Oh! Friendly Bird

1200273CattleEgretTW7_9712-1024web.jpg

“අධ්‍යාපනයට වැය කරන ධනය හා ශ්‍රමය අනාගත ආයෝජනයකි”– ස්වාමි දයානන්ද්

කොකා යනුවෙන් අප හඳුනාගන්නා පක්ෂියා ගැන කුඩා වියේ සිටම ජන කතා, ජන කවි, ළමා කවි පමණක් නොව ප්‍රස්තාව පිරුළු ඇසුරෙන් ද කියවා අසා ඇති පුවත් බොහෝ ය. ඒ ආකාරයට විවිධ චරිත ලෙස වෙනස් වේශ නිරූපණ ඔස්සේ කොක්කු අප හමුවට ආහ. එහෙත් පාරිසරික අධ්‍යාපනයට අනුව නම් අප රටේ සුදු ‍කොකුන් විශේෂ 4 ක් දකින්නට ලැබේ. ඒ කොක් විශේෂ හතරෙන් සාපේක්ෂව කුඩා කොක් විශේෂය හඳුනා ගන්නේ ‘ගව කොකා’ යන නමිනි. ඔවුහු ද සුදු කොක්කු වෙති. එහෙත් සිය ප්‍රජනන සමයේදී සම්මත සුදු පැහැය ඉක්මවා තැඹිලි පැහැය වැඩිපුර මතු කෙරෙන වර්ණ ගැන්වීමකට යන නිසා ගව කොක්කු සෙසු කොකුන්ට වඩා වෙනසක් පෙන්වති. ඒ හැරුණු කල ඔවුහු තමන්ට අනන්‍ය වූ සෙස්සන්ට ආගන්තුක වූ තවත් වෙනස්කම් අද ඇත්තෝ වෙති. මේ විස්තර අප සපයා ගන්නේ ජ්‍යෙෂ්ඨ පරිසර නීතිවේදී, පක්ෂි නිරීක්ෂක ජගත් ගුණවර්ධන විසින් උක්ත කොක් විශේෂය ගැන සිදු කරන ලද, පක්ෂි නිරීක්ෂණ වාර්තාවක් ද සහාය කරගනිමිනි.

“පරිසරයේ සිදුවන වෙනස්කම් බොහෝ පක්ෂි විශේෂයන්හි විනාශයට හේතු වී ඇතත් ඒ වෙනස්කම් ආශිර්වාදයක් වී ඇති පක්ෂියෙකු අප වෙසෙන වට පිටාවෙන් නිතර දෙවේලේ දැක්ක හැකි ය.” ජගත් සිය වාර්තාව ආරම්භ කරන්නේ එසේ ය. එසේ වීමට හේතුව වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ අවිධිමත් ලෙස බැහැර කෙරෙන කැලි කසළ ගොඩවල වෙසෙන පණුවන්, කෘමීන් වැනි ක්ෂුද්‍ර සතුන් මේ පක්ෂියා විසින් ආහාරයට ගනු ලැබීම ය.

ඉංග්‍රීසි බසින් Cattle Egret, East Cattle Egret වශයෙන් ද සිංහලයෙන් ගව කොකා මෙන් ම එ‍ඬේර කොකා යනුවෙන් ද හැඳින්වෙන‍ මොවුහු Bubulcus Coramandus යන විද්‍යාත්මක නාමයෙන් ද හැඳින්වෙති. නිතර ගවයන් ඇසුරේ විසීම ඉහත කී නාමයන්ගෙන් ඔවුන් හැඳින්වීමට පැහැදිලිවම හේතු වී තිබේ. සෙ.මි. 50 ක් (අඟල් 20 ක්) පමණ වන ශරීර ප්‍රමාණයකින් යුත් මොවුන් පැහැදිලිව දැකිය හැකි ත්‍රිකෝණාකාර හිසක් ඇති කොක් විශේෂයකි. සෙසු කොකුන්ට සාපේක්ෂව ගව කොකුන්ගේ ගෙල කෙටි ය

