රෝමවරුන්ගේ සතියට දින 8යි මිසරයේ සතියට දින 10යි ඒ කතාව එහෙම නොවෙයි

ancient-greek.png

දැන්, ඔබ මේ කියවමින් සිටින්නේ සිරිත් පරිදි හැම සතියක ම ඉරිදා නිකුත් වන සිළුමිණ පුවත්පත ය. ඊළඟ සිළුමිණ ඔබ අතට පත් වනු ඇත්තේ තවත් සතියකට පසුව ය. මේ පුවත්පත ඔබ වෙත පැමිණීම දවස් හතකට වරක් බැගින් සිදු වන්නේ ඇයි? එයට හේතුව නම්, දැනට අවුරුදු 4500 කට පමණ පෙර සුමේරයේ (මෙසකෙතාමියාවේ) විසූ පූජකවරුන් විසින් අනුසත් සත් දවසේ සති ක්‍රමයට අප ද අනුගතව සිටීමයි. මේ ක්‍රමය ආරම්භ වන්නට ඇත්තේ සුමේරය යටත් කර ගෙන ලෝකයේ පළමු වැනි අධිරාජ්‍යය පිහිටුවා ගත් පාලකයා හැටියට ඉතිහාස ගත වූ අක්කඩ්හි සාර්ගොක් (ක්‍රි.පූ. 2340 – 2280) රජුගේ රාජ්‍ය සමයේ දී යැයි විශ්වාස කෙරේ.

දවස, මාසය සහ අවුරුද්ද යන කාල ඒකකයක් බෙදී ඇත්තේ පෘථිවිය, චන්ද්‍රයා සහ සූර්යයා අතර සිදුවන චර්යා හෙවත් ස්වාභාවික සංසිද්ධීන් පාදක කර ගෙනය. එහෙත් සතිය යනු එවැන්නක් නොව මිනිසා විසින් ඔහුගේ ප්‍රයෝජනය සඳහා මනාපය පරිදි සැලසුම් කර ගන්නා ලද කාල පරිච්ඡේදයකි. ගණිතයේදී 2, 3, 4, 5, 6, 10, 12, 15, 20 සහ 30 යන ගණන්වලින් ශේෂයක් නැතිව බෙදෙන හැටේ සංඛ්‍යාව – ආෂ්ටි ක්‍රමය – පාදක කර ගැනීමට තරම් සුමේරියන්වරු බුද්ධිමත් වූහ. එහෙත් දවස් හතේ සතිය වූකලි අවුරුද්ද සහ මාසය යන කාල ඒකක තුළ සමානුගත නොවන්නකි. ඒ බව ද නොතකා ඔවුන් හතේ සංඛ්‍යාව මෙහිදී තෝරා ගන්නට පෙලඹුණේ ඇයි දැයි අපට සිතා ගන්නට පුළුවන. සුමේරියන් පූජකවරු, ලෝකයේ වාර්තා ගත ආදිතම නැකැත්කරුවෝ වූහ. අහසෙහි දිස් වූ ප්‍රධාන ආකාස වස්තු හත හඳුනා ගෙන ඒවාට දේවත්වය ආරෝපණය කළ ඔවුහු ඒ ඒ ආකාස වස්තූන් ද අදාළ දෙවිවරුන්ගේ නම්වලින් ම හැඳීන්වූහ. සුමේරියන් ජනයා මාසය පටන් ගත්තේ අමාවක දිනයෙනි. දවස ආරම්භ කළේ සූර්ය අස්තංගනයෙනි.

r-MAYANCALENDAR-large570

ඔබ අද ඉංග්‍රිසි පුවත්පතක් පෙරළා බැලුවහොත් එහි අද දවස හැඳින්වෙනු ඇත්තේ සන්ඩේ යන නමිනි. ලතින් බසින් එය ඩියෙස් සෝලිස් වන අතර ජර්මන් බසින් සොන්ටාන් ය. මේ සියල්ලෙන් ඇඟවෙන්නේ අද දවස ඉරු නැත්නම් සූර්යයා වෙනුවෙන් නම් කෙරී ඇති බවය.

එහෙත් අපේ ඉරිදා දවස ප්‍රංස, ඉතාලි සහ පෘතුගීසි භාෂාවලින් අනුපිළිවෙළින් හැඳින්වෙන්නේ ඩිමාක්ෂේ, ඩොමෙනිකා සහ ඩොමින්ගෝ යන නම්වලිනි. ඒ වහර අනුව ඉරිදා යනු දෙවියන්වහන්සේගේ දවසය. සූර්යයා යනු දෙවියන්වහන්සේ නොවන බව ඔබ දන්නා නිසා ඒ වහරෙහි සංකල්පීය අසංගත බවක් පෙනෙන්නට පුළුවන. එහෙත්, සතිය යන කාල ඒකකයට සම්බන්ධ පටලැවිලි සහ ගැටලුගැන මඳක් විමසන්නේ නම්, ඒ විරසකය එතරම්ම අරුමයක් නො වන බව ඔබට හැ‍ඟෙනු ඇත.

