අපේ මුහුදු සීමාවේ‍ තල්මසුන් මියයෑම රටේ ආර්ථිකයට පහරක් වේද?

doubilet-dolphin-blood-kill.adapt.1190.1.jpg

නෞකාවන්හි හැපී තල්මසුන් මිය යෑම වැළැක්වීමට නෞකා ගමන් මාර්ග වෙනස් කිරීම සුදුසු ද?

ඒ දැවැන්ත තල්මසා වෙරළ මත වැතිරී අවසන් හුස්ම හෙළා තිබිණි. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වූයේ ඌ නෞකා අනතුරකට ලක්ව ඇති බවයි.‍ ඒ හැරුණු කල සාගර ගල් පර්වත වල වැදීමෙන් උගේ අභ්‍යන්තර අවයවවලට ද බරපතළ හානි වී ඇති බවක් ද කියැවිණි. මේ පසුගිය දා මෙරට වෙරළ තීරයට ගොඩ ගසා තිබූ මියගිය තල්මසකු සම්බන්ධයෙන් ප්‍රවෘත්තියකින් ගත් විස්තරයකි. එසේ මිය ගොස් සිටියේ පිටකුදු නැතහොත් මොල්ලි තල්මසා යැයි හඳුන්වන විශේෂයට අයත් තල්මසෙකි.

තල්මසුන් පෙර කී ආකාරයෙන් නෞකාවල ගැටී නිකරුණේ මරණයට පත්වීම සම්බන්ධයෙන් බරපතළ විවාදයක් ඇති වී තිබේ. ඒ අනුව කළ යුත්තේ සාගරවාසී යෝධයන් රැක ගැනීම ද? එසේ නැත්නම් කර්මාන්ත ආරක්ෂා කිරීම ද? යන තීරණාත්මක, ප්‍රශ්න කිරීමක් දක්වා ඒ විවාදය ඇදී ගොස් තිබේ. සාගර විද්‍යාඥයින් මෙන් ම පරිසර ක්‍රියාකාරිකයින් මෙහි දී සාගරවාසී යෝධයින්ගේ පැවැත්ම උදෙසා නෞකා ගමන් මාර්ග වෙනස් කළ යුතු ය යන යෝජනාව ගෙනැවිත් තිබේ.

1428360819230.jpg

එවැනි කාර්යබහුල වාණිජ නෞකා ගමන් මාර්ගයක් මෙන් ම යෝධ නිල් තල්මසා ඇතුළු තවත් තල්මස් විශේෂ ගණනාවක් ම වෙසෙන සාගර කලාපයක් වශයෙන් ලංකාවේ දක්ෂිණ සාගර ප්‍රදේශය හඳුනාගෙන තිබේ. මේ නිසා ම අධික නෞකා ගමනාගමනයක් සහිත මේ නැව් මාර්ගය වෙනස් කළ යුතු යැයි පරිසර සංරක්ෂකයෝ පෙන්වා දෙයි. නමුත් එහිදී ආර්ථික විශේෂඥයින් ඔවුන් ගේ පෙන්වාදීමට ඍජුව ම වි‍රෝධය පාන්නේ රටේ ආර්ථික අභිවෘද්ධිය කඩා බිඳ දමන්නට උත්සාහ කරන්නේ දැයි පවසමිනි.

ඉන්දීය සාගර නාවික කටයුතු සහයෝගිතාව විසින් අප රටේ දී පසුගියදා පවත්වන්නට යෙදුණු උපදේශකයින්ගේ සමුළුවේදී ඍජුවම මේ ප්‍රශ්නය සාකච්ඡාවකට ගෙන තිබිණි. සාගරවාසී ක්ෂීරපායින් පිළිබඳව විශේෂඥයින් ගේ සහ ක්‍රියාකාරිකයින්ගේ ප්‍රථම ජාත්‍යන්තර සම්මේලනයක් වූ එහිදී යථොක්ත කරුණට අදාළව විශේෂ විමර්ශනයක් සිදු විණි. එහි සිටි විද්‍යාඥයින්ගේ පාර්ශ්වය පෙන්වා දුන්නේ තල්මසුන් වෙසෙන සීමාව ඉක්මවා නොඑසේ නම් එයට ඉහළින් නැව් මාර්ගය වැටී ඇත්නම් තල්මසුන් නෞකාවන්හි ගැටීමට ඉඩකඩ සැලසෙන බවයි. මෙය නෞකා – තල්මස් ගැටුම නමින් හඳුනාගත හැකි ය.

