සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

8.jpg

මුලින් ම හෙළි කළේ මීට දෙවසරකට පෙරයි.  එහෙත්, තවම එය වැළැක්වීමට අවම පියවරක්වත් ගෙන නැහැ. එදා සිංහරාජයට ආවේ ගරුසරුවත් සමඟයි. අද එන්නේ ආතල් ගන්නයි.  සිංහරාජය වට කර ඇති තේ යාය වන විනාශයට තවත් හේතුවක්.

නිශ්ශබ්ද වනාන්තරය තුළ හඬ නඟා ගලා හැ‍ෙලන ඒ මහා ජලකඳ තුන් පැත්තකින් වටවූ ගල් දෙබොක්කාවකට ඇද වැටෙයි. එසේ වැටෙන ඒ ජල කඳ ඒ මොහොතේ දී නගන හඬ බියජනකය. බැලූ බැල්මට උසින් මීටර් 30 ක් පමණ වන ඒ ගල් පර්වත දෙක අතර පරතරය මීටර් දෙකකට වැඩි නොවේ. පෙනුමෙන් ගලින් තැනුණු ඔරුවක් ද සිහි ගන්වන ඒ ශෛල්‍යමය පිහිටීම තුළට අර කී ජල කඳ ඇද වැටෙන්නේ අසාමාන්‍ය පෙනුමක් ඇති දිය ඇල්ලක් නිර්මාණය කරමිනි. එමෙන් ම ඒ ජල කඳින් ඇල්ල පාමුල නිර්මාණය වී ඇති ජල තටාගය ද සාමාන්‍යයෙන් දිය ඇල්ලක් සමීපයේ දී හමු නොවන තාලේ එකකි. කෙසේ වෙතත් මේ ජල තටාගය වු අර කී ඇද හැලෙන ජල කඳ රඳවා නවතා ගැනීමට සමත් නොවෙයි. ඒ අනුව ඒ ජල ධාරාව එතැනින් නොනැවතෙයි. එහෙත් අතුරුදන් වෙයි. එසේ අතුරුදන් වන ජල කඳ කිසිවෙකුටත් නොපෙනී මීටර් හතළිහක් පමණ දුරක් ගලා යන්නේ මුලින් කී ගල් ඔරුවක් වැනි පිහිටීම තුළිනි. පොළොව යටින් ඇදී ආ දැවැන්ත ගොයෙකු එක්වරම පර්වතයක් පාමුලින් මතු වෙන්නාක් මෙන් මේ දිය කඳ ද එසේ පැමිණ ඉදිරියේ ඇති ගල් පර්වතයක් අසලින් නැවත පො‍ළොව මතු පිටට පැමිණෙයි. මෙය මිනිස් ක්‍රියාකාරකමකින් ඇති කළ ජල ව්‍යාපෘතියක් නම් නොවේ. ස්වභාව ධර්මයේ නියමයෙන් ජගත් සෞන්දර්යයට අනුකූලව නිර්මාණය අපූර්ව ස්වභාව පැවැත්මක් ම වේ.

sinharaja-for-web

ලංකාගම ප්‍රදේශයෙන් සිංහරාජ වනාන්තරයට පිවිසෙන්නෙකුට එකී අද්භූත සෞන්දර්යය දැකිය හැකි ය. ගල්ඔරුව දිය ඇල්ල නමින් එය හැඳින්වේ. ඒ හැරුණු කල මහල් සතක් ඔස්සේ ඇද හැලෙන සත් මහල් දිය ඇල්ල පිහිටියේ ද මේ පරිසර කලාපයේ ම ය. හත් මාලේ දිය ඇල්ල ලෙසින් ද හැඳින්වෙන එය ඈත සිට බලන විට පියාඹන සමනලයෙකු ලෙසින් ද දිස් වේ. එසේ ගලා හැලෙන මේ සුන්දර ජල කඳ පල්ලේගම ප්‍රදේශයේ දී ගිං ගඟට එකතු වෙයි. මේ කරුණු සැලකිල්ලට ගෙන සත්මහල් දිය ඇල්ල “ගිං ගඟේ සමනලිය” ලෙසින් ද හඳුන්වනු ලැබේ.