පුරාණ යුදෙව් ජනයා ද සත් දින සති ක්‍රමයක් අනුගමනය කළහ. ඔවුන් එසේ සත් දිනක් නියම කර ගන්නේ ආකාස වස්තුවල සංඛ්‍යාව අනුව නොවේ; දෙවියන් වහන්සේ හය දිනක් ඇතුළතමෙහ පොළොව සහ අහස මවා හත් වැනි දිනයේ විවේක ගත් බව ඔවුන්ගේ ආගමික ලියවිලිවල සඳහන් වූ බැවිනි. ඒ අනුව පළමු වැනි දින සිට හය වැන්න දක්වා අංක පිළිවෙළින් හැඳින්වූ ඔවුහු හත් වැන්න විවේක (සබත්) දිනය ලෙස නම් කළහ. සිකුරාදා හිරු බැස යෑමෙන් ආරම්භ වූ එය සෙනසුරාදා හිරු බැස යෑමත් සමඟ අවසන් විය. එහෙත් ක්‍රිස්තු ලබ්ධිකයන් සබත් දවස ලෙස සලකන්නේ ඉරිදා දවසය, එය ජේසුතුමා මළවුන්ගෙන් නැගිටීම සිදු වූ දිනය ලෙස ගැනීමෙනි.

8194437_orig-1024x768

පෘතුගීසි ජනයා ද ඔවුන්ගේ සතියෙහි මුල් දවස් පහ අංක පිළිවෙළින් හඳුන්වති. හය වැන්න සහ හත් වැන්න අනුපිළිවෙළින් හඳුන්වනු ලබන්නේ සබාඩෝ සහ ඩොමෙනිකා වශයෙනි. පුරාතන ජර්මන් ජනයා සතිය වශයෙන් දවස් පහේ චක්‍රයක් අනුගමනය කළහ. අද ලොව පුරා ප්‍රචලිත කැලැන්ඩරයෙහි සතියේ දවස්වලට නෝර්ඩික් දේව නාමයන් හතරක් ම ලැබුණේ ඒ වහර ඇසුරෙනි; විව් දෙවියා වෙනුවෙන් ටියුස්ඩේ (අඟහරුවාදා), ඕඩික් දෙවියා වෙනුවෙන් වෙන්ස්ඩේ (බදාදා), තෝර් දෙවියා වෙනුවෙන් තර්ස්ඩේ (බ්‍රහස්පතින්දා) සහ ෆ්රියා දෙවඟන වෙනුවෙන් (ෆ්රයිඩේ) වශයෙනි. එහෙත් වර්තමාන ජර්මන් සතියේ බදාදා හැඳින්වෙන්නේ මිට්ස්වොක් යන නමිනි. සති – මධ්‍යය යන අරුත මිස එයට ඕඩින් දෙවියාගේ කිසිම සම්බන්ධයක් නැත.

එක් වකවානුවකදී රෝමන්වරුන‍්ගේ සතිය දවස් අටකින් සමන්විත විය. දවස් හැඳින්වූයේ රෝමන් අක්ෂර අනු පිළිවෙළින් යොදා ගැනීමෙනි. පුරාණ මිසර ජනතාවගේ සතියට දවස් දහයක් ගැනිණ. ඇසිරියන්වරුන්ගේ සතියට තිබුණේ දවස් හයකි. ප්‍රංස විප්ලවයෙන් පසු 1793 වසරේ ප්‍රංසයේ ද දවස් දහය බැගින් වූ සති ක්‍රමයක් ආරම්භ කෙරුණි. එහෙත් 1802 අප්‍රේල් 18 පාස්කු දිනයේ සිට ප්‍රංශය යළිත් දවස් හතේ සති ක්‍රමයට නැඹුරු විය.

