“පාන් නැත්නම් කේක් කාපල්ලා!” කියා මාරි ඇන්ටොයිනට් කවදාවත් කිව්වෙ නෑ

ඒ කතාව එහෙම නෙවෙයි

BRAND_BIO_BSFC_154724_SF_2997_005_20140124_V1_HD_768x432-16x9.jpg

see mover-http://www.silumina.lk/2015/10/04/_art.asp?fn=ss1510048

ඒ කියුම අප අතරට පිවිස ඇත්තේ පාන් හිඟයෙන් පීඩාවට පත්ව මැසිවිලි නැඟූ පැරිසියේ දුගී ජනතාවට මාරි ඇන්ටොයිනට් බිසව (1755 – 1793) දැක් වූ ප්‍රතිචාරයක් ලෙසිනි. මේ කියුමට පදනම් වූ ඉංග්‍රිසි කියුම වන්නේ “Let them eat cake!” යන්න ය. මෙහි කේක් යන්න යෙදී ඇත්තේ මුල් ප්‍රංශ කියුමෙහි වූ brioche යන වචනය වෙනුවටය. එහෙත්,brioche යන්නෙන් හැඳින්වෙන්නේ කේක් වැනි සුඛෝපභෝගී කෑමක් නොව පුංචි, වටකුරු පැණිරස පාන් විශේෂයක් බව විද්වත්හු පෙන්වා දෙති. සමහර විට ඒවා අපේ බනිස් වැනි කෑමක් වන්නට ඇත. සාමාන්‍ය පාන් තොග අවසන් වූ කල්හි ඒ වාගේ මිලට ම බ්‍රිකේෂ් සහ වෙනත් විසිතුරු පාන් වර්ග පාරිභෝගිකයාට විකිණීමට 18 වැනි සියවසේ පැරීසියේ බේකරි හිමියෝ නීතියෙන් බැඳී සිටියහ. පාන් ලබා ගත නො හැකි වුව ද දුගී ජනතාවට බඩගින්නේ සිටීමට ඉඩ නො තැබිය යුතුය යන අදහස, මුල් ප්‍රංශ කියුමෙන් සමහර විට අදහස් කෙරෙන්නට ඇතැයි සිතිය හැකිය.

මාරි ඇන්ටොයිනට් බිසව (1755 – 1793) දුගී ජනතාව ගැන තැකීමක් නො කළ උද්ධච්ච, නාස්තිකාර කාන්තාවක වූ බව පැරිසියේ එදා ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා ක්‍රමවත් ව ප්‍රචාරය කරනු ලැබූ බව පෙනෙන මේ කතාව අද පවා ඇතැම් අය වගවිභාගයකින් තොරව විශ්වාස කරති. එහෙත් මේ කතාවේ කර්තෘත්වය ඇගේ අවදියට පෙර විසූ තවත් රජ කුමරියන්ට ද – විශේෂයෙන් ම XV වැනි ලුවී ගේ මෙහෙසිය වූ මාරි තෙරේස්ට ද – ආරෝපණය කරනු ලැබ ඇති බව පෙනේ.

ඒ කෙසේ වුවත් ජන් ජේකස් රූසෝ (1712 – 1778) නම් දාර්ශනිකයා ඔහුට 1740 දී මාරි ඇන්ටොයිනට් උපදින්නටත් වසර 15 කට පෙර ග්‍රිකෝබල් ප්‍රදේශයේ දී මුහුණ පෑමට සිදුවූ සිද්ධියකට අදාළ ව ඒ කියුම ඔහුගේ කෘතියක ලිඛිතව දක්වා ඇත. ඔහු පෞද්ගලික ගුරුවරයෙකු වශයෙන් ජීවිකාව ගෙන ගිය එසමයෙහි වයින් ස්වල්පයක් සොරා ගත්තේය. එය පානය කිරීමේ දී කෑම සඳහා පාන් කැබැල්ලක් සපයා ගන්නේ කෙසේදැයි කල්පනා කළ ඔහු “ගොවියන්ට කෑම සඳහා පාන් නොතිබුණ බව අසන්නට ලැබුණ කල්හි එක්තරා වැදගත් රජකුමරියක් එයට විසඳුමක් වශයෙන්, ‘එහෙම නම් ඔවුන් කේක් කාපුදෙන්’ යනුවෙන් යෝජනා කළ බව තමාට සිහිපත් වී යැයි ඔහු සඳහන් කර ඇත. (පාපොච්චාරණ – 7 වැනි කොටස) රූසෝ ඔහුගේ පොත ලියුවේ 1766 දීය. මාරි ඇන්ටොයිනට් ඒ වන විට වත් ප්‍රංශයට පැමිණ සිටියේ නැත.

