියට ගෙන යෑම නියතියක් නොව අනියතයක් බව ඇය ම වටහාගන්නේ එංගලන්තයේ අධ්‍යාපනය ලබා මෙරටට පැමිණෙන සිය දරුවන්ගේ සමාජ සංස්කෘතික හැසිරිම් කෙරෙහි සැලකිලිමත් වූ අතරවාරයේ දීය. එහි දී තමන්ට සහාය පළ කළ යුතු යැයි සිතූ සැමියා වන පියල් දරුවන්ට අනුබල නොදුන්නත් විරුද්ධත්වයකින් ද තොරව සිල්වතකු මෙන් පසු වීම ගැන නිසි වැටහීමක් ඇය ලබාගත්තේ දැයි පැහැදිලි නැත. ඒත් නන්දා ඒ වන විටත් සිටියේ ස්වකීය නොකිලිටි සාම්ප්‍රදායික පැවැත්මත් සමඟ ඉදිරියට යෑමට හෝ පසුබැස යෑමටවත් නො හැකි සන්ධිස්ථානයකය. වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාවේ එන සමාජ පෙරළිය ගැන නිසි වැටහීමක් නන්දාට නොවුණ ද ඉතිහාසයේ ගමන නිර්මාණය වී තිබුණේ ඒ අයුරිනි.

මහගෙදර ඒ අතීතය අරක් ගත් තැනකි. එය සුන්බුන් කරවන්නට සිත වන තරම් ළාමක බියක් නන්දාගේ සිතට ආවේය.
(කලියුගය)

එසේ සුන්බුන් වෙන අතීතයක නව ඉපිදවීම් ඇතිවීම ඉතිහාසයේ ම නියමයක් වේ. ඇතිවීම විසින් නිර්මාණය කරනු ලැබූව ද නැතිවීම ම ය ඇති වීම යන්න ඓතිහාසික සත්‍යයක් වේ. හැටේ දශකයේ දී තවත් එවැනිම සමාජ පෙරළියක නියෝජිතයන් ලෙසින් නිමල් හතුරුසිංහ මෙන්ම කුසුමාවතී ඉදිරියට එන්නේ ඒ අනුව ය.

ඒ වන විට මෙරට සිදු වෙමින් පැවැති සමාජ පරිණාමය අවස්ථා දෙකක් ඔස්සේ දැකගැනීමට හැකි ය. ඉන් පළමුවැන්න නිදහස් අධ්‍යාපනය පිහිට කොටගෙන ගැමි මැද පන්තියේ උගත් දරුවන් රජයේ පරිපාලන සේවාවත්, විශ්ව විද්‍යාලයිය අධ්‍යාපනයත් දිනා ගැනීමයි. දෙවනුව නාගරික සංස්කෘතිය තුළ උගත් මැද පන්තියක් වශයෙන් තහවුරු වීමට ද මොවුහු සමත් වූහ. සර් අයිවර් ජෙනිංග්ස්ලාගේ බටහිර මොඩලයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සරච්චන්ද්‍රලාගේ සිංහල නාට්‍ය කලාව නැඟී එන්නේත්, ඉංග්‍රීසි යටත් විජිතවාදයෙන් උපන් මෙරට පරිපාලන සේවාවට එම්. ජේ. පෙරේරාලා, ලීල් ගුණසේකරලා වැනි සිංහල ගැමි මැද පාන්තික පසුබිමක් සහිත ද්වී භාෂා උගතුන් පත් වන්නේත් නිදහස් අධ්‍යාපනය මුල් කොටගෙන මෙරට ඇති වූ සමාජ නිදහසේ ප්‍රතිඵලයක් වශයෙනි. කරුණාසේන ජයලත්ගේ ගැහැනු ළමයි, හතුරු හිතක්, පිරුණු හඳක් යන තුන් ඈඳුතු නවකතාවන්හි සමාජ දේශපාලන පෙළගැස්ම අපට පවසන්නේ ඒ කතාවයි.