රුසියාවේ දවස් පහේ සති ක්‍රමයක් 1929 වසරේ ආරම්භ කෙරුණි; දවස් හැඳින්වීම සඳහා යොදා ගන්නා ලද්දේ කහ, ඔරේන්ජ්, රතු, දම් සහ කොළ යන වර්ණවල නාමයන් ය. ඒ දවස් පහේ සතිය ද 1932 දී දවස් හයේ එකක් ලෙස සංශෝධනය කරනු ලැබිණි. මෙවර දවස් හැඳින්වෙන්නට වූයේ අංක පිළිවෙළටය. රුසියාවට යළිත් සත් දින සතිය පිළිගැනුණේ 1940 වසරේදීය. එහෙත් එහි දවස් හත නම් කරනු ලැබ ඇත්තේ ආකාස වස්තුවලට අනුව නොවේ.

the-romans.jpg

1960 දශකයේ මැද භාගයේදී අපේ රටේ ද සතර පෝය පාදක කර ගත් අමුතු ම ක්‍රමයේ දෙමුහුන් සති ක්‍රමයක් ආරම්භ කෙරුණ බව ඇතැම් වැඩිහිටි පාඨකයන්ට අමතක වීමට නුපුළුවන. පෝය – 1; පෝය – 2 ආදි වශයෙන් දවස් හැඳින්වුණු මේ චක්‍රයෙහි සති අන්තය යෙදුණේ පෙර පෝය සහ පෝය දවස් දෙක ඇතුළතය. ඒ අතර දවස්වල සාම්ප්‍රදායික නම් ද ව්‍යවහාරයේ පැවතිණි. චන්ද්‍රයා පාදක කොට ගත් තිථිය දවසේ ඕනෑම වේලාවක උදා විය හැකි බැවින් දවස් හතේ සති අතරතුර දවස් අටේ සතිවලට ද මුහුණ දීමට ජනතාවට සිදු විය. සිංහල බෞද්ධ අන්තවාදී පිරිසකගේ පෙලඹවීම මත එදා රජය ගත් ඒ අමනෝඥ පියවරෙහි අසාර්ථක බව ඉක්මනින් ම පෙනෙන්නට පටන් ගැනිණ. එහි ප්‍රතිඵලය ව වූයේ ලොව පහළ වූ එකම සිංහල – බෞද්ධ සතිය කාටත් නො දැනී ඉබේට ම මෙන් අහෝසි වීමයි.

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන්වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසුව සත් සතියක් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින්, කිසිදු භෝජන කෘත්‍යයක් නොකර ජල සමාපත්තියෙන් ම ගත කළ බව බුද්ධ චරිතයෙහි සඳහන්ය. මෙසේ ගත කළ කාලය දවස් 49 ක් වන්නට ඇතැයි අපට නොසිතිය හැක්කේ සත් දින සති ක්‍රමය එවකට දඹදිවෙහි ව්‍යවහාර වූ බවක් අප නොදන්නා බැවිනි. පැය විසි හතරේ දවස, සත් දින සතිය, දවස්වල නම් පමණක් නොව, රාශි චක්‍රයේ නම් සහ සංකේත පවා භාරතයට ලැබුණේ ග්‍රීක – රෝම සබඳතා ඇසුරෙන්. මේ බව ඒ.එල්. බෂාම් (අසිරිමත් ඉන්දියාව – පිටු 613 – 615) සහ බෙරිඩේල් කීත් (සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය – පිටුව 779) යන විද්වත්හු ද සාධක සහිතව ම පෙන්වා දෙති.

egypt-pyramids.jpg.adapt.945.1.jpg

පැරැණි රෝමන් කැලැන්ඩරය පූජකයන් විසින් ඔවුන්ගේ මනාපය අනුව වෙනස් කරනු ලැබීම නිසා එය ජුලියස් සීසර්ගේ පාලන සමය වන විට පැවතුනේ අවුල් සහගත තත්ත්වයක ය. ඍතු සමඟ සැස‍ඳෙන පරිදි කැලැන්ඩරය සංශෝධනය කරවීමේදී සීසර් විසින් ගන්නා ලද මුල් පියවර වූයේ ක්‍රි.පූ. 46 වැනි අවුරුද්ද දවස් 445 ක් දක්වා දීර්ඝ කරනු ලැබීමයි. එතැන් සිට අවුරුද්දකට දවස් 365 1/4ක් සේ ගණනය කිරීමත්, සැම සිව් වසරකට ම එකක් අධික අවුරුද්දක් ලෙස සැලකීමත් නිර්දේශ කෙරුණි.

මෙකී ජුලියන් වර්ෂයෙහි වුව ද සැබෑ වර්ෂයට වඩා විනාඩි 11 යි තත්පර 14 ක පමණ වෙනසක් තිබිණ. එය සුළු වේලාවක් වුවත්, වසර 128 කට පමණ දවසක් බැගින් එකතු කරන්නට ප්‍රමාණවත් වූ දොසකි. ක්‍රි.ව. 325 වසරේ වසන්ත විෂුවය මාර්තු 21 දින සමඟ සමකත විය. පාස්කු දිනය නියම කිරීමේදී ව්‍යක්ත විෂුවය පාදක කොට ගැනුණු බැවින් එය පරස්පරය විසඳීම සඳහා ක්‍රිස්ටෝෆර් ක්ලේමියන් නම් විද්‍යාඥයාගේ උපදෙස් ලත් XIII වැනි ග්‍රෙගරි පාප්තුමා 1582 වසරෙන් දවස් 10 ක් කපා දැමීමට නියෝග කළේය.

