නූගත්කම තරම් අඳුරක් තවත් නැත.

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න
පරිණාමවාදය ඉදිරිපත් කිරීමේදී උඩවැඩියාත් අවධානයට අරන්

4a5a7566aad1ab0dc895fca554c511b9.jpg

“නූගත්කම තරම් අඳුරක් තවත් නැත.”– ඊජිප්තු කියමනකි.

ඒ කෘමියා හසු වූයේ ලොකු රැවටීමකට ය. ඇත්තට ම ඌ සිතුවේ ඒ තමන්ගේ වර්ගයේ ගැහැනු සතෙකු කියාය. නමුත් එහි ගිය ඌට හමුවුණේ උඩවැඩියා මලකි. කෘමියා සියල්ල තේරුම් ගන්නා විට ඒ උඩවැඩියා පුෂ්පය තමන්ට අවශ්‍ය කටයුත්ත කෘමියා ලවා සිදු කොට ගෙන අවසන් ය. අප රටේ පහතරට කලාපීයව වනාන්තර සීමාවන්හි වැඩෙන කොටෝනියා පෙඩන්කියුලාරිස් නම් උඩවැඩියා මල සිය පරාගකාරක කෘමියා ගෙන්වා ගන්නේ අර කී ආකාරයට ය. එනම් එම වර්ගයේ කෘමි ගැහැනු සතෙකු ගේ රුව අනුකරණය කිරීමෙනි. එය සුන්දර වරදකි. ඒත් ඒ නිසා ඒ උඩවැඩියා පුෂ්පයේ පරාගණය සිදු වී විචිත්‍රවත් මල් හට ගැනීම නම් සෞන්දර්යාත්මක ප්‍රතිඵලයක් සිදු වේ. සමන්ත ගුණසේකර මහතා “හරිත නිර්මාණය පියස” හි පාරිසරික ප්‍රකාශනයට උඩවැඩියා මල් පිළිබඳව සිදු කොට තිබූ තොරතුරු ගවේෂණ වාර්තාවේ අර කී පුවත සඳහන්ව තිබිණ. මේ ලිපිය සකස් කිරීමට එකී ගවේෂණ වාර්තාවෙන් ලබාගත් තොරතුරු සඳහා අපගේ කෘතඥතාව ඔහුට හිමි වේ.

නිවර්තන වනාන්තරයක ඇවිද යන්නෙකුට බහුලව දැකිය හැකි වන්නේ අපි ශාකීය උඩවැඩියා විශේෂයන් ය. භෞමික උඩවැඩියා ඒ වනාන්තරවල අඩු ය. එහෙත් නිරක්ෂයෙන් ඈත පිහිටි රටවල දී හමුවෙන්නේ භෞමික උඩවැඩියා පමණකි. සමන්ත පවසන ආකාරය උඩවැඩියා පවුලට ඕකිඩ් යන නම ලැබීමට හේතුව ද මෙකී භෞමිකතාවයි. “අතීතයේ යුරෝපීය ජාතීන් උඩවැඩියා දැක තිබුණේ අල සහිත භෞමික පැළෑටි ලෙසිනි. ඒවායේ අල වෘෂණ කෝෂයන්හි ස්වරූපයක් ගත් නිසා ග්‍රීක් බසින් එය ඕකිස් (Orchis) ලෙසින් හැඳින්වුණි. පසුව ලතින් නාමකරණයේ දී ඕකිඩේසියේදී (Orchidaceae) වී ඇත.”