එතැනදී නිමල් හතුරුසිංහ චරිතය පවසන්නේ කුමක් ද? නිමල්ගේ තාත්තා ඩ්‍රැයිවර් කෙනෙකි. උපයන මුදලින් පමණ ඉක්මවා සුරා පානය කරන්නෙකි. කොළඹට තදාසන්න ප්‍රදේශයකට පැමිණ පදිංචි වන ඔවුන්ගේ මුල් කාලය ආර්ථික අමාරුකම් මැද ගෙවුණකි. නමුත් ගම්පෙරළියේ පියල්ලා කොළඹට පැමිණ සුදු ජාතිකයන් හා එක් ව කොන්ත්‍රාත් හා විවිධ වෙළෙඳ ව්‍යාපාර ඔස්සේ ඇති කළා වූ කොළඹ ආර්ථිකය තුළ නිමල්ගේ මව මුලින් ම එළවළු වෙෙළඳාමක් පටන් ගනියි. ඒ උපයන මුදලින් ම පොලියට ණය දෙමින්, උකස් ගනිමින් සැලකිය යුතු ධනයක් උපයාගෙන අලුතින් නිවසක් ද තනයි. මෙසේ කොළඹට තදාසන්නව ගොඩ නැ‍ඟෙන මෙවැනි සමාජ වරප්‍රසාද නොලත් සුළු ව්‍යාපාරිකයන් තමන්ට අහිමි සමාජ වරප්‍රසාද අත් කරගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා සිය දරුවන් ඉහළ රැකියාවකට යැවීමට කටයුතු කිරීමෙනි. ගමේ පාසලේ උගෙන මධ්‍ය මහා විද්‍යාල සංස්කෘතිය හරහා විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබා ඩියාරෝ කෙනකු වශයෙන් නිමල් තමා හැදුණු වැඩුණු ප්‍රදේශයට පැමිණෙන්නේ අර කී වුවමනාව ඉටුකළ යහපත් පුතකු වශයෙනි.

නිමල් සහ කුසුම් අතර ඇතිවුණු සුන්දර ප්‍රේම සම්බන්ධය සහ එහි විරහව අප අරගන්නේ යොවුන් ප්‍රේමය නම් පටු එහෙත් සංවේදී කියවීමෙනි. ඒ නිසාම ඒ පසුබිමේ වූ සමාජ දේශපාලන ගනුදෙනුව ගැන කතා කරන්නට අමතක වුණේ පාඨකයන් වූ අපට පමණක් නොවේ. විචාරකයෝ ද එය නොතකා හැරියෝ ය.

සමීප ඇසුර හේතු කොටගෙන නිමල් කුසුම් ගැන සෙනෙහසක් ඇති කරගැනීමත්, ඇය ඊට නතු වීමත් ඔවුන්ගේ යොවුන් විය තුළින් එය ඒ සා සියුම් අයුරින් මතු කරගැනීමට ජයලත්ට වූ හැකියාව නිසි ඇගැයීමකට තබා සාමාන්‍ය කතාබහකටවත් ලක් වුණේ දැයි පැහැදිලි නැත. ඒ ආකාරයට පසුබිම්ගත සමාජාර්ථික දේශපාලන සාධකවලින් තොර සිහිනයක් වැනි අවකාශයක් තුළ ගලා යන ඒ සංවේදී විචිත්‍ර ප්‍රේමය එසේ නිරූපණය කිරීමට ඔහුට වූ හැකියාව වෙනම කතා කළ යුත්තකි. ඒත් ඒ වූ නිසාම එය නියතියක් බවට පත් වන්නේ නැත. අනියතයක් වන එවන් සියුම් ආහ්ලාදමය අත්දැකීම් මිනිසුන් සිය ජීවිත කාලය තුළ දී එක් වරක් හෝ නියතියක් සේ අත් විඳින බව ද මෙහි දී අමතක කළ යුතු නැත. නිමල් හතුරුසිංහ සහ කුසුමාවතී අතර ඇති වන යොවුන් ප්‍රේමය ද එවැන්නකි.