ප්‍රංශයේ රාජාණ්ඩුවට එරෙහිව රැඩිකල් මත දැරූ ජැකොබින් පාක්ෂිකයෝ රූසෝ, මොන්ටෙස්කි වැනි දේශපාලන දාර්ශනිකයන්ගේ අදහස් වෙත දැඩි ලෙස නැඹුරු වූහ. XVI වැනි ලුවී රජුගේ සමීප ඥාතියෙකු වුවත් මාරි ඇන්ටොයිනට් බිසවට වෛර කළ ඕර්ලියන්ස් හි ෆිලිප් ආදිපාදවරයා ජැකොබින්වරුන්ගේ ප්‍රබල අනුග්‍රාහකයෙකු වූ බව මෙහිදී සැලකිය යුතු කරුණකි.

Storming_of_the_Bastille.jpg

ඔස්ට්‍රියාවේ මරියා තෙරේසා එම්ප්‍රදෝරු බිසව 1770 වසරේ ඇගේ 15 හැවිරිදි දියණිය වූ මාරි ඇන්ටොයිනට් කුමරිය ප්‍රංශයේ ඔටුන්න හිමි කුමාරයාගේ මෙහෙසිය වනු පිණිස පිටත් කර යැව්වාය. අස් රිය 57 කින් පිරිවරනු ලැබූ කුමරිය වාර්සේල්ස් මාලිගාවට පිළිගනු ලැබුවේ මහත් උත්සවශ්‍රීයෙනි. එසේ ම රාජකීය විවාහය ද සිදු විය. එහෙත් ඔටුන්න හිමි කුමාරයාගේ “නො දැනුවත්කම” හෝ අමනක ම නිසා ඒ විවාහය සැබෑ අරුතින් නියතියට පත් වූයේ ඉන් හත් අවුරුද්දකට පමණ පසුවය!

මහලු රජුගේ ඇවෑමෙන් 1774 දී කුමාරයා XVI වැනි ලුවී නමින් රජකමට පත් වූයේය. ඒ අයුරින් ඔහුට පාලනය කරන්නට සිදු වූයේ ආර්ථික වශයෙන් පරිහානියට යමින් තිබුණ රටකි. එංගලන්තය සමඟ තිබුණ විරසකය නිසා ඇමරිකන් සිවිල් යුද්ධයට නොමසුරු ව උදවු දීමේ ප්‍රතිපත්තිය ද රටේ බංකොලොත් භාවයට හේතු වූයේ ය. මාරි ඇන්ටොයිනට් බිසව කාරුණික අයෙකු ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනා ගන්නට සමත් වූවාය. එහෙත් ඇය අධික වියදම්කාරියක වූ බව සැඟවිය හැකි කරුණක් නො වීය. සෙල්ලක්කාරයෙකු වූ XVI වැනි ලුවී ඉතා අදක්ෂ පාලකයෙක් වූයේ ය. තමාගේ පවුලේ ආරක්ෂාව ගැන වග බලා ගැනීමට තරම් වත් විචක්ෂණ බවක් ඔහුට නො තිබුණි.