එමෙන් ම නෞකාව විශාල මෙන් ම ගමනින් වේගවත් අවස්ථාවක තල්මසුන් ද වේගයෙන් එය කරා ආසන්න වෙන තත්ත්වයක් ද හඳුනාගෙන තිබේ. ඒත් සමඟම නෞකාව සහ තල්මසා එකිනෙකා ගැටීමේ අවදානම වඩාත් වැඩිවේ. විද්‍යාඥයින්ගේ පාර්ශ්වය යට කී සමුළුවේදී තල්මසුන් නැව් වලට ගැටෙන අවස්ථා නිර්මාණය වන ආකාරය පෙන්වා දුන්නේ එසේ ය.

whale-watching-tours-01

ඉහත කරුණට අදාළව පැන නැඟී ඇති ජාත්‍යන්තර මට්ටමේ උනන්දුව අප විසින් නිවැරැදිව අධ්‍යයනය කළ යුතුව තිබේ. ආචාර්ය තිලක් ප්‍රියදර්ශන (රුහුණු විශ්ව විද්‍යාලය) සමඟ අන්තර්ජාතික සමීක්ෂකයින් කණ්ඩායමක් පසුගිය වර්ෂයේ දී උක්ත කරුණට අදාළ ව ‘නිල් තල්මසුන්ගේ ව්‍යාප්ත රටාව සහ දකුණු ලංකාවේ නෞකාගමනය’ යනුවෙන් ලියවිල්ලක් ද ඉදිරිපත් කොට තිබුණේ මේ ප්‍රශ්නය පාදක කරගනිමිනි.

තල්මසුන් සම්බන්ධයෙන් සමීක්ෂණයේ යෙදෙන, ආචාර්ය ආශා ඩී. වෝස් පෙන්වා දෙන්නේ මිරිස්ස කලාපයේත් තල්මසුන් නෞකා ගැටුමට පහසු ඉඩක් නිර්මාණය වී ඇති බවයි. යෝධ නිල් තල්මසුන් වසර පුරා ම අපේ සාගර කලාපයේ රැඳී සිටීමට විශේෂ හේතුවක් ද තිබේ. ඒ ආහාර සුලබතාවයි. මෙහිදී ඇය එක් බිහිසුණු ඡායාරූපයක් ද ඉදිරිපත් කළ අතර එය සාගර අභ්‍යන්තරයේදී ගන්නා ලද එකකි. 2012 දී ගන්නා ලද එම ඡායාරූපයෙන් දැක්වුණේ නිල් තල්මසකුගේ මළ කුණකි. එහි ගැඹුරු කැපුම් දැකිය හැකි විය. නෞකාවක ගැටීමෙන් එසේ බරපතළ කැපුම් සහිතව මේ සත්වයා මරණයට පත්ව ඇති ආකාරයත් එමඟින් පැහැදිලිව දකින්නට ඇතැයි ප්‍රකාශ වුණි.

කෙසේ වෙතත් නෞකාවල ගැටී මෙසේ දුක් විඳ මිය යන තල්මසුන් පිළිබඳව වාර්තාවීම් හිඟය. සමුළුවේදී පැවැසුණු අන්දමට ‍ඊට ‍ෙහ්තුව සාගරය තුළදී යට කී ආකාරයට අනතුරට ලක්ව දුර්වලවී මිය යන මේ සතුන්ගේ සිරුරු දිරා යමින් ජලය තුළට කිඳා බැසීමයි.

එවැනි තත්ත්වයක් යටතේ එම සත්වයා මරණයට පත්ව ඇත්තේ කුමන හේතුවකින් ද යන්න නිසා ලෙසින් හඳුනාගැනීම ද අසීරු කටයුත්තකි.

ආහාර සුලබතාව නිසා තල්මසුන් බොහෝ දුරට වෙරළාසන්න සාගරය ඇසුරේ විසීම ප්‍රිය කරන බව මින් පෙ‍ර ලිපියකින් ද අපි පෙන්වා දුනිමු. ඒත් ඒ නිසාම මේ සත්වයින් මරණීය අවදානමකට මුහුණපෑම උගත් සත්වවේදීන් පෙන්වා දෙන්නේ ඔබේ මුළුතැන්ගෙට මහ මඟ දිවෙන බස් රථයක් කඩා වැදුණොත් ඔබ මුහුණපාන තත්ත්වය කුමක් දැයි සිතා බලන මෙන් ඉල්ලමිනි. යමෙක් මුළුතැන්ගෙට යන්නේ වෙන කිසිදු කරුණක් නිසා නොවේ. ආහාර පිළියෙල කරගැනීමේ වුවමනාව නිසාම වේ.

