ගංවතුරට යට වූ ප්‍රදේශවල ඩෙංගු වැඩියි

ගංවතුරට යට වූ ප්‍රදේශවල ඩෙංගු වැඩියි කැලි කසළ නිසි ලෙස බැහැර නොවීමත් හේතුවක්

පසුගිය දිනවල ඇතිවූ ගංවතුරින් ගසාගෙන ගිය ජිවිත යළිත් ඔවුන් සිටි ස්ථානවලම ස්ථානගත වෙමින් සිටින බව ඇත්ත ය. නමුත් ඒ නිසා ම සියලු සමාජ ප්‍රශ්න අවසන් වී ඇතැයි නොසිතිය යුතු ය. තිබු තත්ත්වයට සාපේක්ෂව ඔවුන් අද මුහුණ පා සිටින බරපතළම ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ කැළි කසළ ප්‍රශ්නයයි. සනීපාරක්ෂක අර්බුදයයි. පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළ අන්දමට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොටගෙන ඩෙංගු රෝගීන් වැඩි වැඩියෙන් වාර්තා වීමට පටන්ගෙන ඇත. මේ කියන ප්‍රදේශ බොහොමයක් පසුගිය ගංවතුරින් හානියට පත් ප්‍රදේශ ය යන්න මෙහි දී අමතක නොකළ යුතු ය.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කොතෙක් නම් කතා කළත් ඒ කතාවලින් එහාට ගිය සක්‍රීය වැඩ පිළිවෙළකට පොදුවේ ගත් කල මේ රටේ නගර සභා කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි. එතැනදී මෙරට නගර සභා එක් දෙයක් ගැන දැනගත යුතු ය. ඒ මෙරට කැලි කසළවලින් සියයට 65ක් ඇතැම් විට ඊටත් වැඩි ප්‍රමාණ්‍යක් එකතු වෙන්නේ නගරාශ්‍රිතව ය යන්නයි. ඒ අනුව අද වන විට මෙරට වෙසෙන්නා වූ නාගරිකයන් පුරුදු වී සිටින්නේ කසළ බැහැර කිරීමට මිස ඉන් ප්‍රයෝජනයක් ලැබීමට නොවන බව පැහැදිලි වේ. අප රටේ නගරාශ්‍රිත ජනතාවගේ සමාජ මනස ඒ මට්ටමටම පිරිහී තිබේ. තවද ඔව්හු නිවසකට අවශ්‍ය දෑ පමණක් මිලට ගත් අපගේ සාම්ප්‍රදායික අරපිරිමැසුම්දායක සමාජ මානසිකත්වය මුලින් ම උදුරා දමා කටයුතු කරන තත්ත්වයකට පත්ව සිටිති. කොතෙක් කීවත් පොලිතින්, ප්ලාස්ටික් වැනි නොදිරන වර්ගවලින් නිෂ්පාදනය කොට තිබෙන උර හා භාණ්ඩ අසුරන වැනි දෑ හැකිතාක් භාවිත කොට විධිමත් ලෙස බැහැර කළ යුතු ය යන උපදේශය බොහෝ නාගරිකයන් සලකන්නේ තමන්ට අයත් නොවන අවවාදයක් හෝ උපදේශයක් හැටියට ය. විශේෂයෙන් ම වීදුරු, ටින්, පොලිතින් වැනි දෑ ඍජුවම පරිසරයට බැහැර නොකොට ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන හරහා ඉවත් කිරීමෙන් ඩෙංගු රෝගය මතු නොව බොහේ ව්‍යසනකාරී රෝග කාරක පිළිවෙළින් බැහැර කළ හැකි බව පාඩමක් වශයෙන් වත් උගත යුතුය. ඩෙංගු රෝග කාරක බහුල වූ අවස්ථාවලදී සිදු කරන දුමායනයෙන් පූර්ණ මැඬ පැවැත්වීමක් කළ නොහැකිය. ඒ වනාහි ප්‍රාථමික වූත්, තාවකාලික වූත් වැඩ පිළිවෙළක් පමණි.