එහෙත් ඩියාරෝ පදවියට පත් ව නව සමාජාර්ථික තලයකට පිවිසෙන නිමල්ට ඔහු සතු ව දැනට පවතින සමාජ සහ ආර්ථික පසුබිම ප්‍රමාණවත් නොවන බව මුලින් ම අවබෝධ කරගන්නේ කාලානුරූප ඉවකින් කටයුතු කරමින් එම පවුලේ ආර්ථිකය ඒ තරමින් නඟාසිටුවීමට කටයුතු කළ ඔහුගේ මව ය. කුසුම් හමු වී තමාට තම පුත්‍රයාව බේරා දෙන්න යැයි ඇය කරන ඒ කාරුණික ඉල්ලීම තුළ තිබෙන්නේ අර කී දැඩි සමාජ අවබෝධයයි. මේ ආකාරයට කුසුම්ගේ අහිංසකත්වය, ගැමි සංස්කෘතික හැදියාව, ධෛර්යය මෙන්ම උකටලී නැති බව නිමල්ගේ මවගේ ඇගැයීමට ලක් වුණත්, නිමල්ගේ ඉදිරි සමාජ පැවැත්ම තවදුරටත් වැඩි දියුණු කරගැනීමට ඒවා ප්‍රමාණවත් නොවන බවට ඇය තීරණය කොට තිබිණි. කුසුම් ගේ අසරණ, අනාථ විරහය නිර්මාණය වන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.

නිමල් මට ලබාගත හැකි ය යන විශ්වාසයත්, බලාපොරොත්තුවත්, සතුටත් ඇතිව මම මොහොතකට ජීවත් වුණෙමි. ඒ ජීවිතය සිහින ලොවකට අයිති එකකි. මට එහි සදහට ම වාසය කළ නො හැකි ය. මා එයින් චුතව සැබෑ ලොවට ම පිවිස සත්‍යයට මුහුණ දිය යුතු ය. (පිරුණු හඳක්) ඒත් සමඟ ම ඇයට ඇති වන ප්‍රශ්නයක් තිබේ. ඒ සත්‍යය කුමක් ද යන්නයි. කුසුම් ගේ ඒ පැනයට පිළිතුරු දීමට දෙදෙනකු ම ඉදිරිපත් වෙයි. ඉන් එකෙකු නිමල්ලාගේම සමාජ පසුබිමින් උපන් රෝහණ හතුරුසිංහය. අෙනකා කුසුම්ලාගේම සමාජ පන්තියට අයත් ගුණපාල ය.

රෝහණ වැන්නවුන් ගත යුත්තේ තමන්ට හිමි සමාජ පැවැත්ම තුළ අතරමං වූවන් වශයෙනි.

මුලදී සෙල්ලක්කාරයකු ලෙසත්, පසු ව සිය සමාජ පන්තිය ගැන උපන් කලකිරීමෙන් යුතුවත් හැසිරෙන රෝහණ තම අරාජික මනස සුවපත් කර ගැනීමට කුසුම් කෙරෙහි බැ‍ඳෙන්නට ද උත්සාහ කරයි. ඇතැම් අවස්ථාවල දී ඔහුගේ මතය සමඟ කුසුම් ද එකඟ නොවුණා ම නොවේ. නිමල්ට සාපේක්ෂව නිර්භීත බවක් ඇය රෝහණ තුළින් නොදකිනවා ම නොවේ. එහෙම වුණත් ඔහු ගේ හැසිරීම තුළ කුමක්දෝ නො පවතින බවක් ඇතැයි ද හැ‍ඟෙයි. ඒ බව සනාථ කරමින් ඔහු අකාලයේ මරණයට ද පත් වෙයි.

