උත්තර-දක්ෂිණ ධ්‍රැව විසල් ‘අයිස් ගබඩා’ ලෝක ජෛව සමතුලනයට අත්‍යවශ්‍යයි

ice-arctic-lowest-ever_28812.jpg

“මගේ ජීවිතය රන් ආලේප කළ සහසක් බලාපොරොත්තුවලින් පිරුණකි. පසුගිය අවුරුදු දහසක් තිස්සේ මා තුළ පැවැති එකම අනුරාගය – සේන් නදිය යි‍; සුන්දර වූත්, නිසොල්මන් වූත්, වෙනස් වන සුලු වූත්, පල් ගඳින් නො අඩු වූත්, ආලෝකයෙන් ද කුණු කසළින් ද පිරී ඇත්තා වූත් සේන් නදිය යි‍. මම එයට ආදරය කළෙමි. ඒ, එය මට ජීවත්වීම ගැන හැඟීමක් ලබා දුන් හෙයිනි.”- ගී ද මෝපසාන්ට්

වැසි සහිත දේශගුණයක් වෙනුවට ඇමෙරිකාවේ නැ‍ඟෙනහිර දිග වෙ‍රළ, ඊසාන දිග සහ මධ්‍යම බටහිර ප්‍රදේශ පසුගිය කාලයේ දී ඉවැසිය නො හැකි උණුසුමකට ගොදුරු වීමෙන්, අට සියයක පමණ ජනතාවක් මිය ගියහ. ඒ ඉකුත් දිනවල ඉන්දියාවේ සහ පාකිස්තානයේ මියගිය සංඛ්‍යාවට සාපේක්ෂව සුළු වුව ද ඇමෙරිකාවේ එම පරිසර කලාපය කොයි ආකාරයෙන්වත් එවැනි ව්‍යසනයකට ගොදුරු නොවන එකක් වීම මේ සිද්ධියේ විශේෂත්වයයි.

එහෙත් 1995 වර්ෂයේදී මෙක්සිකෝව මුහුණපෑවේ ඊට වෙනස් ඉරණමකට ය. ඒ අනුව සාමාන්‍යයෙන් හිමපතනයක් සිදු නොවෙන මෙක්සිකෝ නගරය අධික ශීත කාල ගුණයකට මුහුණ පෑවේ ය. ඒ සමඟ ම සිය මව් බිමේ සීත ඍතුවෙන් ගැලවී උණුසුම සොයා එහි පැමිණ සිටි සංක්‍රමණික සමනලයන් නො සිතූ විරූ ඉරණමකට ය. ඔවුහු සමූල ඝාතනයකින් මෙන් මිය ගියහ.

පෘථිවියට පතිත වෙන සූර්ය කිරණවලින් සියයට 30 ක පමණ ප්‍රතිශතයක් නැවත අභ්‍යවකාශයට ම හරවා යැවිය යුතුව තිබේ. ඒ පරාවර්තන කටයුත්ත කෙරෙන්නේ උත්තර හා දක්ෂිණ ධ්‍රැවයන්හි ඇති අයිස් පර්වතවලිනි. එතැනදී ඒ අයිස් කළු දර්පණ තල මෙන් කටයුතු කරයි. ඒ සමඟම අතිරික්ත එසේ නැත්නම් අනවශ්‍ය තාපය ද පෘථිවියෙන් ඉවතට හරවා යැවෙයි.

arctic-sea-ice-loss-lets-pacific-sea-life-atlantic_266

එහෙත් අද සිදුවන අධික කාබන්ඩයොක්සයිඩ් විමෝචනය නිසා මේ අයිස් කඳු දියවීමේ අවදානමකට මුහුණ පා සිටියි. ඒ නිසා යට කී ස්වාභාවික ක්‍රියාකාරිත්වය අභියෝගයකට මුහුණ පා ඇති බව හඳුනාගෙන ඇත. ඒ අනුව එම ක්‍රියාවලිය පැහැදිලි වශයෙන් ම අක්‍රියකාරී ඉදිරියක් කරා තල්ලු වෙමින් පවත‍ී. ඒ හේතුවෙන් පෘථිවියෙන් ඉවත් විය යුතු හිරු තාපය එසේ නො ගොස් පෘථිවිය අභ්‍යන්තරයේ ම ඉතිරි වේ. තාප අගය ඉහළ යන මේ තත්ත්වය ‘තාප දූෂණය’ නමින් හැඳින්වේ. කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, මේ තාප දූෂණය හේතු කොට ගෙන ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම වර්ධනය වන බවයි. තවද ඒ නිසා ඇති වී තිබෙන දේශගුණික විපර්යාස සඳහා මේ තත්ත්වය ද පාදක ‍හේතුවක් බවයි.