phalaenopsis-orchid-wallpaper.jpg

උඩවැඩියා කිසිදු විශේෂයක් පරපෝෂිත නොවෙයි. ඒවායේ පත්‍ර හරිත මෙන් ම විවිධ පැහැයෙන් යුක්ත ය. මාංසල මෙන් ම තුනී පත්‍ර ද ඒ අතර වේ. සමහර විශේෂයන් පත්‍ර රහිත ය. අපේ පරිසරයන්හි හමුවන “ආකාසලතා” පත්‍ර රහිත විශේෂයකි. එහෙත් හරිතප්‍රද සහිත මාංසල කඳක් සහිත ය. ඉතා කුඩා අපිශාකීය විශේෂයක් වන ටිනියෝෆිලම් අල්විසි ද පත්‍ර රහිත විශේෂයකි. එහෙත් ඒ නිසා සිදුවන පාඩුව නැති කරගන්නේ හරතප්‍රද සහිත කොළ පැහැති පැතලි මුල්වලිනි.

උඩවැඩියා මල් විශේෂයක් සිය පරාගණය සිදු කරගන්නා අපූර්ව ක්‍රමයක් මුල දීම දක්වන්නට යෙදුණි. ඒ අනුව උඩවැඩියා මල් පරිණාම ක්‍රියාවලිය තුළ සාර්ථකත්වයක් අත් කරගන්නා රහස වන්නේ එයයි. එනම් පරාගණයේලා ඔවුන් දක්වන අනුවර්තන හැසිරීමයි. සෙසු ශාකවලට සාපේක්ෂව උඩවැඩියාහි පරාගණය වාතය, ජලය, මාධ්‍යයක් කොටගෙන ස්වාභාවිකවම මෙන් සිදු වීමක් දැකිය නො හැකි ය. සෑම විශේෂයකට ම ඒ සඳහා ඊටම ආවේණික වූ එසේ නැත්නම් ලාක්ෂණික වූ පරාගකාරකයෙකු සිටින බැව් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයන මඟින් හෙළිදරව් කරගෙන තිබේ. ඒ වෙනුවෙන් මලේ පැහැය, යට කී ආකාරයට වෙස් ගැනීම් උපයෝගී කරගන්නා බැව් ද නිරීක්ෂණය කොට තිබේ. පරිණාමවාදය ඉදිරිපත් කිරීමේ දී චාල්ස් ඩාවින් ගේ පවා දැඩි අවධානයට මේ මේ සංසිද්ධිය ලක් වූ බවක් ද අසන්නට ලැබේ. සමන්ත ගුණසේකරගේ තොරතුරු පරීක්ෂාවට අනුව තවදුරටත් ඒ ගැන මෙවැනි විස්තරයක් ද හමු වේ.

beautiful-blue-orchid-flower-wallpapers.jpg

“පරාගණය ගැන කතා කිරීමේ දී ඉතා සිත්ගන්නා සුලු සිද්ධීන් ඇත. ඒ අතර මැඩගස්කර් දූපතෙන් චාල්ස් ඩාවින් හට ලැබුණු ඇන්ග්‍රේකුම් (Angraecum) විශේෂයක් වන, තරු උඩවැඩියා මලක් අධ්‍යයනය කිරීමෙන් පසු, ඔහු විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ මලේ පරාගකාරකයා රාත්‍රියෙහි පැමිණෙන සලබයකු බවත්, ඒ සලබයාගේ ශුණ්ඩාට අඟල් 12 ක් පමණ දිගු බව නිරීක්ෂණය කරන ලදී.”

උඩවැඩියාවල බීජ ප්‍රචාරණය ද අපූරු සහ සම්බන්ධතාවක ප්‍රතිඵලයක් වේ. උඩවැඩියා බීජ තුළ ආහාර ගබඩා කොට ඇත. ඒ තුළ ඇත්තේ කළලය පමණි. එනිසා එය කොහෙත්ම ප්‍රරෝහණයට සූදානම් නැත. එනිසා ප්‍රරෝහණයට අවශ්‍ය ජලය, ඛනිජ ලවණ ආදිය සපයා දී එය ප්‍රරෝහණයට සූදානම් කරන්නේ දිලීර විශේෂයකි. ඒ දිලීර විශේෂ ද උඩවැඩියා විශේෂ අනුව විවිධ වේ. එකී දිලීරයන්හි එම සේවාවට ප්‍රත්‍යපකාරයක් වශයෙන් මුළු ජීවිතය පුරාම අදාළ දිලීරයට අවශ්‍ය වාසස්ථාන සපයන්නේ එය සේවය කරන උඩවැඩියා විශේෂයයි.