කුසුම්ගේ මානුෂිය විරහය හමුවේ මතුවෙන අෙනක් චරිතය වන ගුණපාල, කුසුම්ලාගේ ම සමාජ පන්තියට අයත් වූවෙක් ය යන්න ඉහත දීත් කියැවුණි. රෝහණ මෙන් අයාලේ යන්නකු නොවන සංවිධානාත්මක දේශපාලන වැඩපිළිවෙළක් පසුබිමේ තබාගෙන කුසුම් ඉදිරියට එන ඔහු කුසුම්ගේ මානුෂීය විරහය පුද්ගල ප්‍රශ්නයක් ලෙසින් නොව සමාජ දේශපාලන දෘෂ්ටි කෝණයකින් ඉදිරිපත් කරනු දැකිය හැකි යි.

කුසුම්ගේ පවුලයි හතුරුසිංහගේ පවුලයි එක් කාලෙක ආර්ථික අතින් සාමාන්‍යයෙන් එක තරමක තිබුණා. ටික කලකදී ඒ පවුල ආර්ථික අතින් කලඑළියෙන් දියුණු වුණා. කුසුම්ට නිමල් අත්අරින්න සිදු වුණේ ඒකයි… පන්ති භේදය තියෙන සමාජයේ හැම දෙයක් ම බලන්නෙ සල්ලිවල වටිනාකම උඩ.
(පිරුණු හඳක්)

රජයේ කාර්යාලය මිනිසාගේ ආත්මය මරන තැනකි. වැරදි අධ්‍යාපන ක්‍රමය විසින් පාසලේ දී විනාශ කර දමා ඉතිරි වූ ආත්මය මරා දමා අවසානයක් කර දැමීමට සුදුසු පරිදි කාර්යාලය සකස් වී තිබේ. සුද්දන් රජයේ පරිපාලන සේවය සකස් කරන ලද්දේ මෙරට වාසීන්ගේ යහපත සැලසීමට නොව තමන්ගේ අයිතිවාසිකම් හා වුවමනාවන් රැක ගැනීමට පහසු වන පරිද්දෙනි. (එම) ඒ ආකාරයට ගුණපාල කුසුම් ගේ මානුෂීය විරහව දීර්ඝ සමාජ දේශපාලන විග්‍රහයක් බවට පත් කර ගනියි.

කෙසේ වෙතත් ගුණපාල හා සමානව ම යථෝක්ත පෙන්වා දීම් තමන් තුළට අවශෝෂණය කර ගැනීමට කුසුම් සමත් නොවන්නේ ඇගේ දැනුමේ අඩුවක් නිසා නොවේ. යහපත හඳුනන, සදාචාරයට ගරු කරන පොදු ගැමි විඥානයක් ඇති සංස්කෘතික තරුණියක වශයෙන් ඇය නිතරම යොමු වුණේ මානුෂිය පැවැත්මේ යහපත් බව අගය කිරිමට ය. ගුණපාල මිනිහෙක් හැටියට දාහකගෙන් හොයාගන්න බැහැයි ඇය කියන්නේ ඒ අනුව යමිනි. ඒ නිසාම අනුලා හා සමානව ම ගුණපාල හා බැඳුණු දේශපාලන ක්‍රියාකාරිත්වයේ අනුගාමික චරිතයක් බවට ඇය පත් නොවෙයි. එහෙත් අවසානයේ දී එයට ඊට තල්ලු වී යයි.

කරුණාසේන ජයලත්ගේ තුන් ඈඳුතු නවකතා පෙළගැස්ම පශ්චාත් නිදහස් යුගයේ නිදහස් අධ්‍යාපනය හරහා ගොඩනැඟුණු සමාජ පරිවර්තනය කතාබහට ලක් කිරීමක් ය යන්න ඉතා පැහැදිලිවම දකින්නට තිබිය දීත් ඒවා බොලඳ නවකතා යැයි ප්‍රතික්ෂේප වීම සැලකිය යුත්තේ විචාරක කුඩුකේඩුමක් වශයෙනි. යටත් විජිතවාදී පාලන ක්‍රමය තුළ මෙරට ඇති කෙරෙන අධ්‍යාපනය හරහා ඉස්කෝලේ මහත්තයා ය යන සමාජ තත්ත්වයක් පියල්ට ලැබුණ ද එය නිමල් හතුරුසිංහලාට මෙන් සමාජ වරප්‍රසාදයක් වූයේ නැත.

