අහස පො‍ෙළාව ගැටගැසූ ගැලීලියෝ නොකියූ කතාවක්

ඒ කතාව එහෙම නෙවෙයි

galileo-e1435358932718.jpg

සූර්යයා කේන්ද්‍ර කරගනිමින් පෘථිවිය එය වටා ගමන් කරන්නේය යන මතයට රුකුල් දෙන මිථ්‍යාග්‍රාහී අදහස් දරන්නකු ලෙස සහ ඒ අදහස ව්‍යාප්ත කරන්නකු ලෙස අට වැනි අර්බත් පාප් වහන්සේ විසින් චෝදනා කරනු ලැබූ ගැලීලියෝට 1632 දෙසැම්බර් මාසයේ දී රෝමයේ දේවධර්මාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග ලැබිණ.

ඔහු එළඹ සිටි විද්‍යාත්මක මත අසත්‍ය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඒවා හෙළා නුදුටුව හොත් ඔහුට වධ හිංසා පමණුවන බවට අනතුරු ඇඟවිණි. නිදහස් වීම සඳහා වෙනත් විකල්පයක් නුදුටු ගැලීලියෝට අන්තිමේදී 1633 ජුනි 22 වැනි දා දෙවියන්ගේ නියෝජිතයන්ගේ අභිමතයට ගැළපෙන, එහෙත් ඔහුගේ හෘදයසාක්ෂියට නොගැළපෙන ආකාරයේ ප්‍රකාශයක් කරන්නට සිදු විය. ප්‍රකාශය අවසන් කිරීමෙන් අනතුරුව ඔහු “e pur si mouve” (ඒ වුණත් ඒක ගමන් කරනවා!) යනුවෙන් තමාටම තොල මතුරාගත් බවට පැවත එන කතාව ඓතිහාසික වශයෙන් සැබෑවක් ලෙස බොහෝ අය තවමත් පිළිගනිති.

විසි වැනි සියවසේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා ලෙස සලකනු ලබන බර්ට්‍රන්ඩ් රසල්, ඔහුගේ Wisdom of The Westකෘතියෙහි ඉහත කී අවස්ථාව ගැන සඳහන් කරන්නේ මෙපරිද්දෙනි:

“සාමදානය උදෙසා සිය විශ්වාසයන් ඉල්ලා අස් කර ගත් ඔහු පෘථිවියේ ගමන පිළිබඳ සියලු අදහස් එතැන් සිට අත්හැර දමන බවට ද පොරොන්දු වූයේය. ඔහුට නියෝග කරන ලද පරිදි ඔහු එසේ කළ නමුත් ‘ඒ වුණත් ඒක ගමන් කරනවා!’ යනුවෙන් තමාටම තොල මතුරා ගත් බව පුරාණෝක්තියකින් පළ වෙයි.”

තාරකා විද්‍යාඥයකු, භෞතික විද්‍යාඥයකු, ඉංජිනේරුවෙකු, දාර්ශනිකයකු, ගණිත ශාස්ත්‍රඥයෙකු ‍වශයෙන් නවීන විද්‍යාවේ පදනම යෙදීම උදෙසා දැවැන්ත දායකත්වයක් සැපයූ ගැලීලියෝ ගැලීලෙයි (1564 – 1642) ගේ චරිතාපදානය පළමුවෙන්ම ලියන ලද්දේ ඔහුගේ ම ගෝලයෙකු වූ වින්සෙන්සෝ විනාති විසිනි. ඔහු සිය ගුරුතුමා මුහුණ දුන් නඩු විභාගය ගැන විස්තර කළත්, ඉහත කී ප්‍රකාශය ගැන කිසිත් නො කියයි. ගැලීලියෝගේ හෝ ඔහුගේ සමකාලීන ආශ්‍රිතයන්ගේ හෝ ලියකියවිලිවල ද ඒ කතාව ගැන යමක් සටහන්ව ඇති බවක් දැනගන්නට නැත.

