මහ වැස්සෙත් ගිනි ඇවිළෙන හැඩවක ශාක

301261-path-towards-a-water-fall-kanneliya-forest-reserve-sri-lanka.jpg

“හොඳ අවවාදයක් සහ නරක අවවාදයක් අතර ඇති වෙනස කිව හැකි නම් ඔබට අවවාද අවශ්‍ය නැත.”- රොජර් ඩේව්ලින්

කුහුඹුවෝ නම් කවදත් වැසි කාලයට පෙර ආහාර රැස් කරන්නෝ ය. ඒත් වනාන්තරයට තවමත් වැසි සමය ආරම්භ වී නැත. අද හෙට වහින පාටක් ද නැත. එහෙම වුණාට ගල් කරඳ ශාකයේ වූ කුහුඹු ගුලෙන් එළියට එන කුහුඹුවන් නම් හැසිරෙන්නේ මේ දැන් වැස්ස ඇද හැලේවි, ඊට පෙර රැස් කළහොත් මැනවි යනුවෙන් අවදි වූ හැඟීම නිසා හටගත් කුලප්පුවකින් මෙනි.

kanneiya-colourful-forest-canopy.jpg

කොහොම වුණත් මේ කුහුඹු විශේෂය පොදුවේ අප දන්නා කුහුඹුවන්ට එහෙම නැත්නම් කූඹින්ට වඩා වෙනස් ය. මොවුන් අර කී ආකාරයේ කඩිමුඩියකින් රැස් කරමින් සිටින්නේ වසුරු විශේෂයකි. වඩාත් පැහැදිලිව කියනවානම් ගල් කරඳ ශාකය කරා පැමිණෙන සමනලයින්ගේ බහිස්ශ්‍රාව්‍ය ඔවුහු වහා රැස් කර ගනිමින් සිටිති. එය ඔවුන්ගේ ආහාරයයි. මේ වනගත අත්දැකීම අප ලබන්නේ දකුණු කලාපයට අයත් ජෛව විවිධත්වය අතින් සිංහරාජ වනාන්තරයට ද අභියෝග කරන මහා වනයක් වන කන්නැලියේ දී ය. කෙසේ වෙතත් ගල් කරඳ ශාකයේ කුහුඹු ගුලේ ඒ කුහුඹු කලබලය මේ ශතවර්ෂය අවසානය වන තුරුත් අවසන් වෙතැයි සිතිය නොහැකි ය. එනිසා එතැනින් ඉවත්ව තවදුරටත් වන පෙතට ඇවිද යාමට කල්පනා කළෙමි.

හැඩවක නමින් හැඳින්වෙන අපූර්ව ශාක විශේෂය හමු වූයේ මා එසේ ක්‍රමයෙන් වනය ඇතුළට පිවිසෙමින් සිටිය දීය. මෙය පොදුවේ ගත් කල වෙසෙස් ගති ලක්ෂණයක් පළ කරන ශාක ප්‍රභේදයකි. වනගත ගම්මානයන්හි ගැමියන්ගේ බසින් ම කිවහොත්, මේ ගස් වහින කාලයටත් ගිනි ඇවිළෙනසුලුය. ස්වභාව ධර්මය ගැන පොදුවේ අප රැස් කරගෙන ඇති දැනීම කොතරම් අසම්පූර්ණ දැනීමක් දැයි ප්‍රත්‍යක්ෂ වන්නේ මෙවැනි උදාහරණ හමුවේදීය. අප එක්වනම අස්වාභාවික තත්ත්වයක් ලෙසින් ඒ ගැන සිතුණ ද හැඩවක ශාකයේ එකී ගුණාංගය ද ස්වභාව ධර්මයට එකඟ ය.

