බොදු දැක්ම අනුව යන්නේ නම් පාරිසරික පැවැත්ම උදෙසා අමුතු සංරක්ෂණයක් ඕනෑ නෑ

cambodia-monk-scene_94931_990x742.jpg

අශෝක රජු වෙතින් විද්‍යමාන වන රජු සහ ඒ රජු තුළ විද්‍යමාන වන මිනිසා වෙන්කර ගත නොහැකි යැයි මහාචාර්ය ටී.ඇම්. බරුවා පවසයි. ඉතිහාසඥයකු හැටියට ද සැලකෙන බරුවාගේ එම ප්‍රකාශය අපට තවදුරටත් පෙන්වා දෙන්නේ බෞද්ධ දර්ශනයේ පාදමින් අශෝකයන් නිපදවා ගත් ධර්ම හැසිරීම මානුෂ‍‍ීය වශයෙනුත් සදාචාරාත්මක අතිනුත් ඉහළ තලයක පැවැති බවයි; අශෝකයන් ද ඒ තුළ ක්‍රියාකාරී හැසිරීමක් අත්වින්ද බවයි. ඔහු ගේ ඒ නිර්මාණශීලී බෞද්ධ දිවි පෙවෙත ක්‍රමානුකූලව, බෞද්ධ සංස්කෘතියක් ලෙසින් සමාජගත වූ අතර පසුව ඔහුගේ පුත්‍ර මහින්ද හිමියන් විසින් මෙරටට‍ ගෙන ආවේ බෞද්ධ සදාචාරයෙන් උද්දීප්ත වූ සමාජ සංස්කෘතිය යි‍. තවද ඒ දේ සිද්ධ වූයේ අද වැනි දිනක යි.

බෞද්ධ සංස්කෘතියේ මූලිකම හරය වන්නේ මිනිසකු සිය දිවි පැවැත්මේ ඇති නිර්මාණශීලී හැසිරීම ඔහු විසින් ම අවබෝධ කරගත යුතුව ඇති බවයි. ලොව ඇති වැදගත්ම සොයා යෑම තමන් සොයා යෑම යන බෞද්ධ සත්‍යය මීට පදනම් වන බව පැහැදිලි ය. ඒ නිර්මාණශීලී දිවි පැවැත්මේත් වැඩිම ඉඩක් වෙන් කොට ඇත්තේ මිනිසා සහ පරිසරය අතර ඇති කරගන්නා සහජීවනයෙන් උපදවා ගත හැකි පහන් සංවේගයටයි. එනිසා ම අශෝකයන් ගෙන් අප ලබාගත් ඒ ධර්මය නැවත කියවීම වර්තමානයේ මිනිසාගේ ජීවන පැවැත්ම යටපත් කරමින් නැගී සිටින පාරිසරික තර්ජනය පිළිබඳව යථාවබෝධයක් ලබාගැනීමට මහත් ම අනුබලයක් වනු ඇත. විශේෂයෙන් ම සත්ව ඝාතනය හා බැඳුණු මනුෂ්‍ය යහ පැවැත්ම බිඳ දමන පාරිසරික වශයෙන් ද අපථ්‍ය සීමා ඇති කරන වත්මන් ජීවන රටාව එදා තහනමට ලක්වුණේ අශෝක රජු ගේ එක් ප්‍රබල කියමනකිනි.

“වන ළැහැබ ගිනි තබා නො දැවිය යුත්තේය. එක් ප්‍රාණියකු නසා තවත් ප්‍රාණියකු පෝෂ්‍ය කිරීම නො මැනවි.” එමෙන් ම ඔහු එය පහත දැක්වෙන අන්දමින් විස්තර කිරීමට ද අමතක කොට නැත.‍ “සත්ත්ව ඝාතනය කිරීම මීට පෙර තහනම් කර නොතිබුණේ ය.

මගේ මුළුතැන්ගෙයි මෙහෙකරුවන් විසින් ආහාර පිණිස දහස් ගණන් සතුන් මැරූ නමුත් මා විසින් ප්‍රාණ ඝාතනය නො කරන සේ ආඥාවක් නිකුත් කරන ලද්දේ ය.‍ ඒ ආඥාව පැනවූ දිනයේත් මාගේ ආහාරය පිණිස මොනරු දෙන්නෙක් ද, මුවෙක් ද මරන ලද්දාහු ය. එහෙත් ඉන්පසු එකම සත්වයකුවත් නොමරන ලෙසට රටවාසීන්ට ද නියම කළෙමි.”

