බෝට්ටු සවාරි නිසා මාළු ද භූමිතෙල් රසයෙන් යුතුය

6.jpg

බලපිටිය නගරයේ සිට කි. මී. 6 – 7 ක් ඇතුළට යන විට හමුවන උස් බිම හැඳින්වෙන්නේ පොල් අතු කන්ද නමිනි. එයින් පැන නඟින ජල උල්පතකි. සෙමෙන් පහළට ගලා බසින සීන් දිය දහරාව පසුව බලපිටිය නගරයේ දී ගංගාවක් ලෙසින් සුන්දර ගං මෝයක් නිර්මාණය කරමින් සාගරයට එකතු වෙයි. අප මාදු ගඟ නමින් හඳුනාගන්නේ මේ කියන ජල ප්‍රවාහයයි. මාදු ගඟ අවට ප්‍රදේශය රැම්සා ප්‍රඥප්තියෙන් ද පිළිගත් තෙත් බිමක් වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මතු නොව ජාත්‍යන්තර තලයේ අවධානයක් ද ඊට හිමි ය. හෙක්ටෙයාර් 2300 ක භූමි ප්‍රදේශයක් සහ දූපත් විසිපහකින් යුත් පිහිටීමක් ඊට අයත් ය. මාදු ගඟ තැනකදී ගැඹුරුය. ගඟක් වශයෙන් ගත් කල ශාන්තය. එහෙත් ඒ සියල්ල අවසානයේ දී එක්තැන් වී ඇත්තේ විනාශයක්මය

සුන්දර පරිසර කලාපයක් වන නිසාම දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනාගත් පාරිසරික පරිශ්‍රයක් බවට මාදු ගඟ පත්ව ඇත්තේ කාලයක සිටමය. ගඟ මුල් කරගෙන යාන්ත්‍රික බෝට්ටු සේවාවක් ආරම්භ වන්නේ ද ඒ නිසාම ය. මාදු ගං කලාපයේ සිරි විඳින්නට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ ද බෝට්ටු සවාරියක් යෑම අවශ්‍යම අංගයක් බවට පත් කරගෙන සිටිති. මෙම බෝට්ටුවල එන්ජින් ධාරිතාව අශ්ව බල 25 – 30 ත් අතර වන බවට දැනගත හැකි විය. ඒ අනුව මෙම බෝට්ටුවල ධාවන වේගය සංවේදී ගංගාවකට ඔරොත්තු දෙනවාදැයි සොයා බැලිය යුතුය. අපට දැනගන්නට ලැබුණු ආකාරය බෝට්ටු ධාවනයට වේග සීමාවක් ද පනවා නැත. එවැනි පසුබිමක් තුළ මේ බෝට්ටු ධාවනය නිසා කැලැඹෙන ජලය ගංගාවේ සංවේදී ඉවුරට වදින වේගය ඉවුරේ ස්ථාවරත්වයට සිදු කරන අහිතකර බලපෑම ගැන පාරිසරික වශයෙන් තබා සාමාන්‍ය මට්ටමේ තක්සේරුවක්වත් සිදුකොට නැත. ඒත් සමඟම බෝට්ටු ධාවනය කරන්නන් ඒවායේ තෙල්, ග්‍රීස්, අප ඉන්ධන බැහැර කරන්නේ ද මේ සංවේදී පරිසර කලාපයටය. එසේ නොකොට වෙන කොහාට දාන්න දැයි අසන තරමට ම ඔවුහු ඒ සම්බන්ධයෙන් අසංවේදී වී සිටිති. තව ද අයිතියක් වශයෙන් එය තහවුරු කරගැනීමක් ද දැකිය හැකිය.

ධීවර ප්‍රජාවගෙන් අප අසා දැනගත් ආකාරයට මාදු ගංගාවේ පමණක් ඉස්සන් වර්ග සතක් හමු වේ. ඉන් එක් වර්ගයක් බෝවෙන්නේ ගංගාවේය. අනෙකුත් වර්ග සයම බෝවෙන්නේ කළපු ආශ්‍රිත කඩොලාන පරිසරයේ ය. ඒ කොයි හැටි වුණත් ඉස්සන් දමන බිත්තර ගං දිය මත දැලක් මෙන් පාවෙමින් තිබෙනු දැකිය හැකිය. ගැමියෝ එය “ඉහඳියා” යනුවෙන් හඳුන්වති.