දීප්තිමත් සුදු පැහැය ගව කොකුන්ට ද පොදු ය. එහෙත් ප්‍රජනන සමයේදී ගැහැනු සහ පිරිමි යන දෙපාර්ශ්වයම රන් හෝ දුඹුරු පැහැයට හුරු තැඹිලි පැහැයකින් සැරසී උත්සවාකාර ලෙසින් හැසිරෙනු දැකිය හැකි ය. ඒ කාලයට පමණක් වැ‍ෙඩන එකී වර්ණවත් පිහාටු ඔවුන්ගේ ගෙල සහ පිට ප්‍රදේශවලත්, ළැමේත් දැකිය හැකි ය. සෙසු කාලවලදී කහ පැහැයෙන් යුතු‍ හොටය ද තැඹිලි වර්ණයට හැරී, කළු පැහැ දෙපාවල දණ හිසෙන් උඩ කොටස අපූරු රෝස පැහැයකට හැරෙන්නේ ඔවුන්ගේ මේ ප්‍රජනන සමයේදී ය.‍

පොදුවේ කොකා යනුවෙන් අප හඳුනාගන්නේ ජලජ ජීවීන් ‍හා ශාක ආහාරයට ගන්නවුන් වුවත් මොවුන් එතැනින් වෙනස් වන බව ඉහත දීම පෙන්වා දුන්නෙමි. එනිසා සෙසු කොකුන් මෙන් ජලය ඇසුරේ ම විසීම මොවුන් සම්බන්ධයෙන් අනිවාර්ය නියමයක් නොවේ.

ගව කොකුන්ගේ තවත් විශේෂ හැසිරීමක් ජගත් ගේ නිරීක්ෂණයට හසුවී තිබේ. ඒ තම වර්ගයා සමඟ මෙන් ම සෙසු පක්ෂි වර්ගයා ද සමඟ මොවුන් පවත්වන සහජීවන චර්යාවයි.‍ (එතැන දී නම් ඔවුන් වඩාත් ආදර්ශවත් වන්නේ අප රටේ සමාජ දේශපාලන ක්‍රියාකාරින්ට යැයි සිතමි) හිරු ‍බැස යන සැන්දෑවේදී සිය රංචුවට එක් වී විසල් ගසකට ගස් ගොමුවකට ඉහළ යන ගව කොකුන් එහි ලගින වෙනත් ජලාශ්‍රිත පක්ෂීන් සමඟ ස්ථානය බෙදා හදා ගෙන ආරෝවකින් තොරව රැය ගත කරනු දැකිය හැකි ය.

1-cattle-egret-2-st-lucia-chester-williams.jpg

මේ කොක් විශේෂය පියාඹා යන විට ද සෙසු කොකුන් ගෙන් වෙනස් වේ. ඒ සිය ගෙල නවා ගෙන පියාඹන ඉරියව්වෙනි. එහෙත් දෙපා ඍජුව තබා ගනියි. කොකුන් කොහොමත් නිහඬ මුවින් වෙසෙන්නෝ ය. සිල් සමාදන් වූ කලෙක මෙනි. මොවුහු ද එහිදී වෙනස් නොවෙති. එහෙත් පක්ෂි නිරික්ෂක ජගත් ගුණවර්ධන පවසන්නේ සිය ප්‍රජනන කාලයේදී ගව කොකුන් වරින් වර කෙටියෙන් හඬ කරනු ඇසිය හැකි බවයි. ඒ හඬ රළු ස්වරයක් ලෙස හඳුනා ගැනෙයි.