1685711207_1bf6f65bf2.jpg

ක්ෂීරපායින් මතු නොව උරගයන් සම්බන්ධයෙන් ද හානි පැමිණවීම හෝ මරා දැමීම බෞද්ධ දර්ශනයට අනුව අකැප පාපී හැසිරීමක් වේ. ඒ අනුව යමෙක් තෙමේ එක් උපතක් ඇති (මිනිසුන්, ගොනුන්, බල්ලන් මෙන් වැදෑ මසින් එකවරම උපදින සතුන්) හෝ දෙඋපතක් ඇති (මසුන්, උරගුන් වැනි එක් වරක් මවු කුසින් ද, දෙවැනි වර බිජු වමින් ද උපදින සත්තු) හෝ ප්‍රාණීන් මෙලොව්හී දී හිංසා කෙරේද, යමකුට පණ කෙරෙහි දයාව නැත්තේ ද ඔහු වසලයෙකැයි දන්නේ ය” යන ආකාරයෙන් ප්‍රාණ ඝාතය යන්න වඩාත් පුළුල් අයුරින් වත්මන් ව්‍යවහාරයට අනුව නම් ජෛව විවිධත්වය ආරක්ෂා වන ආකාරයෙන් එය විස්තර වී තිබේ. එහිදී ප්‍රධාන පෙළේ ඉතිහාසඥයින් පෙන්වා දෙන අන්දමට සත්වයින් ප්‍රමුඛ පාරිසරික පැවැත්ම මූලික වශයෙන් තම ප්‍රයෝජනයට යොදා ගැනීමේ පාරිභෝජනවාදය මත පදනම් වූ ආර්යවාදය පාරිසරික සහජීවනය මත ගොඩනැඟුණු සමාජ පැවැත්මක් බවට පත්වන්නේ එසේ නැත්නම් එවැනි සංයමයකට මෙරට සමාජය යටත් වන්නේ මහින්දාගමනය හරහා අප ලබාගත් බෞද්ධ සංස්කෘතිය නිසාම ය. හිංසනයෙන් තොර සහජීවනය පාරිසරික වශයෙන් ද පවත්වාගන්නට මෙරට වැසියන්ට හුරු කරවූයේ ඒ ඉගැන්වීම් ය.

බුදුන් වහන්සේ ලොව විසූ මහා පරිසරවේදියාණෝ යැයි පැවසේ. එහෙත් ඒ පැවසීම තුළ ඇති නිර්වචනය බොහෝ දුරට අපට ආගන්තුක සත්‍යයක් වේ. එතැනදී එක් බෞද්ධ උපමා කතාවක් වඩාත් නිවැරදිව අපට මේ තත්ත්වය පැහැදිලි කරදෙයි. ඒ අනුව එක් භික්ෂුවක් තමන් වහන්සේ විසූ සුන්දර පරිසර කලාපය තුළ අලුයම සක්මනේ යෙදී සිටියි. ඒ අසල විලකි. විලෙහි නෙළුම්මල් පිපී තිබේ. එහි සුගන්ධය සියුම් ලෙස අවට වාතයට මුසු වේ. මඳ වේලාවක් ඒ සියුම් සුවඳ විඳි භික්ෂුව එය වඩාත් තදින් විඳ ගනිමියි සිතා විලට බැස නෙළුම් මලක් සිය නාසය ආසන්නයට ම ගනිමින් සුවඳ ආඝ්‍රාණය කරද්දී ඒ දෙස බලා සිටි දෙවියකු ඒ ක්‍රියාව භික්ෂුවකට අකැප නොවේ දැයි ප්‍රශ්න කොට තිබේ. එවිට භික්ෂුව පවසා ඇත්තේ තමා මල නෙළා ගෙන අත්පත් කරගෙන නැති බවයි. සුවඳ පමණක් විඳින බවයි. එවිට අර දෙවියා පවසා ඇත්තේ මල නෙළාගෙන නැතත් ඔබ වහන්සේ එහි සුවඳ විඳින ආකාරය තුළ අත්හැරීමක් නොව වැලැඳගැනීමක් ඇති බව ය. ඔබ වහන්සේට ‍මලෙහි සුවඳ විඳින්නට පුළුවන. ඒ සුවඳ අවට වාතයට මුසුවේ. දුක නූපදවා පහන් සංවේගය උපදවාගෙන එවිට ඒ සුවඳ විඳිය හැකි ය. මේ උපමා කතාවේ භාවාර්ථය වන්නේ කුමක්ද? අප පාරිසරික පැවැත්ම විඳිය හැකි ය. එහෙත් එය කළ යුතුව ඇත්තේ පාරිසරිය වශයෙන් එයට පවතින්නට ඉඩ හැරීමෙනි. (අත් හැරීමෙනි) එවිට පරිසරය සංරක්ෂණය කිරීම නමින් අමුතු අවශ්‍යතාවක් ලොවට අවශ්‍ය නොවේ. පින් කිරීමේ අවශ්‍යතාව ඇත්තේ පව් කරන්නාට ය. ඒ ආකාරයටම විනාශයක් සිදු නොවන්නේ නම් සංරක්ෂණයක් අවශ්‍ය නොවේ.‍

