මිහි මත ඇති දෙවියන්ගේ මල්උයනේත් විනාශය අත ළඟ ද?

sambur-at-horton-plains

“නිකංම නිකම් හිස් කබලකට ජීවය ලබා දෙන්නේ අධ්‍යාපනය යි.”– ඇල්ෆ්‍රඩ් හිචිකොක්

ඝන මිහිදුම්, තට්ටුවක් මෙන් පොළොව සිප ගනිමින් තිබිණි. පැහැදිලි අහසේ තරු කිහිපයක් දිදුලයි. නිම්නයට පහතින් දිග මිහිදුම් තීරු පාවේ. මඳ සුළඟ මිහිදුම ඉවතට පලවා හරී. කොතැනින් දඩ කෙළිය පටන් ගන්න දැයි තීරණය කිරීමට අපි මඳ වේලාවක් ගත කළෙමු. අපගේ නිවහන ආසන්නයේ ගෝණ කුර සටහන් තිබිණ. ඔවුන් පැමිණ ඇත්තේ අප නිවහන පරීක්ෂා කර බැලීමට විය යුතු ය. උකුළ තෙක් ජලයේ බැස අපි දොළෙන් එතෙර වීමු. ඒ දොළ දෙපස තණකොළ වැවී තිබූ පටු නිම්නයක් අතරින් ගලා ගිය අතර ඒ දෙපස මිදුණු පිනි තිබිණ.”

riflehoundinceyl00bakerich

“ඝන වනාන්තර ඇති පටු තැනිතලා සහිත නුවරඑළියට වඩා විසල් තැනිතලා ඇති වනාන්තර එතරම් ඝනව වැඩී නැති හෝර්ටන්තැන්නේ ගෝණ දඩයම බොහෝ සේ විනෝද ජනකය. එමෙන් ම හෝර්ටන් තැන්නේ සිටින ගෝණුන් සංඛ්‍යාව වැඩි නිසා කාර්යය වඩා පහසු වේ.” The Rifile and the Hound in Ceylon නමින් ලංකාවේ සිය දඩයම් අත්දැකීම් පිළිබඳව සැමුවෙල් බේකර් එසේ සටහන් කොට ඇත. (මෙය අභය හේවාවසම් ‘ලංකාවේ ගිනි අවි සහ දඩයම්’ මැයෙන් සිංහලයට නැඟීය.) එම සටහනේ ම දැක්වෙන ආකාරයට අද ජාතික වනෝද්‍යානයක් වශයෙන් ආරක්ෂා කෙරෙන හෝර්ටන් තැන්න එවකට සුදු ජාතික දඩයක්කරුවන්ගේ දඩ බිමක් ව පැවැතියේ ය.

ශ්‍රීපාද අඩවියේ නැ‍ඟෙනහිර කෙළවරට වෙන්න පිහිටා ඇති හෝර්ටන් තැන්න ගෝණ තැන්න මෙන් ම මහඑළිය තැන්න යනුවෙන් ද හැඳින්වේ. උස් තැනිතලා බිම්, හුදෙකලා කඳුවැටි වලින් සැදුණු මේ පාරිසරික කලාපය වසර අග දීත්, වසන්තයට පෙර වසර මුල් කාලයේ දීත් දැඩි ශීතලකින් වෙළී යයි. ඝන මිහිදුමකින් වැසී යයි. සංචාරකයින්ගේ පැමිණීම අඩු වන මේ කාලයේ දී ඒ නිසා ම ඒ විසල් තැනි බිම විවේකයක් අත් විඳින්නට අවසරයක් ලබයි. උතුරෙන් වැලිමඩ සානුවෙන් ද, නිරිත දිගින් මහවෙල තැන්න හෙවත් බළන්ගොඩ සානුවෙන් ද සීමාවන් සටහන් වී ඇති මේ වෙසෙස් තැනි බිම ඊටම ආවේණික ජෛව ප්‍රජාවක් සහ පාරිසරික පැවැත්මක් ඇති පරිසර කලාපයකි.අතීතයේ දී ගෝණුන් පමණක් නොව මහඑළිය තැන්නේ අලි ඇත්තු ද විසූහ. ප්‍රාග් ඓතිහාසික මානවයා පහළට බැස ආ කලාපයක් වශයෙන් ද පුරාවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇති මෙහි විසු සියලුම අලි ඇතුන් මරා අවසන් කර දැමීමට ඉංග්‍රීසි ජාතික දඩයක්කරුවෝ කටයුතු කළහ. ඉහත දී හඳුන්වා දුන් සැමුවෙල් බේකර් ඒ අතර පුරෝගාමී චරිතයකි.