තාප දූෂණය යන සංසිද්ධිය තුළ පෘථිවියේ තවදුරටත් රැදෙන වායු වර්ග වශයෙන් කාබන්ඩයොක්සයිඩ් (CO2), මීතේන් (CH4) නයිට්‍රජ‍න් ඔක්සයිඩ් (NO2) හඳුනාගෙන ති‍බේ. මීතේන් වායුව මානව ක්‍රියාකාරකම් වන, කෘෂිකර්මාන්තය, සත්ත්ව ගොවිපල එමෙන් ම කැලි කසළ නිසා ද උත්පාදනය වේ. කෙසේ වෙතත් සියයට 76 ක් පමණ වැඩිම ප්‍රතිශතයකින් යුත් විශාල බලපෑමක් එල්ල කරන වායු විශේෂය වන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව යි.

ගෝලීය උණුසුම සෙ.ග්‍රේ. අංශක (සාමාන්‍ය අගයට සාපේක්ෂව) 2 කින් ඉහළ යෑම තුළ ආක්ටික් මුහුදේ අයිස් කඳු සියල්ලක් ම පාහේ දිය වී යන තත්ත්වයක් ඇති බවත්, එහි තීරණාත්මක වර්ෂය ලෙසින් 2013 වර්ෂය ගත යුතු බවත් පෙන්වා දී ඇත්තේ 2000 දශකය ආරම්භයේ සිට ම ය.

4370262641_356cbde5ee_o.jpg

ඒ අනුව සෙ.ග්‍රේ. අංශක 2 සීමාවෙන් හැකි තාක් ප්‍රවේශම් වීමේ උත්සාහය 2013 වර්ෂය එළැඹෙන තුරුත් පැවැතිණි. කෙසේ වෙතත් ඒ උත්සාහය මුළුමනින් ම සාර්ථක කරගැනීමට ලෝකයේ ඒ උත්සාහයට හැකි විණැයි යන්නක් ‍එයින් අදහස් නොවේ.

ආක්ටික් අයිස් පර්වත බිඳී වෙන් වෙයි

ආක්ටික් හි අයිස් පර්වත මේ වනවිටත් බිඳී, බෙදී වෙන්වෙමින් පවතී. Reuters Newsවෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට ලෝකයේ උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිත අයිස් පර්වත මහා පරිමාණයෙන් විනාශ වෙමින් පවතී. ඒ ආකාරයට කැනඩාවට අයත් උතුරු දිග ආක්ටික් කලාපයේ වූ අයිස් පර්වත දෙකක් කැඩී වෙන් වී ගොස් තිබේ.‍ ඒ මහා බිඳී යෑමෙන් ඉතිරි වූ කොටස් ද හැකිළෙමින් පවතින්නේ සුළු පරිමාණයෙන් නොවේ. පැහැදිලිවම මෙය වාය‍ු ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිඵලයක්ය යන්න ගැන සැකයක් තබා ගත යුතු නැතැයි පර්යේෂණ කණ්ඩායම් පෙන්වා දෙයි. ඒ කණගාටුදායක ඉරණමට මුහුණ පා ඇති Ward Hunt, ආක්ටික් කලාපයේ ඇති විශාලතම අයිස් පර්වතය යි.‍ එය ඇතුළතින් ම බිඳී යෑමේ අවදානමක් ඇතැයි පෙන්වා දී ඇත්තේ අද ඊයෙක සිට නොවේ.

අයිස් – අද්විතීය ජෛව පද්ධතියකි

පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට අයිස් යනු පෘථිවියේ ඇති අද්විතීය ජෛව පද්ධතියයි. එය මේ ආකාරයෙන් නිර්මාණය වීම සඳහා කාලාන්තරයක් ගත වේ. අනිත් අතට එසේ නිර්මාණය වූ මේ අයිස් පර්වත යට කී ආකාරයෙන් බිඳී යෑමකට ලක් වුවහොත් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි ය. එසේ පවසන්නේ ආක්ටික් කලාපීය අයිස් පර්වත ගැන විශේෂඥයකු වන ඔන්ටාරියෝ විශ්ව විද්‍යාලයේ, ඩෙරෙක් මුලර් ය‍.

