ලන්ච් ෂීට්වල ප්‍රමිතිය සොයන්නේ කවුද? පරිසර හිතකාමී පොලිතීන් ලේබලයක් පමණයි

d

ප්ලාස්ටික් යනු ඉලාස්ටික් නොවේ. ද්‍රව්‍යය වශයෙන් ගත් කළ ඒවා එකිනෙකට සපුරා වෙනස් ය. ඒත් ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතයෙන් පසු ඉවත දැමීම, ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ඇති වන කතාබහ, ක්‍රියාමාර්ග, යෝජනා නම් හැම අතින් ම ඉලාස්ටික්වලට සමාන ය. ඒවා එක්වනම වේගයෙන් ඉදිරියට ඇදී යන අතර පසුව ගියාටත් වඩා වැඩි වේගයකින් ආපසු සිටි තැනට ම විත් නවතී. පොලිතීන් ප්ලාස්ටික් භාවිතයෙන් පසුව, මෙරට ජනතාව අදටත් සිදු කෙරෙන නරකම ක්‍රියාවක් වන්නේ සෙසු කසළත් සමඟ පිලිස්සීම ය. පසුගිය සිළුමිණ පුවත්පත ඒ සම්බන්ධයෙන් කරුණු පෙන්වා දී තිබිණි. ඉන් ඇති වන්නාවූ භයානක පාරිසරික සහ සෞඛ්‍ය හායනය ගැන ජනතාව දක්වන අඩු තක්සේරුව දෙස බලන විට රටක් වශයෙන් අප සාක්ෂරතාවයෙන් උසස් යැයි කියන කතාවේ ඇති වටිනාකම කුමක්දැයි සිතේ.

පසු භාවිත පොලිතීන් සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය හැරුණු කළ යහපත් ආකාරයට පරිසරයෙන් ඉවත් කළ හැකි වෙනත් ක්‍රමවේදයක් අදටත් ලොව හමුවේ නැත. අනික් අතට දිරාපත් වෙන පරිසර හිතකාමී පොලිතින් ප්ලාස්ටික් යනුවෙන් හඳුන්වා දීම යටතේ එන නිෂ්පාදන කෙරෙහි කිසිදු ආකාරයකින් විශ්වාසය නො තැබිය යුතු යැයි ද එය කොහෙත් ම පරිසර හිතකාමී නිෂ්පාදනයක් නොවේ යැයි ද මේ වන විට හඳුනාගෙන තිබේ. මේ තොරතුරු අප හමුවේ අනාවරණය වූයේ බළන්ගොඩ නගර සභාව විසින් ආරම්භ කොට ඇති පොලිතීන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණයක දී ය. එහිලා මූලික වී කටයුතු කරනුයේ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් ප්‍රේමතිලක මහතාය.

බළන්ගොඩ නගර සභාව මීට පෙර කසළ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ඉහළ ප්‍රගතියක් පෙන්වූ ආයතනයකි. ඔවුන් පොලිතීන් – ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට අත ගසන්නේ එම ප්‍රගතියේ වාර්තාව මධ්‍යම පරිසර අධිකාරියට ඉදිරිපත් කරමිනි. ඒ අනුව මෙතෙක් හිරිහැරදායි අපද්‍රව්‍යයක් වශයෙන් කුණු ලොරියේ ආ පොලිතින් – ප්ලාස්ටික් කසළ අමුද්‍රව්‍යයක් වශයෙන් නිෂ්පාදනය කොට අලෙවි කිරීමට අද ඔවුන් සමත් වී තිබේ. ඊට මධ්‍යම පරිසර අධිකාරියේ පසු භාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සිය අනුමැතිය සහ අනුග්‍රහය ද දක්වා තිබේ. බළන්ගොඩ නගර සභාවට පසු භාවිත පොලිතීන් – ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් සහ ඊට අවශ්‍ය උපකරණ ලැබී ඇත්තේ ඒ අනුව ය.

