රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළේ නෑ

122227072-H.jpeg

ඒ කතාව එහෙම නෙවෙයි

ඒ කියුම අපේ වහරට එකතු වූයේ ඉංග්‍රිසි කියුමක අනුවාදයක් හැටියට බව නිසැක ය. මෙම ලිපියෙහි අරමුණ වන්නේ එයට පාදක වූ කතාවේ සුලමුල හා එහි ඇති ඓතිහාසික විශ්වසනීයත්වය විමසා බැලීමයි.

ලොවේ මෙතෙක් පහළ වූ බලවත්ම අධිරාජ්‍යයේ කේන්ද්‍රස්ථානය ලෙස ගැනෙන අසිරිමත් රෝම නගරයේ දිස්ත්‍රික්ක දාහතරෙන් තුනක් මුළුමනින්ම දවා පොළොවට සමතලා කරමින්, තවත් දිස්ත්‍රික්ක හතක් පිළිස්සී නටබුන් බවට පත් කරන්නට තරම් සාහසික ලෙසින් පැතිර ගිය “රෝමයේ මහා ගින්න” ආරම්භ වූයේ, ක්‍රිස්තු වර්ෂ 64 ජුලි 19 දා බැව් ඉතිහාසයේ දැක්වෙයි. එවකට රෝමන් පාලකයා වූයේ 27 වැනි වියේ පසු වූ නීරෝ අධිරාජයා ය.

නීරෝට, යන්තම් 17 වැනි වියේදී රජ වීමට මඟ සැලසුණේ ඔහුගේ මව වූ දුර්දාත්ත අග්‍රපීනා විසින් ඇගේ තුන් වැනි සැමියා මෙන් ම බාප්පා ද වූ ක්ලෝඩියස් අධිරාජයාට වස යෙදූ බිම්මල් වෑංජනයකින් සංග්‍රහ කොට ඔහු ස්වර්ගස්ථ කරනු ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඇය ක්ලෝඩියස්ගේ හතර වැනි මෙහෙසිය වූ අතර, නීරෝ ඇගේ පළමු වෙනි විවාහයෙන් ලත් පුත්‍රයා වූයේය.

මේ වන විට 27 වැනි වියෙහි පසු වූ නීරෝ, සාමාන්‍ය මිනිසෙකුට සිතන්නට පවා නො හැකි ආකාරයේ සාහසික අපරාධ, ඝාතන සහ අනේකවිධ දුසිරිත් පිළිබඳව ද මනා පන්නරයක් ලැබු පුද්ගලයෙක් වූයේය. ඔහු වැඩ කටයුතු ආරම්භ කළේ ක්ලෝඩියස්ගේ ගැටවර පුත්‍රයා වූ බ්‍රිටැනිකස්ට වස දී ඔහු මරා දැමීමෙනි.

nero.jpg

ක්ලෝඩියස්ගේ දියණිය වූ ඔක්ටේවියා අඹුකමට ගත් ඔහු වැඩි කල් නො ගොස්ම බොරු චෝදනා යටතේ ඇය බන්ධනාගාර ගත කොට කායිකව සහ මානසිකව නොයෙක් වධ දී මරා දැමුවේය. ඔහු තම මව වූ අග්‍රපීනා සමඟ ද නොමනා සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් අන්තිමේදී ඇයව ද සාහසික ලෙස ඝාතනය කර වූයේය. නීරෝගේ ගුරුවරයකු වූ සෙනෙකා සහ උපදේශකයෙකු වූ සෙම්රෝනියස් පරලොව ගියේ, දිවි නසා ගන්නා ලෙස ඔහුගෙන් ලැබුණු නියෝග අනුවය. ඒ ඔහුගේ ක්‍රියාකාරකම් කිහිපයක් පමණි

නීරෝ අස් රිය ධාවන තරගවලට සහභාගි වීමට ලොල් වූවෙකි. තරගවලදී ඔහු ජයග්‍රාහකයා වූයේ ඔහුට වඩා දක්ෂ ධාවකයන් නුසුදුස්සන් බවට පත් කරන ලෙස විනිසුරුවන්ට උපදෙස් දීමෙනි. ඔහුගේ අනෙක් විනෝදාංශය වූයේ ලයර් නම් වූ සංගීත භාණ්ඩය වයමින් ගායනා කිරීමයි. සංගීතය පිළිබඳව සිය කුසලතා ප්‍රදර්ශනය කිරීම පිණිස ඔහු වේදිකාවට අවතීර්ණ වීමෙන් පසු, වැඩ සටහන අවසන් වන තෙක් ශාලාවෙන් පිට වීම ශ්‍රාවකයන්ට තහනම් විය.