ලෝකයේ අයිස් පර්වත කඩා වැටීමට අදාළව තවත් හඳුනා ගැනීමක් විද්‍යාඥයින් විසින් සිදු කොට තිබේ. ඒ ඇන්ටාක්ටික් ප්‍රදේශයෙනි. ඒ අනුව ඇන්ටාක්ටික් මුහුදේ අයිස් තට්ටුවට යටින් අලුතින් උප ග්ලැසියර් ජලාශ කිහිපයක් සෑදී ඇත‍. එවැනි ප්‍රවණතාවක් හඳුනාගෙන තිබේ. මෙවැන්නක් ඇති වීමට හේතුව ද අයිස් පර්වතයන් හි දියවීම විනා අනෙකක් නොවේ.

කාලගුණය පෙර කියැවීමේ ගැටලු මතුවෙයි

මෙවැනි පසුබිමක් තුළ අතීතයේ ව‍ූ පරිසරය කියැවීමේ හැකියාව අද ප්‍රයෝජනයක් නැතැයි කිව හැකි තැනකට තල්ලු වෙමින් තිබේ. උදාහරණයක් හැටියට ‘වැහි ලකුණු ශාස්ත්‍රය’ මෙන් ම සතුන් ගේ හැසිරීම් රටා, ස්වභාව ධර්මයේ වෙනස්කම් ඔස්සේ පාරිසරික සංසිද්ධියක් වන කාලගුණය කියැවීම කළ නොහැක්කක් බවට අද පත් වෙමින් ඇත. හදිසි ආපදා යන තැන සිට පරිසරය කියවා ගන්නා තැන දක්වා ම ලෝකයේ ස්වාභාවික පැවැත්ම අද වනවිට බිඳ වැටෙමින් තිබේ.

ඔක්ස්පෑම් ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව වසර 2015 සිට දේශගුණික විපර්යාස හේතු කොට ගෙන ලොව පුරා ආපදාවන්ට ලක්වන ජනගහනය සියයට පනහකින් පමණ වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතී. ලෝක මානව පැවැත්ම අද පවතින්නේ එවැනි අවදානමකය‍.

එවැනි ආපදා කරණයක් හමුවේ වසරකට ආපදාවන්ට ගොදුරු‍ වන මිනිසුන් සංඛ්‍යාව මිලියන 375 ක් පමණ වේ. ලෝකය සංවර්ධනාත්මකව ඉදිරියට ගෙන යාමට මේ තත්ත්වය මත හැකි වේද යන්න තීරණාත්මක ය. ඔක්ස්පෑම් ආයතනයේ වාර්තාවට අනුව මානුෂීය ආධාර සපයන ආයතන ද දුර්මුඛ වන තරමට ගංවතුර, නියං, සුළි කුණාටු වැනි තත්ත්ව එකක් පසුපස එකක් ‍බැගින් ලොව පුරා ඇතිවන තැනකට මානව ශිෂ්ටාචාරය ඇද වැටී තිබේ.

antarctica_penguin_chick.adapt.1190.1.jpg

වසරකට මිලියන 375ක් ආපදාවට

ලෝක කාලගුණය පිළිබඳ ප්‍රවීණයකු වන ජේම්ස් ටී හැන්සෙන් පෙන්වා දී ඇති ආකාරය අසූවේ දශකය වන විටත් (ගෙවී ගිය සියවසක් තුළ) මිහිතලයේ උෂ්ණත්වය පැරන්හයිට් අංශක එකකින් ඉහළ ගොස් තිබිණි. ඔහු එය ප්‍රකාශ කළේ 1981 වසරේදී ය. ඒ වර්ෂයේ දීම අනාවැකියක් වශයෙන් ඔහු පෙන්වා දුන්නේ 1990 – 92 අතර කාලය වනවිට පෘථිවියේ ඉහළ ම උෂ්ණත්වයක් වාර්තා විය හැකි බවය. එය ඇත්තක් විය. ලොව ඉහළ ම උෂ්ණත්වය 1990 වසරේදී වාර්තා විය. 2008 වසරේදී දශක තුනකට පමණ පසු, උෂ්ණත්වයෙන් දැවුණු ග්‍රීෂ්ම සමයකට මුහුණදීමට බ්‍රිතාන්‍ය‍යට සිදු විණි. 1995 වසර වනවිට ලෝකයේ බොහෝ රටවල් පාරිසරික අර්බුද හමුවේ ආපදාවන්ට ගොදුරු විණි.

