මිනිසා පැවත එන්නේ වඳුරකුගෙන් කියා චාර්ල්ස් ඩාවින් කවදාවත් කිව්වේ නෑ

ඒ කතාව එහෙම නෙවෙයි

darwin-zoom.jpg

 see mover-http://www.silumina.lk/2015/10/25/_art.asp?fn=ss1510258

දිවයිනේ ප්‍රමුඛ මාධ්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන අන්තර්ජාල වෙබ් අඩවි පුවත්පතක “වානරයගෙන් මිනිසා වෙනස් වූ සැටි සොයයි” යන මැය යටතේ පුවතක් මෑත දිනක පළ විය. එයට ප්‍රතිචාර දැක්වූ පාඨක පිරිස අතර වූ ඇතැම් අය විසින් පරිණාමවාදය පිළිබඳ සංකල්පය නො පිළිගැනෙන ප්‍රලාපයක් සේ සලකා අවඥාවට ලක් කරනු ලැබ තිබිණි. ඒ අයුරින් ඔවුන් විසින් එය හෑල්ලුවට ලක් කරන ලද්දේ වඳුරෙකුගේ මිනිසකු පරිණාමය වන ආකාරය මෙතෙක් ඔවුනට දකින්නට හෝ අසන්නට හෝ නොලැබුණ නිසා විය හැකිය. ඒ කෙසේ වුවත්, මිනිසා පැවත එන්නේ වඳුරාගෙන් යැයි චාර්ල්ස් ඩාවින් කවමදාවත් නො කියූ බව අවධාරණය කරමින් මම ද ඒ පංගුවට සටහනක් එකතු කළෙමි; එය පළ වූයේ නැත. එසේ එය ප්‍රතික්ෂේප කෙරුණේ, පරිණාමවාදය වරදවා වටහා ගත් පාඨකයන්ගේ මත ගැන, ඇතැම් විට. වැඩි විශ්වාසයක් තැබු සංස්කාරකවරයා ඔහු ද වඳුරාගෙන් පැවත එන්නෙකු ලෙස ඉඟි කළ ඩාවින්ට පක්ෂව කිසිවෙකු අදහස් පළ කරනු දකින්නට නො කැමැති වූ නිසා වන්නට ද පුළුවන.

වර්ගීකරණ (Taxonamy) විද්‍යාවේ පියා ලෙස සැලකෙන කැරෝලස් ලින්තියස් (1707 – 1778) නම් විද්‍යාඥයාගේ කාලයේ පටන් ලොව පුරා වෙසෙන සතුන් ඔවුන්ගේ සමානකම් අනුව කාණ්ඩ වශයෙන් වර්ග කරනු ලැබීම සිදු විය. මෙම කාණ්ඩ අතරින් වඩාත් මූලික වන්නේ විශේෂයන්ය. කිසියම් විශේෂයක් ලෙස ගැණෙන සතුනට ඔවුන් අතර ඔවුන්ගේ වර්ගයා බෝ කරන්නට පුළුවන. ඔවුන් වෙනත් විශේෂයක සතුන් සමඟ යම් විදියකින් එක් වුවත්, එයින් වර්ගයේ බෝ වීමක් නො සිදු වෙයි.