ඒ වන විටත් සමාජ ප්‍රභූත්වය අත්කරගෙන සිටි කයිසාරුවත්තෙලාගේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය වන්නේ ටෙලිග්‍රෑම් එකක් කියවාගත හැකි තරමට පමණි. නමුත් නිමල් හතුරුසිංහලාගේ කාලය වන විට මේ තත්ත්වය වෙනස් වෙමින් නිදහස් අධ්‍යාපනය සමාජ වරප්‍රසාදිත තත්ත්ව කරා ගමන් කරන සේද මාවතක් බවට පත් ව තිබිණි.

මුල් කාලීනව කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් යන විශ්වවිද්‍යාල හරහා ඉහළ අධ්‍යාපනය ලබා මෙරට සිවිල් සේවාවේත්, දේශපාලනයේත් ඉහළ අසුන් අත්පත් කරගත් ප්‍රභූ පාන්තික දරුවන් වෙනුවට සාමාන්‍ය පාන්තිකයන් ගේ දරුවන් නිදහස් අධ්‍යාපනයේ වහළින් අර කී උසස් සමාජ තලයට පිවිසීම වඩාත් හොඳින් තහවුරු වන්නේ 1956 එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දේශපාලන ජයග්‍රහණයත් සමඟ ය. පනස් හයේ දේශපාලන ජයග්‍රහණය ගැන වාද ප්‍රතිවාද ඇතත් ඒ නිසා සිදු වූ දේශපාලන බල පෙරළිය මෙන් ම සමාජ හර පෙරළිය නම් සුළුවෙන් තක්සේරු කළ නො හැකි ය.

ඒ සමාජ විපර්යාසයේ පුරෝගාමි චරිත වශයෙන් නිමල් හතුරුසිංහලා නව සමාජ දේශපාලන අධිකාරිය තුළ ස්ථානගත වෙද්දී ඔවුන් විසින් අත්හැර දමන ලද මුල් යටගියාව වන කුසුම්ලාට හිමි වූයේ අධ්‍යාපනය ලත් එහෙත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හරහා පරිපාලන ප්‍රවේශය හෝ ගුරු හෝ වෙනත් රැකියා අවස්ථාවක් නොලත් රැකියා විරහිත තරුණ සමාජයටය. තමන්ගේ දිලිඳු නිවස යම් පමණකින් හෝ අලුත්වැඩියා කරගැනීමට නිවසට වී බීඩි ඔතන්නටත් පසුව සමූපකාරයේ ගණන් එකතු කරන්නත් කුසුම්ට සිදු වන්නේ එවැනි පසුබිමක් තුළ ය.

එහෙත් එතැන දී ඇයගේ සමාජ පන්තිය අත්විඳින්නේ ඔවුන්ව අත්හැර ගිය නිමල් හතුරුසිංහලාට ලැබුණු වරප්‍රසාදිත සමාජ තත්ත්වය නම් නොවේ රෝගී වන දෙමාපියන්ට දුක සේ ඇප උපස්ථාන කරන්නටත්, පෙරේරා වැනි සමූපකාර මැනේජර්ලාගේ ලිංගික කෙනෙහෙලිකම් ඉවසා ගන්නටත් කුසුම්ලාට සිදු වෙයි. අනුලා වැනි චරිත ගුණපාලලාගේ දේශපාලන විග්‍රහය කොන්දේසි විරහිතව අනුමත කරන්නේ ද ඒ නින්දාව දැකීමෙනි. 60 දශකයේ අවසානය වන විට වඩා වේගයෙන් කොළඹට තදාසන්න ගැමි ප්‍රදේහ හරහා මතුවන තරුණ අසහනය නම් සමාජ දේශපාලන සංසිද්ධිය හමුවේ අර අසහනකාරී තරුණ විය සිය වැඩිහිටියන්ගේ කීර්තිමත් දේශපාලන ජයග්‍රහණය වූ 56 ජයග්‍රහණය විවේචනය කළේ මැදහත් සිතින් නොවේ. අවඥාවෙන් ම වේ.