ලංකාවේ කසළ එක්රැස් වන සාමාන්‍ය තත්ත්වය යටතේ සියයට 12 – 15 අතර අගයක් ගන්නා කසළ අපද්‍රව්‍ය බවට පොලිතීන් සහ ප්ලාස්ටික් පත්ව තිබේ. ඉනුත් මිනිසුන් දෛනිකව භාවිතයට ගෙන දිනපතා ම තැන තැන දමා යන ෂොපිං බෑග් (සිලි සිලි බෑග්) අපද්‍රව්‍යයක් වශයෙන් ගණනය කළ නො හැකි මෙන් ම කළමනාකරණය කළ නො හැකි තත්ත්වයට පත්ව තිබේ. නමුත් බංගලාදේශය වැනි රටවල් පවා මේ හිරිහැරකාරී ෂොපිං බෑග් භාවිතයෙන් ඉවත් වී ඒ වෙනුවට පහසුවෙන් භාවිතයට ගත හැකි කඩදාසි බෑග් පරිහරණයට යොමු වී ඇත්‍තේ ය. පොලිතීන් – ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයේ නිරතව සිටින පෞද්ගලික ව්‍යවසායකයෝ ද මේ කරදරකාරී ගැටලුව නිසා අධෛර්යට පත්ව සිටිති.

13220959_1765487530354370_3355564756867204806_n.png

බළන්ගොඩ නගර සභාවට තිබූ අභියෝගය ද එය යි. අසීරුතා ඉවසමින් දිගින් දිගට ම සෙසු පොලිතින් ප්ලාස්ටික් සමඟ ඉවත ලූ ෂොපිං බෑග් ද එකතු කළ ද එතැනින් එහාට සියල්ල අවසන් වන්නේ නැත. මන්ද ඒ සියලු අපද්‍රව්‍ය හොඳින් පිරිසුදු කිරීම අවශ්‍ය ම කටයුත්තක් වන නිසාය. සුළු වැලි කැටයක් මඩ හෝ වෙනත් එවැනි බාහිර තැවරීමක් තිබුණහොත් අදාළ යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරීත්වයට එය බාධාවකි. එනිසා ඒවා කපා කැබලි කොට ඉන් පසුව මැනැවින් සෝදා ගැනීමකට යොමු කෙරේ.

මෙවැනි පසුබිමක් ඇති පොලිතීන් ප්ලාස්ටික් ව්‍යාපෘතියක් ලාබයක් ඇතිව පවත්වාගෙන යෑමද ගැටලුවකි. මේ සඳහා විශාල වශයෙන් අවශ්‍ය වන මිනිස් ශ්‍රමය ඊට අදාළව ජයගත යුතු අභියෝගයකි. ඔවුන්ට ගෙවිය යුතු වැටුප් පමණක් නොව ඊට සාපේක්ෂව කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට ඇති දුෂ්කරතාව මෙවැනි ව්‍යාපෘතියක් ලාබදායී අයුරින් පවත්වාගෙන යෑමට එරෙහිව මතුවන සීමා වෙයි.

ඒ හැරුණු කළ මේ කර්මාන්තයේ දැනට නියැළී සිටින කර්මාන්තකරුවන් එහිලා අනුගමනය කරන කූඨ ක්‍රමවේද ද ප්‍රශ්නකාරී සීමා ඇති කරයි. උදාහරණයක් වශයෙන් පරිසර හිතකාමී දිරාපත් වන පොලිතීන් නිෂ්පාදන වශයෙන් ඔවුන් හඳුන්වා දෙන්නේ කැල්සියම් කාබනේට් යෙදූ නිෂ්පාදනයන්ය. “ලන්ච් සීට්” වශයෙන් අප හඳුන්වන බත්ඔතන කොළවලටද මේ ආකාරයට කැල්සියම් කාබනේට් එකතු කොට ඇත්තේ ඒ සම්බන්ධයෙන් අල්ප වශයෙන් වත් ජනතාව දැනුවත් නොකරමිනි.plastic-ocean