ලොවෙහි මෙවැනි සත්ත්ව විශේෂයන්ගේ සංඛ්‍යාව අති විශාලය. එය සත්ත්ව මෝස්තරයන්ගේ විචලතාවෙහි ප්‍රතිඵලයකි. මෙම විචලතාවන් පහළ වීම සහ ඒවා නොනැසී පවත්නා විශේෂයක් වශයෙන් සමූහ ගත වීම සිදු වන්නේ කෙසේ ද? විශේෂයන්ගේ ප්‍රභවය කුමක් ද? චාර්ල්ස් රොබර්ට් ඩාවින් (1809 – 1884) කලක් තිස්සේ පර්යේෂණ පැවැත්වූයේ මෙම ගැටලුවලට විසඳුම් සෙවීම සඳහාය. එහෙත්, ඔහුගේ න්‍යායයන් ගැන මෙන්ම ඒවාට අදාළ ගම්‍යමානයක් ගැන ද බොහෝ දෙනා තුළ එක දිගටම වැරැදි වැටහීම් පවතින බව පෙනේ. ඇතැම් අය, ඔහු විසින් 1859 දී පළ කරන ලද “විශේෂයන්ගේ ප්‍රභවය” (Origin of Species) නම් කෘතිය සමඟ, ඉන් දශකයකට පමණ පසු ඔහු විසින් පළ කෙරුණු “මානව අවරෝහණය” (Descent of Man) පටලවා ගනිති. ඇත්ත වශයෙන් ඔහු මිනිසාගේ ප්‍රභවය ගැන කරුණු දක්වා ඇත්තේ දෙවනුව කී කෘතියෙහි මිස පළමුවැන්නෙහි නො වේ. මිනිසා පැවත එන්නේ වඳුරාගෙන් යැයි ඔහු කවදාවත් නොකීවේය. එහෙත්, ඔහුගේ න්‍යායයන්ට බොහෝ සෙයින් විරෝධය පළකරනු ලබන්නේ, ඔහු නොකියු ඒ කරුණම පාදක කර ගෙනය!

ඩාවින් ඉදිරිපත් කළේ ලොව පුරා විද්වතුන්ගේ සිතුම් ආර නව මඟකට යොමු කළ පෙරළිකාර සංකල්පයකි. තත්කාලීන විද්‍යාඥයෝ බොහෝ දෙනා එය අප්‍රමාදව පිළිගත්හ. එහෙත්, ලෝකයත් මිනිසා ඇතුළු එහි අඩංගු හැම දෙයක් දෙවියන් විසින් මවන ලදැයි කියන බයිබල් මතය අකුරටම විශ්වාස කළ මූලධර්මවාදීහු, මුල සිටම, ඩාවින්ගේ න්‍යායයෙන් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළහ. පරිණාමවාදී අදහස් ගැරහූ ඔවුහු ඒවා සමාජ ගත වීම වැළැක්වීමට පවා උත්සාහ කළහ. එයට හොඳම නිදර්ශනයක් වන්නේ 1925 ජුලි මාසයේ 10 වැනි දා, එක්සත් ජනපදයේ ටෙනසි ප්‍රාන්තයේ ඩේට්න් නගරයේ උසාවියක විභාගයට ගැනුණි. “වඳුරු නඩුව” නමින් ඉතිහාස ගතව ඇති නඩුවයි.

crop-538599cc8101c-imgID3636752.jpg

විසි වැනි සියවසේ මුල් සමයෙහි ටෙනසි ප්‍රාන්තය තුළ ක්‍රිස්තියානි මූලධර්මවාදී අදහස් පුළුල් ලෙස ව්‍යාප්තව තිබුණි. දෙවියන් විසින් ලෝකය මවනු ලැබීම පිළිබඳව බයිබලයෙහි සඳහන් පුවතට පටහැනි කිසිම වාදයක පාඨශාලාවන්හි ඉගැන්වීම තහනම් කෙරෙන නීතියක් ටෙනසියෙහි ව්‍යවස්ථාදායකය විසින් එසමයෙහි සම්මත කර ගනු ලැබ තිබිණි. එහෙත් එය සැලකිල්ලට නොගත් ජෝන් පී. ස්තෝප්ස් නම් ජීව විද්‍යා ගුරුවරයාට එරෙහිව එහි බලධාරීන් විසින් ඩේට්න් උසාවියෙහි නඩු පවරනු ලැබිණ. පැමිණිල්ල මෙහෙයවූ පතාක යෝධයා වූයේ ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් රිපබ්ලිකන් පක්ෂයෙන් නාම යෝජනා ඉදිරිපත් කළ අයෙකු වූ විලියම් ජෙනිංග්ස් බ්‍රයන්ය. ඔහු ටෙනසි ප්‍රාන්තයේ මූලධර්මවාදී ව්‍යාපාරයේ නායකයා ද වූයේය. දේවවාදය නොපිළිගත්, ප්‍රකට නීතිඥයෙක් වූ ක්ලැරන්ස් ඩැරල් සහ තවත් දෙදෙනෙක් චූදිතයා වෙනුවෙන් පෙනී සිටියහ. එයා එවකට වලංගු වූ නීතියක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විභාග කෙරුණු නඩුවක් වුවත් සූර නීතිඥයෙක් වූ ක්ලැරන්ස් ඩැරල් කෙසේ හෝ සිය ප්‍රතිවාදියා වූ ජෙනිංග්ස් බ්‍රයන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබා ගත්තේය.