පැරැණි චිත්‍ර ශිල්පීන්ගේ කෘතින් එකතු කරන ‘ජූල්ස්’ නම් බෙල්ජියානුවකුට ලැබුණ චිත්‍රයක, “e pur si mouve!” වැකිය දක්වා තිබුණු බව සඳහන් වේ. ඒ චිත්‍රයේ යොදා තිබුණු දිනය 1643 ද එසේ නැත් නම් 1645 ද යන්න නිශ්චය කළ නොහැකිව ඇත්තේ එහි අවසන් ඉලක්කම නොපැහැදිලි නිසායැයි කියති. කෙසේ වුවත් එය ගැලීලියෝගේ මරණයෙන් වසරකට හෝ දෙක තුනකට පසු කළ නිර්මාණයක් බව නිසැකය. සමහර විට ඒ වකවානුව වන විටත් ඉහත කී කියුම ජනතාව අතර පැතිර තිබෙන්නට ඇතැයි අනුමාන කරන්නට බැරි නැත. ඒ කෙසේ වුවත් ඒ චිත්‍රයෙහි ගැලීලියෝ පෙන්නුම් කර ඇත්තේ “බිම්ගෙයි සිරකරුවෙකු” හැටියට බැවින් විද්වතුන්ගේ මතය වන්නේ එය ඓතිහාසික වශයෙන් සදොස් එකක් බවය.

ගැලීලියෝට පවසනු ලැබ ඇති ඒ කියුම ඉංග්‍රිසි බසින් පළමු වැනි වරට අපට ලැබෙන්නේ ජුසෙප් බරෙන්ති නම් ලේඛකයෙකු විසින් 1757 දී පළ කරනු ලැබූ ItalianLibrary නම් කෘතියකිනි. එයට අදාළ වන උද්ධෘතයෙන් මෙසේ කියවෙයි:

aug25galileotelebw

“ඔහුට නිදහස ලැබුණු මොහොතෙහි ඔහු අහස දෙස බැලුවේය; ඉන් පසු බිම බැලුවේය. කල්පනාකාරී ලීලාවකින් තම පය බිම ගැසු ඔහු, “e pur si mouve!” – “ඒත් ඒක ගමන් කරනවා!” යැයි කීවේ ‘ඒක’ යන්නෙන් පෘථිවිය අදහස් කරමිනි.”

මෙය ලියැවී ඇත්තේ ගැලීලියෝගේ මරණයෙන් වසර 124කට පමණ පසුවය.

ගැලීලියෝ නම් වූ මිනිසා ඇත්ත වශයෙන්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ඔහුගේ “ගැලීලියෝ” නම් නාට්‍යයෙන් නිරූපණය කරන ආකාරයෙන් හුදෙක් විද්‍යාවට කැප වූ ශාන්ත දාන්ත පුද්ගලයකු නො වූ බව, තත්කාලීන ලේඛකයන්ගේ කෘතී ඇසුරෙන් තොරතුරු දක්වන කොලින් විල්සන් නම් ලේඛකයා තම Mysteries නම් ග්‍රන්ථයෙහි සඳහන් කරයි. ඔහු පවසන්නේ ගැලීලියෝ ඉක්මනින් කිපෙනසුලු, අහංකාර, එමෙන්ම උපහාසාත්මක පුද්ගලෙයකු වූ බවය. කතෝලික බලධාරීන් සහ ඔහු අතර විරසකයට හේතු වූයේ ද ඔහුගේ කලහකාරී බවයැයි මතයක් ද පවතී.