නිදහස් අධ්‍යාපනය හේතු කොටගෙන මෙරට ඇතිවූ මධ්‍ය මහ විද්‍යාල සංස්කෘතිය තුළ දී යොවුන් පරපුර ලද විශේෂ නිදහස තවදුරටත් ගම්පෙරළියේ නන්දාගේ ශික්ෂිත සංස්කෘතික හැසිරීම ආරක්ෂා කළේ නැත. ජයලත්ගේ ගොළු හදව තේ දම්මි ප්‍රකට කරන්නේ ඒ ආකාරයට ලබාගත් සමාජ නිදහසයි. ඒ නවකතාවේ දී නිදහස දම්මිගේත් සුගත්ගේත් යොවුන් ප්‍රේමය මුල් කොටගත් චරිත විග්‍රහයක් බවට පත් වුණ ද (එහි දෙවන අවස්ථාව අපට දකින්නට ලැබෙන්නේ ‘බඹා කෙටූ හැටි’ හිදීය.) පසුව බිහි වන අනුලා, කුසුම් වැනි චරිත දේශපාලන ආස්ථානයක් තෝරා ගැනීමට එය උපයෝගී කරගත් සැටි ඍජු ලෙස ම දැකිය හැකි ය. එමෙන්ම සමාජගත වූ අධ්‍යාපනයත් සමඟ නව අදහස්වලින් ලද නිර්භීත බවක් ද ඒ නිසා ම දම්මිගේ හුදු දඟකාරිත්වයට එහා ගිය විරෝධතාව පළ කරන්නියකගේ ස්වභාවයක් කුසුම් මෙන්ම අනුලා වෙතින් ප්‍රකට වේ. මේ ආකාරයට 70 දශකයේ මුල් අවධියේ දී පුපුරා යන අවි ගත් තරුණ නැගිටීමේ අදහස් මෙන් ම සමාජ සාධක මොනවා දැයි සාකච්ඡා කිරීමට කරුණාසේන ජයලත් නම් නවකතාකරුවාට තිබූ වුවමනාව ඔහුගේ තුන් ඈඳුතු නවකතාවන්හීත් විශේෂයෙන් ම එහි අවසන් කෘතිය වන ‘පිරුණු හඳක්’ තුළදීත් මැනැවින් නිරූපණය වී තිබේ.

තරුණ තරුණියන් තමන් වැටී සිටින මේ අවාසනාවන්ත තත්ත්වය තේරුම් ගන්නා මෙන් ගුණපාල තම පොතෙන් ඉල්ලීමක් කළේ ය. තමන්ගේත් ජාතියේත් වගකීම ගැන තරුණ පරපුර අවධානය යොමු කළ යුතු කාලය එළැඹ තිබේ. ජාතික නිදහස දිනාගෙන රැකී රක්ෂා, ආහාර, නිවාස, අධ්‍යාපන සහ අනෙකුත් පොදු ප්‍රශ්න විසඳා ප්‍රීතිමත් සෞභාග්‍යවත් සමාජයක් කරා ජනතාව මෙහෙයවිය හැකි නව සංවිධානයක් අවශ්‍ය යැයි ගුණපාල පෙන්වා දුන්නේය.
(පිරුණු හඳක්)

