මදුරු දඟරවලින් නිකුත් විෂ සංයුති නිසා ගේ කුරුලුගහනයේ අඩුවීමක්

House_Sparrow_-_Male_Breeding.JPG

“හිරු එළියේ වටිනාකම දැනෙන්නේ අඳුරු සෙවණැලි දකින කල්හි ය.”– අගතා ක්‍රිස්ටි

වන සත්ත්ව හා වෘක්ෂලතා පනතින්
ගේ කුරුල්ලා ආරක්ෂිත පක්ෂියෙක්

මීට අවුරුදු විස්සකට තිහකට පෙර ඒ හඬ හොඳින් ම ඇසිණි. ගෙවල් අසලත් කඩ සාප්පු, කාර්යාල සහ නගර මධ්‍යයේත්, ගොඩනැඟිලි ඇසුරේත් මේ කුඩා කුරුලු විශේෂය අපට දකින්නට ලැබිණි. ලොව පුරා පුළුල් ව්‍යාප්තියක් පෙන්වන එහෙත් අද වන විට අපේ රට තුළ ශීඝ්‍ර ලෙස හීන වී යන “ගේ කුරුල්ලා” ය. House Sparrow වශයෙන් ඉංග්‍රීසි බසට නැ‍ඟෙන ඒ පක්ෂි නාමයේ විද්‍යාත්මක හඳුනා ගැනීම Passer domesticus ය.

ගේ කුරුල්ලා උප විශේෂ 7 කින් ආසියානු, අප්‍රිකානු මෙන්ම යුරෝපා කලාපයන්හි දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ මෙන් ම අසල්වැසි ඉන්දියාවේ දී හමුවන්නේ Indian House Sparrow ලෙසින් හඳුන්වන විශේෂය යි. ඔවුහු විද්‍යාත්මක නමට අනුව Passer domesticus indicusවෙති එම විශේෂය, ගේ කුරුල්ලා නම් ප්‍රධාන ප්‍රවාහය තුළ උප විශේෂයක් ලෙස සැලකේ.

දවස පුරා ආහාර ගනිති Country Diary : Two male house sparrows

ගේ කුරුල්ලන් වර්තමානයේ දී නොසිතූ විරූ අයුරින් වඳ වී යෑම පිළිබඳව සහ ඊට හේතු සොයා යමින් පක්ෂි නිරීක්ෂක, නීතිඥ ජගත් ගුණවර්ධන විසින් සිදු කළ නිරීක්ෂණ වාර්තාවකට අනුව ගේ කුරුල්ලන්ගේ ගහනයේ මේ අඩු වීම දිස්ත්‍රික්ක 18 කම මේ වන විට දකින්නට ලැබේ.

“ඒවා නම් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, අම්පාර, බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව, කෑගල්ල හා රත්නපුරය වේ. මේ සෑම ප්‍රදේශයකම ගේ කුරුල්ලන්ගේ අඩුවීමේ ක්‍රමය එක හා සමාන ය. එනම් ඔවුන් ප්‍රධාන වශයෙන් වඳ වී යන්නේ නේවාසික ප්‍රදේශවලිනි. මේ සෑම දිස්ත්‍රික්කයක ම කඩ සාප්පු, කාර්යාල සහ නගර මධ්‍යයන් හි ගේ කුරුල්ලන්ගේ හොඳ ගහනයක් නොනැසී පැවැතීම විශේෂත්වයකි. කොළඹ, මහනුවර, ගාල්ල හා මාතර වැනි නගරවල ඉතා ජනාකීර්ණ වාණිජ ප්‍රදේශවල හොඳ ගේ කුරුලු ඝනත්වයක් සහිතව සිටි ගේ කුරුල්ලන් ඒ නගරවල, ප්‍රධාන වශයෙන් නේවාසික ප්‍රදේශවල සුළු වශයෙන් හෝ මුළුමනින්ම නැති වී ගොස් ඇත.”

පක්ෂි නිරීක්ෂක, නීතිඥ ජගත් ගුණවර්ධන මේ නිරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන්නේ ගේ කුරුල්ලන්ගේ වඳ වී යෑමට හේතු සොයා ගැනීමේ අරමුණින් වුවත්, ඊට පෙර මේ පක්ෂීන් පිළිබඳව ද සැලකිය යුතු මට්ටමේ විස්තරයක් ද ඉදිරිපත් කිරීමට ද ඔහු අමතක නො කරයි.