ප්‍රජනන සමය එළැඹුණු කල්හි කැදලි සාදන්නට ඉදිරිපත් වන මේ අය එතැනදීත් සිය සාමකාමී පැවැත්ම නො අත්හරිති. විශාල ගසක් හෝ ගස් ගොමුවක් ඒ වෙනුවෙන් තෝරා ගන්නා ඔවුහු එහිදීත් තම වර්ගයා සමඟ පමණක් නොව ගස්වල කැදලි තැනීමට පැමිණෙන සෙසු ජලාශ්‍රිත පක්ෂීන් වන හංසකාවන්, දියකාවන්, පැස්කූඩුවක් සමඟ ද සාමයෙන් සහජීවනයෙන් යුතුව සිය ප්‍රජනන සමය ගත කරති. ගව කොක්කු හොඳ අඹු සැමියෝ ද වෙති. “කැදලි තැනීම, බිත්තර රැකීම, පැටවුන් රැක බලා ගැනීම, යන සියලු කරුණු සඳහා පිරිමි සහ ගැහැනු ‍පක්ෂීන් දෙදෙනාම එක සේ දායකත්වය සපයති.” ඔවුන් ගේ බිත්තර බැලූ බැල්මට සුදු පැහැ වුණත් එහි නිල්වන් ස්වභාවයක් ද දැකිය හැකි ය. කෝටු කැබලි එක් කොට තනා ගන්නා කැදැල්ලක බිත්තර තුනක් හෝ පහක් දැකිය හැකිය. බිහි වුණ මුල් කාලයේදී පැටවුන් ගේ සිරුරු රෝම වැනි පිහාටුවලින් ආවරණය වී තිබේ‍. එසේ පැටවුන් උපන් පසු දෙමවුපියන් දවස පුරා වෙහෙසෙමින් පැටවුන්ට ආහාර සපයන්නට කටයුතු කරන සැටි නිරීක්ෂණය කොට තිබේ. ඒ අතින් ගව කොක්කු හොඳ දෙමවුපියෝ ද වෙති.

Red-flush_Cattle_Egret.jpg

ගව කොක් ප්‍රජනන සමය දෙසැම්බරයේදී ආරම්භ වන බවත්, එය මැයි මස දක්වාම පවතින බවත් ජී.එම්. හෙන්රි ඔහුගේ පක්ෂින් පිළිබඳ කෘතියේ දක්වා තිබේ.‍ ඒ 1971 දී ය. 2010 දී ජෝන් හැරිසන් ද එය අනුමත ‍කර ඇත. එහෙත් තමා කළ නිරීක්ෂණවල දී ගව කොකුන් ගේ ප්‍රජනන කාලයේ යම් ප්‍රමාදයක් දැකිය හැකි යැයි ජගත් ගුණවර්ධන පවසයි.

“ඒ අනුව වියළි කලාපය ඇසු‍ෙර් මොවුන්ගේ බෝවීම ප්‍රධාන වශයෙන් පෙබරවාරි මාසයේ පමණ සිට ඇරැඹෙන අතර තෙත් කලාපයේ එය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ අප්‍රේල් සහ මැයි මාස වලදී ය. මේ වෙනස් තත්ත්වයන් කොපමණ කාලයක් තිස්සේ පැවතුණාද යන්න පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් තව ම සිදු කර නැත. එහෙත් තෙත් කලාපයේ ගව කොකුන්ගේ ප්‍රජනනය ජූනි මාසයේ සිදුවනු ඇතැම් වසරවල දැකගත හැකි විය. එසේ ම තෙත් කලාපයේ හමු වන ගව කොකුන් වැඩි දෙනකුගේ ප්‍රජනන වර්ණ ලැබීම සිදුවන්නේ මාර්තු මාසයේ පමණ සිට ය. මේ සියල්ල තවදුරටත් නිරීක්ෂණයෙන් පසුව මොවුන් තම ප්‍රජනන කාලයන්හි කිසියම් වෙනසක් සිදු කර ඇත් ද යන්න පෙනී යනු ඇත.”