අප එසේ පවසන්නේ ඒ සඳහා හේතු වන එහි ජෛව විද්‍යාත්මක පැවැත්ම අනුව යාමෙනි. හැඩවක ගස වෙනත් ගස්වැල් මෙන් අභ්‍යන්තරික වශයෙන් ජලය රඳවා ගැනීමක් සිදු නො කරයි. ඒ නිසා ගසේ කඳ නිතරම වියළි ස්වභාවයෙන් යුක්ත ය. එය දර වශයෙන් ගැනීමට එම ප්‍රදේශයේ මිනිස්සු වැඩි කැමැත්තක් දක්වන්නේ මෙම ගසේ දර වෙනත් දර මෙන් අමුතුවෙන් අව්වේ දමා වියළීමක් අවශ්‍ය නොවන නිසා ය. එසේ පහසුවෙන් ගිනි අවුළුවා ගත හැකි හෙයිනි. විශේෂයෙන් ම හකුරු නිෂ්පාදනයේ යෙදෙන ගම්වාසීහු හැඩවක දර ලබා ගැනීමට මහත් සේ උනන්දු වෙති. කෙසේ වුව වනාන්තර වැස්මට අදාළව ගත් කල හැඩවක තද ස්වභාවයේ කඳක් සහිත වියන් ස්ථරයේ ඇති ගසක් වේ.

kanneliya-narangas-ella-falls.jpg

පොදුවේ ගත් කල බුලත් ගැන අමුතු හැඳින්වීමක් මෙරට ජන සංස්කෘතියට අවශ්‍ය නොවුණත් “තාපස බුලත්” නම් බුලත් විශේෂය ගැන ඇතැම් විට අමුතුවෙන් විස්තර කිරීමක් අවශ්‍ය වීමට පුළුවන. ඒ අනුව වනාන්තරය ඇසුරේ වෙසෙන අපේ මිනිසුන් විශේෂයෙන් ම කැලෑවේදී සිදුවන හදිසි තුවාලයක් හෝ ලේ ගැලීමක් සුව කරගත්තේ තාපස බුලත් කොළයක් විකා තුවාලයට තබා බැඳීමෙනි. එහෙත් ඉවැසිය නො හැකි දත් කැක්කුමක් ආ කල්හි ඔවුන්ට පිහිට වූයේ නම් ‘කැකිරි වරා’ ය. කැකිරි වරා ‍හොඳින් තම්බා ලබාගන්නා වතුරින් මුව සෝදා ගැනීම එවැනි දත් කැක්කුමක දී නොවරදින ප්‍රතිකර්මයකි.

වන වැස්මකට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන ශාක විශේෂ ගැන උද්භීද විද්‍යාවේ දී විශේෂ හැදෑරීම් සිදු කොට තිබේ. පොදු ජන ව්‍යවහාරයේ දී “හොර” (Dipterocarpus zeylanicus) නමින් හැඳින්වෙන ශාක විශේෂය ඊට හොඳ උදාහරණයකි. මේ ශාක ප්‍රභේදය වැඩෙන්නේ ගංගාශ්‍රිත ගොහොරු මඩේ ය. මුල් පද්ධතිය පො‍ළොවේ බොහෝ ගැඹුරට විහිදෙයි. එසේ ගැඹුරට විහිද යන මුල් විශේෂයෙන්ම සිදු කරන ක්‍රියාවක් වන්නේ ලවණ අවශෝෂණය කර ගැනීමයි. එම ලවණ සිය ශාක පත්‍රවල තැන්පත් කර ගන්නා ශාකය පසුව වියළි පත්‍ර බිම හෙළීමෙන් පසු ඒවා පොළොවට දිරාපත් වීම සිදු වේ. වනාන්තර භූමියේ උඩ ස්ථරයට ලවණ එකතු වීම ඒ ආකාරයට සිදු වේ. මතුපිට දිවෙන මුල් සහිත ශාක ප්‍රජාව තමන්ට අවශ්‍ය ලවණ පෝෂණය ලබාගන්නේ හොර ශාකයේ යට කී ක්‍රියාවලිය නිසාය.