ඉහතකී නියෝගය අනුව 1582 ඔක්තෝබර් මාසයේ 04 වැනි (බ්‍රහස්පතින්දා) දිනයට පසුව 15 වැනි (සිකුරාදා) දිනය ලෙස උදා වූයේ සඳුදාවක් විය යුතුව තිබුණ දවසකි! කෙසේ වුවත් මේ සංශෝධිත ග්‍රෙගරි කැලැන්ඩරය මුලදී පිළිගනු ලැබුණේ කතෝලික රාජ්‍යයන් විසින් පමණයි. බටහිර ප්‍රොතෙස්තන්ත සහ වෙනත් නිකායික රටවල පැරැණි ජුලියන් කැලැන්ඩරයම තවදුරටත් ව්‍යවහාර විය. මේ නිසා ඇතැම් බටහිර රාජ්‍යයන්හි දින වකවානු පමණක් නොව දවස්වල නම් අතර පවා විරසකයක් පැන නැගිණි. 1582 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල අලුත් සහ පැරැණි දින දර්ශන සසඳා බැලීමෙන් මෙය පැහැදිලි වෙයි.

කැලැන්ඩරය පිළිබඳ මේ අවුල එංගලන්තයට සහ එහි ජනපදයක් වූ ඇමෙරිකාවට වඩාත් බලපෑවේ ඒ දෙරටෙහි ව්‍යවහාර වර්ෂය එවකට ආරම්භ කෙරුණේ මාර්තු 25 දිනයෙන් බැවිනි. කලක් ස්වාධීනව පැවති ස්කොට්ලන්තයේ ද 1600 වසරේ සිට ජනවාරි 01 දිනෙන් වර්ෂය ආරම්භ කිරීම පටන් ගැනුණේ අනෙකුත් යුරෝපීය රටවල් අනුගමනය කරමිනි. අන්තිමේදී එංගලන්තයේ බලධාරීහු ද ‘ග්‍රෙගරි’ කැලැන්ඩරය පිළිගැනීමට සහ ජනවාරි 01 දිනයෙන් වර්ෂය ආරම්භ කිරීමට තීරණය කළහ. මෙය ක්‍රියාත්මක කෙරුණේ 1751/52 වසරේදීය.

ඒ අනුව 1751 වර්ෂය සිරිත් පරිදි මාර්තු 25 දින ආරම්භ විය. එහෙත් එය දෙසැම්බර් 32 දිනෙන් අවසන් කෙරුණේ දවස් 84 ක ඌණත්වයක් සහිතවය! ගැටලුව එයින් පමණක් නිරාකරණය වූයේ නැත. එංගලන්තයේ සහ ඇමෙරිකාවේ ජනතාව 1752 සැප්තැම්බර් 02 බදාදා රාත්‍රියේ සිරිත් පරිදි නින්දට ගියහ. එහෙත් ඔවුන් යළි පිබිදුණේ 14 වැනි බ්‍රහස්පතින්දා උදෑසනය! දවස් 11 ක් (Òග්‍රෙගරි සංශෝධනයට අදාළ දවස් 10 සහ – නව ක්‍රමයට අනුව 1700 අධික වර්ෂයක් නො වූයෙන් එයට යෙදූ අමතර දවස ද ඇතුළු ව) අහෝසි කරනු ලැබ තිබිණ. ඉහත කී සංශෝධන නිසා මතු වූ පටලැවිලි මෙහිදී කිව යුතු නැත.

ග්‍රෙගරි කැලැන්ඩරය සකස් කිරීමේදී සඳුදා දවසක් සිකුරාදා වශයෙන් මාරු කෙරුණ බව ඉහත සඳහන් විය. එතැන් සිට සතියේ දවස්වල නම් එක දිගටම මාරු වී ඇත. මේ සියල්ලෙන් ම පැහැදිලි වන වැදගත්ම කරුණ වන්නේ දවසේ නම පාදක කරගෙන අපේ දෛවඥයන් සකස් කරන නැකැත්වලට මෙන් ම, කාල හෝරාව, රාහු කාලය, මරු සිටින දිසාව ආදියට ද කිසි ම තර්කානුකූල බවක් හෝ විද්‍යාත්මක පදනමක් නොමැති බවය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s