ඒ අනුව කැරිබියන් දූපත්, 1995 වසර තුළද‍ී පමණක් කුණාටු අටකටත් සුළි සුළං එකළහකටත් මුහුණ පෑවේ ය. බ්‍රසීලයේ ඊශාන දිග ප්‍රදේශය දරුණු නියඟයකට ගොදුරු වන්නේ ද මේ කාලයේදී ය‍. එකී සමයේ දී ම ආර්ජන්ටිනාව ද දරුණු නියඟයකට මුහුණ පායි. සාමාන්‍ය තත්ත්වයට අනුව නම් වැසි සහිත කාලගුණයක් ඒ රටේ ඒ වනවිට පැවැතිය යුතු ය. ඒත් අනපේක්ෂිත නියගය නිසා එරට ධාන්‍ය අස්වැන්නෙන් සියයට තිහක් පමණ විනාශවූ අතර ගවයින් මිය ගියේ දහස් ගණනනි. පැටගෝනියා වනය දරුණු ළැව් ගින්නකින් විනාශ වුණි.‍

13321964_1355186707828608_952208683268675564_n

ගෝලීය උණුසුමේ අනිටු විපාක දේශගුණික විපර්යාසය යනු ගෝලීය උණුසුමේ ඍජු ප්‍රතිඵලයක්ය යන්න තවදුරටත් පැහැදිලි කළ යුත්තක් නොවේ. එහෙත් එහි තවත් ප්‍රතිඵලයක් වන, එහෙත් එතරම් සාකච්ඡාවට ලක් නොවුණු ලෝක මට්ටමේ අතවරයක් ද මේ වනවිට නිර්මාණ වෙමින් තිබේ. ඒ අනිකක් නොව ලෝක ආහාර අනාරක්ෂිත බවයි. අද වනවිට ලෝකයේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය මුහුණ පා සිටින ප්‍රධානම අභියෝගයක් බවට පත්ව ඇත්තේ දේශගුණික විපර්යාස හමුවේ ගොඩනැඟී ඇති නො නවතින වර්ෂාවයි. (මේ තත්ත්වය අද වනවිට ශ්‍රී ලංකාව ද අත් විඳිමින් සිටියි) එමෙන් ම කාල නිර්ණයක් නැතිව එළැඹෙන වර්ෂා හීන කාලයයි. මේවා දීර්ඝ නියං කාල දක්වා ම විකාශනය වේ. ඊළඟට, දේශගුණික මෙන් ම කාලගුණික වෙනස්කම් හමුවේ පැතිරී යන ආක්‍රමණික ශාක සහ සත්ත්ව විශේෂවල බලපෑම් නිසා ද ලෝකයේ ගොවි බිම් විනාශ වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. කාර්මික විප්ලවය මෙන් ම හරිත විප්ලවය හරහා විත් ගොවි බිම් ආක්‍රමණය කොට ඇති රසායනික පළිබෝධනාශක භාවිතයක් සමඟ ගොවිතැනට අහිතවත් පළිබෝධ විශේෂ ගිල දමන විලෝපිකයන්ගේ වඳ වීම ද ඊට අදාළව ගත යුතුව ඇත්තේ සුළුවෙන් නොවේ.