බයිබලයේ උත්පත්ති කතාවල එන ආදම් සහ ඒව පිළිබඳ කතාව තමා විශ්වාස කරන්නේ දැයි ඔහු බ්‍රයන්ගෙන් ඇසුවේය. තමා එය විශ්වාස කරන බවට බ්‍රයන් පිළිතුරු දුන්නේය.

“සර්පයන්ට සදහටම මහ පොළවේ බඩගා ගෙන යන්නට සිදු වන පරිදි දෙවියන් වහන්සේ එදා සර්පයාට සාප කළ බව විශ්වාස කරනවා ද?

“ඔව්. මම විශ්වාස කරනවා.”

cvr9781416561477_9781416561477_hr.jpg

“හොඳයි, ඊට පෙර සර්පයා ගමන් කළේ කොහොමද කියල ඔබට හිතාගන්න පුළුවන් ද?” ඒ ප්‍රශ්නය ඩැරල්ගේ මුවින් පිට වෙනවාත් සමඟම උසාවිය සිනා හඬින් ගිගුම් දුන්නේය. බ්‍රයන් කෝපයෙන් වෙවුලන්නට විය.

“ස්වාමිනි, ඩැරල් මහත්මයාගේ ප්‍රශ්න සියල්ලටම මම එක පිළිතුරක් දෙන්නම්. දෙවියන් ගැන විශ්වාස නො කරන මේ මිනිහා දෙවියන්ට අපහාස කිරීම සඳහා මේ උසාවිය යොදා ගන්නා බව මුළු ලොවම දැන ගත යුතුයි…” ඔහු ගොත ගැසුවේය.

ඒ ප්‍රකාශයට මම විරෝධය පළ කරනවා!” යනුවෙන් ඩැරල් කෑගැසුවේය. “ලෝකයේ ජීවත්වන කිසිම බුද්ධිමත් ක්‍රිස්තු භක්තිකයෙක් විශ්වාස නො කරන ඔබේ ඔය මෝඩ අදහස් ගැන ප්‍රශ්න කිරීම විතරයි මම කළේ!”

පැමිණිලි පක්ෂය මෙහිදී මහත් අසීරු අසරණ තත්ත්වයකට වැටුණි. සැබැවින්ම එය පරිණාමවාදී අදහස් දැරුවන්ගේ ජයග්‍රාහී අවස්ථාවක් විය. එහෙත්, චූදිතයා වැරැදිකරු බවට උසාවියෙන් තීන්දු කෙරුණේ පවත්නා නීතියක් ඔහු උල්ලංඝනය කර තිබුණා බැවිනි. ඩොලර් 100 ක දඩයක් ගෙවන්නට ඔහුට සිදු විය. මේ නිසාය, එය “ජයග්‍රාහී සමාජයක්” ලෙස, ස්කෝප්ස්ගේ තවත් නීතිඥයෙකු විසින් හඳුන්වන ලද්දේ.