මේ ආකාරයට දිය ඇලි සමූහයක් උපදින බොහෝ ජල මූලාශ්‍රයන් පවතින මහා වැසි වනාන්තරයක් වන සිංහරාජය නුදුරු අනාගතයේ දී ජලය සිඳී යන තත්ත්වයකට පත් වේ යැයි යමෙකු කිවහොත් එය එක්වන ම විශ්වාස කිරීමට තරම් අපහසු වනු ඇත.

පරිසරවේදී, එච්.කේ.එන්. රන්වැල්ල ඒ සම්බන්ධයෙන් සැපයූ දීර්ඝ විස්තරය, යොමු කොට තිබුණේ ‘තම්බපණ්ණි’ පරිසර කතිකාවතට ය. එහෙත් අදටත් ඒ ගැන අවධානයක් යොමු වූ බවක් දැනගන්නට නැත.

“කුඩා කල සිට ම දුටු දුටු ගස් වර්ගවල නම් මතක තබා ගැනීමේ විශේෂ උනන්දුවක් මාටින් අයියා සතු විය. පර්යේෂකයන් සමඟ කටයුතු කිරීමේ ඒ පූර්ව දැනුම ඔහුට විශාල ශක්තියක් විය. මාටින් ද ශාක හා සත්ව ප්‍රජාවේ විද්‍යාත්මක නම් ඉගෙන ගත්තේ ය. පේරාදෙණිය, කොළඹ, කැලණිය, මාතර මේ සියලු විශ්ව විද්‍යාලවලින් පැමිණි මහාචාර්ය, ආචාර්යවරු මාටින් අයියාගේ මිතුරෝ වූහ. හෙල්, ඔක්ස්ෆර්ඩ්, හාවඩ්, කේම්බ්‍රිජ් වැනි විදේශීය විශ්ව විද්‍යාලවල පර්යේෂණ පවත්වන විද්වත්හු ද සිංහරාජයට පැමිණියහ.”

_DSC0117-718423.jpg

මේ කියන පුද්ගලයාගේ සම්පූර්ණ නම මාටින් විජේසිංහ බවත්, ඔහු සිංහරාජයට පැමිණියේ 1959 දී බවත් රන්වැල්ල තවදුරටත් පවසයි. “ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 20 ක් පමණ ‍විය. එවකට කුඩව ගම්මානයේ පැවැතියේ ගෙවල් අතළොස්සකි. ගෙවල් වැඩි ඉසව්වේ ඔවුහු නිවෙසක් තැනූහ. ඒ ඉඩම් සියල්ල රජයේ ඉඩම් විය. මාටින්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැන ය. එවකට සිංහරාජයේ පාරිසරික වටිනාකම පිළිබඳව එතරම් උනන්දුවක් සමාජය තුළ නොවී ය. සිංහරාජයට වන සංරක්ෂණ නිලධාරින් යාම් ඊම් ආරම්භ ‍‍කළේ 1965 වර්ෂයේ පමණ ය. ඒ වනවිට සිංහරාජය අවට ගම්වාසීන්ගේ දඩබිමක් බවට පත්ව තිබිණි. සිංහරාජය තුළ ගොවිතැන, කිතුල් මැදීම, ජයටම කෙරිණි.”

sinharaja-5

මේ ආකාරයට නගරයෙන් සැඟවුණු ජීවිතයක් ගත කිරීමට හුරුවූ සිංහරාජය අවට විසූ මේ ගම් වාසීන්ට කලිසම් ඇඳ පැමිණෙන කැලෑ මහත්තුරුන්ගේ දර්ශනය බිය ගෙන දෙන්නක් විය. නමුත් රන්වැල්ල සඳහන් කරන ආකාරයට තරුණ වියේ සිටි මාටින් ඒ වනවිටත් රට‍තොට ඇවිද යම් පමණකින් අත්දැකීම් ඇති එතරම් අධ්‍යාපනයක් ලබා නොතිබුණත් කොළඹ සිට පැමිණෙන අයත් සමඟ මිතු දමක් ගොඩනඟා ගැනීමට තරම් දැනුමක් තිබූ අයෙක් විය.