yellow_flowers

ලංකාවේ ඇති දෙවැනි හා තෙවැනි උසම කඳු වැටි පිහිටා ඇත්තේ ද මේ තැනි බිමේ ය. ඉන් දෙවැනි උසම කන්ද (මීටර් 2389) වන කිරිගල්පොත්ත බටහිර මායිමේත් තෙවැනි උසම කන්ද වන තොටපළ කන්ද (මීටර් 2357) උතුරු මායිමේත් පිහිටා ඇත. එදා මේ ප්‍රදේශයේ ඇවිද ආ සුදු ජාතිකයෝ ලෝකයේ අවසානය ලෙසින් දුටු අද “ලෝකාන්තය” ලෙසින් හැඳින්වෙන ප්‍රපාතාකාර බෑවුම ප්‍රමාණාත්මකව මීටර් 884 කි. එය වනෝද්‍යානයේ දකුණු මායිම යි. ඒ කෙසේ වුව එහි සමස්ත පාරිසරික වටිනාකම් භූ විද්‍යාත්මක, ජලය විෂයයිකව මෙන් ම පුරා විද්‍යාත්මක වටිනාකම් ගැන සැලකිල්ලට ගත් යුනෙස්කෝව 2010 වසරේ සිට හෝර්ටන් තැන්න ලෝක උරුමයක් වශයෙන් පිළිගෙන තිබේ.

මහවැලි ගංගාව පැන නඟින්නේ ශ්‍රීපාද කඳු හිසෙන් යැයි එක් ප්‍රකට කවියක සඳහන් වුණ ද එය ඇත්තක් නොවේ. ඒ අනුව මහවැලි ගංගාව උපත ලබන්නේ මෙරට ඇති වටිනා දියබෙත්ම කලාපයක් ලෙසින් පිළිගැනෙන මහඑළිය තැන්නෙනි. ඒ හැරුණු කල වලවේ සහ කැලණි යන ගංගාවල ජල ද්‍රෝණියක් ලෙසින් ද මේ ප්‍රදේශයට වටිනාකමක් හිමි ය. අනික් අතට මහවැලි ගඟ රට මැදට ගලා යාමට පෙර මනා ජල පෝෂණයක් ද මේ ප්‍රදේශයෙන් ලබා ගනියි. ඒ අනුව තොටපල කන්දේ උතුරු බෑවුමෙන් ගලා යන ජල ධාරා දඹගස්තලාව ඔය ඔස්සේත්; කිරිගල්පොත්ත උතුරු බෑවුමෙන් ගලා යන ජල ධාරා අග්‍රා ඔය ඔස්සේත් මහවැලි ගඟ හා එක් වෙයි. තොටපළ කන්දේ දකුණු පසින් ගලා හැලෙන ජල ධාරා බෙලිහුල්ඔය හරහාත් කිරිගල්පොත්තේ නිරිතදිගින් ගලා යන ජල ධාරා බගවන්තලාව ඔය හරහාත් කැලණි ගංගාව සමඟ එක් වෙයි. මහඑළිය තැන්න වැදගත් ජල පෝෂක කලාපයක් ලෙසින් ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේ ඒ ජල පෝෂක පිහිටීම් නිසාමය.