29.jpg

උද්භීද විද්‍යාඥයන් සොයාගෙන ඇති ආකාරයට මේ පාරිසරික සංසිද්ධිය හේතු කොට ගෙන හොර ශාකය අවට එසේ වැඩෙන මතුපිට මුල් සහිත එමෙන්ම අර කී ආකාරයට ලවණ පෝෂණය ලබන ශාක ප්‍රජාවක් දැකිය හැකි ය. ඒ අනුව හොර ශාක කපා ඉවත් කිරීමෙන් වනාන්තරයකට අහිමි වන්නේ එම ශාක විශේෂය පමණක් නොවේ. ඒ හා බැඳුණු අර කී ආකාරයේ ශාක ගහනයක් ද ඒත් සමඟ ම ඉවත් වෙයි. අනිත් අතට එවැනි සේවාවක් සපයන්නා වූ ගැඹුරට මුල් විහිදෙන ශාක විශේෂ ද සුලබ නොවේ. ඒ අනුව කිසිදු අධ්‍යයනයකින් විධිමත් සැලසුමකින් තොරව සිදු කෙරෙන වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් නිර්මාණය වන පාරිසරික සහ දේශගුණික අසමතුලිතතා කෙතරම් ද යන්න වටහා ගැනීමට ඉහත විස්තරය මනා අවස්ථාවකි.

එක් අතකින් පසේ ගැඹුරටම මුල් විහිදුවන හොර ශාකය අනෙක් අතින් වන වැස්මේ මුදුන් සීමාව ද ඉක්මවා ඉහළටම වැඩෙන්නේ එමඟින් සිය බීජ ව්‍යාප්තිය පහසුවෙන් සිදු කර ගැනීමේ අරමුණ ඇතිව ය. එහි බීජ ව්‍යාප්තිය සිදු කෙරෙන්නේ සුළඟ මාධ්‍යය කරගෙනය. එසේ සුළඟින් ගසා ගෙන ගොස් ව්‍යාප්ත වන එහි දෙපියලි බීජ කුඩා වියේදී අප හඳුනාගත්තේ “හොර කුරුල්ලන්” වශයෙනි. ඒත් සමඟම මෙම ශාකයේ තවත් පරිසර අනුවර්තනයක් ගැන මෙහි දී කිව යුතුව තිබේ. ඉහතින් පෙන්වා දුන් ආකාරයට හොර ශාකය වන වැස්මේ මුදුන් හිසටත් ඉහළින් උඩට මතු වේ. එතැන දී සෙසු ශාකවලට සාපේක්ෂව අධික සූර්ය තාපයට ඍජුවම මුහුණ දීමේ තත්ත්වයකට ද ඒවා පත් වේ.

Kanneliya, 2004 07 02 0072004 07 02_1.JPG

ප්‍රමාණය ඉක්මවා හිරු තාපය තමන් තුළට ලබා ගැනීමේ අවස්ථාවක් ඒ අනුව හොර ශාකයට හිමි වේ. නමුත් එසේ වීම ගසේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව තීරණය කරන ස්වභාවධර්මය ගසේ දලු රත් පැහැයෙන් හට ගැනීමට සලස්වා ඇත. ඒ නිසා අනවශ්‍ය අයුරින් සූර්ය තාපයත් සමඟ ගනුදෙනු ඇති කර නොගෙන සෙසු ශාක හා සමානව ඒ ගනුදෙනුව පවත්වාගෙන යෑමට හොර ශාකයට හැකිව තිබේ. මෙවැනි පාරිසරික අනුවර්තන සහ හැසිරීම් ගැන ඉගෙනීමෙන් අවබෝධයකින් තොරව පරිසරයට සිදු කෙරෙන අකටයුතුකම් නවත්වා ගත හැකි ය යන්න අපේ කල්පනාවයි.kanneliya-forest-reserve

ගමේ දී “වල් දූරියන්” යනුවෙන් අප හඳුනාගන්නේ “කටමොද” (Cuilenia rasayaroana) නම් ශාක විශේෂය ද වනයේ වියන් ස්ථරයට අයත් ශාක විශේෂයකි. කටමොද හෙවත් වල් දූරියන් හි හටගන්නා ඵල අප දන්නා දූරියන් ඵලයට සාපේක්ෂව කුඩාය. එහෙත් එය වනාන්තරයේ සත්ත්ව ප්‍රජාවට කදිම ආහාර මූලාශ්‍රයකි. කෙසේ වෙතත් කටමොද ගැඹුරු මුල් සහිත ශාක විශේෂයක් නොවේ. මෙවැනි නොගැඹුරු මුල් පද්ධති හැඳින්වීමට “ලෑලි මුල්” යන විශේෂණ නාමය ද යොදා ගනියි.