බෞද්ධ සත්‍යයට අනුව මුලින් උදුරා නොගත් කුසුමක මල්, පෙති මෙන් ම එහි විකසිත වීම වටහා ගැනීමෙන් ලද හැකි පරමානන්දය ලොව ඇති ඉහළම ආස්වාදයවේ. එය මුලින් උදුරා තමන් වෙත පැහැර ගැනීමෙන් ඒ පරමානන්දය හිමිකරගත හැකි නොවේ. විශේෂයෙන් ම බෞද්ධ ඉගැන්වීම් ඔස්සේ හික්මවුණ පෙරදිග මනස සංස්ලේෂක යැයි හඳුන්වා දෙයි. පරිසරය යනු සමස්තයකි. එය කඩා වෙන් කිරීම හෙවත් විශ්ලේෂණය කිරීමට එයින් අනුබලයක් නො ලැබේ. ඒ සමස්තය නිගාමි හෙවත් නිගමනයක් ලෙසින් ගනියි. සැකමුසු නොවෙයි‍. ඒ නිසා මතවාදි විවිධත්වයකට නොව ඥානාන්විත එකඟතාවකට පැමිණෙයි. පුද්ගල පැවැත්මක් වශයෙන් ගත් කල අධ්‍යාත්මවාදීය. එහෙත් සමාජගත වූ විට සාමූහිකවාදීය‍. බුදුන් වහන්සේ ගේ ඉගැන්වීම් අපට ලබාදෙන්නේ එවැනි විග්‍රහයකි. මේ තරම් යහපත් පාරිසරික කළමනාකරණයක් තර්ක භෞතිකවාදයෙන් ලබාගත හැකි ද?

image3.jpg

බුදුන් වහන්සේ සැමවිටම සිය දිවා විහරණය සඳහා තෝරාගත්තේ උද්‍යානයක්, වන පියසක් වැනි පාරිසරික සෙවණක් ය. ලොව උතුම්ම දානය වශයෙන් උන්වහන්සේ අනුදැන වදාළේ ධර්මදානය යැයි කියැවේ. බෞද්ධ ධර්මය යනු යථා පැවැත්ම පිළිබඳව යථාවබෝධය ඉගැන්වෙන යථාවාදී කියැවීමක් වේ. ඒ බෞද්ධ ධර්ම ප්‍රදානය යථාවාද උගන්වා ඇත්තේ ආරාම වර්ධනය කිරීම යහපතැයි කියා නොවේ. වනෝද්‍යාන, වන පියස් සුරක්ෂිත කිරීම උත්තම සත් ක්‍රියාවක්ය කියා ය. නමුත් තෘෂ්ණාවෙන් ඉහවහා ගිය සිත් ඇති මිනිස්සු රමණීය වන පෙත් නොදකිත්. කෙලෙස් නැසූ මහරහත්හු පමණක් ඒ වන පෙත් හි රමණීයත්වය දකිත්. වරක් ගෝසින්ද සල්වනයට එක් රැස්වූ උගත් යතිවරයින් පස් නමක් සඳරැස් පතිත වන රාත්‍රියක මේ වනපෙත වඩාත් රමණීය වන්නේ මක් නිසා දැයි කතිකාවතක් ඇති කර ගෙන තිබේ. එතැනදී එක් භික්ෂුවක් කීවේ ධර්මධර භික්ෂුවක් ධර්මය දෙසනා අවස්ථාවක දී එය එසේ සිදුවන බවයි. ඒත් අනෙක් භික්ෂුවක් පැවැසුවේ දිවැස් නැණ ඇති නැණවත් භික්ෂුවක් මෙහි වසන්නේ නම් එය එසේ විය හැකි බවයි. එහෙත් ඉන් සෑහීමකට පත් නොවූ මේ භික්ෂූහු ඒ සම්බන්ධයෙන් බුදුන් වහන්සේ විමසූහ. භික්ෂූන් ගේ අදහස් සදොස් නැතැයි කී උන් වහන්සේ එහෙත් ඒ අ‍රබයා තමන්ට ඇත්තේ වෙනස් අදහසක් යැයි කියා මෙසේ පැවැසූහ‍. ඒ අනුව දිවා කල්හි ලද ආහාරය වළඳා මඳ විවේකයක් ලැබ ඉනික්බිතිව ම උන් ගැවසුණු වෘක්ෂයක් පාමුල පලක් බැඳ ගන්නා භික්ෂුවක් සියලු කෙළෙස් නසා මිස මෙතැනින් නැඟී නොසිටිමි” යි අධිෂ්ඨානය කෙරේ ද එහි ම වැඩ වසත් ද එකල්හි වන පෙත අතිශයින් ම රමණීය වන්නේ ය. ඒ ආකාරයට අත් හැරීම (කෙලෙස් නැසීම) නම් උත්තම ව්‍යායාමය හා බැඳුණු සියලු ජෛව ප්‍රජාවන් ආරක්ෂා කෙරෙන අන් මඟක් නැතැයි යන්න බෞද්ධ ඉගැන්වීම වේ. මේ සම්බන්ධයෙන් අප හා කළ සංවාදයක දී වඩා අර්ථවත් විග්‍රහයක් ඉදිරිපත් කිරීමට මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියෝ සමත්වූහ.