චාල්ස් ඩාවින්, පරිණාමවාදය පිළිබඳ සංකල්පයේ ආරම්භකයා නො වූයේය. එසේ වූ බවක් ඔහු කියා සිටියේ ද නැත. පරිණාමය පිළිබඳ මූලධර්මය ගැන ඔහුට ඉඟියක් මුලින්ම ලැබුණේ ඇරිස්ටෝටල්ගෙන් යැයි ඔහු සඳහන් කළේය. “Survival of the Fittest (උච්තෝන්නතිය) යන යෙදුම හර්බට් ස්පෙන්සර් නම් දාර්ශනිකයාගෙන් උකහා ගැනීමට ඔහු පෙලඹුණේ එය ඔහුගේ අදහස් පළ කිරීමට යෝග්‍ය යෙදුමක් බව වෙනත් විද්‍යාඥයන් දෙදෙනකු විසින් යෝජනා කරනු ලැබීමෙන් පසුවය. ඔහුට පෙර විසූ ඇතැම් විද්‍යාඥයන් පමණක් නොව ඔහුගේ සීයා ඉරාස්මස් (1731 – 1782) විසින් ද, යම් යම් දේවල් තවත් දේවල්වල පරිණාමයන් ලෙස දකිනු ලැබ තිබුණි. චාර්ල්ස් ඩාවින්, ඔහුගේ අවසාන නිගමනයන්ට එළඹීම සඳහා කිසියම් ආකාරයකින් දායක වූ කවරෙකුට වුවත් සිය කෘතඥතාව පළ කරන්නට චාර්ල්ස් ඩාවින් මැලි වූයේ නැත.

ඒ හැරුණ විට ඔහු හා සමකාලීන කනිෂ්ඨයෙකු වූ ඇල්ෆ්‍රඩ් රසල් වොලස් නම් විද්‍යාඥයාට ඔහුගේ ණයගැති භාවය පළ කරන්නට තරම් ඔහු නිහතමානී වූයේය. පරිණාමවාදය පිළිබඳ න්‍යාය ලොවට ඉදිරිපත් කිරීමේදී වොලස්ට ද ඩාවින් හා සම තැන ලැබිය යුතුව තිබුණ බව ඇතැම් අය කියති. එහෙත් වොලස් එබඳු ඉල්ලීමක් කරන්නට ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවට ඔහු කියා සිටියේ චාල්ස් ඩාවින්ගේ දීර්ඝ කාලීන පර්යේෂණ වෑයම ගැන සංසන්දනය කළ විට ඔහුගේ දායකත්වය ඉතා අල්ප වූ බවය. ඇත්ත වශයෙන් එය, එකම අවසාන නිගමනයකට යොමු කෙරෙන විද්‍යාත්මක පර්යේෂණයන්හි යෙදීමට, එකම අවදියක දෙපළක සිටි දෙදෙනෙකු යොමු වූ පුදුමාකාර අවස්ථාවකි.

මැලේ කොදෙව් සමූහයේ එවකට විසූ වොලස් 1858 වසරේ දිනක “On the Tendency of Varieties to Depart Indefinitely from the Original Type”යනුවෙන් නම් කෙරුණු සිය පර්යේෂණ නිබන්ධයේ පිටපතක් චාර්ල්ස් ඩාවින් වෙත යැවූයේ, එහි කිසියම් අලුත් බවක් සහ වැදගත් බවක් තිබුණේ නම් එය සර් චාර්ල්ස් ලයල් වෙත යොමු කරන ලෙස ඉල්ලීමක් ද කරමිනි. භූ විද්‍යාඥයකු වූ චාර්ල්ස් ලයල් ද ඔහුගේ “භූ විද්‍යා මූලධර්ම” නම් (Principles of Geology) කෘතියෙන් පෘථිවියට අදාළව එක්තරා ආකාරයක පරිණාමිය මතවාදයක් ඉදිරිපත් කළ බව මෙහිදී සැලකිය යුත්තකි.