ඒ අනුව, බහුල වශයෙන් ධාන්‍ය වර්ග ආහාරයට ගන්නා පක්ෂියකු ලෙස පොදුවේ හඳුනාගත්ත ද ගේ කුරුල්ලා මිනිස් ඇසුරේ විසීම නිසා සර්ව භක්ෂකයකු ගේ තත්ත්වයට පත් ව සිටියි. “ප්‍රධාන වශයෙන් ධාන්‍ය ආහාරයට ගන්නා පක්ෂියකු වන ගේ කුරුල්ලාට මිනිසුන් ඉවතලන ආහාර ද්‍රව්‍ය, ශාක කොටස්, කෘමීන් හා පණුවන් වැනි කුඩා සතුන් ද අයත් වන ඉතා පුළුල් පරාසයක් මත යැපිය හැකි සර්ව භක්ෂක භෝජන රටාවක් ඇත.”

House Sparrow AH.jpg

හුරු වී සිටින ආකාරයට නිවාස මෙන් ම ගොඩනැඟිලිවල තිබෙන සිදුරු හා වෙනත් කුඩා ඉඩකඩක වුව ද කැදැල්ලක් තනා ගැනීමට මේ පක්ෂියාට පුළුවන. ගොඩනැඟිලිවලින් ඉවත් ව ගස්වල ගෝලාකාර කැදලි තැනීමේ අවස්ථා ද ඉඳහිට හෝ දැකිය හැකි ය. වරකට දමන බිත්තර සංඛ්‍යාව 3 ක් හෝ 5 කි. ඒවා සති දෙකක් පමණ කාලයකදී බිඳී පැටවුන් බිහි වෙයි. පැටවුන් යැපෙන්නේ කෘමීන් ඇතුළු වෙනත් කුඩා සතුන්ගෙනි. ඒ හඳුනා ගැනීම් අතර වෙසෙස් තත්ත්වයක් ද තිබේ. ඒ අනුව ගේ කුරුලු පැටවු දවස පුරා ම ආහාර ගනිති. මසක් ඉක්ම යෑමටත් මත්තෙන් එනම් සති තුනක් වැනි කාලයක් තුළ ඉගිල යෑමට ද ඔවුන්ට පුළුවන්කමක් තිබේ.

බිත්තර නොබිඳී එසේම තිබුණි

“ගේ කුරුල්ලන්ගේ අඩු වී යෑම ම විසින් මුල් වරට නිරීක්ෂණය කෙරුණේ 1976 වසරේ අම්පාරේ අප පදිංචිව සිටි නිවසෙනි” යි ජගත් ගුණවර්ධන මහතා සිය නිරීක්ෂණ වාර්තාවේ ලා පවසයි. “එහි සිටි ගේ කුරුල්ලන් සුපුරුදු පරිදි බිත්තර දැමීම සිදු කළ ද, කූඩුවල පැටවුන් බිහි වී සිටීමු දක්නට නො හැකි විය. මෙහි දී ඇතැම් ස්ථානවල සිටි පක්ෂීන් සිදු කළේ බිහි නොවී පවතින බිත්තර සහිත කැදැල්ල බිමට ඇද දමා යළි එතැනම නව කැදැල්ලක් තැනීම යි. වඩාත් ඉඩකඩ සහිත තැන්වලදී ඒ බිත්තර වැසී යන සේ නව ශාක ද්‍රව්‍ය අතුරා ඒ මත යළි බිත්තර දමා තිබිණි.” එහෙත් ඔහුගේ නිරීක්ෂණයට අනුව ඊළඟ වර්ෂයේ දී මේ කැදලි, ඒ පක්ෂීන් විසින් ම අත්හැර දමා තිබීම පැහැදිලිව දැකිය හැකි විය. තමන් ඒවා ඉවතට ගනිමින් පරීක්ෂා කළ බවත් ඒ අවස්ථාවලදී ඒවායේ වූ බිත්තර නොබිඳී පවතින අයුරු දැකගත හැකි බවත් වාර්තාවේ දැක්වේ. “1980 වන විට ප්‍රදේශ ගණනාවකම මේ අඩුවීම දක්නට හැකි විය.”

ගේ කුරුල්ලා ඒ ඒ ප්‍රදේශවලදී මේ ආකාරයෙන් අතුරුදන් වී යාම ගැන විවිධ හේතු සහ උපකල්පන ඇතැයි පවසන ඉහත වාර්තාව ඒ ගැන ද විමසීමක් කරයි. ඒ අනුව ඇතැම්හු මෙය මේ වනතුරුත් හඳුනා නොගත් රෝගයක් නිසා මේ වඳවීම සිදු වුණේ යැයි සලකති. ඒත් ඒ හේතුව ඇත්තක් යැයි පිළිගැනීමට නොහැකි වන්නේ එක අතකින් ජනාකීර්ණ විශේෂයෙන් ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් වතු නිවාස ඇසුරේ මෙන් ම ඒ නගරවල හොඳ ගේ කුරුලු ගහනයක් පැවැතීමයි. කෙසේ වෙතත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ තමන්ගේ නිරීක්ෂණයට අනුව මේ වඳ වීම අවධි දෙකකින් සිදු වී ඇති බව යි. ඒ අනුව අම්පාර, කොළඹ හා කළුතර වැනි දිස්ත්‍රික්ක කිහිපයක දී මේ තත්ත්වය නිරීක්ෂණය වූයේ 70 දශකය අග භාගයේ දී ය. එහෙත් බොහෝමයක් ප්‍රදේශවල මේ තත්ත්වය කැපී පෙනෙන අයුරින් දැකගත හැකි වුණේ 90 දශකය මැද භාගයේ දී පමණය. නිදර්ශකයක් ලෙස හම්බන්තොට මෙන් ම බදුල්ල යන දිස්ත්‍රික්කවල මේ අඩුවීම දැකගත හැකි වන්නේ 1996 සිට ය.