44658170-d8e9-4581-95c7-608ecabadd51.jpg

නාගරික සංවර්ධනය යන විෂය අදටත් අපට ලබා දෙන හැඟීම වන්නේ එමෙන් ම අදාළ බලධාරීන්ගේ වැඩි අවධානයක් දිනාගන්නේත් මාර්ග සංවර්ධනය හා පදික වේදිකා පුළුල් කිරීම සම්බන්ධයෙනි. ඒ අනුව නිලධාරීන් මෙන්ම බලධාරීහු පීත්ත පටි සේ විහිදුණු මං පෙත්, කොන්ක්‍රීට් ගොඩනැඟිලි, ගුවන් පාලම් වලින් සුසැදි නගර මාර්ග සංවර්ධනයේ ප්‍රථම සහ එකම අභිලාෂය ලෙසින් සලකති. පසුගිය කාලයේ කොළඹ නගරය සංවර්ධනය කෙරුණේ ද ඒ ආකාරයෙනි. නමුත් එසේ සංවර්ධනය කළ නගරවල ජල බස්නාවක් නොමැතිකම එසේ නැත්නම් අවහිර වීම් මත, වැසිකිළි සහ කැසිකිළි පද්ධති නිසි ලෙස සකස් නොවීමෙන් ගොඩගැසුණු කසළ කඳු හරිහැටි ඉවත් නොකෙරෙන පසුබිමක අප ජලය ආදිය නිසා සුළු වැස්සකිනුත් සතර මහා අපායක් බවට නගර පරිසරය පත් වේ. එවැනි නගර සංවර්ධනයකින් ඇති පලය කුමක් දැයි ජනතාව ප්‍රශ්න කළ යුතුය. තමන්ගෙන් එකතු කරන වරිපනම් සහ තවත් කී නොකී බදු මුදල් වලින් නගර පාලකයන් කරන්නේ කුමක් ද යනුවෙන් ප්‍රශ්න කිරීමට පුරවැසියන්ට පූර්ණ අයිතියක් ඇත.

නගරයක් සැබෑ ලෙසින් ම සංවර්ධනය වීමට නම් අඩු පහසුකම් සහිත ජනාවාසවල නිවාස තත්ත්වය ගැනත් බරපතළ ලෙසින් සිතා බැලිය යුතු ය. විශේෂයෙන් ම නිවාස පහසුකම් ක්‍රමවත් නොවීම තුළ එක් අතකින් පාරිසරික වශයෙන් භූමියත් අවට වායු ගෝලීය තත්ත්වයත් පිරිහෙනවා හා සමානවම සමාජයක් වශයෙන් එහි වැසියන්ගේ පෞද්ගලිකත්වය, පිරිසුදුකම මෙන් ම සමාජ තත්ත්වය ද පිරිහීම ද සැලකිය යුත්තේ විෂම හායනික චක්‍රීය තත්ත්වයක් වශයෙනි.

නිවාස ඉදිකිරීම් හි පවත්නා අවිධිමත් බව ගැන මෙහි දී විශේෂයෙන් සැලකිය යුතු ය. උදාහරණයක් ලෙස පළාත් පාලන ආයතනවලින් එවැනි නිවාස ජනපදවලට වැසිකිළි, කැසිකිළි පහසුකම් සැපයීමේ දී එය පොදු පහසුකම් තත්ත්වයෙන් නිර්මාණය කෙරේ. එතැනදී ඇතිවන තදබදය වළක්වා ගැනීමට ජනපදවාසීන් අතරින් බොහෝ විට දරුවන් ඒ ආශ්‍රිත ව ඇති පොදු ජල මූලාශ්‍ර භාවිතයට ගැනීම වැළැක්විය නො හැකි තැනකට පත් ව තිබේ. ඒ පොදු ජල මූලාශ්‍රය මලපහ කොට අපවිත්‍ර කෙරෙන පසුබිමේම ඉවුම් පිහුම්, ස්නානය, බීමට හා සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් එම ජලය ම ප්‍රයෝජනයට ගැනීම එක් අතකින් පාරිසරික හායනයකුත් අනිත් අතින් සෞඛ්‍යමය පරිහානියකුත් නිර්මාණය කොට තිබේ. උදාහරණයක් ලෙස මහනුවර නගරයේ කටුකැලේ, දෙයියන්නේ වෙල, මහයියාව වැනි නගරාශ්‍රිත ප්‍රදේශවල අර කී තත්ත්වය හොඳින් දැක බලාගත හැකි ය. මේ ප්‍රදේශවල සිටින අධික ජනගහනයෙන් සීමිත පිරිසක් පමණක් පොදු වැසිකිළි භාවිත කරද්දී ඊට අවස්ථාවක් නොලබන ජනයා ඒ සඳහා භාවිත කරන්නේ ජනපදයේ මැද ඇති අපජලය බැහැර කෙරෙන කානු පද්ධතියයි. මැද ඇළ නම් ප්‍රදේශයේ ජීවත් වන්නවුන් සිය කසළ සහ අපජලය යොමු කරන්නේ ඒ ඇළ මාර්ගයටයි. ඒ සියලු අපද්‍රව්‍ය රැගෙන ගලා යන ඒ ඇළේ ජලය පැරැණි ගැටඹේ තොටේ දී මහවැලි ගංගාවට ඒවා බැහැර කරයි.