ef1baf11fd521010aeb8d47774b4e23b.jpg

පහතරට වියළි හා තෙත් කලාප වලත් පහළ කඳුකරයේත් සුලබව දැකිය හැකි මේ පක්ෂියා ඉහළ කඳුකරය පුරාත් සිය ව්‍යාප්තිය තහවුරු කරගනිමින් සිටිනු දැකිය හැකි ය. බොහෝ දුරට වගුරු බිම්, තණ බිම් මෙන් ම ජලාශ්‍රිත තෙත් බිම් ඇසුරේ ලැග සිටිනු දැකිය හැකි මේ පක්ෂීන් අතීතයේ පටන් ම ගවයන් සහ මී ගවයන් ඇසුරේ විසීම අදටත් අත් හැර නැත. එපමණක් නොව මුවන් සහ අලි ඇතුන් සමඟ ද එවැනි සමීප ඇසුරක් පවත්වනු දැකිය හැකි ය. එවැනි විශාල සතුන් ඇසුරේ සිටින ලේ උරා බොන කෘමීන්, මැස්සන් වැනි කුඩා සතුන් ගව කොකුන්ගේ ආහාරය වේ. ඒ අනුව මේ දක්වන පක්ෂි – ක්ෂීරපායි ඇගෑලුම්කම තුළ අන්‍යොන්‍ය සහජීවනයක් දැකගත හැකි ය.

පසුගිය කාලයක් තිස්සේ ශීඝ්‍රයෙන් ඇති වූ ගොවි බිම් ව්‍යාප්තිය ගව කොකුන් ගේ ව්‍යාප්තිය සමඟ ද ඍජුව බැඳී ඇති බව දැකිය හැකි ය. ඒ ආකාරයට නව ගොඩ බිම් ආශ්‍රිතවත් කුඹුරු සී සාන විටත්, බිම් සකසන කල්හීත් නිරාවරණය වන පසෙහි කෘමීන් ඇතුළු පණුවන් අහුලා කෑමට මොවුන් පෙළ ගැසී සිටින අයුරු නිරීක්ෂණය කිරීමට පිළිවන. මිනිසුන් කෙරෙහි කුලෑටි නොවන මේ පක්ෂීන් කුඹුරු හාන ට්රැක්ටර් පසු පස පවා නො බියව ගමන් කරමින් සිය, ආහාර අවශ්‍යතාව සපුරාගන්නා සැටි විරල දසුනක් නොවේ.

“විශේෂයෙන් ම ගව කොකුන් යන්ත්‍ර හා මිනිසුන් ගේ හඬ කෙරේ කිසිදු බියක් නොපෙන්වන අතර, ගොදුරු ඩැහැගැනීමට මිනිසුන් අසලට ම පැමිණෙන අවස්ථා ද සුලබව දැකිය හැකි ය.”

ngorongorowildlife1.jpg

මේ අනුව මෑත කාලයේ දී ගව කොකුන් විශාල වශයෙන් නාගරික ප්‍රදේශවල ඇති විවෘත කැලි කසළ බිම්වලදී හමු වන තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ.‍ එවැනි බිම්වලදී මැස්සන්, පණුවන්, පත්තෑයන් මෙන් ම තවත් කුඩා සතුන් සුලබව හමුවීම නිසා ඒ කසළ බිම් ඔවුන්ට කදිම ආහාර මූලාශ්‍රය බවට පත්ව තිබේ. එවැනි බිම්වලදී හමු වන බල්ලන්, බළලුන් වැනි විලෝපීය සතුන් සමඟ ද ආරෝවකින් තොරව එසේ නැත්නම් එවැනි විලෝපීයන්ගෙන් කිසිදු උපද්‍රවයක් නොලබා සිය සුපුරුදු සාමකාමී පැවැත්ම මත ම පිහිටමින් හැසිරෙන අයුරු සුලබ දසුනකි.