wpid-img_20141008_151826

මහඑළිය තැන්න හෙවත් හෝර්ටන් තැන්න සෙසු පාරිසරික කලාප අබිබවා අවධානය දිනාගත් තවත් පරිසර සංසිද්ධියක් ද වේ. ඒ එහි දේශගුණික තත්ත්වයයි. ඒ අනුව මේ ප්‍රදේශයේ පාරිසරික උෂ්ණත්වය පුළුල් පරාසයක උච්චාවචනය වන බවට හඳුනා ගෙන තිබේ. ඇතැම් කාලවල දී දහවල පාරිසරික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් වෙද්දී ජනවාරි, පෙබරවාරි යන මාසවල දී රාත්‍රී කාලයේ පාරිසරික උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 2 දක්වා ද පහත බසින අවස්ථා ද තිබේ. එකී කාලවලදී මේ තැනි බිම පුරා මල් තුහින පතිත වනු ද දැකිය හැකි ය. කලාපයේ මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය වශයෙන් හඳුනාගෙන ඇත්තේ සෙල්සියස් අංශක 15 කි. වසරේ සෑම කාලයකදීම මීදුම් සහිත කාලගුණයක් සහිත මෙවැනි පරිසර පද්ධති වලාකුළු වනාන්තර ලෙසින් හැඳින්වේ. ඒ අනුව එහි පරිසර ආර්ද්‍රතාව සියයට 98 කට ආසන්නය. ඒ නිසාම මෙහි වෙසෙන සෑම ජීවි විශේෂයක් ම ශීත කලාපීය දේශගුණයකට හොඳින් අනුවර්තනය වූවෝ වෙති.

පරිසර කලාපයක් වශයෙන් ගත් කල එහි දැකිය හැකි කුරු උණ ශාකවලින් සමන්විත වෘක්ෂලතා දර්ශය ද වැදගත් ය. මේ ශාක ගහන බිම් ඈතට පෙනෙන්නේ තණ බිම් විදිහටමය. ඉනුත් මහඑළිය තැන්නට ආවේණික කුරු උණ විශේෂයක් වනස Arundinaria densifolia ශාකය දිය දහරා ගලා බසින ආශ්‍රිත ප්‍රදේශයන්හි ඝන ඇතිරිල්ලක් ලෙසින් ව්‍යාප්තව ඇති අයුරු දැකිය හැකිය.

piduru-collage (1).jpg

පොල්කටු ගස් ගැන අසා ඇති අයෙකු අදටත් හමුවන්නේ කලාතුරකිනි. Actinodathue Speciosa යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මේ කියන පොල්කටු ගස් විශේෂය අපට හමුවන්නේ වලාකුළු වනාන්තර කලාපයේ වියන් ස්තරයේ දීය. ඒ හැරුණු කල වන සපු, දඹ, වෙරළු කුලයට මෙන්ම කුරුඳු කුලයට අයත් ශාක විශේෂ ද එහිදී දැකිය හැකි ය. ලංකාවට ආවේණික දවුල් කුරුඳු, රතු මිහිරිය ද දැකිය හැකි අතර ඉහතින් කී පොල්කටු ගස් ද ලංකාවට ආවේණික ශාක විශේෂයක් ලෙසින් දත යුතු ය.

මහඑළිය තැන්න තැනි බිමේ අලි ඇතුන් ඉංග්‍රීසි පාලන කාලයේ දී මුළුමනින් ම මරා දැමීමෙන් පසු භූමියේ බහුතර ක්ෂිරපායි විශේෂය බවට පත්ව ඇත්තේ ගෝණුන් ය.

එංගලන්තයේ තත්ත්වය පිළිබඳව කල්පනා කරන විට ගෝණ මස්, මුව මස්, බල්ලන්ගේ කෑම සඳහා යොදා ගැනීම මහත් සේ සුඛෝපභෝගී දෙයක් සෙයින් පෙනෙනු ඇත. එහෙත් මෙහි දී ඒ සඳහා සතයක්වත් වියදම් වන්නේ නැත. එය ගව මසට වඩා ලාබදායි ආහාරයකි. එමෙන් ම වෙනත් මසක් මෙපමණ ප්‍රමාණයකින් සපයා ගැනීමට ද අපහසු ය. ගෝණ මස් ප්‍රණීත වන්නේ ගෝණා ගේ අඟ විල්ලුදයක් මෙන් තිබෙන විටය.