තමා අන් හැම දේටම වඩා මවුබිමට මුල් තැන දෙන බව නිතර අවධාරණය කළ නීරෝ එක ඇඳුම දෙවරක් නොඇන්දේය. දාදු කෙළියේදී ඔහු කිසිදා එක වරකට රන් කාසි 4,000 කට අඩුවෙන් ඔට්ටු ඇල්ලුවේ නැත. විනෝදය පිණිස මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවන්හි ඔහු ඒ සඳහා යොදා ගත්තේ රතු සහ දම් පැහැයෙන් අලංකාර වූ රත්රන් දැලකි. සංචාරයේදී ඔහුට පරිවාරක රථ දහසක් අවශ්‍ය විය. ඔහුගේ මෙකී නොකී වියදම් “ජනතා අයිතියට පැවරීමේ” ප්‍රතිඵලය වූයේ මුදල් හිඟ වීමයි. එයින් ද නො පසුබට වූ ඔහු ජනතාව මත තවත් බදු බර පැටවූයේ ය. අදාළ නිලධාරීන්ට විටෙක ඔහු උපදෙස් දුන්නේ, “මොකා ළඟ වුණත් මොකුත්ම ඉතුරු නො වන විදිහට රාජකාරිය කරන්න අපි වග බලාගන්න ඕනැ” යනුවෙනි.

ask-nero-fiddle-520725631-E.jpeg

1950 දශකයේ සිනමාලෝලීන් අතර අතිශයින් ජනප්‍රිය වූ “ක්වෝ වාඩිස්” නම් චිත්‍රපටය, නීරෝගේ පාලන සමයේ මෙකී අවදිය පසුබිම් කොට ගත්තකි. පීටර් උස්ටිනොව්, ඩෙබෝරා කර්, රොබට් ටේලර් ආදින් චරිත නිරූපණය කළ මේ චිත්‍රපටයට පාදක වූයේ පෝලන්ත ජාතික හෙන්රික් ෂියෙන්කෙවික්ස් විසින් 1895 දී පළ කරන ලද “ක්වෝ වාඩිස්” නම් නවකතාවයි. (1905 නොබෙල් ත්‍යාගය ලැබුණේ මෙම ලේඛකයාට ය.) රෝමයේ මහා ගින්න ගැන නීරෝට දැන ගන්නට ලැබුණු අවස්ථාව ඒ කෘතියෙහි දැක්වෙන්නේ මෙසේ ය:

“ඔන්න නීරෝ නැවතත් ලූටි (සංගීත භාණ්ඩය) අතට ගන්නවා. හුස්ම අල්වා ගන්න, සවන් දෙන්න, කඳුළු හෙළන්න…”

“ඇත්ත වශයෙන්ම ලූටය අතට ගත් නීරෝ සිය දෑස ඉහළට යොමු කළේය. ශාලාව තුළ කෙරුණු කතාබහ නැවතිණි. ජනයා නිසල වූයේ ගල්ගැසුණාක් මෙනි… ඔවුන් ඔවුනොවුන් දෙසත් යළි නීරෝගේ දෙතොල වෙතත් දෑස් යොමු කළේ ගායනයෙහි පළමුවැනි හඬ අපේක්ෂාවෙනි.

‘ප්‍රවේශය දෙසින් එක් වරම ශබ්දයක් ඇසිණි. නීරෝගේ සේවකයෙකු වූ ෆෙඩන් තිරය පිටුපසින් මතු වූ අතර, ලෙකානියස් කොන්සල්වරයා ඔහු පසුපසින් පැමිණියේය.

නීරෝ රවා බැලුවේය.

“සමාවෙන්න, දිව්‍යමය එම්ප්‍රදෝරු තුමනි, රෝමයේ ගින්නක් හටගෙන තියෙනවා. නගරයේ විශාල ප්‍රදේශයක දැනටමත් ගින්න ඇවිළෙනවා.”

මේ පුවත ඇසු සියල්ලෝ ඔවුන්ගේ අසුන්වලින් නැඟී සිටියහ.