ආහාර එතීමට යොදාගන්නා එවැනි දවටන ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඉදිරිපත් කරන්නේ නම් ඒවා පාරදෘශ්‍ය (එහා මෙහා පෙනෙන) වීම අවශ්‍යම ය. එසේ නැත්නම් ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතුම ය. අනිත් අතට කැල්සියම් කාබනේට් යෙදූ එම පොලිතීන් – ප්ලාස්ටික් දිරාපත් වෙනවාය යන්න ව්‍යාජයකි. ඒ නිසා සිදුවන්නේ ඒවා කුඩා කැබලිවලට කුඩු වෙමින් එම කුඩු අපද්‍රව්‍යයක් වශයෙන් නැවත පරිසරයට එකතු වීම ය. ඒ ආකාරයට ම පොලිතීන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරනවා ය කියන ඇතැම් ව්‍යවසායකයින් කරනුයේ ද එම වෙහෙසකර සහ වියදම් සහිත ප්‍රතිචක්‍රීකරණ කටයුත්ත පසෙකට දමා කැල්සියම් කාබනේට් මඟින් පොලිතීන් – ප්ලාස්ටික් ක්ෂුද්‍ර කැබලි බවට පත් කොට නැවත පරිසරයට මුදා හැරීමේ වියදම් අවම පහසු කටයුත්තට යොමුවීමය. මෙවැනි ක්‍රියා හැඳින්විය යුත්තේ පරිසර හිතකාමී ලේබලයට මුවා වී සිදු කරන පරිසර විරෝධි කටයුතු හැටියට ය. පොලිතීන් – ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තය කියන්නේ ම බරපතළ අන්දමින් රසායනික භාවිතාවක් සහිත නිෂ්පාදනයේ දී මෙන් ම පසු භාවිතයෙන් ද සැලකිය යුතු ආකාරයෙන් රසායන ද්‍රව්‍ය පරිසරයට මුදා හරින කර්මාන්තයක් ය කියන කරුණ අමතක නොකළ යුතුය. ඒ නිසා ම පොලිතීන් ප්ලාස්ටික් පසු භාවිතයට ප්‍රතිචක්‍රීකරණයෙන් මෙහාට සාර්ථක විසඳුමක් අදටත් ඇති බවක් නො පෙනේ. ඒ ආකාරයට ප්‍රතිචක්‍රීකරණය කළ නො හැකි පොලිතීන් – ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කළ යුතු ය. ඒවා දිරාපත් වෙනවා යැයි යම් ආයතනයක් හෝ පුද්ගලයෙක් පවසයි නම් ඒ දිරාපත් වීම කෙසේ සිදුවන්නේ ද සැබෑ ‍ජෛවමය ක්‍රියාකාරීත්වයක් ඔස්සේ ඒ දිරා යෑම සිදුවේ ද යන කරුණු හෙළිදරව් කිරීමක් අවශ්‍ය බව ඔවුන්ට පැවැසිය යුතුය.

මෙවැනි පසුබිමක ඇති අවහිර හා සීමා ජයගනිමින් මේ වන විට ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලබා ඇති බළන්ගොඩ නගර සභාවේ පොලිතීන් – ප්ලාස්ටික් ව්‍යාපෘතිය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් ප්‍රේමතිලක මෙසේ තොරතුරු පැවසීය.

“මේ වගේ ව්‍යාපෘතියක් ලාබයක් ඇතිව පවත්වාගෙන යන්න නම් මාසිකව පොලිතීන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 4ක් 5ක් අතර ප්‍රමාණයක් ලැබිය යුතුයි. අඩුම තරමින්ටොන් 2 ක්. ඒත් සාමාන්‍යයෙන් එහෙම එකතු වෙන්නේ නෑ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ අපද්‍රව්‍ය අප වෙත ගෙනැවිත් දෙන්න කියලා. එසේ කළොත් නගර සභාව ඊට නියමිත මුදලක් ගෙවීමට සූදානම් ය කියලා. බළන්ගොඩ නගර කලාපයේ ජනගහනය සාමාන්‍යයෙන් 25,875 ක් පමණ වෙනවා. ඒ ඇරුණ ම 50,000 ක පාවෙන ජනගහනයක්. දිනපතා ම මේ නගරයට ඇතුළු වෙනවා. එතකොට අවට ජනගහනය එක්ලක්ෂ විසි දහසක් පමණ වෙනවා. මේ නිසා ම අපි තීරණය කළා ඉවත ලන ප්ලාස්ටික් – පොලිතීන් එකතු කරල. අපට ගෙනත් දෙන විට අර කී විදියට මිලක් නියම කරන්න. ඇත්තට ම එයින් වෙනසක් වුණා.

ඒ ආකාරයට එක්රැස් කර ගැනීම වෙනුවෙන් “සම්පත් කේන්ද්‍රය” නමින් මධ්‍යස්ථානයක් ද ඇති කොට තිබෙනවා. ඊළඟට අපි කල්පනා කළේ ව්‍යාපාරිකයන්ව මීට සහභාගි කරගන්නෙ කොහොමද කියලයි. නගර සභා ආඥා පනතට අනුව අපට බලයක් තියෙනවා කසළ බද්දක් නියම කරන්න. ඒක නගර සභාව සතු නෛතික අයිතියක්. හැබැයි එතැනදී කොන්දේසියක් පැනෙව්වා තමන් සතු කසළ එකතු කරලා අප වෙත ලැබෙන්න සලස්වනවා නම් අපි ඒ ව්‍යාපාරික මහතුන්ට ඊට මිලක් ගෙවනවා. එහෙම කරන්න බැරි නම් අපි ඇවිත් රැගෙන යනවා. එතැනදී ඒ සඳහා යන වියදම අපි බද්දක් වශයෙන් අය කරනවාය කියලා.”

