Red Mango Festival

බෙංගාල බොක්ක අවට උපත ලැබූ නිවර්තන කලාපයේ ඇපල් – අඹ

ලෝක දේශගුණික විපර්යාසයට අනුවර්තනය වීමේ හැකියාව

mango (1).jpg

* ප්‍රධාන ආහාර වේලක් තරමට ගුණ දෙන පලතුරක්

* ලොව විශාලතම අඹ උත්සවය ඉන්දියාවේදී ජූලි මාසයේ

* ඉන්දියාවේ පමණක් අඹ ප්‍රභේද දහස් ගණනක්

* මුල් බිම අන්දමන් දූපත් – ඇටඹ අපේ රටේ පමණයි

පොඩි බඩගින්නක් ගැන අප කතා කරන්න ගත්තේ මෑතක සිට ය. ඒ එක්තරා වෙළෙඳ සමාගමක් විසින් නිර්මාණය කරන ලද ජනප්‍රිය වෙළෙඳ ප්‍රචාරණයක් නිසා ය. ඒ මිස ඉන් එහාට ගිය වටිනාකමක් පොඩි බඩගින්නට නැත. එහෙත් ලෝකයේ පෝෂණ විද්‍යාඥයෝ “සැඟවුණ බඩගින්න” ක් (Hidden hunger) ගැන කතා කරයි. ඒත් එතැන තියෙන්නේ අර වගේ වෙළෙඳ අවශ්‍යතාවක් නොවේ. සැඟවුණු බඩගින්න යනු පෝෂණ විද්‍යාව විසින් සොයා ගන්නා ලද්දකි. පෝෂණ විද්‍යාඥයන් ඒ සම්බන්ධයෙන් දෙන නිර්වචනය වන්නේ මිනිස් ශරීරය තුළ ඇතිවන පෝෂක ඌනතාවය ඒ සැඟවුණු බඩගින්නට හේතු වේ ය යන්නයි. කෙසේ වුව මෙතැන දී අප එය ඉදිරියට ගත්තේ දිගින් දිගට ම ඒ ගැන කතා කරන්නට නොවේ. ලොව ප්‍රකට පලතුරු විශේෂයක් වන “අඹ” ගැන කතා කිරීමට ය. ඒ අනුව මෙතැන තියෙන්නේ අඹ කතාවකි.

mango-tree-2v2-550x350.jpg

ඉහතින් පෙන්වා දුන් ආකාරයට පෝෂණ විද්‍යාඥයෝ, අඹ පෝෂක සන්තෘප්ත පලතුරක් වශයෙන් සලකති. එහි තේරුම ප්‍රධාන ආහාර වේල් මඟින් අපට මඟ හැරෙන පෝෂණය යම් ආකාරයකින් සන්තෘප්ත කිරීමේ හැකියාවක් අඹවලට ඇති බව යි. එසේ ගත් කල වර්තමානයේ පවත්නා පෝෂණ අනාරක්ෂිත බවට අඹ යනු සුදුසු පිළිතුරක් වේ. බටහිර දියුණු රටවල් පවා අද ඒ තත්ත්වය පිළිගෙන තිබේ.

තව ද ශාකයක් වශයෙන් ගත් කල අඹ ගස යනු ඉතා අහිතකර පාරිසරික තත්ත්වයන් යටතේත් සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමට සමත් ශාක ප්‍රභේදයක් වේ. පරිසර අධ්‍යයනයන්ට අනුව කිවහොත් ප්‍රාදේශීය මෙන් ම භූ දර්ශක විවිධත්වයට ඔරොත්තු දීමේ ශක්තිය අඹ ගස සතු ය. ඒ නිසාම ගසක් වශයෙන් මහත් වූ ප්‍රායෝගික වටිනාකමක් ඇති ශාක ප්‍රභේදයක් ලෙසින් උද්භීද විද්‍යාඥයින්ගේ සැලකිල්ලට අඹ ගස ලක් ව තිබේ.

ඒ හැරුණු කල ලොව පරිසරවේදීන් ද මේ වන විට අඹ ගස ගැන විශේෂ උනන්දුවකින් කටයුතු කිරීමට පටන්ගෙන තිබේ. ඒ දේශගුණික විපර්යාස හමුවේ අඹ ශාකය ඊට හැඩ ගැසෙන ආකාරය නිරීක්ෂණය වීම නිසා ය. මේ කියන හැඩ ගැසීම පරිසර විද්‍යාවේ දී හඳුන්වන්නේ “අනුවර්තනය” නමිනි.