house-sparrow.jpg

කෘෂි රසායනික භාවිතයේ ඉහළ යෑම මේ පක්ෂි ගහනයේ වඳ වී යෑමට හේතුවක් වශයෙන් සැක කෙරේ. අදාළ වාර්තාව හඳුනාගෙන ඇති ආකාරයට බොහෝ ප්‍රදේශවල දී මේ කුරුල්ලන් හමුවන්නේ බෝග වගා කළ බිම් ඇසුරේ නොවේ. එසේ බෝග වගා කොට නොමැති නිවෙස් ආශ්‍රිතවයව.

මැලේරියාවට ගැසූ මැලතියන්

“මොනරාගල, බදුල්ල, නුවරඑළිය හා හම්බන්තොට වැනි 1990 දශකය මැද භාගයේ ගේ කුරුල්ලන් අඩුවීම සිදුවුණු දිස්ත්‍රික්කවල කෘෂි රසායන භාවිතය විශාල වශයෙන් සිදු වූයේ මීට බොහෝ කාලයකට පෙර සිටය.” ඒ අනුව ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ ඒ ප්‍රදේශවලින් ගේ කුරුල්ලන් අඩුවීමත්, කෘෂි රසායන භාවිතයේ වෙනස්කමක් සිදු වීමත් වශයෙන් ගැටුම්කාරී තත්ත්වයක් දැකිය නො හැකි බව යි. ඒ අනුව ගේ කුරුල්ලන්ගේ අඩුවීම හා කෘෂි රසායන භාවිතය අතර ඍජු සම්බන්ධයක් දැකිය නොහැකි බවක් නිගමනය කෙරෙයි.

ගේ කුරුල්ලන්ගේ ගහනය ශීඝ්‍ර ලෙස අඩු වූ තවත් ප්‍රදේශයක් වශයෙන් අම්පාර (දිගාමඬුල්ල) හඳුනා ගැනේ. මෙහි දී ඊට හේතුව වශයෙන් ඉදිරිපත් වුණේ මැලේරියාව බෝ කරන මදුරුවන් මර්දනයට යොදාගත් මැලතියන් භාවිතය යි. තව ද මේ කාලයේ දී බස්නාහිර පළාතේ ද විශේෂයෙන් ම කොළඹ හා කළුතර යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශ කිහිපයක බරවා මදුරුවන් මර්දනය කිරීම සඳහා ද ගෘහාශ්‍රිතව මැලතියන් භාවිත කොට තිබේ. පක්ෂි නිරීක්ෂක, ගුණවර්ධන පවසන්නේ ඒ ප්‍රදේශවල ද ගේ කුරුල්ලන්ගේ අඩුවීමක් දකින්නට ලැබුණ වගයි. “තව ද ව්‍යාපාරික හා කාර්යාල අවට ප්‍රදේශවල මේ කෘමිනාශක යෙදීම සිදු වී නොතිබීම ඒ ප්‍රදේශවල ගේ කුරුල්ලන්ගේ පැවැත්ම සඳහා හේතු වුණු බවට ද අනුමාන කළ හැකි ය. කෙසේ වුවත් මේ සහසම්බන්ධතාව පිළිබඳ අධ්‍යයනයට තමන් යොමු වුණේ පසු කාලයක දී බැවින් මේ පිළිබඳව වැඩිමනක් තොරතුරු අනාවරණය කරගැනීමට නො හැකි වූ බවක් ද පැවැසේ.