එහෙත් ඒ ආකාරයට නිසි වැඩ පිළිවෙළක් සමාජ දේශපාලනික වශයෙන් ඇත්තට ම සිදු වුණේ දැයි අදටත් පැහැදිලි නැත. ඒ වෙනුවට සිද්ධ වුණේ එතෙක් යම් යම් සමාජ තලයන් හි ඊට සාපේක්ෂ ව ආරක්ෂා වී පැවතුණු පවුල් සංස්ථාව පවා සමාජීය වශයෙන් විසිර යන තත්ත්වයක් නිර්මාණය වීම බව ජයලත් ඔහුගේ පසු නවකතාවලින් පෙන්වා දෙයි. නාගරික සංස්කෘතිය සැලැස්මකින් තොරව තදාසන්න ගැමි ප්‍රදේශ වසාගෙන ගලාගෙන යෑමෙන් සුන්බුන් වූ අවශේෂ සමාජ සංස්කෘතියක් සමඟ අසංවර්ධිත සමාජාර්ථික වටපිටාවක් ද හැරුණු කල මෙරට ඇති වූ සමාජ දේශපාලන සංවර්ධනය කුමක් ද යන ප්‍රශ්නය අදටත් අප හමුවේ පවතින බව ජයලත් සිය කාලයට සාපේක්ෂව අවබෝධ කරගෙන සිටියේය.

කුල කුමරිය වැනි කොයි ආකාරයෙන්වත් නිසි තක්සේරුවකට ලක් නොවූ නවකතාවක් ඒ බැව් මැනැවින් පෙන්වා දී Karunasena-Jayalath (1).jpgතිබේ. නාගරික සංස්කෘතියේ අසංවිධානාත්මක ව්‍යාප්තිය එය නඩත්තු කළ හැකි ආකාරයේ නිෂ්පාදන හෝ සේවා මූලික ආර්ථිකයක් ගොඩනැඟීමට රටක් වශයෙන් අප අපොහොසත් වීම ගැන කතා කිරීමට පාදක නවකතාවක් වේ නම් ඒ ජයලත්ගේ ‘කුල කුමරිය’ යි. නිමල් හතුරුසිංහලාගේ කාලයේ මෙරට සේවා මූලික ආර්ථික පැවැත්ම ශක්තිමත් ව තිබුණ අතර එහි අනුභාවයෙන් නගර සංස්කෘතිය තුළ ශක්තිමත් බුද්ධිමත් මැද පන්තියක් නිර්මාණය කරගැනීමට ඔවුන්ට හැකි විණි. ඒ අනුව උසස් නවකතා, නාට්‍ය, චිත්‍රපට මෙන්ම සෙසු කලාවන් ද ඉස්පාසුවක් ඇතිව රස විඳිමින් සිය උගත්කම ද ප්‍රදර්ශනය වන ආකාරයට විචාර ඇගැයීම් ලිවීමට ඔවූහු යොමු වූහ. එහෙත් කුල කුමරිය ලියැවෙන කාලයේ දී ඒ උගත් මැද පන්තිය දෙදරීමකට ලක් ව තිබු අතර ඊට පහළින් දරිද්‍රතාව හිසින් ගත් පහළ මැද පන්තියක් ද නිර්මාණය වෙමින් තිබිණි. ජයලත් එය චරිත කිහිපයක් හරහා විස්තර කරන්නේ පහත ආකාරයෙනි.

පවුලේ බාලයා වන පාසල් ශිෂ්‍යාව එහි කථකයා වෙයි. පොඩි අයියා ආවාට ගියාට ඉස්කෝලෙ යන තවත් එවැනිම මිතුරන් කණ්ඩායමක් සමඟ මොකක් හෝ සයිඩ් බිස්නස් එකක් කර මුදලක් අතට ගන්න සිතන එවකට සිටි තරුණ පරපුරේ නියෝජනයකි. එහෙත් ලොකු අයියා අධ්‍යාපන කටයුතු කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නෙකි. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ ලිපිකරුවකු වන ලොකු අයියා සතියකට දින තුනක් ගණකාධිකරණය ඉගෙනීම සඳහා බ‍ාහිර පන්තියකට යයි. පසුව ගණකාධිකාරවරයකු වශයෙන් උසස් වීම් ලබන ඔහු විවාහ වී විදේශගත වෙයි. යළි මව් රට නො එයි.