Madu_ganga_Madu_ganga_boat_safari-12.jpg

කෙසේ වෙතත් වේගයෙන් ධාවනය වන බෝට්ටු නිසා ඇති වන රළ වේගය කිසිදු අපහසුවකින් තොරව මේ ඉහඳියා විනාශ කර දමයි. ඒ විතරක් නොවේ, ඒ රළ වේගයට අසුව ඉස්සන්ගේ නිවාස ස්ථාන ද දිගින් දිගට ම විනාශ වේ.

ඊළඟට එම විනාශය අත් විඳින්නේ මත්ස්‍යයන්ය. තෙලියා, කටුමැස්සා, වේකා, පැරැටියා, පන්නාවා, හැඬැල්ලා වැනි මත්ස්‍ය විශේෂ සිය අභිජනන කටයුතු සිදු කරන්නේ කලපු ආශ්‍රිතවය. අපගේ නිරීක්ෂණයට අනුව අර කී රළ වේගය හමුවේ එම මත්ස්‍යයන්ගේ බිත්තර සහිත කැදලි විනාශයට පත් වෙන්නේ ඔවුන්ගේ පැවැත්ම ද බරපතළ අන්දමට සීමා කරමිනි. ඒ හැරුණු කල බෝට්ටු එන්ජින් විසින් ඇති කරන්නා වූ තෙරපුම ගං පතුල කරා ම විහිද යන බවත්, ඒත් සමඟම එහි ඇති අවසාදිත රොන්මඩ කැලැතෙමින් නිතරම ජලයෙහි විසිර යන බවක් ද හඳුනාගෙන තිබේ. මෙය මත්ස්‍යයන්ගේ සාමාන්‍ය පැවැත්ම අසාමාන්‍ය අවදානමකට ඇද දැමීමකි. ඒ අනුව මේ රොන්මඩ මත්ස්‍යයන්ගේ කරමල්වල සිර වන අතර ඒ නිසා ඇතිවන ශ්වසන අපහසුව නිසා නිකරුණේ මියයන බව ද හෙළි වී තිබේ.

2333412390_935c007dc1

බෝට්ටුවලට ලාබදායි ඉන්ධනයක් වශයෙන් භූමිතෙල් යොදා ගැනීම නිසා ගං දියට නිතර නිතර භූමිතෙල් මුසු වීම ද සිදු වේ. ප්‍රදේශවාසීන්ගේ බසින් ම කිව්වොත් මේ බෝට්ටු ධාවනය නිසා මාළුන් හා ඉස්සන් අසුවීම පෙරදී මෙන් සුලබව සිදු නොවේ. එසේ අසුවන මාළු ද බොහෝ විට භූමිතෙල් රසයෙන් යුතුය. මේ ආකාරයට පරිසර පද්ධතියක් සමඟ සමාජ පරිසරයක් ද එකවර විනාශ වීම සම්බන්ධයෙන් මාදු ගංගාව සහ ඒ අවට සමාජය මුහුණ පා ඇති තත්ත්වය පැහැදිලි නිදර්ශනයකි.

සම්භාව්‍ය කාව්‍ය රචනාවක් වන කෝකිල සන්දේශය මාදු ගඟ හඳුන්වන්නේ ‘වැලි තොට’ යන නමිනි. පරෙවි සන්දේශය, ගිරා සන්දේශය, මතු නොව සිදත් සඟරාව ද මාදු ගඟ හඳුන්වන්නේ ඒ නමින්මය. ඒ අනුව ඒ වැලි තොට පරිසර කලාපයේ ඒක දේශීය මත්ස්‍ය විශේෂ 32ක් ද (ඉන් දෙවර්ගයක් ම මාදු ගංගාවට සීමා වූවෝය.) උභය ජීවින් විශේෂ 35ක් ද උරගයන් විශේෂ 81ක් ද සත් වර්ගයකට අයත් පක්ෂීන් ද ක්ෂිරපායි විශේෂ 14ක් ද, මොලුස්කාවන් විශේෂ 198ක් ද වෙසෙන බවට සත්ත්වවේදි වාර්තා පෙන්වා දී තිබේ. එසේ ගත් කල වැනසෙමින් ඇත්තේ වටිනා ජෛව කලාපයක් පමණක් නොව ඓතිහාසික වටිනාකමක් ද ඇති සාංස්කෘතික පරිසරයක් ද වේ.