XVI වැනි ලුවීගේ සහ මාරි ඇන්ටොයිනට්ගේ පුරවැසියන්ගෙන් කවරෙකුට වුවත් සිඟා කෑම සඳහා ‍කො වී නම් සුදුසු ඇඳුම්වලින් සැරසී වාර්සේල්ස් මාලිගයෙහි සංචාරය කරන්නට අවසර තිබිණ. පිටස්තර ජනයා සමඟ තම සයනාගාරයේ දී සාකච්ඡා පැවැත්වීමට තරම් රජ බිසව ද විවෘත වූවා ය. එහෙත් ඒ තත්ත්වය ඉක්මනින් ම වෙනස් විය. ඇය අවමානයට ලක් කරමින් නොයෙක් කයි කතන්දර, කැලෑ පත්තර පැරිසියෙහි පළවන්නට පටන් ගැනිණ. ඇතැම් ඕපාදූපවලින් ඇයට එරෙහිව පදනම් විරහිත ලිංගික අපචාර චෝදනා එල්ල විය. රටේ පාලනය අවුල් සහගත විය. 1789 ඔක්තෝබර් 6 වැනිදා උදේ කලහකාරී ගැහැනු පිරිසක් මාරි ඇන්ටොයිනට්ගේ බඩවැල්වලින් රේන්ද ගොතන බවට තර්ජනය කරමින් ඇගේ නිදන කාමරයට කඩා වැදුණහ. ඇය ඔවුන්ගෙන් බේරුණේ රහස් දොරටුවකින් රජුගේ කාමරයකට රිංගා ගැනීමෙනි. ඊට පෙර දින 6,000 ක පමණ කලහකාරී ගැහැනු පිරිසක් “පාන් ඉල්වමින්” පැරිසියේ වීදි පුරා පෙළපාළි ගියහ. මේ ගැහැනු අතර ගැහැනු ලෙස වෙස් ගත් මිනිසුන් රාශියක් ද සිටි බවට සාක්ෂි පවතී.

ප්‍රංශ විප්ලව අවදිය ගැන පුළුල් ගවේෂණයක් කළ මාගරට් ට්‍රවුන්සර් විසින් ලියන ලද “ඔරිෆ්ලැම්” නම් කෘතියෙහි ඒ විප්ලවය ගැන හෙළි කරන කරුණු මෙබඳුය.

“ප්‍රංශ විප්ලවය ගැන ප්‍රධාන වශයෙන් ඩිකන්ස්ගේ සහ කාර්ලයිල්ගේ ලියකියවිලි නිසා ඉංග්‍රිසීහු මහත් සේ මුලාවට පත්ව සිටිති. ඒ කුරිරු යන්ත්‍රණය මුළුමනින් ම ක්‍රියාත්මක කරවන ලද්දේ ඔර්ලියන්ස්හි ෆිලිප් ආදිපාදවරයා විසින් බව ඔවුහු නො දනිති. මාරි ඇන්ටොයිනට් කෙරෙහි ඔහු දැක්වූ සුවිශේෂ ලැදියාව ඇය ප්‍රතික්ෂේප කළ නිසා ඔහු ඇයට වෛර කළේය. තමා ට සිදු වූ අරියාදුවක් අමතක කර දැමීමට සූදානම් මිනිසෙකු නො වූ ඔහු, “ජනතාවගේ හිතවතා” වශයෙන් පෙනී සිටීම සඳහා ඉදිරිපත් වීමට සැලසුම් කළේ, ඔවුන් ලවා සිය නොපනත් කම් ඉටු කරවා ගෙන, රජු සහ බිසව තෙරපා දමා ර‍ෙට් පාලනය සියතට ගැනීමේ අදහසිනි. මේ සඳහා ඔහු සතු වූ සුවිශාල ධනයෙන් මෙන් ම ලැක්ලෝ නම් දුර්දාන්ත නවකතාකරුගේ නායකත්වය ලත් ක්‍රියාශීලී දුර්ජන අන්තේවාසික පිරිසකගෙන් ද අපමණ තල්ලුවක් ලැබිණ.

“ප්‍රංශ විප්ලවය යනු කිසි සේත්ම ජනතාවගේ නැගී සිටීමක් නො වේ. ආදිපාදවරයා වෙනුවෙන් කුලියට වැඩ කළ තක්කඩි රැළ විසින් කලහකාරී ජන සමූහයක් සැලසුම් කිරීම සඳහා සමාජයේ පහත්ම ජන කොටස් එයට ඈඳා ගනු ලැබිණ. බේබද්දන්, අපරාධකරුවන්, ගැට කපන්නන්, ගැල් වහලුන්, රස්තියාදුකාරයන් ආදීන්ගෙන් ඒ ජනෝඝය සෑදුණි. පැරිසියෙහි එවන් ජනයා කොතෙකුත් සිටියහ. ඒ අතින් බැලූ කල්හි එදා පැරිසිය ලෝකයේ වඩාත් ම අන්තරා දායක නගරයක් වූයේය. රදලයන්ගේ සංහාරය ආරම්භ වීමට පෙරාතුව ඒ මිනිමරුවෝ මත් පැනින් සිහි විකල් කරනු ලැබ සිටියහ. වයින්වලට මත්ද්‍රව්‍ය කලවම් කර තිබෙන්නට ඇතැයි කිව හැක්කේ ඔවුන් කවුරුත් අසාමාන්‍ය වියරුවක් දක්වමින් තව තවත් වයින් ඉල්වමින් බෙරිහන් දුන් බැවිනි.”