ලෑලි මුල් පද්ධතියක් සහිත එවැනි ම තවත් ශාක විශේෂයක් ද කන්නැලිය වන පියසේ දී හමු වේ. ඒ “දොරන” ගස් ය. දොරන ගස් ගැන උද්භීද විද්‍යාඥයින් මෙන් ම විහාර සිත්තම් කළ සිත්තරුන් ද උනන්දු වූ අතීතයක් අපට තිබේ. ඒ අනුව පන්සල් චිත්‍ර ඇඳීමේ දී වර්ණ නිෂ්පාදනය කර ගැනීමට දොරන තෙල් අවශ්‍යම වූ අමුද්‍රව්‍යයක් විය. ගැමි ප්‍රජාව ගසට හානියක් නොවන අයුරින් තෙල් ලබාගත් ක්‍රමවේදයක් ද වූ බව මෙහි ලා සිහිපත් කරන්නේ අතීත සමාජය පරිසරයට හානි නොකොට ඇති කරගත් මානව පරිසර සහජීවනය වර්තමානයට ආදර්ශයක් ලෙසින් ඉදිරිපත් කිරීමේ අරමුණිනි. ඒ අනුව ඔවුන් මුලින් ම කරන්නේ ගසට හානියක් නොවන අයුරින් ගසේ මුල ප්‍රදේශයෙන් බෙණයක් හෑරීම ය. පසුව ඒ තුළට ගිනි පන්දමක් ඇතුළු කොට ක්‍රම ක්‍රමයෙන් තෙල් ගලා එන්නට සලස්වයි.

වෙනිවැල් ගැට යනුවෙන් අප දන්නා ශාක විශේෂය, උණක් හෙම්බිරිස්සාවක් සැදුණු විට එහෙම නැත්නම් මල කෑ ඇණයක් හෝ එවැනි දෙයක් සිරුරේ ඇනුණු කල පානය කළ හැකි ප්‍රති ජීවක ඖෂධීය වටිනාකමක් ඇති එකක් වේ. එහෙත් වනාන්තර ඇසුරේ ජීවත්වූ අපේ ඇත්තන් වනයේ හැසිරෙන අවස්ථාවලදී පිපාසය දැනුණු කල්හි කරන්නේ සරුවට වැඩී ඇති වෙනිවැල් ශාකයකින් අවශ්‍ය ප්‍රමාණයේ කොටසක් කපාගෙන සුදුසු සහ අවශ්‍ය අයුරින් සකස් කොටගෙන ඉහළට ඔසවා දියර බිඳු වෑහෙන්නට සලස්වා එයින් සිය පිපාසය නිවා ගැනීමයි.

301265-a-giant-creeper-kanneliya-forest-reserve-sri-lanka

එසේ වෑහෙන ඒ දියර අප දන්නා වෙනිවැල් පානය මෙන් තිත්ත රසයෙන් ද යුක්ත නොවේ. තව ද වෙනිවැල් යනුවෙන් අප හඳුනාගන්නා මේ ශාක විශේෂය වනාශ්‍රිත ගැමියන් බොහෝ විට හඳුන්වන්නේ “බාන්වැල්” යන නමිනි. එසේ ඒ නමින් එය හඳුන්වන්නේ ශක්තිමත් වැල් ශාක විශේෂයක් වන එහි හරකාබාන ගැට ගසා තැබීමට උපයෝගී කරගන්නා නිසා ය. උද්භීද විද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට බාන්වැල් හෙවත් වෙනිවැල් ස්ත්‍රී පුරුෂ වශයෙන් විභේදනයක් ඇතිව වැඩෙන ශාක විශේෂයකි.