අපේ රටේ උඩවැඩියා විශේෂ අතර ඉතාම අලංකාර එමෙන්ම දුර්ලභ ම විශේෂයක් වේ නම් ඒ වෙසක් මල යි. එය තවත් තැනක දී සුදු වෙසක් මල යනුවෙන් ද හඳුනා ගනියි. දීප්තිම තනි සුදු පැහැයකින් යුතු මේ මලේ අධර මැද ළා පැහැති පැල්ලමක් දැකිය හැකි ය. කෙසේ වෙතත් මේ උඩවැඩියා විශේෂය අද, මිහිමතින් තුරන් වී ඇතැයි සමන්ත ගුණසේකර පවසයි. එපමණක් නොව අලංකාරවත් මෙන් ම දුර්ලභ තවත් සුදු පැහැති

white-and-pink-orchids-wallpaper-wallpaper-1.jpg

විශේෂයක් වූ “ගුරුළුරාජ” මල ද අද වන විට මෙරටින් වඳ වී අවසන් ය.

ඔහුගේ තවත් නිරීක්ෂණයක් වන්නේ රාස්සන පුෂ්පයේ ඇති විවිධත්වය යි. ඒ අනුව විවිධ හැඩවලින් ද, රතු, දුඹුරු, කහ, කොළ, නිල්, අළු, සුදු, වශයෙන් එන වර්ණ විවිධත්වයකින් ද එය විචිත්‍රවත් ය. පෙති හෝ අධර සහිත මේ පුෂ්පයේ වර්ණ රටා 292 ක් තමන් විසින් හඳුනාගනු ලැබ ඇතැයි සමන්ත පවසයි. ලංකාවට අදාළ එය ඒක දේශීය ශාකයක් නොවුණත්, එහි හොඳම විවිධත්වය එක්රැස් වූ දේශයක් වශයෙන් අපේ රට හඳුනාගෙන ඇත.

අප රටේ උඩවැඩියා ගහනය ව්‍යාප්ත වී ඇති අයුරු ගැන ද සිදු කළ නිරීක්ෂණ තිබේ. ඒ අනුව අඩි 3500 – 7000 අතර පවත්නා ඉහළ කඳුකරයේ දී උඩවැඩියා පුළුල් ව්‍යාප්තියක් පෙන්වයි. මහඑළියතැන්න, ශ්‍රීපාදය අඩවිය, දුම්බර කඳුකරය (මේවා හැඳින්වෙන්නේ වලාකුළු වනාන්තර වශයෙනි.) ඒ අතරිනුත් සුවිශේෂ බවට හඳුනාගෙන තිබේ. මේ කලාපයන්හි අප හොඳින් නොහඳුනන ඩෙන්ඩෝබිසම්, බල්බෝෆිලම්, මැලැක්සීස්, ලිපාරිස්, ඔබරෝනියා වැනි විශේෂ බහුල වුවත් අප හොඳින් හඳුනන තැනිතලාවේ කුමරිය, තාරකා මල්, ප්‍රිම්රෝස්, මෙන් ම නගා මැරූ අල යන විශේෂ ද ඉඳහිට හෝ දැකිය හැකි යැයි පැවැ‍සේ.

විචිත්‍රවත් පත්‍ර අලංකාරයක් සහිත වනරාජ, හිරු රාජ, සඳ රාජ වැනි විශේෂයන් දකින්නට නම් ඔබ යා යුත්තේ පහතරට තෙත් වනාන්තර කරාය. වෙසක් මල් පිපුණේ ද එහිය. ඒ හැරුණු කල තාරකා මල්, නාරිලතා, දිවි පඳුරු යන විශේෂයන්හි ද එකී වනාන්තරයන්හි හිරුරැස් වැටෙන සීමාවන් හිදී දැකගත හැකි ය.