12246637_10207940600091830_3163589471710379917_n.jpg

“මේ වන විට පොලිතීන් – ප්ලාස්ටික් කසළ එකතු කිරීමට අදාළව ප්‍රජා මූලික වැඩ සටහනක් ද ඇති කොට තිබෙනවා. ඒ අනුව ගෙවල් විසිපහක් පමණ අයත් වන ඒකකයක් ඇති කොට කණ්ඩායම් නායකයෙක් පත් කරල තියෙනවා. ඒ කණ්ඩායම් නායකයා ගේ වගකීම තමයි තමන්ගේ ඒකකයේ අපද්‍රව්‍ය රැස් කොට අපට දැනුම් දීම. අපි ඒවා රැගෙන යනවා. එහි දී එකතු වෙන අපද්‍රව්‍යවල ප්‍රමාණාත්මක අගය අනුව ලකුණු දීමක් ද සිදු කෙරෙනවා. ලකුණු දහසක් කියන්නේ රුපියල් දාහක්. රු. දාහක් ය කියන්නේ ගෙදරක දෛනික වියදමට අදාළව සෑහෙන මුදලක්. ඒ අනුව අපි ප්‍රජාව දැනුවත් කරන්නේ ඔබගේ නිවෙස්වල එකතු වෙන පොලිතීන් – ප්ලාස්ටික් තැන තැන දාන්න එපා. විශේෂයෙන් ම පුලුස්සන්න එපා. අප වෙත ගෙනත් දෙන්න. ඊට මිලක් තියෙනවා කියන කරුණයි. එහෙම බැලුවම මේ වගේ ව්‍යාපෘති ප්‍රජා සත්කාර වශයෙන් හඳුන්වන්නත් පුළුවන්.”

‍මේ ආකාරයට එක් රැස් වෙන පොලිතීන් – ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වර්ගීකරණය (වර්ග 7 කි. ඒ අනුව බෙදා වෙන් කර ගැනීම) කිරීම ද ප්‍රතිචක්‍රීයකරණය ව්‍යාපෘතියට ම සිදුව තිබේ. ඊට හේතුව පොදුවේ ගත් කල මෙරට ජනතාව මානසිකව හෝ සමාජ ක්‍රියාකාරීත්වයෙන් තවමත් එවැනි සංවර්ධනීය තත්ත්වයකට ගමන්කොට නැති වීම යි. කෙසේ හෝ වේවා එසේ වෙන්කර ගැනීමෙන් පසු ඒවා කැබලිවලට කපා ‍හොඳින් ගැනෙයි. පසුව එතෙක් අපද්‍රව්‍යයක් වශයෙන් පැවැති පොලිතීන් – ප්ලාස්ටික් අමුද්‍රව්‍යයක් බවට පත් කෙරේ. එම නිෂ්පාදනය “පැලට්” නමින් හඳුන්වයි. බළන්ගොඩ නගර සභාව පවසන්නේ දැනට තමන් සිදු කරන්නේ ඒ නිෂ්පාදන අමුද්‍රව්‍ය නිෂ්පාදන සමාගම්වලට විකිණීම බව යි. එම අමුද්‍රව්‍ය යොදාගෙන පොලිතීන් ප්ලාස්ටික් නිෂ්පාදනය කරන තැනට ඔවුන් තවම පැමිණ නැ. කෙසේ වෙතත් මේ ආකාරයට මාසිකව රු. ලක්ෂ පහක පමණ ආදායමක් ආයතනයක් වශයෙන් ඔව්හූ ලබති.

10450851_10204030011249553_6229175563285996469_n.jpg

ඉහත විස්තරය අප ඔබට සැපයූවේ හුදෙක් තොරතුරු සැපයීමේ සිල්ලර අරමුණකින් පමණක් නොවේ. තම ප්‍රදේශය, ගෘහය වෙනුවෙන් උකහා ගත හැකි දැනුම් නිෂ්පාදනයක් ඒ තුළ තිබේ. අද අපට අවශ්‍ය වන්නේ එවැනි ක්‍රියාකාරී උගත් නිලධාරීන් ය. එවැනි ආදර්ශ සපයන ආයතනයය.

බී.කේ.එම්.එස්.ආරියවංශ

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s