79f61d38-b720-491b-8f57-7ab344d8ba1e.jpg

ගාල්ල මහ නගර සභාවට අයත් වෙල්සන්පුර ජනාවාසය ද අඩු පහසුකම් සහිත නගරාශ්‍රිත ජීවිතවල සමාජ සහ පාරිසරික හායනයන් මේ යැයි පෙන්වා දෙන තවත් නිදර්ශනයකි. ඒ අනුව එම ජනපදයට අයත් පොදු වැසිකිළිවල ඉදි කොට ඇත්තේ ඊට ළඟා වීමට කිසිදු මාර්ග පහසුකමක් ඇති ව නොවේ. එක්තරා අවස්ථාවක දී එය උතුරා ගිය අතර එම මල අපද්‍රව්‍ය ඉවත් කිරීමට නගර සභාවට අයත් ගලි බවුසරයට එතැනට ඒමට නොහැකි විය. කළ හැකි කිසිදු ප්‍රතිකර්මයක් නොවු තැන ජනපදිකයන්ට සිදු වුණේ ඉවැසිය නො හැකි දුර්ගන්ධය ඉවසාගෙන බරපතළ සනීපාරක්ෂක අවදානමක් ද ඇතිව ජීවත් වීමට ය.

අඩු පහසුකම් සහිත ජනපදිකයන් මේ ආකාරයට අවම වැසිකිළි පහසුකම් ප්‍රශ්නය ජය ගැනීමට කඳුකරයේ වන රොදවල් ප්‍රයෝජනයට ගැනීමෙන් අත්වන කනගාටුදායකම ඉරණම අත් විඳින්නේ පහත් බිම්වල ජනතාවයි. ඒ අතර කුදු මහත් වූ මලපහ අපද්‍රව්‍ය ජල මූලාශ්‍ර හරහා පහළට ගලා ඒම නිසාය. වැසි දිනවල දී ඇතැම් විට මලපහ නිවෙස් තුළට ද ගලා එන අවස්ථා ඇති බව පහත් බිම් හි වෙසෙන අය පවසති. ඒ අනුව සිතා බලන කල පොදු පහසුකම් අවම ජනපද නිසා සනීපාරක්ෂක සහ පාරිසරික හායනයන් විසින් මතු කරන්නා වූ අර්බුදය හුදෙක් එම ජනපදිකයන්ට පමණක් බල පවත්නක් යැයි නොසිතිය යුතු ය. එය ජාතික තලයට ම පැමිණ ඇති පොදු අර්බුදයකි.

කොළඹ නගරය මේ හා සමාන තත්ත්වයක් දැකිය හැක්කේ කොළඹට තදාසන්නව ඇති බ්ලුමැන්ඩල් කුණු කන්ද සහ වැල්ලවත්ත කුණු ඇළ ආශ්‍රිත ප්‍රදේශවලය. එය කොතරම් බරපතළ තත්ත්වයක් ද කිවහොත් එවැනි ප්‍රදේශවල වෙසෙන මිනිසුන්ගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක තත්ත්ව සොයා බැලීම සඳහා වෛද්‍ය හා සායන සේවාවන් පැවැත්වීමේ අවශ්‍යතාව ද මතු කොට තිබේ.

f74d556b-a54d-414b-bc99-c13dcb88256d.png

මේ සම්බන්ධයෙන් සිදු කළ සමාජ සමීක්ෂණ වාර්තාවක සඳහන් වූවක් මෙසේ ය. එකී නිරීක්ෂණයට අනුව පාරිසරික පාර්ශ්වයට වඩා සමාජ පාර්ශ්වය පාදක කරගත්තක් ප්‍රශ්නයක් ලෙසින් මෙය මුලින් ම සැලකිය යුතු ය.

“අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත්වන පදිංචිකරුවන් අනෙකුත් නාගරික ප්‍රජාව අතර අඩු සැලකිල්ලට ලක් වීම බරපතළ සමාජ ගැටලුවකි. එමඟින් ඇතිවන සමාජ විෂමතාව නිසා ඇති වන මානසික පීඩාව, වෛරය හා පළිගැනීම තුළින් මුදා හැරීමට උත්සාහ දැරීම වැනි තත්ත්වයන් ඇති වීමේ අවදානමක් ද පවතියි. මෙම සමාජ විෂමතාවය පැන නැඟීම සඳහා ප්‍රධාන වශයෙන් ම හේතු පාදක වී ඇත්තේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත්වන ප්‍රජාව ආර්ථික හා අධ්‍යාපන වැනි අංශවලින් වැඩි පොහොසත්කමක් නොවීම සහ ඔවුන්ගේ ජනාවාස පාරිසරික සහ සමාජමය වශයෙන් බලසම්පන්න නොවීමයි.

a7f601f8-25b3-4929-b2e9-306df88866c0.png

“නාගරික අඩු පහසුකම් සහිත ජනාවාසවල බොහෝ දෙනා කම්කරු, කුලී, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා, ගෘහ සේවය හෝ වෙනත් සුළු රැකියාවල නිරත වෙමින් දෛනික මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය මුදල් හදල් උපයා ගනිති. ඒ හැරුණු විට ඔවුන් සතුව ස්ථිර මූලික ආදායම් මාර්ග නොමැති අතර වැඩි දෙනා විරැකියාවෙන් පෙළෙති. එමෙන්ම ඔවුන් කෙරෙහි පවතින අඩු සමාජයීය පිළිගැනීම නිසා විධිමත් ආයතනයකින් ණය පහසුකම් ලබාගැනීමට ද හැකියාවක් නැත.”

පවත්නා ඌන ආර්ථික තත්ත්ව හමුවේ සමාජ මානසිකත්වය පිරිහෙනවායැයි අප මුලින් ම පෙන්වා දුන්නේ ද ඒ තත්ත්වයම වේ. සමාජාර්ථික අහේනිය වක්‍රව නොව ඍජුවම අවට පාරිසරික හායනයට හේතු වේ. දරිද්‍රතාව පාරිසරික විනාශයේ පළමු පෙළ සතුරා ය යන්න ජගත් මට්ටමින් පවා පිළිගත් ඇත්තකි. එමෙන් ම සමාජිය වශයෙන් රටක් පහළට ඇද දමන්නා වූ ද ප්‍රධාන පෙළේ සාධකයකි. එනිසා මේ ප්‍රශ්න දෙක එකක් අත්හැර එකක් වශයෙන් නොව අන්‍යෝන්‍ය වශයෙන් එකම විසඳුමක් කරා ගෙන යා යුතු එකක් වශයෙන් සැලකිය යුතුව තිබේ.