මැලැක්සීස් නම් උඩවැඩියා විශේෂයේ විශේෂත්වය වන්නේ එය මෙරට තුළ ඒක දේශීය වීම යි. පහතරට නො ඉඳුල් තෙත් වනාන්තරයන්හි දී හමු වේ. ඒ ගලන දියවැල් අසල දී ය. ඒ හැරුණ කල තෙත් වනාන්තරයන් හි විවෘත පෙදෙස්වල දී හෙබනේරියා, ලිපාරිස් විශේෂ දැකිය හැකි බව සඳහන් ය. වියළි කලාපයේ දී නම් නිතර දැකිය හැක්කේ වැන්ඩා, යක් පුවක් සහ රාස්සන උඩවැඩියා පුෂ්ප විශේෂයන් ය. විශේෂයෙන් ම යාපන අර්ධද්වීපයේ දී තල් ශාකයේ කඳන් මත යක් පුවක් උඩවැඩියා විශේෂය නිතර දැකිය හැකි ය.

හොටක් සිහි ගන්වන අයුරින් මල් පොහොට්ටු ඇති හෙයින් ගුරුළු රාජ නම් වී යැයි කල්පනා කෙරෙන විශේෂයක්, බෝනික්කකු සිහියට නඟන අයුරින් පිපෙන මල් ඇති ඒරයිඩ්ස් රින්ගන්ස් මෙන් ම කලින් ද සඳහන් වූ හෙබනේරියා යන විශේෂ දැකිය හැකි ප්‍රදේශ වශයෙන් ඌව අවට පතන් බිම් හඳුනාගෙන ඇත. කෙසේ වුව මුලින් කී ගුරුළුරාජ පොහොට්ටු සමයේ දී ගුරුළු හොටක් සිහි ගැන්වූවත් එහි මල් කිනිත්ත ඔබට සිහි ගන්වනු ඇත්තේ සිවලෙකුගේ වල්ගයකි.

උඩවැඩියා යනු තෙත් සහිත පරිසරයන්හි දැකිය හැකි පුෂ්ප විශේෂයක් ලෙසින් ඇතැමුන් සිතුවත් එය ඇත්ත නොවේ. බොහෝ සෙයින් ශුෂ්ක ප්‍රදේශවල පවා උඩවැඩියා විශේෂ දැකිය හැක. තනි කහ පැහැයක් සහිත වැලක් ලෙසින් දැකිය හැකි වැන්ඩා යැයි හඳුනාගන්නා විශේෂය ද, සුදු පැහැයෙන් ලොකුවට මලක් හටගන්නා ආකාසලතා ද එවැනි පරිසර කලාපයක දී අපට හමුවන උඩවැඩියා පුෂ්ප විශේෂ වේ.

අතීතයේ සිට ම උඩවැඩියා මල් ගැන දැන සිටීමක් මෙරට තිබුණේ යැයි පවසන සමන්ත ඊට කදිම උදාහරණයක් ද සපයයි. ඒ මුතියංගණ රජමහා විහාරයේ බිතු සිතුවම් ය. ඒ හැරුණු කල ආයුර්වේදීය ඖෂධ නිෂ්පාදනයට ද මෙම අපූර්ව මල් විශේෂය යොදාගෙන ඇතැයි ඔහු පවසයි. වන රාජ, හිරු රාජ, සඳ රාජ, යක් පුවක් (විෂ දූලි), නරි අල, නව හන්දි, නගා මැරූ අල, ජටා මකුට, රාස්සන, දිව පහුරු, නාරිලතා, මහා පත්ම, කුඩා පද්ම ඉන් සමහරකි. මේ අතර කිසිදු උපයෝගීතාවයක් නැතිවත් තමන් අවට පරිසරයේ දී හඳුනාගත් නිසා උඩවැඩියා මල් විශේෂ කිහිපයක් ගැන ද අතීත ගැමියන්ගේ අවධානය යොමු ව තිබේ.