MADU-RIVER.png

මානව ක්‍රියාකාරකම් දිනෙන් දින උත්සන්න වීම හේතු කොටගෙන කලපුව ආශ්‍රිතව ඇති වැලි පරය ද කනගාටුදායක අන්දමින් ඛාදනයට ලක්වීම අදටත් සිදු වන්නකි. ඒත් සමඟම සිදු වන්නේ ගං ඉවුර දිගටමත් යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි අයුරින් ඛාදනය වීමයි. ඒඅනුව සුළු වර්ෂාවකින් වුව ගංගාව ආශ්‍රිතව ඇති දූපත් ජලයෙන් යට වීම වැළැක්විය හැකි නොවේ. madu2

කඩොලාන ශාක සහිත පොහොසත් කලපු පරිසරයක් මාදු ගං පරිසරය සතු ය. සාමාන්‍ය පරිසරයක වැඩෙන ශාකවලට සාපේක්ෂව සීමා කාරී තත්ත්වයන්ට මෙන් ම අහිතකර පාරිසරික පැවැතුම්වලට ඔරොත්තු දීමේ හැකියාවක් කඩොලාන ශාකවලට තිබේ. අනිත් අතට පොළොවේ ලිහිල් පාංශු ස්ථරයේ වැඩෙන කඩොලාන ඒ නිසාම සෝදා යෑමේ හෝ කඩා වැටීමේ අවදානමෙන් පාංශු පරිසරයක් බේරා ගැනීමට සමත් වේ. ඉතා හොඳින් තිරස් අතට වැඩුණු මුල් පද්ධතියක් සහිත කඩොලාන වැවෙන්නේ ද බුරුල් පසෙහි ය. වේගයෙන් හමා එන මුහුදු සුළං ප්‍රවාහයන්ගෙන් මේ කියන මෘදු පාංශු පරිසරය ආරක්ෂා වෙන්නේ ද කඩොලාන ශාක ප්‍රජාව නිසා ය. සිය කයිරු මුල්වලින් ද විහිදුණු මූල පද්ධතියෙන් ද එම පාංශු කලාපය ආරක්ෂා කිරීම හේතුවෙන් මුහුදු සුළං ප්‍රවාහ ගොඩබිමට සිදු කරන්නට නියමිත බලපෑම අවහිර වේ. එසේ ගත් කල කඩොලාන යනු කොයි ආකාරයෙන්වත් විනාශ නොකළ යුතු ශාක ප්‍රජාවකි.

imgToursDays71414045960

අනිත් අතින් ගත් කල ආම්ලිකත්වයේ වෙනස මෙන් ම ලවණ සාන්ද්‍රතාව නිසාත් නිර්වායු ස්වභාවයක් සහිත පසක සිය ජීවය පවත්වාගෙන යා හැක්කේ කඩොලාන ශාකවලට මිස හල්මිල්ල, බුරුත වැනි වෙනත් ශාක විශේෂයන්ට නොවේ. එසේ හෙයින් කඩොලාන ශාක එවැනි පරිසරයකින් ඉවත් කළොත් හෝ විනාශ කළොත් ඒ භූමිය ඉන් පසුව මුහුණ දෙන සාගරයට සේදී යෑමෙන් වළක්වා ගැනීමට වෙනත් ශාක ප්‍රජාවක් ඉදිරිපත් වන්නේ නැත. මෙවැනි දැ එදිනෙදා ජීවිතයේ දී මිනිසුන් සිය පරිසරයට අදාළව දැන සිටිය යුතු කරුණු ය. අතීත වැසියෝ එවැනි අවබෝධයක් ඇතිව සිටි හෙයින් අද මිනිසුන් මෙන් පරිසරයට එරෙහිව මුග්ධයන් මෙන් කටයුතු නොකළහ. අන්‍යාලපයකින් කියනවා නම් කුඤ්ඤය ගැලවූ වඳුරන් මෙන් ක්‍රියා කළේ නැත.