“මෙවැනි විවෘත කැලි කසළ ගොඩවල් නිසා මේ වන විට කොළඹ හා තදාසන්න ප්‍රදේශ මෙන් ම රටේ වෙනත් ප්‍රධාන නගර කීපයක් ම ආසන්නයේ ගව කොකුන් ඉතා සුලබ පක්ෂීන් වී හමාර ය. එසේ ම බොහෝ ලැගුම් ස්ථාන, බෝ වන ස්ථාන හා පෝෂක ස්ථාන ඇසු‍ෙර් කෙරෙන නිරීක්ෂණයන්ගෙන් ද මෙරට සිටින සුලබ ම කොකා වී ඇත්තේ ගව කොකා බැව් පැහැදිලි ය. එසේ වුව ද වසරක් පාසා කැරෙන තෙත් බිම් ආශ්‍රිත පක්ෂීන්ගේ සමීක්ෂණයෙන් මේ සංඛ්‍යා වැඩි වීම නිසි පරිදි පිළිබිඹු නොවන්නේ මොවුන්ගෙන් වැඩි ම සංඛ්‍යාවක් දැන් තෙත් බිම්වල නොව, කැලි කසළ ගොඩවල් වැනි ස්ථානයන් හි සිටීම හේතුවෙනි.”

img_06443-1024x469.jpg

වෙනත් ‍ෙජෙව විශේෂයන් විෂයයෙහි වනාන්තර එළි කිරීම, ගොවි බිම් ව්‍යාප්ත වීම, නගර මෙන් ම ජනාවාස පුළුල් වීම බරපතළ ප්‍රශ්න මෙන් ම සීමාවන් ඇති කොට ඇතත්, ගව කොකුන් සම්බන්ධයෙන් නම් ඒ නිසා තව තවත් ඉඩකඩ ඇතිවීමක් විනා ඇහිරීමක් දැකිය නොහැකි වීම ද විශේෂත්වයකි. ඒ විශේෂත්වයේත් සුවිශේෂත්වය වන්නේ එසේ ඔවුන් ගේ ව්‍යාප්තිය කොතෙක් ඉහළ ගියත් එය ආක්‍රමණකාරී පැවැත්මක් ලෙස සෙසු ජීවීන්ට බලපෑම් නො කිරීමයි. අනෙක් අතට කෘෂි බිම් ඇසුරේ ගව කොක් ගහනය ඉහළ යෑම තුළ ද ඔවුන් විසින් නිර්මාණය කරනු ලැබ ඇත්තේ අපකාරයක් නොව උපකාරයකි. ඒ කෘෂිකර්මයට වින කරන පළිබෝධකයින් විනාශ කිරීම මඟිනි.

ලෝකය පුරා වෙසෙන ගව කොකුන් Bubulcusibis නම් එක් විශේෂයකට අයත් කොට සැලකුණක් අද දවසේ විශේෂ දෙකක් යටතේ ඔවුන්ට වර්ග කොට ඇති බවට ද ජගත් ගුණවර්ධන පවසයි. මේ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියානු කලාපීය ගව කොක්කු Bubulcus Corainandus යන විශේෂයට අයත් වන අතර, සෙසු කලාපීය අය කලින් කී විද්‍යාත්මක නාමයෙන් මෙන් ම Western Cattle Egret යන ඉංග්‍රීසි නමින් ද හඳුනාගැනෙති. මේ ආසියානු වර්ගීකරණය Eastern CattleEgret යන ඉංග්‍රීසි නාමයෙන් ද හැඳින්වෙති.

11148661_215196712179844_6219625811760816037_n.jpg

ගව කොකුන් යනු අස‍ීමිත සාමකාමී පැවැත්මකින් මෙන් ම ඉවසීමකින් සිය පැවැත්ම තහවුරු කරගත් පක්ෂි විශේෂයක් ‍වන තරමට ම ඒ ව්‍යාපෘතිය වෙනත් කිසිදු ජෛව පැවැත්මකට හානියක් නොවන ලෙසින් පවත්වා ගැනීම යන කරුණ නම් පරිසර විද්‍යාව ඉක්මවා සමාජ විද්‍යාත්මක ව වටහාගත යුක්තකැයි සිතමි.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s