“1990 වර්ෂයේදී ජාතික සංරක්ෂණ සැලැස්ම නමින් ව්‍යාපෘතියක් සිංහරාජයේ ක්‍රියාවට තැබිණි. ලෝක සංරක්ෂණ සංගමයේ මූලිකත්වයෙන් ඇරැඹි ඒ ව්‍යාපෘතියට මාටින් අයියා තෝරාගනු ලැබුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිර්දේශ මත ය. මාටින් අයියා ඉහත ව්‍යාපෘතියට පත්වූයේ දැනුම හේතුවෙනි…. ජාතික සංරක්ෂණ සැලැස්ම වසර 5 ½ ක් පුරා ක්‍රියාත්මක විය. ලංකාවේ තෙත් කලාපීය වන පද්ධතියේ වටිනාකම් පිළිබඳව සවිස්තරව අනාවරණය වූයේ ඒ වාර්තාවත් සමඟය.

තෙත් කලාපීය වනපෙත් ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය අංශයට විශාල උත්තේජනයක් ඒ වාර්තාවෙන් සැපයිණ. ජාතික සංරක්ෂණ සැලැස්මේ කටයුතු අවසන් වීමත් සමඟම මාටින් අයියා ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ආයුබෝවන් කියමින් විශ්‍රාම ගියේ ය.” මේ විස්තරය මේ ආකාරයෙන් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට අපට සිදු වුණේ සිංහරාජයේ ජල මූලාශ්‍ර සිඳී යෑමේ අවදානම ගැන මාටින් විජේසිංහ ඉදිරිපත් කරන අනාවැකිය හුදු හිතලුවක් නොවන බවත් එය විෂය අවබෝධය සහ පුළුල් අත්දැකීම් පරාසයක් පසුබිමේ තබාගෙන කරන ලද්දක් බවත් පෙන්වා දීමට ය. ඒ නිසා ම මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට මෙන් ම බලධාරීන්ට සිය අවධානය යොමු නො කර සිටීමට නො හැකි බව ද අවධාරණය විය යුතු ය.

IMG_30576.jpg
Martin Wijesinghe

සිංහරාජයේ ජල උල්පත් තව වසර විස්සකින් සිඳී යන බව මාටින් විජේසිංහ කීවේ මීට වසර දෙකකට පෙර යැයි පරිසරවේදී රන්වැල්ල අපට කීවේ 2008 වර්ෂයේ දී ය. ඒ, අර කී ආකාරයට තම්බපණ්ණී පරිසර කතිකාවතට විශේෂ ලියවිල්ලක් ඉදිරිපත් කරමිනි. අද අප සිටින්නේ 2016 වර්ෂයේ මුල ය. එසේ බලන විට ඉහත අනාවැකියෙන් වසර 8 කටත් ආසන්න කාලයක් අද වනවිට ගෙවී ගොස් තිබේ.

එහෙත් සිංහරාජය මුහුණපා ඇති ඒ කනගාටුදායක අවදානමට එරෙහිව අදාළ වගකිවයුත්තන් ගත් අවම ක්‍රියාමාර්ගයක් හෝ වේද එසේ නම් ඒ කුමක්දැයි අසන්නට අපි මදක්වත් පසුබට නොවන්නෙමු. එපමණක් නොව මෙතෙක් කල් පරිසර කතිකාවක් හරහා සාකච්ඡා වූ ඒ අවදානම්කාරී තත්ත්වය ගැන මාටින් විජේසිංහ ගේ ඒ හෙළිදරව්ව ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් මඟින් මෙසේ අනාවරණය කිරීමට ද තීරණය කළෙමු.

“එදා කූඩවයි අද කූඩවයි බලද්දී අහසට පොළොව වගේ. අද මේ ඉසව්වේ ගස් කැපීම, දඩයම් සිදු නොවෙන තරම්. ඒත් තවමත් සිංහරාජයට යම් යම් අනිසි බලපෑම් මාතර හා ගාල්ල ප්‍රදේශවලින් නම් තරමක් වෙන බව පෙනෙන්න තියෙනවා. ඒත් ඒවාත් වාණිජ මට්ටමින් වෙන අපරාධ නොවෙයි. නමුත් සිංහරාජය බලන්න අද එන සංචාරකයන් ගැන නම් මට තියෙන්නෙ ලොකු කනගාටුවක්. ඔවුන් අද එන්නේ හුදු විනෝදයක් ගන්න අදහසින් විතරයි.