කෙසේ වුවත් ඒ අවස්ථාව වන විට 69 වැනි වියෙහි පසු වූ ගැලීලියෝගේ ශරීර සෞඛ්‍යය ද අයහපත් විය. දේවධර්මාධිකරණයෙන් ඔහුට ලැබුණ නියෝග අනුව ඔහු සැතපුම් 200 ක පමණ දුරක් ගෙවා රෝමයට යා යුතුව තිබිණ. වඩාත් නුදුරු නගරයකදී දේවධර්මාධිකරණය හමුවේ පෙනී සිටීමට අවසර ඉල්වමින්, වෛද්‍යවරුන් තිදෙනෙකුගේ නිර්දේශ ද සහිතව ඔහු අභියාචනයක් ඉදිරිපත් කළේය. එයට ලැබුණු පිළිතුරෙන් කියැවුණේ ගැලීලියෝ සිය කැමැත්තෙන් රෝමයට නොපැමිණිය හොත් ඔහු යදම්වලින් බැඳ බලහත්කාරයෙන් එහි ගෙන එන බවය.

මිථ්‍යාග්‍රාහී චෝදනා ලැබ මෙසේ දේවධර්මාධිකරණය වෙත ගෙන්වනු ලැබූ ජෝර්දානෝ බෲනෝ නම් චින්තකයාට එයට වසර 33කට පෙර – එනම් 1600 දී අත්වුණු ඉරණම ගැන ගැලීලියෝට සිහිපත් වන්නට ඇති බව නිසැකය. චෝදනාවලට වැරැදිකරුයැයි තීරණය කරනු ලැබු ජෝර්දානෝට ඔවුන් දඬුවම් කළේ සිටුවූ කණුවකට ඔහු බැඳ ඒ වටා දර ගොඩගසා ගිනි දල්වා අමු අමුවේ පුලුස්සා දැමීමෙනි. කාඩිනල්වරුන් දසදෙනකු ඇතුළු ආගමික බලධාරීන් පිරිසකට මැදි වූ ගැලීලියෝට කොටි රංචුවකට මැදි වූ මහලු ගවයෙකුට මෙන් දැඩි අසරණ බවක් දැනෙන්නට ඇත. ඔවුන් කියන කුමකට හෝ එකඟ වී යන්තමට පණ කෙන්ද බේරා ගැනීමට පුළුවන්කම තිබියදී අනවශ්‍ය ප්‍රකෝපකාරී, අතිපණ්ඩිත කතාවක් දොඩවන්නට තරම් ගැලීලියෝ මෝඩ වන්නට ඇතැයි සිතීම අසීරුය.

ගැලීලියෝට මුහුණ දීමට සිදු වූ අවස්ථාව, නොයෙක් විදිහේ වැරැදි වැටහීම්වලට හේතු වුවක් බව පෙනේ. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්නේ ය යන මතය මතු කරන ලද්දේ නිකොලස් කොපර්නිකස් (1473 – 1543) විසිනි. ඇත්ත වශයෙන් මේ සූර්ය කේන්ද්‍රීය මතය මුලින්ම ඉදිරිපත් කළ තැනැත්තා ලෙස සලකනු ලබන්නේ ග්‍රීක තාරකා විද්‍යාඥ ඇරිස්ටාර්යස්ය. (ක්‍රි. පූ. 310 – 230) ය. යළිත් එය කොපර්නිකස් විසින් මතු කරනු ලබන තෙක් ම සියවස් ගණනක් තිස්සේ බටහිර විද්වතුන් විසින් පිළිගන්නා ලද්දේ ක්ලෝඩියස් ටොලමි (දෙවැනි සියවස) විසින් උගන්වල ලද, සදොස් වූ පෘථිවි කේන්ද්‍රීය මතයයි. එක් අතකින් කොපර්නිකස් ක්‍රිස්තියානු දේවගැතිවරයෙක් වූයේය. අනෙක් අතින්, ඔහු සිය නිගමනයන් විස්තර කරමින් ලියූ ග්‍රන්ථය “On the Revolution of Heavenly Spheres” පිළිගන්වන ලද්දේ ද තෙවැනි පාවුලු පාප් වහන්සේ වෙත බව සැලකිය යුතු කරුණකි.