pic18.jpg

මේ කාලයේ දී අලුත් අං සම්පූර්ණයෙන් ම වාගේ වැඩී හමාරය. එමෙන් ම මේ කාලයේ දී අං ඉතා මෘදු ය. ඒ නිසා ගෝණා කැලේ ඇවිදින්නේ අංවලට හානියක් නො වන සේ ඉතා පරෙස්සමෙනි. එමෙන් ම ආහාර සොයා ගැනීමට කරන වෙහෙසීමට අමතරව වෙහෙසීමක් මේ කාලයේදී ඌ නොකිරීමට වග බලා ගනී. මේ නිසා ඌ හොඳට තර වී වැඩෙන අතර මේ කාලයේ දී උගේ මස් ඉතා හොඳ තත්ත්වයේ පවතී. ගෝණාගේ වේගය ඉතා වැඩි වුව ද තිත් මුවා ගේ වේගයට සම කිරීමට නො හැකි ය. මුවා ඉතා හොඳ තත්ත්වයේ ග්‍රේ හවුන්ඩ් බල්ලකු සමඟ කරට කර තැනිතලාවේ දී පළමු යාර දෙසීය තුළ දී දිව යනු මම දැක ඇත්තෙමි. එහෙත් උසස් වර්ගයේ බල්ලන් සමඟ ගෝණාට විවෘත බිමේ දී හැරෙන්නටවත් නො හැකිය. මේ නිසා ගෝණුන් පැන්නීම ඉතා සුළු කාලයක දී නිම වන්නේ වැඩි වේලාවක් ගත වීමට පෙර බල්ලා ගෝණා අල්ලා ගන්නා නිසා ය. එහෙත් හැකි ඉක්මනින් ගෝණාට පිහි පාර දිය යුතු ය. නො එසේ ව ගෝණා ගෙන් බල්ලාට තුවාල සිදු විය හැකි බැවිනි.” හෝර්ටන් තැන්නේ ගෝණ දඩයමේ යෙදුණු ඉංග්‍රීසි ජාතික දඩයක්කරු සැමුවෙල් බේකර් ගෝණුන් ගැන එවැනි නිරීක්ෂණයක් සිදු කරන්නේ ද මුලින් කී ඔහුගේ කෘතියේ ය. එහෙත් ඒ අවලක්ෂණ යුගයෙන් පසු අද මහඑළිය තැනි බිමට යන ඔබට දහවල් කාලයේ දී කඳුකර වනාන්තර තුළ සැඟවී සිටින ගෝණුන් (Cervus unicolor) සවස් කාලයේ දී රංචු වශයෙන් තණ උලා කෑමේ අරමුණින් තෙත් පතන තෘණ භූමි වෙත පැමිණෙන අලංකාර දර්ශනය දැකිය හැකි ය. ඒ වනාහි ලේ පැල්ලම් නැති සෞන්දර්යයකි.

6171474_orig.jpg

ගෝණුන් හැරුණු කල ප්‍රමාණයෙන් විශාල ක්ෂිරපායි විශේෂයක් වශයෙන් එහි දී දැකගත හැක්කේ කොටියාව ය. ඒ හැරුණු කල වල් ඌරා, (Sus scrofa) ඕලු මුවා නොහොත් වැලි මුවා, (Muntiacus mutjak) වලස් වඳුරා, (Semno pithecus vetulus) අඳුන් දිවියා (Prionalurus vilerrinus) යන ක්ෂිරපායිහු ද එහි වෙසෙති.

කඳුකර වනාන්තර ඇසුරේ දී හමුවන මහ කැලෑ ලේනා, දඬු ලේනා සහ පඳුරු ඇසුරේ වෙසෙන බටු ලේනා වශයෙන් ලෙහෙනුන් වර්ග ත්‍රිත්වයක් දැකිය හැකි ය. එහෙත් දිය බල්ලන් දකින්නට හැකි වන්නේ ජලාශ්‍රිතව ය. කෙසේ වුව හෝර්ටන් තැන්නේ වෙසෙන ක්ෂිරපායින් අතරට කෙලාට් ගේ හික් මීයා ද ඇතුළත්ය. රන් හෝතඹුවා, ලංකා කඳුකර මීයා, ලංකා නෙළු මීයා, ලංකා කටු මීයා ද අයත් වන්නේ ඒ ක්ෂිරපායින් අතරටමය.

image2.jpg

පතන් බිම් මැදින් ඉගිළ යන උකුසු විශේෂයට අප පතන උකුස්සා යැයි කීව ද ඉංග්‍රීසි ව්‍යවහාරයට අනුව ඌ Black winged kite වේ. ඒ වගේම Mountain HawkEagle අපට අනුව නම් කොණ්ඩ රාජාලියා ය. මේ අතර බඩ රතු රාජාලියෙකු (Rufous bellied Eagle) ද වේ. විශේෂත්වය වන්නේ මොවුන් සැවොම ගෝණ තැන්න හෙවයත් මහඑළිය තැන්නේ වෙසෙන්නවුන් ද වීම ය. කෙසේ වෙතත් මේ අපූර්ව තැනි බිමේ දී ඔවුන් හැරුණු කල තවත් උකුසු විශේෂ 4 ක් ද අපට හමු වේ. ගෝමර බිම් උකුස්සා (Pied Harrier) ඉන් එක් විශේෂයකි. අනිත් තිදෙනා හැඳින්වෙන්නේ අළු බිම් උකුස්සා (Montague’s Harrier), කොණ්ඩ උකුස්සා (Jerdon’s Baza), බඩ රතු කොබෙයි උකුස්සා (Shaheen Falcon) යන නම් වලිනි.