නිරීක්ෂණ වාර්තාව පෙන්වා දෙන ආකාරයට 1990 දශකයේ දී ගේ කුරුලු ගහනය විශාල වශයෙන් අඩු වූ ප්‍රදේශවල, ඒ කාලයේ දීම (ගෘහාශ්‍රිතව රසායනික ද්‍රව්‍ය භාවිතය පිළිබඳව කළ විමසීම්වලින් පෙනී ගිය ආකාරයට) ගේ කුරුල්ලන්ගේ අඩුවීමට යම් කාලයකට පෙර සිට (වසර 1 – 2 කට පෙර සිට) ගෘහාශ්‍රිතව මදුරු දඟර භාවිතයේ ද ඉහළ යෑමක් දකින්නට පුළුවන. මේ නිරීක්ෂණයේ වැදගත් කොටස පවසන ආකාරයට මදුරු දඟර දල්වන්නේ රාත්‍රී කාලයේදීය. එතැනදී ගෘහාශ්‍රිතව වෙසෙන ගේ කුරුල්ලා එක්තැන් ව සිටින ඒ අවස්ථාවේ දී අනිවාර්යයෙන් ම ඒ දුමට ගොදුරු වේ. ඒත් සමඟම මේ දුමෙන් මිය යන කුඩා කෘමීන්, මදුරුවන් පවා ආහාරයට ගැනීමේ වැඩි ඉඩක් ද මේ ගෘහාශ්‍රිත පක්ෂියා වෙනුවෙන් නිර්මාණය වෙයි.

maxresdefault.jpg

මදුරු දඟර දුම

මදුරු දඟරවල සක්‍රීය සංඝටකයන් ගැන සිදු කොට ඇති පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ සමස්තයක් ලෙසින් එය කෘත්‍රීම පයිරිත්‍රොයිඩ (Synthetic Pyrethroids) සංයුතියකින් යුක්ත බවයි. 1980 දශකය තරම් කාලයේ සිට මේ කෘත්‍රීම රසායනිකය පක්ෂීන් ගේ ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරිත්වයට අහිතකර බලපෑම් කිරීමේ ලා සමත් බවට තොරතුරු ප්‍රකාශයට පත් ව තිබේ. “නගර මධ්‍යයේ ඇති කාර්යාල හා වාණිජ ප්‍රදේශයන්හි රාත්‍රියේ පදිංචිකරුවන් අඩු බැවින් හෝ නොමැති බැවින් මදුරු දඟරවල ඇති දුමට එහි සිටින ගේ කුරුල්ලන් ලක් වීමක් නොමැති තරම් ය. මේ නිසා දෙවැනි වටයේ (එනම් 1990 දශකයේ) ගේ කුරුල්ලන්ගේ අඩු වී යෑම සහ මදුරු දඟර භාවිතයේ ඉහළ යෑම අතර සහසම්බන්ධතාවයක් ඇති බව පෙනී යන කරුණකි.”

15TH_MOSQUITO_893372f.jpg

ගේ කුරුල්ලන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් පවත්නා නෛතික විධි විධාන ගැන ද මෙහිදී කරුණු හෙළි කිරීමක් සිදු වේ. ඒ අනුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආපදා පනතට අනුව (2009 අංක 22 දරන සංශෝධනය) ගේ කුරුල්ලා ආරක්ෂිත පක්ෂියෙකි. මේ අනුව ගේ කුරුල්ලෙකුට හානි කිරීම, මරණයට පත් කිරීම මෙන්ම බිත්තරවලට හා කැදලිවලට හානි කිරීම හෝ ඒවා විනාශ කිරීම පනතේ 31 වගන්තිය ප්‍රකාරව වරදක් වේ. ඒ අනුව එතැන දී චේතනාත්මකව අදාළ පක්ෂීන්ට හෝ උන්ගේ පැවැත්ම වනසන ආකාරයේ හානි කිරීම් වරදක් වශයෙන් ප්‍රකාශ කොට තිබේ. නමුත් ප්‍රශ්නය වී තිබෙන්නේ, ගේ කුරුල්ලන්ගේ ගහනය අවම වීම සිදු වන්නේ එසේ චේතනාත්මකව සිදු කෙරෙන මහා සංහාරයකින් නොව, වෙනස් ආකාරයකින් සිදු කෙරෙන මානව ක්‍රියාකාරකමක් මත වීම ය යන්න යි.

“නිවෙස් තුළ මදුරු දඟර භාවිතය පසුගිය කාලයේ ඇති වූ ඩෙංගු උවදුර සමඟ තවදුරටත් වැඩි වීමක් මිස කිසි සේත් අඩුවන බවක් පෙනෙන්නට නැත. ඒ අනුව ගේ කුරුල්ලාගේ හෙට දවස… ඇත්තට ම අවිනිශ්චිත ය.

(විශේෂ ස්තූතිය – හරිත නිර්මාණ පියස)

බී. කේ. එම්. එස්. ආරියවංශ

 

Advertisements

2 thoughts on “මදුරු දඟරවලින් නිකුත් විෂ සංයුති නිසා ගේ කුරුලුගහනයේ අඩුවීමක්

  1. Mata denaganta labuna biththiwala aalepa karana rubber paint nisa ge kurullan vanda veemata lakvuna kiyala. Koitharam durata sathyada kiyala mama danne ne.

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s