ආපදාවන්ට මුහුණ දීමට සූදානම් වෙන්න!

killer-landslide-merl.jpg

අරණායක ඛේදවාචකය යනු මෙරට සිදුවිය හැකි අවසාන ඛේදවාචකය නොවිය හැකිය වාර්ෂිකව මෙරට වන වැස්මෙන් හෙක්ටයාර් 33,000ක් විනාශයට

අපට සිදුවීම් පාලනය කළ නොහැකිය. එහෙත් ඒ වෙනුවෙන් අප දක්වන ප්‍රතික්‍රියා පාලනය කරගත හැකිය. එසේ පවසන්නේ ආචාර්ය සර්වපල්ලි රාධ ක්‍රිෂ්ණන්ය. අද වන විට ලෝක මට්ටමින් පැන නැඟී ඇති පාරිසරික අර්බුදය විග්‍රහ කිරීමට ඉතාමත් ම සුදුසු කියමනක් වශයෙන් එය ගත හැකිය. ඉනුත් ලෝක පරිසරවේදීන් බරපතළ ආකාරයෙන් අනතුරු අඟවන්නේ පොදුවේ සෑම රටකම වාගේ සිදුවන වනාන්තර වැස්ම ඉවත් කිරීමෙන් මතු විය හැකි නොවැළැක්විය හැකි අවදානම ගැන ය.

පසුගිය දිනවල සිට ම අප රටේ වන වැස්ම ඉවත් කිරීම සහ එහි ප්‍රති විපාක ගැනත්, වන රෝපණය සම්බන්ධයෙනුත් ඒ සඳහා ඇති කරගත යුතු උනන්දුව ගැනත් රජයේ ඉහළ මට්ටමින් සාකච්ඡා වට මෙන් ම උපදෙස් ලබා දීම් ද සිදුවුණු බවට වාර්තා පළ විය. එනිසා ම ඒ සම්බන්ධයෙන් කතා බහක් ඇති කරගැනීමට සුදුසු ම අවස්ථාවක් එළැඹී තිබේ.

අද වන විට මේ රටේ ස්වාභාවික වන වැස්ම විශේෂයෙන් ම ඉහළ කඳුකරය තුළ කොතරම් දුරට හායනයට ලක් වී ඇද්ද යන්න ගම්මාන පිටින් නාය ගොස් ඇති ආකාරයෙන් ම හඳුනාගත හැකි ය. එසේ බලන කල අරණායක ඛේදවාචකය යනු මෙරට සිදුවිය හැකි ඒ ආකාරයේ අවසාන ඛේදවාචකය නොවිය හැකි බව මතක තබා ගැනීම වැදගත් ය. තවදුරටත් එවැනි ව්‍යවසන වළක්වා ගත හැකි ද යන්න බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. තත්ත්වය, එවැනි ඛේදවාචක වළක්වාගත හැකි සීමාවෙන් ඔබ්බට ගොස් ඇද්ද යන්න සැකයකි. කෙසේ හෝ වේවා ස්ථිර වශයෙන් ම කිව හැකිව ඇත්තේ ආපදාවන්ට මුහුණ දීමට සූදානම් වන්න කියන කරුණයි.

forest-canopy.jpg.838x0_q80.jpg

මෙරට වනාන්තර විනාශයේ ඉතිහාසයේ ඉහළ කඳුකරයට අදාළව බරපතළ ම වනාන්තර එළිකිරීම සිදුවන්නේ සුදු ජාතික වැවිලිකරුවන් අතින් යැයි කීමේ වරදක් නැත. ඒ ඔවුන් ගේ වතු වගාව උදෙසා ය. එහෙත් ඔවුහු එහිදී එක් දෙයක් කළහ. ඒ තමන් එළිකරන කඳුකර වනාන්තරයේ ඉහළින් ම ඇති වන වැස්ම හිස් වැස්මක් ලෙසින් ඉතිරි කිරීමය. ඒ නිසා දීර්ඝ වැසි කාලයන්හි වුණත් කඳු පෙත පහළට රූටා ඒම යම්තාක් දුරකට හෝ අවහිර විය. ඒ හැරුණු කල තේ වැවිල්ලේ දී ලිහිල් පාංශු කලාප හඳුනාගෙන ඒ තන්හි පොළව බදා ගෙන වැවෙන මුල් සහිත වෘක්ෂයන් ද රෝපණය ‍කොට තිබිණි. නමුත් පසුගිය කාලයේදී තේ වතුවල සේවක අර්ථසාධක ගෙවීමට නොහැකි වූ අවස්ථාවලදී ඒ ආකාරයට අවශ්‍යම තැන්වල වවා තිබූ පැරැණි ගස් කපා ඉවත් ‍කොට විකිණීමට, පැවැති රජය අවසර ලබා දුන්නේ ය. අද වන විට කඳු මුදුන්හි එළි පෙහෙළි නොකොට පැවැති වන වැසුම් ද කිසිදු විචාරයකින් තොරව කපා විකුණා ගැනීමට බොහෝ වැවිලි සමාගම් කටයුතු කොට තිබේ.