කොපර්නිකස්ගේ ඉගැන්වීම් තහනම් කිරීමට පල්ලිය අදහස් කරන බවට දුෂ්මාන තොරතුරක් 1616 දී ගැලීලියෝට දැන ගන්නට ලැබිණ. ඔහු රෝමයට ගොස් බෙලාර්මිනෝ නම් කාඩිනල්වරයාගෙන් ඒ ගැන විමසුවේය. කාඩිනල්වරයාගෙන් ලැබුණු උපදේශය වූයේ කොපර්නිකස් මතය සත්‍යයකැයි ඔප්පු වූවක් හැටියට නොව හුදෙක් උපහාසයක් හැටියට යොදා ගැනීමෙහි වරදක් නැති බවය.

Jupiter_family.jpg

1623 දී අටවැනි අර්බත් පාප් වහන්සේ පදවි ප්‍රාප්ත වූයේය. ගැලීලියෝ රෝමයට ගොස් නව පාප් වහන්සේ සමඟ ද ඒ කරුණ ගැන සාකච්ඡා කළේය. ඒ වන විට බෙලර්මිනෝ කාඩිනල්වරයා ජීවතුන් අතර සිටියේ නැත. ඔහුගෙන් ගැලීලියෝට‍ ලැබී තිබුණු සහනයට වඩා අමතර බුරුලක් දෙන්නට පාප් වහන්සේ මැළි වූහ. කොපර්නිකස්ගේ මත සත්‍ය වශයෙන් ඔප්පු වූ දේවල් හැටියට ඉගැන්වීමට ඉඩ නැති බවත්, ගැලීලියෝට අවශ්‍ය නම් ඔහුගේ මති මතාන්තර සංවාදයක ස්වරූපයෙන් – ප්‍රතිවාදී අදහස් ද ඉදිරිපත් කෙ‍ෙරන පරිදි කථෝපකථනයක් ලෙස ඉදිරිපත් කිරීමට ඉඩ දිය හැකි බවට උන් වහන්සේ පැවසූහ. ඒ කෙසේ වුවත්, දෙවියන් වහන්සේගේ මහිමය සහ ප්‍රඥාව අන් කිසිවෙකුටත් සීමා කරන්නට නුපුළුවන් බව කියැවෙන පාඨයක් අනිවාර්යයෙන් ම මුද්‍රණයෙහි අඩංගු කළ යුතු බව කී පාප් වහන්සේ සංවාදය සඳහා තවත් කරුණු රැසක් ද යෝජනා කළහ. ඒ යෝජනාවලට ගැලීලියෝ එකඟ විය.

ගැලීලියෝ විසින් 1632 දී පළ කරන ලද ‘Dialogue on the Two chief world systems’ ග්‍රන්ථයෙහි පිටපතක් පාප් වහන්සේට කියවන්නට ලැබුණි. ගැලීලියෝ ඔහු දුන් පොරොන්දු නිසි ලෙස ඉටු කර නොතිබුණු බව දැකීමෙන් පාප් වහන්සේ කෝපයට පත් වූහ. එපමණක් නො වේ, අනිවාර්යයෙන් ම මුද්‍රණයෙහි ඇතුළත් කළ යුතු යැයි පාප් වහන්සේ විසින් යෝජනා කරන ලද පාඨය, ගැලීලියෝ සිය ග්‍රන්ථයෙහි සංවාද ගත කර තිබුණේ මෝඩයෙකුගේ කියුමක් ලෙසිනි! අටවැනි අර්බත් පාප් වහන්සේ ද කිසිවකුටත් දෙවැනි වන්නට සූදානම් නොවූ දැඩි මතධාරියකු වූ බව කියනු ලැබේ. ගැලීලියෝගේ ක්‍රියාකලාපය තමාට කළ නිග්‍රහයක් ලෙස ඔහු දකින්නට ඇති බව නිසැකය. එසේ තිබියදී ඒ වකවානුවෙහි පාප් වහන්සේට තිබුණ බලපරාක්‍රමය ගැන සිතන විට, ඔහු ගැලීලියෝව දේවධර්මාධිකරණය වෙත නොගෙන්වූවා නම් එය පුදුමයට කරුණකි.