“දෙවියනි, මම ගිනි ඇවිළෙන නගරය බලලාම ට්‍රෝයි නගරයේ වැටීම ඉවර කරන්නම්” නීරෝ පැවසුවේ ඔහුගේ ලූටය පසෙකින් තබමිනි. ඉන් පසු ඔහු කොන්සල්වරයා වෙත හැරුණේය.

‘දැන්ම ගියොත් මට ගින්න බලන්න ලැබේවි ද?’

‘ස්වාමිනි, මුළු නගරයම දැන් එකම ගිනි සාගරයක්. දුම නිසා හුස්ම ගන්න බැරුව මිනිස්සු පීඩා විඳිනවා. සමහරු ක්ලාන්ත වෙනවා. තවත් අය සිහි විකල් වෙලා ගින්නට පනිනවා.’

නීරෝ ඔහුගේ දෑත් ඉහළ එසවූයේය.

‘ප්‍රියම්ගේ පූජනීය නගරය. (ට්‍රෝයි නගරය) තොපට ශාප වේවා!’ ඔහු කීයේය.

(ක්වෝ වාඩිස් බැන්ටම් ප්‍රකාශනය – 297 පිටුව)

ගින්න ගැන බොහෝ විස්තර එම කෘතියේ දැක්වෙයි. කෙසේ වුවත් ඒ පසුබිම මැවීම සඳහා නවකථාකරු ඇසුරු කර ගත් පැරැණි ඉතිහාසය වෙත අපි නැඹුරු වෙමු.

අප දන්නා තරමින් නම් රෝමයේ මහා ගින්න ගැන කියවෙන ආදිතම විස්තරය අපට ලැබෙන්නේ කොර්නේලියස් ටැසිටස් (ක්‍රි. ව. 55 – 117) නම් රෝම ලේඛකයාගෙනි. සෙනේටර්වරයකු සහ පසුව කොන්සල්වරයකු ලෙස ද ඊටත් පසු ඇනටෝලියාවේ ආණ්ඩුකාරයා ලෙස ද සේවය කළ ඔහු අද සලකනු ලබන්නේ සම්භාවනීය ඉතිහාසඥයකු ලෙසිනි.

“… රෝමයේ පැරණි අඳුරු ගොඩනැගිලි සහ වංගු සහිත පටු වීදි තමාගේ කලකිරීමට හේතු වූ බව අඟවමින් නීරෝ මුළු නගරයම ගිනි තැබුවේය. ඔහුගේ පරිවාරකයන් ඕකම් තෙල් සහ ඇවිළෙන විලක්කුවලින් සන්නද්ධ වී හිටපු කොන්සල්වරුන් පිරිසකගේ දේපළවලට කඩා වැදුණු බව ඔවුන් විසින් දක්නා ලද නමුත්, මැදිහත්වීමට ඔවුහු බිය වූහ. ශක්තිමත් ලෙස ගලින් බඳින ලද ධාන්‍ය ගබඩා කිහිපයක් මාලිගයට නුදුරුව පිහිටා තිබිණි. ඒවා තිබුණ පරිශ්‍රයට ආසා කළ නීරෝ, පවුරු බිඳීමට උපයෝගී කර ගන්නා යන්ත්‍ර යොදා ඒ ගොඩනැඟිලිවල බිත්ති බිඳ ඇතුළට ගිනි තැබුවේය. ඒ භීෂණය දවල් හයක් සහ රාත්‍රි හතක් එක දිගටම නැවතිණි. බොහෝ ජනයාට සොහොන්වල රැකවරණ ලබන්නට සිදු විය. නීරෝගේ මිනිස්සු ගෙවල් කට්ටි විශාල සංඛ්‍යාවක් පමණක් නොව, සුප්‍රකට ජනරාල්වරුන්ට අයත්ව තිබුණු මන්දිර ද… ඓතිහාසික වශයෙන් වැදගත් වූ පුරාණ ස්මාරක සියල්ල ද විනාශ කළහ. මැකේනියස් අටල්ලෙහි සිට, නීරෝ ගිනි ජාලාව නැරැඹුවේය. ගින්නෙහි සුන්දරත්වයෙන් අමන්දානන්දයට පත් වූ ඔහු ඉන් පසු ඛේදාන්ත නාට්‍ය ශිල්පියෙකුගේ වේශයෙන් සැරසී “ට්‍රෝයි නගරයේ වැටීම” මුල සිට අවසානය දක්වා ගායනා කළේය.”