පාරිසරික සහ සමාජිය වශයෙන් මීට අදාළ ව සිදු කරන ලද සමාජ සමීක්ෂණයන්හි නිගමන බොහෝ දුරට එකම ආස්ථානයකින් අවසන් වී තිබේ. ඒ අනුව එදා වේල ජිවත්වීම වෙනුවෙන් අස්ථාවර බොහෝ විට සමාජ විරෝධි කටයුතුවලත් රැකියාවලත් නිරත ව සිටින නාගරික අඩු ආදායම් ලාභීන් සැලකිය යුතු ආදායමක් ලැබෙන ආකාරයේ නිෂ්පාදනය මූලික කර්මාන්තයකට යොමු කරවා ගත යුතුයි. එතැන දී ක්‍රමානුකූලව දියුණු වන මේ ප්‍රජාවට සාමාන්‍ය මැද පංතික තලයේ අධ්‍යාපනයක් සහිත සමාජ පැවැත්මක් ලබා දෙමින් ඔවුන් මෙතෙක් ගත කළ සමාජ විරෝධි ජීවන රටාවෙන් ඉවත් කරගත යුතුය. අනිත් කාරණය නාගරික ජනපද ඇසුරේ එකතු වන කෙළවරක් නැති කසළ අපද්‍රව්‍ය ද එසේ එක් නොවන ආකාරයක් ද මේත් සමඟම නිර්මාණය විය යුතු ය. එසේ කළ හැක්කේ එසේ ඉවතලන කසළ අපද්‍රව්‍ය සඳහා මිලක් නියම කිරීමෙනි. එ‍සේ මිලක් ලැබෙන ආකාරයේ කර්මාන්ත හෝ කර්මාන්තයක් නගරාශ්‍රිතව ඇති කරගැනීම මීට අදාළව අවශ්‍ය වේ. මේ සඳහා සුදුසු නිෂ්පාදන කර්මාන්තයක් ලෙසින් ජීව වායු නිෂ්පාදනය යෝජනා වූයේ අද ඊයේ සිට නොවේ. 70 දශකය තරම් කාලයක සිට ය. එහෙත් සෑම ඝන හෝ දියර කාබනික ද්‍රව්‍ය යොදාගෙන විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස ජීව වායුව නිපදවීම අදටත් අප රටේ ප්‍රචලිත වූවක් නොවේ. මුල දී අර කී ආකාරයට ඝන හෝ දියර කාබනික ද්‍රව්‍යයක් යොදාගෙන සිදු කළ ජිව වායු නිෂ්පාදනය පසුව තවදුරටත් සංවර්ධනය වුණේ පිදුරු කුණු කසළ මතු නොව වැසිකිළිමල පවා යොදාගෙන නිෂ්පාදනය කළ හැකි තත්ත්වයක් ද උදා කරමිනි. ඒ අනුව ජීව වායු නිෂ්පාදන ආයතන නගරාශ්‍රිතව ඇති කිරීමෙන් එක් අතකින් කසළ අපද්‍රව්‍ය ප්‍රශ්නයට මෙන් ම නගරාශ්‍රිතව වෙසෙන අඩු ආදායම් ලාභීන්ගේ රැකියා වියුක්තියට ද හොඳ මට්ටමේ විසඳුමක් ලබා දීමට පුළුල් ඉඩක් ලැබේ. මෙහි ඇති අනිත් විශේෂත්වය වන්නේ අදාළ නිෂ්පාදනයෙන් උපදින අවශේෂ කසළ ද ඉහළ මට්ටමේ කාබනික පෝර භාවිතාවක් ලෙසින් ගැනීමට ඇති හැකියාවයි.

e88e8562-ae7c-422d-b6a1-6320703aa17e.jpg

පොදුවේ අප රට තුළ ප්‍රචලිත ජීව වායු වර්ග කිහිපයක්ම ඇති බව සඳහන් ය. ඒ අනුව ඒ ඒ වර්ග අනුව ඒවාට යෙදිය යුතු අමුද්‍රව්‍ය ද වෙනස් වේ. මේ නිසා ඒ ඒ ප්‍රදේශවල සොයාගත හැකි අමුද්‍රව්‍ය ගැන සමීක්ෂණය කොට නිෂ්පාදනය කළ හැකි ජීව වායු නිෂ්පාදනය තෝරා ගැනීමේ පහසු ඉඩක් අපට තිබේ. එසේ තිබියදීත් එමෙන් ම වස විස නැති ආහාර සම්බන්ධයෙන් ප්‍රබෝධයක් මේ වන විට නගරාශ්‍රිත ව ඇති වී තිබියදීත් මෙවැනි සැලසුම් සඳහා තව තවත් කල් පසු කිරීම නිවැරැදි පළාත් පාලනයක් ලෙසින් සැලකිය හැකි නොවේ. අනිත් අතින් ගත් කල මේ කර්මාන්තයෙන් අප උපදවා ගන්නේ ප්‍රමාණවත් මට්ටමේ බලශක්තියක් ය යන කරුණ මෙහි දී අමතක නොකළ යුත්තක් වේ. බලශක්තියෙන් තොරව නූතන පැවැත්ම කිසිදු ආකාරයකින් ‍පවත්වා ගැනීම නොකළ හැක්කකි. එය ද හොඳින් සිහි තබා ගත යුත්තකි.

බී. කේ. එම්. එස්. ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s