ss-4-2

අතිතයේදී වාණිජ වැවිලි වෙනුවෙන් ඉහළ කඳුකරය එසේ එළිපෙහෙළි වෙද්දී නිදහසින් පසුව ආරම්භ වුණ ගොවි ජනපද ක්‍රමය නිසා පහත්බිම් හි තිබූ වියළි කලාපීය වන පද්ධතිය ද සැලකිය යුතු ප්‍රමාණයකින් එළිපෙහෙළි වූ බව පිළිගැනීමට සිදුවේ. ඒ සම්බන්ධයෙන් විදේශීය ලේඛකයෙකු තබා ඇති සටහනක් මෙසේ ය. ඔහු ගේ ඒ සටහනට අනුව ලෙනාඩ් වුල්ෆ් එදා දුටු “බැද්දේගම” ද ඔහුට දකින්නට ලැබුණේ විශාල කුඹුරු යායක් හැටියට ය. ඔහු පදිංචි වී ඇත්තේ ඒ සමීපයේ ය. (බැද්දේගම අද කොහේදැයි සොයා ගැනීමට ලෙනාඩ් වුල්ෆ්ටවත් නොහැකි වෙනු ඇත.)

“ලංකාවේ වියළි කළාපයේ බුද්ධිමත් මිනිස්සු සිටිති. රටට වර්ෂාපතනය ලබා දෙන වැසි වනාන්තරවලට පැවැත්මේ වටිනාකම ඔවුහු දනිති. ඒත් අවාසනාවකට මෙන් ඒ අවබෝධය රජයේ නිලධාරීන්ට නැත. ඇතැම් විට ඒ ඔවුන්ගේ අනව‍බෝධය නිසා ය. නැතහොත් දැන ගැනීමේ උනන්දුවක් නැති නිසා ය.” අද වනතුරුත් අඛණ්ඩව පවතින රාජ්‍ය නිලධාරීන් ගේ මේ අන්ධ ක්‍රියාකාරීත්වය හේතු ‍කොටගෙන වැසි වනාන්තරවල ශීඝ්‍ර අවම වීමත් ඒ නිසා වාර්ෂික වර්ෂාපතනයේ පිරිහීමත් අදාළ වගකිව යුත්තන්ගේ අවධානය යොමු වී ඇද්ද යන්න අපැහැදිලි ය.

forest-animals-hd-pictures.jpg

වියළි කලාපයට අයත් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශවලට අවස්ථානුකූලව ප්‍රමාණවත් වර්ෂාවක් තවමත් ලැබෙන්නේ ශේෂ වී ඇති වනාන්තර වැස්ම නිසා යැයි ඒ සුදු ජාතික නිලධාරියා සටහන් ‍කොට තිබේ. “එහෙත් මෑතදී ගංගා ආශ්‍රිතව පවත්නා එවැනි වනාන්තර ද හායනයට ගොදුරු වෙමින් තිබේ. එසේ ඒ වන පෙත් එළිකළ ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අතීතයේදී ඒවා වනාන්තර වශයෙන් පැවැති කාලයේ ලැබුණු වර්ෂාපතනය හා සසඳන කල්හි බෙහෙවින් අඩු වීමක් පෙන්නුම් කරයි.” මේ තත්ත්වය අද වන විට බරපතළ අන්දමේ පිරිහීමකට ගමන් කරමින් සිටින බව අදාළ කාලගුණ නිරීක්ෂණ දත්ත විමසීමේ දී පෙනී යයි.