“බුදුන් වහන්සේ මේ පවසන්නේ කුමක්ද? ජගත් පාරිසරික සෞන්දර්යය හුදෙක් සෞන්දර්යය උදෙසාම නොවේ ය යන්නයි.‍ එය විමුක්තිය සඳහා ය. එසේ වූ විට එහි අර්ථපූර්ණ සෞන්දර්යයක් නිර්මාණය වේ. ගමක, වන සේනාසනයක, තැනිතලාවක, නිම්නයක රහතන් වහන්සේ නමක් වැඩ වාසය කිරීම අර සෞන්දර්යය අර්ථ පූර්ණ කිරීමක් වේ. සිත්තරකු අඳින චිත්‍රයක වුව ද පසු කාලයේ පාළුව මැකෙන්නේ සතකු හෝ ඉතා දුරින් මිනිස් රූපයක් හෝ සටහන් වුණෝතින් ය. එහෙම එකේ දුටුමතින් නො ඇලෙන ස්පර්ශයෙහි, ගන්ධයෙහි, රසයෙහි හෝ ශ්‍රවණයෙහි නො ඇලෙන මහ රහතන් වහන්සේ නමක් වන මැද විසීම වඩාත් රමණීය යැයි පැවසීම කොතරම් සත්‍යයක් ද? උන්වහන්සේ සතකුට තබා ගසක කොළයකට වත් හිංසා නොකරන සේක.”

loi-krathong-festival-2_93178_990x742.jpg

ඉහත විග්‍රහය පසුබිමේ බුද්ධ කාලීන භාරත සමාජයේ සත්‍යය කිමැයි විචාරන්නට ඉදිරිපත් වූ බොහෝ ශාස්තෘවරුන්ගේ වනගත පැවැත්ම ද තිබේ. සිද්ධාර්ථ තවුසා ද මුල් කාලයේ දී ඔවුන් අතරින් එක් අයෙක් විය. ශාස්තෘවරුන් විමසමින් ගිය ඒ ගමනේ දී ඔවුන් අතර හමුවීම් සැමවිටම වගේ සිදු වුණේ මිනිසුන් වසන සීමාවලින් ඈත් වූ ගංගාවන්, වන පියස් වැනි තැන්වලදී ය. ඉසිපතන වනපෙත ඒ නම ලබන්නේ ඍෂිවරුන් එහි රැස්වූ නිසා ය. අද අර්ථයෙන් නො වුණත් එය වනවාසී සතුන්ට ජීවිත නිදහස තිබූ අභය භූමියක් ද විය. එසේ බලන කල එදා භාරතයේ බොහෝ ආගම් මෙන් ම දර්ශනවාද හැදී වැඩුණේ වන පෙත් ආරාම කොටගෙන ය. අද මෙන් කොන්ක්‍රීට් ආරාම තුළ නොවේ. ඒ නිසා ම පාරිසරික හිතවාදී බව එකල බුද්ධාගම මුල් කොටගත් බොහෝ භාරතීය ආගම්වල මූලිකම ඉගැන්වීමක් විය. සංරක්ෂණය යන වචනය ඒ ඉගැන්වීම තුළ නො තිබුණත් අවබෝධය යන්න එහි අන්තර්ගත විය. ආර‍ාම, රුක් බියෙන් සරණ යෑම නොව අවබෝධයෙන් සරණ යෑම වඩා සුදුසු යැයි බුදුන් වහන්සේ පවසනුයේ එවැනි පසුබිමක සිටිමින් ය‍.