අක්කා ලඝු ලේඛිකාවක මෙන් පෞද්ගලික ආයතනයක කටයුතු කරන්නී ය. පහෙන් පසුව ටෙරන්ස් (ඇගේ පෙම්වතා ය.) කොහේ හෝ යෑම ඇගේ දින චරියාවේ කොටසකි. පසුව ඒ පෙම්වතාව ද අත්හැර විදේශ සේවාවට සම්බන්ධ වන ඇය එහිදී ඇති කරගන්නා සම්බන්ධතාවක් මත ජර්මනිය බලා යන්නේ එහෙ හොඳ ජොබ්ස් එහෙමත් තීනවා යි කියමිනි. එහෙත් පසුව ආරංචි වෙන්නේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙරටින් ගෙන ගිය රූමත් තරුණියන් කිහිප දෙනකු එරට ගණිකා වෘත්තියේ යොදවා ඇති බවයි. ඒ අතර අක්කා ද සිටින බවයි. මේ ආකාරයට පහළ මැද පන්තිය මුල් කොටගෙන විසිර යන පවුල් ඒකකය හරහා නවකතාකරු පෙන්වා දෙන්නේ ඉකුත් කාලය පුරා අප සතු උගත් මානව සම්පත් අපට අහිමිවූ ආකාරයයි. ඒ හරහා රට දිගින් දිගට ම අසංවර්ධනයේ සීමාවන් තුළ සිරගත වෙමින් දරිද්‍රතාව වැලඳ ගත් ආකාරයයි.

උදාහරණයක් ලෙස අධිවේගී මාර්ග රට පුරා ඇති කරන්නට උත්සාහ කළේ කුමන කරුණක් නිසා ද යන්න ගැන අදටත් අපි නොදනිමු. ජයලත්ගේ කුල කුමරිය තීරණාත්මකවත්, අවසාන වශයෙනුත් අපට පෙන්වා දෙන්නේ අද වන විට මේ රටේ අපට ඉතිරි වී සිටින්නේ ශිෂ්‍යයනුත් ලිපිකරුවෙකු ලෙස කටයුතු කරමින් බීමට ඇබ්බැහි වෙමින් හෙටක් ගැන නොසිතන ගෘහ මූලිකයන් මෙන් ම ඒ සියල්ල මැද දුක් අනුභව කරන ගෘහිණියන් පමණක් බවයි. ඒ අතර තරුණ පරපුර තුළ බොහෝ දුරට අදටත් පවතින්නේ රටේ ම අවතැන් වුණු පොඩි අයියාගේ මානසිකත්වයයි. ලොකු අයියලා වැනි බුද්ධිමතුන් රට හැර ගොස් ඇත්තේ යළිත් මෙරටට නො එන්නට ය. එහෙත් අවාසනාවකට මෙන් මේ විග්‍රහය හරහා සිය දේශපාලන දැක්ම හෘදයංගම අයුරින් මුවහත් කරගැනීමට තරුණ වාමවාදී දේශපාලනඥයන් පවා සමත් වී නැත. රටේ සමස්ත දේශපාලනයම නන් දොඩවන තැනකට පත් ව ඇත්තේ මේ සමාජ සාහිත්‍යයික කියවීම ඔවුන්ට ද නැති නිසා බව පැහැදිලි ව ම දකින්නට තිබේ.

කරුණාසේන ජයලත් ගේ නවකතා පශ්චාත් නිදහස් යුගයේ නිදහස් අධ්‍යාපනයෙන් ඇති වූ සමාජ පෙරළියේ නැගීම සහ බැසීම ගැන කියන්නකි. ඒත් කියැවීම අදටත් මෙරට සමාජ දේහයට අව්‍ය කරන අයුරින් එන්නත් කිරීමට සාහිත්‍ය විචාරකයන් යැයි කියාගන්නා අයට ද හැකි වී නැත. එක්කෝ ඔවුන් ඒ ගැන කතා කිරීමට කැමැති නැත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s