කන්නැලිය වනාන්තරයේ තවදුරටත් ඇවිද යන්නෙකුට හමුවන පරිසර පද්ධතියක් වන්නේ “දෙණි” නම් වනාන්තර බිම් ය. දෙනියක් යැයි කියන්නේ කඳු ගැට මැද හමුවන තැනි බිමකටය. එකී පරිසර කලාපයක ඇති විශේෂත්වය වන්නේ ඒවායේ නිතර වතුර රැඳීම ය. ඇතැම් ජල දහරාවල මුල පටන්ගැන්ම ද දෙනිවල දී හමු වේ. මේ කියන පරිසර පද්ධතිවල අපට සුලබව දැකිය හැකි වන්නේ මීවන විශේෂයන් ය. ඒ අනුව ගිනි හොට, පාත්‍රා කොකු, කැරන් කොකු හිඟයකින් තොරව දෙනි ආශ්‍රිතව දැකිය හැකි ය. එක් අතකින් අපූර්ව වන සෞන්දර්යයක් පරිසරයට එකතු කරන මේ කුණ්ඩලාකාර ශාක විශේෂ ඉහළ ප්‍රෝටීන් අගයක් සහිත ආහාර පෝෂණයක් වශයෙන් ද හඳුනාගෙන තිබේ. සාමාන්‍යයෙන් කය වෙහෙසා වැඩ කරන අය වුව සතියකට දින දෙකකට වඩා ආහාරයක් වශයෙන් අනුභව නොකළ යුතු තරමට එම විශේෂයන්හි ප්‍රෝටීන අගය ඉහළය.

kanneliya-fern-on-boulder.jpg

වනාන්තර ඇසුරේ ජීවිතය, නාගරික ජීවිතය මෙන් නූතන පහසුකම් සහිත පැවැත්මක් අපට ලබා නො දෙයි. එහෙත් අපට හුරු නැති ඒ ජීවිතයට‍ හුරු වූ ඒ නිසා ම අතිශය සෞඛ්‍ය සම්පන්න මෙන් ම නිරාමිස සෞඛ්‍ය සම්පන්න මෙන් ම නිරාමිස පැවැත්මක් විඳ මියගියවුන් ද සිටින බව අමතක නොකළ යුතු ය. පහත එන්නේ එලෙසින් පහතරට වියළි කලාපීය වනාන්තරයක් ඇසුරේ ජීවත් වී තමන්ට වැලඳී තිබුණු හෘදය රෝගී තත්ත්වය ද සුව අතට හරවාගත් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු කළ උදාන වාක්‍යයක් වැනි ප්‍රකාශයකි.

“ග්‍රීෂ්ම සමයෙහි දී උෂ්ණ කලාපීය වනාන්තරවල වුව පාන්දර පහ පසු වූ කල තවදුරටත් නිදා ගැනීම අසීරු කටයුත්තක් වේ. මුළු ප්‍රදේශයට ම අඳුර වැටුණු කල්හි අලුයම දක්වාම ඇත්තේ නිහඬතාවකි… එබඳු නින්දකින් පසුව වනය පිසගෙන හමා එන උදෑසන සීතල සුළඟ විඳිමින් තදින් හුස්ම ගනිමින් එමෙන්ම පිට කරමින් ව්‍යායාමයේ යෙදෙමි. රක්ෂණ සහතිකයක් නැතිව අලුයම කල පිරිසුදු වාතාශ්‍රය ආශ්වාස කිරීමෙන් ද ව්‍යායාම් කිරීමෙන් ද ජීවිතයේ සුරක්ෂිත බව ඇති වන බව මට පැහැදිලි කළේ මගේ ම අත්දැකීම් ය. ඒ අලුයම් කාලයේ දී ම සැතපුම් පහක් තරම් දුරක් ඇවිද ලද ප්‍රතිඵල එය පටන්ගත් මුල් දිනවල ලද ප්‍රතිඵලවලට සාපේක්ෂව බෙහෙවින් ඉහළ තැනක තිබිණි.”

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s