තමන්ට පිහිට වූ පාරිසරික පැවැත්මට කෘතවේදී වීමේ උදාරත්වය උගන්වන මහා දාර්ශනික ආගමික ශාස්තෘවරයකුගේ චරිතාපදානයක් වේ නම් ඒ වනාහි බුද්ධ චරිතය ම වේ. ඒ බව උන්වහන්සේ සත් සතිය ගත කළ සැටි කියවීමෙන් දත හැකි ය. කෘතවේදීත්වය යනු තමන් ලද උපකාරයක් මෙනෙහි කිරීම යි‍. යළි යළිත් මෙනෙහි කිරීමයි. ඒ කෘතවේදීත්වයට පාරිසරික සුන්දරත්වය අත් විඳීම ද අයත් ය. ගල් කුළින් සැදුණු ඒ ගල් කුළු නීල වන පෙතින් වැසුණු ගිජුකුළු පව්ව බුදුන් වහන්සේ බෙහෙවින් ඇලුම් කළ වනගත ස්ථානයක් යැයි පැවසේ.

myanmar-monks-statue_93905_990x742

පාරිසරික පැවැත්ම සහ ආරාමයක් තැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ සිය ඇවැත් භික්ෂූන්ට දෙසූ උපදෙසක් ඇත. “පතිරූප දේස වාසෝච” යනුවෙන් කියැවෙන්නේ එයයි. ඒ අනුව ආරාම‍යක් තැනීමේ දී එය නගරයෙන් ඈත් නොවිය යුතු ය. එමෙන් ම වඩාත් ආසන්න වීම ද නො විය යුතු ය. ආරාමයකට හිතකර වූ පරිසරය එය යි.

එවැනි ඉගැන්වීමක් තුළ එකල විහාර ආරාම සැලකුණේ වනගත සෙනසුන් හැටියට ය. මිහින්තලයේ අට සැට ලෙන් ද ලෙන් 96කින් යුත් සැස්සේරුව ද අපට පෙන්වා දෙන්නේ එම විශිෂ්ට සත්තාව යි. මේ සියල්ලම අදටත් අපට පෙන්වා දෙන්නේ තෘෂ්ණාව සහ ලොභය විඤ්ඤාණයෙන් පිටමං කළ යුතු බවයි.

බුදුන් වහන්සේ, “දෙවියෙක් ද නො එසේ නම් බ්‍රාහ්මණයෙක් ද? යි සංඥා ‍රූ, නාමවලින් හඳුනා ගන්නට බාහිර ලෝකය ගත් උත්සාහය උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ සැබෑ පැවැත්මේ විශ්ව සනාතනිකත්වය මේ යැයි මොනවට පෙන්වා දෙමිනි.

පියුම දියෙන් උපදී. එහෙත් දියෙහි නො ඇළී පවතී. එලෙසින් ම මම ද මිනිසුන් අතර ඉපිද, මිනිසුන් හා වැඩී එහෙත් ඔවුන් හා නො ගැටී නො ඇලී වසන්නෙක්මි.”

පාරිසරික වේවා මනුෂ්‍ය වේවා පැවැත්මේ ජගත් ස්වභාවය විය යුත්තේ එයයි; අත්හැරීම යි; නො ඇලීමයි. විඳීම යනු එයයි. වේදනා ඇති නොවන්නේ ද එවිට යි. ඉදින් එය ‍එසේ ම වන්නේ නම් ලෝක පාරිසරික පැවැත්ම වෙනුවෙන් අමුතුවෙන් සංරක්ෂණයක් අවශ්‍ය නොවෙයි.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s