ඉහත කී ලැක්ලෝ නම් ‘දුර්දාන්ත’ නවකතාකරුගේ එක ම කෘතිය Dangerous Acquaintances නමින් ඉංග්‍රිසියට පරිවර්තනය කරනු ලැබ ඇත.

1789 ඔක්තෝබර් 06 වැනි දා නව බලධාරී පිරිසක් විසින් රජ පවුල වාර්සේල්ස්නි සිට පැරිසිය වෙත කැඳවා ගෙන එනු ලැබූහ. 1791 දී අප්‍රසිද්ධියේ රටින් පලා යාමට රජ පවුල උත්සාහ කළ නමුත්, ඔස්ට්‍රියන් දේශ සීමාව ආසන්නයේදී ඔවුන් හඳුනා ගනු ලැබීම නිසා අවාසනාවන්ත ලෙස එය අසාර්ථ විය. 1792 අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රියාවට එරෙහි ව ප්‍රංශය විසින් යුද්ධ ප්‍රකාශ කරනු ලැබිණ. දැන්, පැරිසියේ ජනතාවට රාජද්‍රෝහි හැතිරියක ලෙස මාරි ඇන්ටොයිනට් පෙනෙන්නට වූයේ ඇය ඔස්ට්‍රියන් කුමරියක වූ බැවිනි. රජුට එරෙහිව පැවැත්වුණ නඩු විභාගය අවසාන වූයේ ඔහුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීමෙනි. එය තීන්දු කිරීම සඳහා ඕර්ලියන්ස්හි ෆිලිප් ආදිපාදවරයා ද දායක වූයේය. 1793 ජනවාරි 21 ඒ දඬුවම ක්‍රියාත්මක කෙරුණි. ඒ අතර දරුවන්ගෙන් ද ඈත් කරනු ලැබූ මාරි ඇන්ටොයිනට් “බිම් ගෙයි සිරකාරියක” බවට පත් වූවාය.

මේ අතර ඇයට හිතවත්ව සිටි ඇතැම් අය සිය දිවි පරදුවට තබා ඇය සිර භාරයෙන් නිදහස් කර ගැනීම සඳහා උපක්‍රම යෙදූහ. එහෙත් ඒවා ගැන දැන ගන්නට ලැබුණ හැම විටකම ඇය විසින් ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ඇතැම් ලේඛකයෝ කියති. ඒ කෙසේ වුවත් 1793 සැප්තැම්බර් මාසයේ මුල දිනක බන්ධනාගාර නිලධාරී මිකෝකී සමඟ ඇය බැහැ දැකීම සඳහා වෙස් වලාගත් අමුත්තෙක් පැමිණියේය. ඔහු ෂෙවලියර් රූෂ්වීල් බවට ඈ හඳුනා ගත්තාය. සිර කුටියෙහි තිබුණ උදුනක් පිටුපසට කානේෂන් මලක් විසිකළ අමුත්තා ඇයට ඒ ගැන ඇසින් සංඥා කළේය. භාරකරුට විශාල අල්ලසක් දී ඇය නිදහස් කර ගෙන රටින් පිටකර යැවීමට යෙදූ සැලසුමක් ගැන සඳහන් වූ කඩදාසි කැබැල්ලක් ඒ මල තුළ තිබිණි. එය කියවා විනාශ කළ ඈ පුංචි කඩදාසි තීරුවක අල්පෙනෙත්තකින් කුරුටු ගෑමෙන් සකස් කළ පිළිතුරක් ගිල්බට් නම් වූ ආරක්ෂකයා අතට දුන්නේ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ හෙයිනි.