ඒ කෙසේ වුවත්, නිවාස අඩස්සියෙහි රඳවනු ලැබීමට වඩා දැඩි දඬුවමක් දේවධර්මාධිකරණයෙන් ගැලීලියෝට‍ නො ලැබිණි. තවදුරටත් ලිවීම ඔහුට තහනම් කර තිබුණු නමුත් එය සැලකිල්ලට නොගත් ඔහු භෞතික විද්‍යාව පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය කොට එය නෙදර්ලන්තයේ දී පළ කරවූයේය. කෙසේ වෙතත් කතෝලික පල්ලියේ බලධාරීහු තව දුරටත් ඔහු පසු පස එළවීමට අදහස් නො කළහ.

මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා 1638 වන විට මුළුමනින්ම අන්ධභාවයට පත් වූයේය. ඔහු විසින් නිපදවා ගන්නා ලද දූරේක්ෂයෙන් නිතර නිතර ආකාස වස්තු නිරීක්ෂණයේ යෙදෙමින් අනවශ්‍ය පරිදි දෑසට පීඩා ගෙන දීම එයට හේතු වී යැයි කියනු ලැබේ. ඒ වසරේදීම ජෝන් මිල්ටන් (1608 – 1674) නම් ඉංග්‍රිසි මහා කවියා ද ඔහු බැහැදැකීම සඳහා ඉතාලියට පැමිණි බව සඳහන්ය. ජෝන් මිල්ටන් කවියාට ද ඔහුගේ දෑසෙහි පෙනුම 1660 දී මුළුමනින්ම අහිමි විය.

ගැලීලියෝගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරු විරලය. නීත්‍යනුකූල විවාහ ජීවිතයකට ඇතුළත් නොවූ ඔහු, මරීනා ගැම්බා නම් වූ කාන්තාව සමඟ වසර දහයක් පමණ කල් ගෙවූයේය. ඔහුට දාව ඕ දියණියන් දෙදෙනකු හා පුතකු ලොවට බිහි කළාය. අවජාතක භාවය මෙන්ම ප්‍රමාණවත් දායාදයක් ලබා දීමට ගැලීලියෝ අපොසත් වීමත් හේතුවෙන් දියණියන් දෙදෙනා විවාහ නොවූ බව සඳහන්ය. ඔවුහු කන්‍යා සොහොයුරියන් බවට පත් වූහ. පුතා නීතිඥයෙක් වූයේය.

කාලයාගේ ඇවෑමෙන්, නවීන විද්‍යාවේ දියුණුවත් සමඟ කතෝලික පල්ලිය විසින් ගැලීලියෝ පිළිගනු ලබන්නට ඇතැයි කෙනෙකු සිතන්නට පුළුවන. එහෙත්… එය සිදු වූයේ ශතවර්ෂ හතරකට පමණ පසුවය! එදා දේවධර්මාධිකරණයේ විනිසුරන් විසින් ගැලීලියෝ විනිශ්චය කිරීමේදී සිදු කරන ලද වරද පිළිගෙන ඒ ගැන අන්තිමේදී කනගාටුව ප්‍රකාශ කරන ලද්දේ 1992 ඔක්තෝබර් 31 වැනි දා දෙවැනි ජුවාන් පාවුලු පාප් වහන්සේ විසිනි. ඒ නිසා දැන් නම්, ගැලීලියෝට ස්වර්ගයෙහි වුවත් සැලකිය යුතු තරම් වැදගත් තැනක් ලැබෙනු ඇතැයි අපට බලාපොරොත්තු වීමට පිළිවන.

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s