අලුතින් වන වගා ව්‍යාපෘති ඇති කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින මේ කාලයේ දී ඔවුන් ගේ අවධානය සඳහා පහත දැක්වෙන පාරිසරික විස්තරය ඉදිරිපත් කිරීම වටී. ඒ අනුව ගංගා නිම්න ආශ්‍රිතව ඒවායේ ආරක්ෂාවට නියමිත සීමාව ආරක්ෂා වන ආකාරයෙන් වන වන වැස්ම පවතී දැයි සමීක්ෂණයක් කළ යුතුය. ඉදින් ඒ සීමාවන් එසේ වන වැස්මෙන් ආරක්ෂා වී නැත්නම් එවැනි සීමා ලකුණු කොට අනවසර පදිංචිකරුවන් වේ නම් ඔවුන් ඉවත්කොට ඒ බිම් හි නැවත වනයට වැඩෙන්නට ඉඩ ලබා දිය යුතුය. ගොවි ජනපද ඇති කිරීමට සුදුසු භූමි කලාප වුවමනා තරම් ශ්‍රී ලංකාව තුළ තිබියදීත් ඒ සඳහා වැසි වනාන්තර ම එළි පෙහෙළි කළේ මොන හේතුවක් නිසා දැයි විමසීමෙන් දැන් පලක් නැත. එහෙත් ඒ වැසි වනාන්තර නැවත ඇති කර ගැනීමේ මඟක් ඇද්දැයි සොයා බැලීමට තව දවසක් හෝ ප්‍රමාද විය යුතු නැත. වැසි වනාන්තර සීමාව ඉක්මවා අහිමි වීම තුළ රටක වාර්ෂික වර්ෂාපතනය පිරිහී යෑම ගැන දැනුම සහ අවබෝධය පාසල් අධ්‍යාපනයේ සිට ම ලබාදිය යුතුය. ඒ සඳහා අප මුහුණ දිය යුත්තේ මෙන් ම සූදානම් විය යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් නිවැරදිව ඉගැන්විය යුතු ය.

013b.jpg

වන රෝපණය එසේ නැත්නම් වන වගා ඇති කිරීම සම්බන්ධයෙන් වෙලාවක් කලාවක් නැතිව කතා කරන තත්ත්වයක් ගොඩනැඟී ඇතත් ඒ දේ කිරීමට අවශ්‍ය සැලසුම් සහගත ඉදිරිපත් වීමක් ගැන කතා කරන්නේ ම නැති තරම් ය. මේ සඳහා අවශ්‍ය වන්නේ නිරවද්‍ය වන ජීවි ප්‍රතිපත්තියකි. එවැනි ප්‍රතිපත්තියකින් තොරව වන රෝපණයක් ගැන කතා කිරීමෙන් පමණක් සාර්ථකත්වයක් ලබාගත හැකි දැයි සැක සහිත ය. වන සත්ව ප්‍රතිපත්තියක් ගැන මුලින් ම සඳහනක් දැක ගත හැක්කේ එවකට සිටි වන සංරක්ෂකවරයාගේ 1949 වසරේ පරිපාලන වාර්තාවේ යැයි මහාචාර්ය සරත් ‍කොටගම පවසයි. ඔහු එය මෙසේ උපුටා දක්වයි.

“විවිධත්වයෙන් ද, අලංකාරයෙන් ද, වැදගත්කමෙන් ද පොහොසත් වූ වන සත්ත්ව සම්පතක් උරුම වී ඇති වර්තමාන පරම්පරාවේ වගකීමක් වන්නේ හැකිතාක් සම්පූර්ණ ආකාරයකින් එය අනාගත පරම්පරාවට බාර දීම ය. මේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම නව (වන සත්ත්ව) දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය වෙයි.” නමුත් එවැන්නක් කිසිදු පරම්පරාවකින් නිසි පරිදි සිදු නොවුණේ යන්න හොඳට ම පැහැදිලිය.

tea1.jpg

වන සංරක්ෂණය පිළිබඳ විද්වතුන්ගේ පෙන්වා දීම්වලට අනුව මෙරට වනාන්තර පද්ධතියෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව ඇත්තේ පහතරට තෙත් කලාපීය වනාන්තරවලටය. ඊට හේතුව සියලු පරිසර පද්ධති ඇසුරේ ශාක විවිධත්වයට අදාළව වැඩි ම ආවේණිත්වයක් ප්‍රකට කරන්නේ මෙම වනාන්තරවලින් වීමයි. ඊට අමතරව අදටත් යම්තාක් දුරකට හෝ ප්‍රාථමික තත්ත්වයෙන් හඳුනාගත හැකි වන පෙදෙස් මෙම වනපෙත් අතර තිබේ. ඒ අනුව නොඉඳුල් මට්ටමේ වනාන්තර දැකිය හැකි වීම මහත් භාග්‍යයක් වේ. අනිත් අතට සාපේක්ෂව ගත් කල ජෛව විවිධත්වය අතින් ද මේ වනාන්තර පොහොසත් ය.