ඉස්සර ආපු අය ආවේ මේක මහා වනාන්තරයක් කියන ගරු සරුවත් එක්ක. නමුත් අද එන අය එන්නේ කාලා බීලා සින්දු කියලා නටලා ඒ අයගේ භාෂාවෙන් ම කියනවා නම් ආතල් අරන් යන්න.‍ ඒකට අපි කවුරුත් වග කියන්න ඕනෙ. මේකෙ කිසි පාලනයක් නැහැ. වන සංරක්ෂණ එකට යම් නිශ්චිත නීති මාලාවක් තියෙන්න ඕනේ. එහෙම නැති එකයි ගැටලුව. කවුරු හරි වනයට බාධා වෙන ආකාරයක හැසිරීමක් පෙන්වනවා නම් ඔවුන්ව වහාම එළියට දාන්න පුළුවන් වෙන්න ඕනේ.”

පරිසරවේදී රන්වැල්ල පැහැදිලිවත් පිරිසිදුවත් මාටින් විජේසිංහගේ අදහස් එසේ පෙළගස්වයි. ඒ විස්තර පෙළගැස්වීම තුළ සිංහරාජයේ ජල මූලාශ්‍රයක සිඳී යෑම ගැන මාටින් අයියා කී අනාවැකිය ද වේ.

“මම සිංහරාජයට ආවේ 1959 වර්ෂයේදී. එතැන් සිට මේ දක්වා මේ ප්‍රදේශයේ සිදුවන ජලමූලාශ්‍රවල වෙනස්කම් සැලකිල්ලට අරගෙන තමයි මම ඒ අදහස ප්‍රකාශ කළේ. පසුගිය මාසවල එක මාසයයි පෑව්වේ. දොළවල් ඔක්කොම හිඳුණා. තව අවුරුදු විස්සක් යනකොට මේකෙ වතුර බිඳක් නැති වෙයි. සිංහරාජය අපි කොහොම ආරක්ෂා කළත් සිංහරාජය වටේම තියෙන්නෙ ගිනි මැලයක්. ව‍ෙට්ම තේ වගාව තේ කියන්නේ මහ නිරුදක වගාවක්.

kanneliya-anagimale-falls-abstract

ඒක තමයි අද ප්‍රධාන ප්‍රශ්නය. තේ වගාව නිසා වටේ උෂ්ණත්වය ඉහළ ගිහින්. ගිනි මැලයක් මැද වතුර කළයක් තිබ්බට වැඩක් නැහැනේ. අද මේ වෙලා තියෙන්නේ ඒකයි. සිංහරාජය රකින්න නම් සිංහරාජය වටේ කැලයක් ඇති කරන්න වෙනවා. දැන් රබර් තියෙන්නේ වනාන්තරයක්. නමුත් තේ වල එහෙම තත්ත්වයක් නැහැ. තේ ඉඩම්වල ‍මවු පාෂාණය දක්වාම හේදිලා යනවා. ඒ නිසා තේ වගාව අවට පරිසරයට තදින් ම බලපානවා. ඒ සඳහා රජය මැදිහත් විය යුතුයි. සිංහරාජය ගැන රාජ්‍ය නායකයාගේ ඉඳන් අවධානය යොමු වෙන්න ඕනෙ.”

කෙසේ වෙතත් වනාන්තරයක වටිනාකම සම්පූර්ණ වශයෙන් ම නොවුණත් අල්ප මාත්‍රයකින්වත් අවබෝධ කරගැනීමට සමත්වූ එකදු නිලධාරියෙකු හෝ බලධාරියෙකු ඊට අදාළ ආයතනවල නැති බව සනාථ කරගැනීමට අමුතු ගවේෂණයක් හෝ පර්යේෂණයක් අවශ්‍ය නැත.

බී. කේ. එම්. එස්. ආරියවංශ


150401-jenshel

පරිසර අධ්‍යයනය සහ සිංහරාජ වනාන්තරය

සිංහරාජයේ ගැමි දිවි පෙවෙත සිංහරාජ වනාන්තරය පාරිසරික දායාදයක් ලෙසින් වර්තමානයේ සැලකුණත් අතීතයේදී ජනාවාස සඳහා කෘෂි වගා සඳහා වනාන්තර භූමිය එළි පෙහෙළි කිරීම අපරාධයක් ලෙසින් සැලකුණේ නැත. මේ අනුව වරින්වර පැමිණි වනාන්තර භුමියෙන් කැමති ඉසව්වක් එළි පෙහෙලි කරගෙන පවුල් වශයෙන් හෝ පෞද්ගලික මට්ටමින් හෝ පදිංචි වීම… CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s