මේ වන විට, “HMS බීගල්” නම් නෞකාව දකුණු ඇමෙරිකා වෙරළ දිගේ යෙදුණ ගවේෂණ චාරිකාවට 1831 – 1836 කාලය තුළ ස්වභාව විද්‍යාඥයකු හැටියට සහභාගි වී සිටි ඩාවින්, වසර 18 ක් තිස්සේ ඔහුගේ සංකල්පයට රුකුල් දෙන දත්ත එක්රැස් කරමින් සිටියේය. වොලස්ගේ නිබන්ධය ලැබීමෙන් ඔහු තුළ කෙබඳු කම්පනයක් පහළ වන්නට ඇද්දැයි කෙනෙකුට සිතා ගත හැකිය. වොලස් ද යොමු වී සිටියේ චාර්ල්ස් ඩාවින් පෙරමුණ ගත් මාර්ගයටමය. කෙසේ වුවත් 1844 තරම් යටගියාවක සිට ඩාවින් ඔහුගේ අප්‍රකාශිත ලේඛනවල මුල් පිටපත් තවත් අයට කියවා බලන්නට ඉඩ සලසා තිබුණි. ඔහු වොලස්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටි බව ඒ අනුව පැහැදිලි විය. එහෙත්, ඒ අයුරින් මුල් තැනට අයිතිය කීමට ඩාවින් අදහස් නො කළේය. ලන්ඩනයේ “ලිතියන් සොසයටි” වෙත එකම දිනක – එනම් 1858 ජුලි 01 දින ඩාවින්ගේ අත්පිටපතෙහි එක පරිච්ඡේදයක් සමඟ වොලස්ගේ නිබන්ධය ද ඉදිරිපත් කරනු ලැබිණ.

Darwin-610x360.jpg

සායි බාබා අත දිගු කළ විට ඔහුගේ අභිප්‍රාය පරිදි රොලෙක්ස් ඔර්ලෝසු පහළ වී යැයි ඇතැම් අය කියු ආකාරයෙන් ශ්‍රේෂ්ඨ සොයා ගැනීම් ආකස්මිතව පැන නඟින්නේ නැත. ධීමත් භාවයේ ලක්ෂණයක් වන්නේ තවත් අය විසින් දන්නා ලද නමුත් ග්‍රහණය නොකර ගන්නා ලදි, එමෙන්ම තවත් අය විසින් නිරීක්ෂණය කරන ලද නමුත් හඳුනා නො ගන්නා ලද දේවල් අවබෝධ කර ගෙන නව අර්ථයක් මතු වන පරිදි ඒවා සංකලනය කිරීමයි. තමා විසින් බොහෝ දුර දක්නා ලද්දේ තමා යෝධයන්ගේ උරහිස් මත නැගී සිටි නිසා යැයි කියු සර් අයිසැක් නිවුටන් මෙන්ම චාර්ල්ස් ඩාවින් ද ඔහුගේ න්‍යායයන් පිළිබඳ පරම අයිතිය ප්‍රකාශ නො කළේය.

මිනිසා වඳුරාගෙන් පැවත එන බව ඔහු කවදාවත් නො කීවේය. ඔහු කියා ඇත්තේ මිනිසා සහ වඳුරා දෙපාර්ශ්වයම එකම පොදු පූර්වජයකුගෙන් පරිණාමය වූ බවය. එමෙන්ම ඔහුගේ න්‍යායයන්ට අදාළ උචිතෝන්තයිය (Survival of the Fittest) යන යෙදුමෙහි ‘Fittest’ යන වචනයෙන් අදහස් කෙරෙන්නේ පරිසරයට අනුව හැඩගැසීමෙහි ඇති හැකියාව මිස වචන උසස් බව හෝ වඩාත් ශක්තිමත් බව හෝ නොවේ. වඩාත් ශක්තිමත් යන අදහස ඉන් අපේක්ෂා කෙරුණේ නම් අද ලෝකය පිරි සිටිය යුතු වන්නේ ඩයිනෝසෝරසයන්ගෙනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s