අද වන විට බරපතළ ම අන්දමින් පැවැත්ම අනාරක්ෂිත වූ වනාන්තර පද්ධතියක් වේ නම් ඒ කඳුකර වනාන්තරයි. එය මූලික වශයෙන් ම මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙනම සිදු වන්නක් වේ. පිළිගත් සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන ආකාරයට වාර්ෂිකව මෙරට වන වැස්මෙන් හෙක්ටෙයාර් 33000 ක් තරම් භූමි ප්‍රමාණයක්වත් එළි පෙහෙළි වේ. ප්‍රතිශතයක් වශයෙන් ගත් කල එය සියයට 1 ත් 1 1/2 ත් අතර ප්‍රමාණයකි. පිළිගත් බලධාරි ආයතන පෙන්වා දෙන අන්දමට අද මෙරට වන ගහනය සියයට 20ත් 18ත් අතර ප්‍රතිශතයකින් ආරක්ෂා වී තිබේ. හිටපු වන ජීවී සහකාර අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය නන්දන අතපත්තු මහතා පවසන්නේ ඒ කතාව ඇත්තක් නම් තත්වය සතුටුදායක බවයි. එහෙත් තමා එය ඇත්තක් යැයි සිතන්නේ නැති බව ද හෙතෙම පවසයි. මේ අතර පරිසර සංවිධාන පොදුවේ දරන මතයට අනුව ගුවන් ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් වන වැස්ම සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබාගත නොහැක. ඊට හේතුව ඔවුහු මෙසේ පැහැදිලි කරති.

A-Biodiversity-Hotspot-In-Sinharaja-Forest-Reserve-In-Sri-Lanka.jpg

ගුවන් ඡායාරූප වලදී වනාන්තර ලකුණු වෙන්නේ අඳුරු පැල්ලම් වශයෙනි. එනිසා වනාන්තර හැරුණු කල රබර් ඉඩම් ද අඳුරු පැල්ලම් වශයෙන් සටහන් වී තිබේ. ඒවා නිරීක්ෂණය කරන නිලධාරිහු මෙරට වන වැස්ම සියයට 20 ක් යැයි කියති. එහෙත් එවැනි වගකීම් විරහිත ප්‍රකාශ සාවද්‍ය අරුත් ලෙසින් විනා නිරවද්‍ය ලෙසින් නොගත යුතු යැයි ඔව්හු තවදුරටත් පෙන්වා දෙති. පරිසරවේදීන් පොදුවේ පෙන්වා දෙන අන්දමට අද මේ රටේ වන වැස්ම පවතින්නේ සියයට 15 කටත් අඩු සීමාවකය. 1981 දී ඉදිරිපත් කරන්නට යෙදුණු වනාන්තර අධීක්ෂණ යෝජනාව අර කීව, තත්ත්වය තවදුරටත් තහවුරු කරමින් මෙරට භූමිය ආරක්ෂාවට අවශ්‍ය අවම වනාන්තර සීමාවවත් අද වන විට ඉතිරිව නැතැයි පෙන්වා දී තිබේ. (අපේ ර‍ෙට් භූ වර්ග ප්‍රමාණයට අනුව පැවැතිය යුතු අවම වනාන්තර ප්‍රතිශතය සියයට 20ක් යැයි ගණනය කොට තිබේ.)

එසේ බලන කල නැවත වනාන්තර ඇති නොකළොත් ඉදිරි කාලීනව මෙරට ජන ජීවිතය කොයි ආකාරයේ බිහිසුණු ඉරණමක් කරා ගමන් කරාවිද යන්න කල්තියාවත් හඳුනාගත හැකි තත්වයක අද අප නැත. නමුත් ප්‍රශ්නය වන්නේ විධිමත් සැලසුමකින් තොරව ඒ දේ කළ හැකි දැයි සිතෙන කල්හි ය. අප එසේ කියන්නේ එවැනි පිළිගත් වන ජීවි ප්‍රතිපත්තියක් හෝ වනාන්තර සැලසුමක් ඇති ව මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවක් දැකිය නො හැකි නිසා ය. රුක් රෝපණ දිනයට ගසක් සිටුවීම, ලෝක පරිසර දිනයේ දී වනාන්තර සුරැකීම ගැන රචනා ලිවීම යන මේ දෑ වලින් එහාට ගිය ක්‍රියාකාරී වනාන්තර සහ වන ජීවි සංරක්ෂණ සැලසුමක් මේ සඳහා අවශ්‍ය වේ. ඒ අවශ්‍යතාව නිසි පරිදි සම්පූර්ණ නොකෙරන කිසිදු කටයුත්තකින් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකිය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s