884848.jpg

ලෝක දේශගුණික විපර්යාසය හමුවේ අනුවර්තනය නම් සංසිද්ධිය ප්‍රායෝගික මෙන් ම ප්‍රතිඵලදායි හැසිරිමක් ලෙසින් හඳුනාගෙන ඇති පසුබිමක අඹ ගස සතු ඒ ගුණය පරිසරවේදීන්ගේ අසීමිත අවධානයට ලක් වීම පුදුම විය යුතු කාරණයක් ද නොවේ.

එතැනදී ඔවුන් පෙන්වා දෙන්නේ අඹ ශාකය, ඉහත කී පාරිසරික අර්බුදය හමුවේ ඇති ඉතා සුදුසු පිළිතුරක් වේ ය යන්න යි.

අඹ ගසේ මේ වටිනාකම හඳුනා ගැනීම මත පාරිසරික අඹ උත්සවයක් පැවැත්වීමේ ජාතික වැඩ පිළිවෙළක් ගැන මෙරට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු විය. ඒ 2010 වර්ෂයේ දී ය. Eco Mango Festival නමින් හඳුන්වනු ලැ‍බූ මේ උත්සවය සම්බන්ධයෙන් ඉතා වැදගත්, ඒ වගේ ම අවශ්‍ය ම කරුණු කිහිපයක් සාකච්ඡාවට ලක් විය. එහෙත් එය ක්‍රියාත්මක වූයේ දැයි පැහැදිලි නැත. කොහොම නමුත් ඒ කරුණුවල වැදගත්කම සලකා යළිත් ඒ ගැන මතක් කර දීමේ වටිනාකමක් ඇතැයි සිතමි.

ඒ අනුව හුදු උත්සවයක් ලෙසින් ම නොව පරිසර අවබෝධය මුල් කොටගත් ප්‍රජා ක්‍රියාකාරකමක් වශයෙන් එය සැලසුම් කොට තිබිණි.

ඒත් සමඟම අනවබෝධය මෙන් ම නොසැලකිල්ල නිසා ශීඝ්‍රයෙන් වඳ වෙන තැනක තිබෙන ලෝක අඹ විවිධත්වය සංරක්ෂණය කිරීමේ වටිනාකම සහ යුතුකම ගැන සිහි කැඳවන පාරිසරික ව්‍යාපෘතියක් වශයෙන් ද ඒ ගැන සලකා බලා තිබිණි.

cf9b56e1d76de897951be91f375c044f

එමෙන් ම ඔවුන් පොදුවේ පෙන්වා දෙන කරුණ ද මෙහි දී වැදගත් ය. ඒ ලෝක දේශගුණික විපර්යාසය හමුවේ ස්වයංජන්‍ය අනුවර්තන (Auto nomous adaptation) හැකියාවක් ලෝක අඹ විවිධත්වය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවයත් යන කරුණුය. එපමණක් වුව මෙවැනි පාරිසරික උත්සවයක් ජාතික මට්ටමෙන් සංවිධානය කිරීමට හේතු කොට ගැනීමට වැදගත්කමක් ලබා දෙන්නේ ය යන්න අපේ කල්පනාව යි.

පලතුරු ලෝකය රාජධානියක් ලෙසින් ගත්තොත් අඹ එහි රාජ්‍ය බලය යැයි ද පෙන්වා දී තිබේ. වෙනත් අයුරකින් කියනවා නම් අඹ පලතුර සැලකෙන්නේ පලතුරු ලොව රජු ලෙස ය. තවත් තැනකදීTROPICAL APPLE (නිවර්තන කලාපීය ඇපල්) යනුවෙන් ද අඹ පලතුර හඳුන්වයි. කෙසේ වුව පලතුරු ලෝකයේ රාජ්‍ය බලය හිමිකර ගත් අඹ හෙවත් නිවර්තන කලාපීය ඇපල් මුලින් ම හැදී වැඩී ඇත්තේ බෙංගාල බොක්ක අවට ය. ඒ අනුව ඉන්දියාවේ නැ‍ඟෙනහිර කලාපය, බුරුමය ද අයත් වන අන්දමන් දූපත් එහි මුල් බිම් වශයෙන් සැලැකේ. වසර හාරදහසකට පමණ පෙර කාලයක සිටම ඉහතින් කී, ඒ කලාපයේ අඹ හැදී වැඩී තිබුණේ යැයි හඳුනාගෙන තිබේ.