flower-wallpapers-wallpaper-flowers-orchid-o2qlqomd-flower-wallpaperorchid-wallpaper-42535.jpg

ඒ වෙසක් මල්, ගුරුළු රාජ, ආකාසලතා (ගැරඬි දූල්) තාරකා මල් යන විශේෂයන් ගැන ය. කොතරම් විචිත්‍රවත් මල් විශේෂයක් වුණත්, මොන තරම් සෞන්දර්යයක් අවට පරිසරයට ලබා දුන්නා වුණත් එක් අතකින් පාරිසරික වශයෙන් දක්වන අතිශය සංවේදී බව නිසාත්, අනික් අතින් ඒ වෙනුවෙන් ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනුත් උඩවැඩියා විශේෂ බොහොමයක් වඳ වී යාමේ අවසානම සීමාව දක්වාම පැමිණ ඇතැයි පැවසේ. ඇතැම් විශේෂ මුළුමනින් ම වඳ වී ගොස් ද තිබේ.

ඉහතදීත් කී ආකාරයට සමනලුන් සේම උඩවැඩියා විශේෂ ද පරිසරයට අතිශයින් සංවේදී ය. ඒ අනුව දේශගුණික උණුසුම නම් සංසිද්ධිය ද මූලික වශයෙන් මේ විචිත්‍ර පුෂ්ප ගහනයේ වඳ වීමට බලපා තිබේ. ඒත් සමඟම ඒවායේ ස්වාභාවික වාසස්ථාන වන, වනාන්තර විනාශ වීම එමෙන්ම කැබලි වීම ඒ සම්බන්ධයෙන් බලපාන ආසන්නතම හේතු වශයෙන් හඳුනාගෙන තිබේ. එමෙන් ම අපිශාකීය උඩවැඩියා සහිත ධාරක ශාක විනාශය ද යථෝක්ත වඳ වීමේ අවදානමට ප්‍රබල හේතුවක් සපයා තිබේ.

විශාල ගස් ඉවත් කිරීම තුළ පැහැදිලිවම පාරිසරික වෙනස්කම් ඇති වේ. උපස්තරයන්හි මෙන් ම පස මතුපිට තෙතමනය සිඳී යෑම මේ නිසා සිදු වේ. අවට ආර්ද්‍රතාව අඩු වී යෑමක්, හිරු තාපය ඍජුව සහ දැඩිව එල්ල වීමක් උඩවැඩියා පුෂ්ප පැවැත්මට ඍජුව ම බලපාන සෙසු සාධක වේ. එවැනි පසුබිමක දී මේ වන විට අපට මුළුමනින් ම අහිමි වී ඇත්තේ සුදු වෙසක් මල පමණක් නොවේ. වැන්ඩා ත්වෙත්සි, වැන්ඩා වයිට් ද ඒ අතර වේ.

lovely-pink-orchid-flower-hd-wallpapers.jpg

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව අපිශාකීය උඩවැඩියාවල ධාරක ශාක විනාශ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ය. මාර්ගයක දෙපස ඇති විශාල ගස් ඉවත් කිරීමේ දී ඉහත තත්ත්වයට අනුව වන සංරක්ෂක ජනරාල්ගේ ලිඛිත අවසරයක් අවශ්‍ය වේ. එහෙත් කනගාටුවට කරුණ නීතිය කොතරම් තදින් ලියා තිබුණත් ක්‍රියාත්මක පක්ෂයේ දී නීතියට වඩා තදින් අවනීතිය පැමිණීම ය.

Advertisements

2 thoughts on “නූගත්කම තරම් අඳුරක් තවත් නැත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s