පළිබෝධ ගිලින විලෝපිකයන් වඳවීම

අනිත් අතින් ගත් කල සරු බෝග ව්‍යාප්තියක් වෙනුවෙන් සාධනීය සේවාවක් සිදු කරමින් සිටි බත් කූරාගේ සිට මී මැස්සන්, සමනලයින් දක්වා පරාග කාරකයින් දැඩි උණුසුම හමුවේ වඳ වෙන තැනකට තල්ලු වී තිබේ. මේ නිසා ගොවිබිම් පැවැත්ම පුළුල් කරන්නා වූ පරාගනය මේ වන විට අත්හිට‍වූ සේවාවක් බවට පත්ව ඇත. ඒත් මේවා බොහෝ විට අදටත් අපට හොඳින් නො දැනෙන්නේ ඒ සේවාව ‍බහු ජාතික සමාගම් මගින් කෘත්‍රිමව සිදු කෙරෙන බැවිනි. කිරි හරකා පවා අද බිහි කෙරෙන්නේ කෘත්‍රිම සිංචන සේවාවන් ගෙන් මිස අතීතයේ මෙන් ස්ත්‍රී පුරුෂ සත්ත්ව සංසර්ගයෙන් නොවේ. නමුත් ප්‍රශ්නය හරිහැටියට අපට දැනෙන්නේ යට කී ස්වභාව ධර්මයේ සේවාව මුළුමනින් ම වාගේ අහෝසි වෙමින් යන දිනක දී ය. මෙතෙක් තමන් සතුව තිබූ ආහාර සුරක්ෂිතතාව එහෙම පිටින් ම බහු ජාතික සමාගම් කිහිපයක් අතට ගොස් ඇති බවත්, තමන් මුළුමනින් ම වාගේ (ආහාර විෂයයිකව) අනාරක්ෂිත පුද්ගලයෙකු බවට පත්ව ඇති ආකාරයත් ශිෂ්ටාචාරයේ ගමන් මග අතරමගදී තමා අනාථයෙකු බවට පත්ව ඇති ආකාරයත් ඔහු තේරුම් ගන්නේ එදාට ය. එහෙත් ඒ වනවිට කෘෂි ජෛව විවිධත්වය මුළුමනින් ම වාගේ ලොවින් තුරන් වී තිබිය හැකි ය. එහි ‍වටිනාකම ඔහු වටහා ගනු ඇත්තේ එදාට ය.

ආහාර සුරැකියාව අනතුරේ

ලෝකයේ මහා අයිස් ගබඩා එසේ පැවැතුණේ සමස්ත ලෝකයේ ම තුලනය සහ සුරක්ෂිත බවට එහි පැවැත්මට අවශ්‍ය බැවිනි. අයිස් යුගය අවසන් කරමින්, ඍතු විපර්යාස හමුවේ ලෝක දේශගුණය විවිධත්වයක් කරා යයි ද එයින් පෙර කී (උත්තර, දක්ෂිණ) අයිස් ගබඩාවන්ට දැනවීමක් නොවුණේ ඒ අයිස් පැවැත්ම තුළ ලෝක ජෛව සමතුලනය ආරක්ෂා වන නිසාම ය. ස්වභාව නීතියට අනුව එය එසේ තැබිය යුතුම ය‍.

12919817_10154611321631416_7993614693573679690_n.jpg

කෙසේ වෙතත් අධික කාබන්ඩයොක්සයිඩ් විමෝචනය විසින් අද දවසේ ඍජු ප්‍රහාරයක් එල්ල කොට ඇත්තේ ද ලෝක ජෛව පැවැත්මෙ තුලනීය අවශ්‍යතාව වන ආක්ටික් සහ ඇන්ටාක්ටික් කලාපීය අයිස් ගබඩාවන්ට ම ය. එහි එකම ප්‍රතිඵලය වන්නේ පොදුවේ කවුරුත් කතා කරන අයිස් දියවීම යන්න පමණක් නොවේ. අයිස් දියවීම යනු එහි මතුපිට දර්ශනය යි. ඒ හැරුණු කල ලෝකයට අවශ්‍ය නොවන හිරු තාපය (අතිරික්තය) වහාම ආපසු හරවා යවා ලෝක උණුසුම තුලනය කරන පැවැත්ම අහෝසි වීම ඒ අයිස් දියවීම තුළ තිබෙනවාය යන්න බොහෝ දෙනෙකු නොදන්නා සැඟවුණු කරුණක් වේ. අවසානයේ දී ජෛව පැවැත්මේ අවශ්‍ය ම සාධකය වන ආහාර අනාරක්ෂිත බව දක්වාමත්, බඩගිනි කාරයන් පෝලි‍ම් ගැහෙන හෙට දවසක් දක්වාමත් ඒ තත්ත්වය දුර දිග ගොස් තිබේ. ඒ වගේ ම පෙර කියන ලද බඩගිනිකාරයන්ට දුප්පත් – පොහොසත්ය කියා භේදයක් ද ‍ඉතිරි නොවනු ඇත. මන්ද ලෝක ආහාර අනාරක්ෂිත බව ඉදිරියේ ඇමෙරිකන් ඩොලර් ද වැඩක් නැති හෙයිනි. මිලදී ගැනීමට කිසිවක් එදාට ලොවේ ඉතිරි වන්නේ නැත.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s