P1210303

 

ලෝකයේ අවසාන සීමාව හමු වූ භූමිය ලෙසත්, සාමාන්‍ය වනාන්තරයකට එහා ගිය අතිශය විචිත්‍රවත් බව නිසාත්, ලෝකාන්තය සහ දෙවියන්ගේ මල් උයන යැයි කියා ප්‍රසිද්ධියට පත්ව ඇති මේ භූමිය ඒ නිසාම අතිශයින්ම සුරක්ෂිත යැයි ඔබ සිතන්නේ නම් එය වරදකි. විශේෂයෙන්ම ගෝණතැන්නේ කඳුකර වනාන්තර, “වනාන්තර ප්‍රතිමාරය” (Forest die back) නම් ව්‍යසනයට දරුණු අන්දමින් ගොදුරු වෙමින් තිබෙන බැව් පසුගිය කාලය පුරා ම නිරීක්ෂණය කරන්නට යෙදුණි. නමුත් මෙවැනි අවස්ථාවලදී පර්යේෂණාත්මකව කටයුතු කරන්නට රටක් වශයෙන් පොහොසත් ද යන ප්‍රශ්නය අදටත් අප හමුවේ තිබේ.

ඒ හා සමාන තවත් ප්‍රශ්නයක් වන්නේ අතිශය සංවේදී කලාපයක් වන මහඑළිය තැන්නට ඔරොත්තු නොදෙන තරම් සංචාරක සංඛ්‍යාවක් පැමිණීමයි. ඒ නිසාම සිදු වෙමින් පවතින භූමි හායනයන් වැළැක්වීමට කොන්ක්‍රීට් අට්ටාල ඉදිකොට ඇත. වෙන එකක් තබා එදා ලෝකයේ අවසානය ලෙසින් දුටු ලෝකාන්තය පවා අද කොන්ක්‍රීට් ආවරණයකින් වැසී තිබේ. එසේ නැත්නම් ඒ අයුරින් කටයුතු කිරීමට සිදුව තිබේ.

2-sambar-deer-horton-plains-national-park-sri-lanka-jenny-rainbow.jpg

තවත් බරපතළ තර්ජනයක් හෝර්ටන්තැන්න පුරා පිළිකාවක් මෙන් අදටත් දැකිය හයැකිය. ඒ ආක්‍රමණික ශාක ගහනයයි. ව්‍යාපෘති කිහිපයකින් මහත් වූ පරිශ්‍රමයකින් එවැනි ශාක ඉවත් කිරීමට කටයුතු කොට ඇතත්, නොවැළැක්විය හැකි ආකාරයෙන් ඒවා යළි යළිත් මතුවන තත්ත්වයක් තණ බිම්වල දී දැකගත හැකිය.

ගෝණ තැන්නේ හීලෑ ගෝණුන් ඇති වීම එහි වනාශ්‍රිත ගෝණුන්ට ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කිරීමට ඉඩ නිර්මාණය කරන්නකි. සංචාරකයන් විසින් ආහාර ලබා දෙන තත්ත්වයක් උඩ නිර්මාණය වී ඇති මේ ගැටලුව වහාම විසඳිය යුත්තකි. යම් හෙයකින් යම් දරුණු විෂබීජයක් හෝ රෝග කාරකයක් ආගන්තුක ආහාර මඟින් මේ සතුන්ගේ ශරීර තුළට ඇතුළු වුණහොත් එය ගෝණ තැන්නේ ගෝණ ගහනයටම බලපාන වසංගතයක් වීමට ඉඩ තිබෙනවා ය යන්න ගැන තදින් ම කල්පනා කළ යුතුය. එසේ වුණහොත් විනාශ වීමට නියමිතව ඇත්තේ මිහි මත ඇති දෙවියන්ට අයත් මල් උයනයි.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s