Gray-Whale.jpg

මේ අර්බුදය ඉතා පහසුවෙන් විසඳිය හැකි බවක් පවත්නා නෞකා ගමන් මඟ නාවික සැතපුම් කිහිපයකින් වෙනස් කිරීම තුළ එය එසේ විස‍ඳෙන බවටත් පරිසර සංරක්ෂකයෝ පෙන්වා දෙති. ඒ ආකාරයට නාවික සැතපුම් කිහිපයකින් පවත්නා නෞකා ගමන් මඟ වෙනස් කළහොත් සාගරයේ වෙසෙන ජෛව නිධානයක් වැනි සාගර ක්ෂීරපායින් සමූහයක් දිවයින වටා ඇති සාගර කලාපය තුළින් මහත් වූ ආර්ථික ප්‍රතිලාභයක් නිර්මාණය කිරීමට නියමිතය යන අදහස ද ඒ යෝජනාව තුළ තිබේ. තවද ලෝකයේ මෙවැනි ප්‍රශ්න පැන නැඟී ඇති වෙනත් සාගර සහ මුහුදු කලාපවල සාගර ක්ෂීරපායින් ගේ පැවැත්ම වෙනුවෙන් එසේ කටයුතු කොට ඇතැයි ද පෙන්වාදී තිබේ. ඉදින් රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඊට අනුකූල නොවන්නේ නම් දැනට සිටින රාමුවෙන් එහාට කිසිවක් ම නොකරන තත්ත්වයක දිගින් දිගටම පසුවෙයි නම් නිරවද්‍යවන්නේ කුමක්ද, ඒ දේ වෙනුවෙන් පෙනී සිටීමට තමන් පසුබට නොවන බව පරිසර සංරක්ෂණ පාර්ශ්වය මෙහිදී ඉතා පැහැදිලිවම පවසා තිබේ.

එසේ වුව යට කී ජාත්‍යන්තර සමුළුවට පැමිණ නාවික කර්මාන්තය වෙනුවෙන් පෙනී සිටි නියෝජිත පාර්ශ්වය එසේ නාවික සැතපුම් කිහිපයකින් මේ කියන නෞකා ගමන් මඟ වෙනස් කිරීමෙන් ඒ හා අනුබද්ධව ඇති වාණිජ නෞකා කර්මාන්ත පැවැත්මට බලවත් හානියක් වෙතැයි යන අදහස දිගින් දිගටම ඉදිරිපත් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ දක්ෂිණ වෙරළ තීරයේ මේ කියන නෞකා ගමන් මාර්ගය ප්‍රධාන පෙළේ වරාය දෙකක් අතරින් වැටී තිබේ. ඉන් එකක් ගාල්ල යි. අනෙක හම්බන්තොට යි‍. මේ නැව් ගමනාගමනය හේතු කොටගෙන සේවා පහසුකම් සහිත ව්‍යාපාරික අවස්ථා එම වරායන් හමුවේ ගොඩනැඟී ඇතැයි පෙන්වා දීමට අර කී නෞකා කර්මාන්තයේ නියෝජිතයන් කටයුතු කොට තිබේ. එවැනි පසුබිමක් තුළ පවත්නා මාර්ග පරිසරය වෙනස් කිරීම යනු අර කී තත්ත්ව ද වෙනස් කරගැනීමකි.

අවසාන විග්‍රහයේ දී එය බලපෑම් කරනුයේ මෙරට ආර්ථිකයේ පැවැත්මටය. මේ වනවිටත් ගාල්ල වරායෙන් යට කී සේවා පහසුකම් ලබාගැනීමට මසකට පැමිණෙන නැව් සංඛ්‍යාත්මකව ගත් කල දහසක්වත් වෙතැයි එහිදී එළිදරව් කෙරිණි. මේ වනවිට ආසන්න සාගර කලාපයේ ඇතිවී තිබෙන නෞකා තදබදය එහි ප්‍රතිඵලයක් වේ. එවැනි තත්ත්වයක් හමුවේ පවත්නා ගමන් මාර්ගය නාවික සැතපුම් 15 ක් බටහිර දෙසට වෙනස් කළොත් එය ශ්‍රී ලංකාව ලබාගෙන ඇති යට කී ව්‍යාපාරික අවස්ථාව බෙංගාල බොක්ක ඔස්සේ මාලදිවයින දෙසට පා කර යැවීමක් වෙනු ඇත. එහි ප්‍රතිඵලය පැහැදිලිය. නෞකා සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති මේ අවස්ථා එහෙම පිටින් ම රටට අහිමි වෙනු ඇත.