දින කිහිපයක් එය රඳවාගෙන සිටි ඔහු අන්තිමේදී “හොඳ මිනිහා” වීම සඳහා එය බලධාරීන්ට අනාවරණය කළේය. ඔවුනට ඒ ලියවිල්ල කියවා ගත නො හැකි වූ නමුත් පරීක්ෂණයක් පැවැත්විණ. බන්ධනාගාර මුලාදෑනි මිකෝනිට ඔහුගේ බෙල්ල ගිලටීනයට පුදන්නට සිදු විය. රයිම්ස් වෙත පලා ගිය ෂෙවලියර්වරයා කලකට පසු එහිදී සිදු වූ වෙඩි වැදීමකින් මළේය. මාරි ඇන්ටොයිනට් ගේ ඒ රහස් ලියවිල්ල – අඟල් හතරක් පමණ දිග, අඟලක් පමණ පළල කඩදාසි තීරුවක් අදටත් පැරිස් කෞතුකාගාරයේ සුරක්ෂිතය. ඔවුහු මා ගැන නිරන්තර ‍සෝදිසියෙන් පසු වෙති. මම කිසිවෙකුට කතා නො කරමි. ඔබ ගැන මම විශ්වාස කරමි. මම පැමිණෙන්නෙමි” යනුවෙන් එහි සඳහන් බව දැන ගන්නට ඇත.

ඇයට එරෙහිව ද නඩු විභාගයක් පැවැත්වුණි. එහිදී ඇයට එල්ල වූ අභූත චෝදනා සමූහය අතරින් එකක් වූයේ ඇගේ ම දස හැවිරිදි පුත්‍රයා සමඟ ලිංගිකව අනාචාරයේ හැසිරීමයි! දරුවා බඩගින්නේ තැබීමෙන්, ඔහුට වයින් පෙවීමෙන් සහ අඩන්තේට්ටම් කිරීමෙන් ‍ෙමම පාපොච්චාරණය ඔවුන් විසින් ලබා ගෙන තිබිණි. ඇය දුන් පිළිතුර පරිදි ඇ‍ෙග් එකම වරද වූයේ ඇය XVI වැනි ලුවීගේ භාර්යාව වීම පමණක් බවය. අන්තිමේදී ඇය අපේක්ෂා කළ පරිද්දෙන් ම ඇයට මරණ දඬුවම නියම කරනු ලැබිණ. එය ක්‍රියාත්මක වූයේ 1793 වසරේ ඔක්තෝබර් 16 වැනිදාය.

මාරි ඇන්ටොයිනට් බිසවගේ අවසාන මො‍ෙහාත දක්වා ම ඇයට සමීපව සිටි රෝසල් නම් හිතවත් සේවිකාව ඇගේ ජීවිතයේ අවසාන පැය කිහිපය ගැන විස්තරාත්මක සටහනක් තබා ඇත. ඒ අනුව ඇය අවසාන වශයෙන් ලියූ සටහන මෙබඳුය.

“පාන්දර 4.30 යි. දෙවියන්ගේ අනුකම්පාව මට හිමි වේවා. මගේ අසරණ දරුවනි. ඔබ වෙනුවෙන් හෙළන්නට තව දුරටත් මගේ ඇස්වල කඳුළු නැත. ආයුබෝවන් ආයුබෝවන් මාරි ඇන්ටොයිනට්.” ප්‍රංශයේ අවසාන රජ බිසව ක්ෂය රෝගයෙන් සහ ගර්භාශයේ පිළිකාවකින් පෙළෙන අසරණ රෝගියකු වශයෙන් එදා දවල් 12.15 ට පමණ ගිලටීනයට බෙල්ල පාන්නට සිදුවිය. ඒ ඛේදවාචකය සිදු වී මේ ඔක්තෝබර් 16 වැනිදාට වසර 222 කි.

ඕර්ලියන්ස්හි ෆිලිප් ආදිපාදවරයාට ද විප්ලවකාරි සහෝදරයන්ගේ උදහස හේතුවෙන් ඉන් දින කිහිපයකට පසුව ඒ ගිලටීනයටම බිලි වන්නට සිදු විය

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s