මේ අතර විශේෂයෙන් ම හඳුනාගත් අඹ විශේෂ දෙකක් ගැන ද කතාබහ කෙරේ. ඉන් එකක් ‘ඇටඹ’ ය. අනික ‘පිලිපීන අඹ’ ය. ඇටඹ ලංකාවට ආවේණික විශේෂයක් වේ. පිලිපීන අඹ ඉන්දු චීන කලාපයට අයත් වේ. ඒ අනුව තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය මෙන්ම පිලිපීනයේ මේ අඹ විශේෂය හමු වේ.

a-mango-costa_rica.jpg

ලෝකයේ සෑම අඹ විශේෂයක්ම පොදුවේ අයත් වන කුලය Mangifera Indica නම් වෙයි. එහෙත් ලංකාවේ ඇටඹ Mangifera Zeylancia යන නමින් ද හැඳින්වේ

.අඹ ඌන පෝෂණයට කදිම විසඳුමක් ලෙසින් ගැනීම නිසා අද ලෝකයේ සෑම රටක් ම වාගේ අඹ වගා කිරීමේ ලා උනන්දුවකින් පසුවන අයුරු දැකිය හැකි වේ. ඇමෙරිකා එක්සත් ජනපද කලාපයේ ෆ්ලෝරිඩා සහ කැලිෆෝර්නියා යන ප්‍රාන්තවල ද අද වන විට අඹ වගා කෙරේ.

ලෝකයේ සෑම ප්‍රදේශයකම වාගේ ශාකයක් වශයෙන් වගා කළ හැකි ය කීවාට ධ්‍රැව ප්‍රදේශ, තෙත් බිම්, කාන්තාර ඒ සඳහා සුදුසු පරිසර කලාප නොවේ. තව ද ගසක් වශයෙන් එය හොඳින් පල ගන්නේ වියළි කලාපයේ ය යන්න ද මෙහිදී අමතක කළ හැකි නොවේ. ඒ අනුව අධික වර්ෂාව මෙන් ම තෙත් සහිත පාරිසරික තත්ත්ව හමුවේ ගස සිය පලදාව සඟවා ගන්නා තත්ත්වයක් අඹ ශාකයට අදාළව උද්භිද විද්‍යාඥයන් නිරීක්ෂණය කොට තිබේ. වෙනත් ලෙසකින් කියනවා නම් තෙත් කලාපයේ දී ගසක් වශයෙන් එය හොඳින් වැඩුණත් පලදාව තියෙන්නේ අවම තැනක ය.

අඹ, ලෝකය පුරා ම ව්‍යාප්ත වුණත් වැඩිම අඹ විවිධත්වයක් සහිත රට ඉන්දියාව යි. ඒ අනුව ලොව පුරා හඳුනාගත් අඹ ප්‍රභේද 1365 න්, ප්‍රභේද දහසක් ම ඉන්දියානු භූමියේ දැකිය හැකි වේ. තව ද එම කලාපයට ම අයත් නේපාලයේ ද අඹ ප්‍රභේද 132 ක් හමුවන බවටත් හඳුනාගෙන තිබේ. ඒ ආකාරයට ලෝක අඹ පලදාවෙන් සියයට 75 ක්ම අයත් වන්නේ ඉන්දියාවට ය.

mango_tree

එමෙන් ම ලෝකයේ විශාලතම අඹ උත්සවය පැවැත්වෙන්නේ ද ඉන්දියාවේ ය. ඉන්දියාවේ නවදිල්ලි නගරයේ දී සෑම වසරකම ජුලි මාසයේ දී පැවැත්වෙන මේ අඹ උත්සවයේ දී අඹ වර්ග හාරසියයකට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරේ. දින තුනක් මුළුල්ලේ අඹ හා බැඳුණු විවිධ ක්‍රීඩා, විනෝදාංශ සහිත ව පැවැත්වෙන මේ අඹ මහෝත්සවය අද වන විට ජින්ජො, හයිද්‍රාබාද්, මුම්බායි, කල්කටා යන ප්‍රධාන නගරවල දී ද පැවැත්වෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.

තව ද සංචාරකයින්ගේ සිත් ඇදගත් උත්සවයක් බවට පත් වෙමින් ඇති මේ අඹ උලෙළ සඳහා අනුග්‍රහය සපයා දෙන්නේ ඉන්දියාවේ සංචාරක මණ්ඩලය යි. මෙතැන දී සංචාරක ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජයට ද මනා ආදර්ශයක් ඉන්දියාව එසේ සපයා දී ඇතැයි සිතේ. තව ද ඉන්දියාව සංචාරක ප්‍රවර්ධනය යන කාරණයේ දී තම රටේ සංස්කෘතික උත්සව කෙරෙහි දක්වන්නේ කොතරම් සංවේදී අවධානයක් ද යන්නත් මෙහි දී සැලකිල්ලට ගත යුත්තක් වේ.

එමෙන් ම ශ්‍රී ලංකාවේ බොහොමයක් ප්‍රදේශ හොඳින් අඹ වගා කළ හැකි භූ කලාප වේ. එහෙත් ගැටලුවක් ද තිබේ. ඒ රට තුළ ඇති භූගෝලීය පසුබිම ගැන අවබෝධයක් මෙන්ම ඒ සඳහා සූදානමක් අප තුළ තිබෙනවා ද යන්න යි.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s