මෙහි දී IOMAC හි ලේකම් ජෙනරාල් ආචාර්ය හිරාන් ජයවර්ධන පැවසූ අදහස් සලකා බැලීම වටී. ඇත්තවශයෙන් ම අපට අප සතු තල්මස් ගහනය රැක ගැනීමේ අවශ්‍යතාව ඇති බව ඔහු පිළිගනිති. එහෙත් ඒ තරමට ම අප ලබන ජාතික ප්‍රතිලාභ නොතකා කටයුතු කළ නොහැකි බවට ද ඒත් සමඟම ඔහු පවසා තිබේ. ඒ අනුව මෙහිදී ශ්‍රී ලංකාවට ඉහත ආකාරයෙන් නෞකා ප්‍රවේශවීම වළක්වන ආකාරයේ ප්‍රචාරයක් මේ ඔස්සේ ලබා නොදිය යුතු නැත. එහෙත් ඒ නිසා ම තල්මසුන් රැක ගැනීමේ අවශ්‍යතාවක් නැත්තවුන් සේ කටයුතු කරනවාය යන හැඟීමක් අප විසින් මේ හරහා ලෝකයට ලබාදිය යුතු නැතැයි යන්න මෙතැන දී වටහා ගත යුතු කාරණාව වේ.

323868-3x2-940x627

ඉහතින් පෙන්වා දුන් ආකාරයට බහුල වශයෙන් දක්ෂිණ වෙරළ තීරයට ඔබ්බෙන් සිදුවන තල්මස් – නෞකා ගැටුම් නිල් තල්මසුන්ගේ ගහනයට බලපා ඇති ආකාරය ගැන අපට ප්‍රබල ගණනය කිරීම් අවශ්‍ය බව ආචාර්ය හිරාන් ජයවර්ධන තවදුරටත් පෙන්වා දී තිබේ. ඉඳින් අප මේ නෞකා ගමන් මඟ උතුරු දෙසට වශයෙන් වඩාත් දුරකට විතැන් කළහොත් එය සෙසු තල්මසුන් ගේ ගහනයට බාධාවක් නොවන බවට දිය හැකි සහතිකය කුමක්දැයි යනුවෙන් ඔහු නැඟූ තර්කය ද කොයි ආකාරයෙන්වත් නොසලකා හැරිය නොහැකි ය.

ඒත් සමඟම ඉන්දියන් සාගරවාසී ක්ෂීරපායින් සමීක්ෂණ කටයුතු භාර සමීක්ෂණ කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ ද මිරිස්ස ප්‍රදේශයට ඔබ්බෙන් නෞකා – තල්මස් ගැටුම, තල් මසුන් ගේ පැවැත්මට ප්‍රධාන පෙළේ තර්ජනයක් වී ඇති බවට තහවුරු කළ ප්‍රමාණවත් සාක්ෂි නැති බවකි.

කෙසේ වෙතත් පරිසර සංරක්ෂණ පාර්ශ්වය ඒ නිසා ම තම මතය අත්හැරීමට කටයුතු නොකළ අතර ලොව සෙසු නැව් ගමන් මාර්ග හා සසඳන කල ශ්‍රී ලංකාවේ තල්මසුන් වඩා බරපතළ තත්ත්වයකට මුහුණ පා සිටින බවට ද කරුණු ඉදිරිපත් කරන්නට යෙදිණි. එමෙන් ම සෙසු එවැනි නෞකා – තල් මස් ගැටුම් ඇති කලාපයන් හිදී පවත්නා තත්ත්වයේ අනතුරුදායකත්වය අවම කිරීමට කටයුතු කොට තිබෙන බවට ද කරුණු ඉදිරිපත් කෙරිණි.

මෙහිදී අවිධිමත් කළමනාකරණයකින් තොරව සාගරය භාවිතයට ගැනීම යන කරුණු අපට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. අර කීව වාණිජ නෞකා ගමනාගමනය හමුවේ තල්මසුන් මුහුණපාන පැවැත්මේ අවදානම ධීවර යාත්‍රාවල අවිධිමත් ක්‍රියාකාරකම් පමණක් නොව තල්මසුන් නැරැඹීමේ සංචාරක යාත්‍රාවන්හි පාලනයකින් තොර හැසිරීම් ඉදිරියේ ද පැන නැඟී ඇති බව පිළිගැනීම මෙහිදී මදිකමක් ලෙසින් නොගත යුතු ය. ඒ නිසා කළ යුතුව ඇත්තේ ප්‍රශ්නය එක් වනම ප්‍රතික්ෂේප කිරීම නොවේ. එය විමසීමය. එමෙන් ම අප සතු දැවැන්ත සාගර අයිතිය භාවිතයට ගැනීමේ දී විධිමත් කළමනාකරණයක් පවත්වා ගැනීම ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s