කෙසේ වුව මාදු ගඟ ඇසුරේ අද එම කලාපයට ඔරොත්තු නො දෙන ආකාරයෙන් ජනගහනයේ ඉහළ යෑමක් ද දැකිය හැකි ය. එම නිසා ම භූමියේ අගය ඉහළ යෑමත් ඒ සඳහා අසීමිත තරගකාරීත්වයක් ඇති වීමත් පැහැදිලිවම දැකිය හැකි වේ. මාදු ගංගාවේ දූපත්වල වසන්නවුන් ඊට පිළියමක් වශයෙන් ගං ඉවුර ගොඩ කරමින් තම ඉඩම් අවශ්‍යතාව සපුරා ගනිමින් සිටින්නේ එවැනි තත්ත්වයක් හමුවේ ය. මේ සඳහා ඔවුහු සියුම් උපායක් ද අනුගමනය කරති. ඒ බලපිටියේ ඇති ලී මඩුවලින් ලී කූඩු රැගෙන විත් වෙනත් අපද්‍රව්‍යය ද සමඟ එක්කොට ගඟ ඉවුරේ ගොඩ ගසමින් තිබෙන්නට හැරීමයි. එසේ තිබියදී කෙමෙන් තෙත බර වෙන ලී කුඩු අපද්‍රව්‍ය ද සමඟ ජලයේ ගිලී යෑම සිදු වෙයි. එසේ ක්‍රමයෙන් ගොඩ වෙන්නට හැර පසුව එම තැන්වලට රතු පස් දමා ගොඩ වීම තහවුරු කොට ඒ මත ලෑලි හෝ පොල් අතු භාවිතයෙන් පැල්පත් ඉදි කර ගැනෙයි. අවාසනාවකට මෙන් මෙවැනි දෑ නීතියෙන්වත් වළක්වා ගැනීමේ නොහැකියාවක් තිබේ. ඒ නීතිය අබිබවා දේශපාලනය ක්‍රියාත්මක වීම නිසාය.

DSC_9313.jpg

ගංගා ආශ්‍රිත කලාපයේ ලවණ සහිත වගුරු බිම් සාගර රළ ප්‍රවාහයෙන් ආරක්ෂා කරන්නා වූ කඩොලාන ශාක ප්‍රජාව ද අද වන විට දරුණු ලෙස විනාශයට පත් වෙමින් තිබේ. ඒ මාදු ගඟ සමාජ පරිසරය ද වනසන සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති කසිප්පු ජාවාරම නිසාය. මේ කටයුතු සිදු කෙරෙන්නේ කඩොලාන පරිසරය ආශ්‍රිතවය. ඒ මත් වතුර සහිත බැරල් සඟවා තැබෙන්නේ කඩොලාන වනය තුළය. නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය දර සපයා ගන්නේ එම ශාක කපා හෙළීමෙනි. එහි දී සියලු අපද්‍රව්‍ය සහ අපජලය බැහැර කෙරෙන්නේ මාදු නම් සුන්දර ගංගාවටය.

z_p26-Madu-Ganga5

මේ සියලු කටයුතු මෙසේ සිදු කෙරෙන අතර නගරයේ එකතු වෙන අපද්‍රව්‍ය සහ අපජලය මේ ගං ජලයට බැහැර නොකෙරෙන බවට සහතිකයක් දීමට අදාළ නිලධාරීන්ට හෝ බලධාරීන්ට හැකියාවක් තිබේ ද? මේ නිසා මෙතෙක් අවහිරයකින් තොරව ගංගා මෝය කරා ගලා ගිය ජල ධාරාව තැන තැන අවහිර වෙමින් පල් වෙමින් පැවතීමේ අවසාන ප්‍රතිඵලය කුමක් විය හැකි ද යන්න කල්පනාවට ගත යුත්තකි. තද දුර්ගන්ධය, සීමාවකින් තොරව මැසි මදුරුවන්ගේ බෝවීම, පාරිසරික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් ද සිදු කරන්නා වූ ව්‍යසනය කාගේ නිර්මාණයක් දැයි කල්පනා කර බැලීමට තවත් කාලයක් එනතුරු සිටිය යුතු නැත.

“ත්‍යාග පිරිනමන්නෝ එය ලබන්නන්ට වඩා ආශිර්වාද ලබන්නෝ වෙති.” බයිබලයේ එන මේ කියමන අපගේ පාරිසරික පැවැත්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් ද හොඳින් ගළපා ගත හැකි වේ.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s