(Twelve Ceasars – Suetonius Penguin)

article-2194564-14B7B2B2000005DC-591_624x392.jpg

සුවෙටෝනියස් එක හෙළාම කියන්නේ ඒ ගින්න නීරෝ විසින් ම ඇති කරන ලද්දක් බව ය. එහෙත් ඒ ගැන ඔහුට පෙර ලියු එමෙන්ම ඔහුට වඩා අවුරුදු ගණනක් වැඩුමල් ටැසිටස්, එකී විශ්වාසයට පාදක වූයේ ජනතාව අතර පැතිර ගිය කටකතාවක් බව පැහැදිලිව පෙන්වා දෙයි. දුර්දාන්ත පැවතුම් නිසා අපකීර්තියට පත් නීරෝට එරෙහිව එවන් කටකතාවක් පැතිර යාම පුදුමයට කරුණක් නො වේ.

ඒ කෙසේ වුවත්, ගින්නෙන් වැනසුණු රෝමය, වඩාත් ක්‍රමවත්ව සැලසුම් කෙරුණු නගරයක් ලෙස නැවත ගොඩනැගීමට මුල් වූයේ ද නීරෝ බව ඉතිහාසඥයන් විසින් පිළිගැනේ. ඉතිහාසඥයෙකු වශයෙන් ටැසිටස්ගේ සැලකිලිමත් බව සහ නිරවද්‍යතාව සැක කිරීමට අපහසු බව Voices From the Past ග්‍රන්ථය සකස් කළ ජේම්ස් සහ ජැනට් මැල්කම් ටොඩ් වැනි විද්වත්හු විශ්වාස කරති.

කලිගුලා සහ නීරෝ වැනි ප්‍රජා පීඩකයන් සාමාන්‍ය ජනයාගේ දැනුමට පිවිස ඇත්තේ අශිෂ්ට රකුසන් හැටියට ය. එවන් විශ්වාසයන්ට රුකුල් දෙන තොරතුරු, ඒවා ඉදිරිපත් කරන ලේඛකයන්ගේ දෘෂ්ටිකෝණය අනුව සලකා බැලිය යුතු බව අවධාරණය කරන ආර්. එච්. බැරෝ නම් ලේඛකයා, පාලකයකු වශයෙන් නීරෝට විශිෂ්ට විදේශ ප්‍රතිපත්තියක් තිබුණු බව ද කියයි.

පහත සඳහන් උපදේශය අපට ලැබෙන්නේ ඉතාලියේ සංස්කෘතික අමාත්‍යාංශයේ පුරාවිද්‍යාඥවරියක වූ අයිඩා ජියොර්තිනෝගෙනි:

“නීරෝ ගැන කියවන්නට ලැබෙන හැම දෙයක්ම විශ්වාස නො කරන්න. ඒ කතා බොහොමයක් ලියන ලද්දේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් විසිනි. ක්‍රි. ව. 64 දී රෝමයේ දින ගණනක ගින්නක් ඇවිළුණු බව ඇත්තය. එහෙත් රෝමයට ගිනි ගනිද්දී නීරෝ සංගීත භාණ්ඩ වාදනය කළේ නැත. ඔහු කළේ ගින්නෙන් ආරක්ෂා වීම සඳහා වඩාත් හොඳ නීති මාලාවක් ලිවීම සහ නව නගරයක් සැලසුම් කිරීමයි. ගින්න නිවී ගිය වහාම ඔහු ප්‍රතිසංස්කරණ ආරම්භ කළේය…”

(National Geographic – 1997 – July)

නීරෝට එරෙහිව නැඟුණු බරපතළ චෝදනා සමහරක් නව ප්‍රතිසංස්කරණවාදී ඉතිහාසඥයන් විසින් බැහැර කෙරේ. අපට එක දෙයක් පැහැදිළිව කිව හැකිය. රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළේ යැයි අපේ වහරට එකතු වී ඇති කියුමෙහි ඓතිහාසික වශයෙන් සත්‍යයක් නැත. තවත් අතකින් බැලු කල්හි, වීණාව නම් සංගීත භාණ්ඩය ගැන දැනුමක් නීරෝට තිබුණේ දැයි සිතීමට පවා අපහසුය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s