බොරැල්ල – නුගේගොඩ – මුල්ලේරියාව දුරාතීතයේ සාගර කලාපයක් වීද?

borella-kanatte-cemetery (2).jpg

“කිසියම් මිනිසෙකු ගේ මතකයෙහි මා ජීවත් වූ බව සටහන් කරවා ගැනීමේලා ඇවැසි කිසිවක් මා අතින් සිදුව නැත. එහෙත් මගේ ජීවිතයේ පරමාර්ථය වන්නේ මගේ කාලයට එමෙන් ම පරම්පරාවට වැදගත් කටයුතු වෙන සංසිද්ධියකට සම්බන්ධ වී කටයුතු කිරීම යි. එවැන්නකට මගේ නම ඈඳා ගැනීමකට යි.”- ඒබ්‍රහම් ලින්කන්

සාගරයේ අද්මිරාල් යැයි හැඳින්වෙන ඉතාලි ජාතික දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොලොම්බස් අත්ලාන්තික් සාගරය හරහා ගමන් කිරීමට දින 70ක් ගතකර තිබේ. එතේ අද ඒ නෞකාවෙන් ම අයෙකු කොලොම්බස් ගිය ඒ ගමන යාමට පිටත් වුණොත්, ඔහු ඒ ගමන සඳහා දින 70කටත් වැඩි කාලයක් ගත කරනු ඇත.

Borella-Kanatte-Cemetery-Colombo.jpg

ඊට හේතුව කුමක් ද?

කොලොම්බස් විසූ සමයේ තිබූ ඒ අත්ලාන්තික් සාග‍රය අද දවසේ මීටර් විස්සක් තරම් ප්‍රමාණයකින් පුළුල් වී තිබීම ඊට හේතුවයි. මේ කතාව අප මෙසේ පවසන්නේ මීටර් විස්සක් තරම් ප්‍රමාණයක් සාගර මට්ටමින් කොපමණ ප්‍රමාණත්මක වෙනසක් කරනවා ද යන්න ගැන කීමට ම නොවේ. පෘථිවිය නම් මේ ජෛව පැවැත්ම යුග නිර්මාණය කරමින් වෙනස් වී ඇත්තේ වරක් දෙවරක් නොවේ යැයි පවසන අරමුණ ද එතැන තිබේ.

ඒ අනුව එක්තරා කාලයක පෘථිවිය මත පැවැති මහා නගර අද ඒවා තිබූ තැන්වල නැත. ඊට හේතුව සතුරන් අතින් ඒවා සහමුලින් ම විනාශයට පත් කොට ඇති නිසා නොවේ. පෘථිවි භූමිය වෙනුවට අද ඒ තැන්වල ඇත්තේ මහා සාගර නිසාය. සාගර පත්ලේ ඇති එවැනි ගොඩබිම් කලාප ගැන අපට විටින් විට අසන්නට ලැබේ.

එහෙත් මේ මොහොතේ අප කතා කරනුයේ සාගරයට යට වූ එවැනි නගරයක් හෝ ගොඩබිම් කලාපයක් ගැන නොව ගොඩබිම් කලාපයකට මෙන් ම නගරයකට යට වූ සාගර කලාපක් ගැනයි. මෙය ඇත්තේ අපේ රටේ ය. ඒ කවුරුත් නො දන්නා නගරයක් ද නොවේ.

පාංශු ස්තරය යට සුදු වැලි තට්ටුවක්

ඒ වනාහි බොරැල්ල නගරය යි. මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කරන ආකාරයට වරෙක සන්නිවේදන ජාලගත කිරීමක් වෙනුවෙන් බොරැල්ල නගරයේ කානුවක් ගැඹුරට හාරමින් සිටි අවස්ථාවක දී එක්වන ම පොළොවේ පාංශු ස්තරය යටින් සුදු වැල්ලක් හමු වී තිබේ. පසුව මේ වැලි පරීක්ෂාවට ලක් කරද්දී ඉතා පැහැදිලිව ම එ සාගර පත්ලේ වැල්ල හා සමාන බව හඳුන‍ාගෙන ඇත. කොයි ආකාරයෙන් හෝ මුහුදු වෙරළට සමීපස්ථ බවක් නැති බොරැල්ල නගරයෙන් මේ ආකාරයට සාගර පත්ලේ වැල්ලක් හමුවීම කුතුහලය දනවන්නක් වූයේ ය.

මේ අතර මුල්ලේරියාව නගරයේ මැටි පස් පහරන විට දී (ඒ සඳහා අඩි 30 – 40 අතර ගැඹුරකට පොළොව කැණිය යුතුය) සීන් වැල්ලක් හමුවුණ බවට ද වාර්තා පළ වී ඇත. මුල්ලේරියාව යනු බොරැල්ලට බොහෝ ඈතින් පිහිටි නගරයක් ද නොවේ.

බොරැල්ල නගරයේ නිතර නිතර ගැඹුරට හෑරෙන ස්ථානයක් තිබේ. ‍ඒ බොරැල්ල කනත්තයි. ඉහත කී කරුණ ඔස්සේ ගිය පුරා විද්‍යාර්ථීන් ගේ කුතුහලය ඒ සුසාන භූමියට යොමු වීම ස්වාභාවික ය. කනත්තේ වළවල් හාරන්නේ පුරා විද්‍යා උපාධියක් ඇත්තවුන් නොවුණත් පුරා විද්‍යාවේ ඉතාම වැදගත් පුරා සාක්ෂි කිහිපයක් සම්බන්ධයෙන් එකී සේවකයින් සාක්ෂිකරුවන් බව පුරා විද්‍යාර්ථීන් දැන ගන්නේ ඔවුන් හා කළ කථා බහෙනි. ඒ අනුව අදාළ භූමියේ මිනී වළවල් හැරීමේ දී පෙර කී ආකාරයට සුදුවැලි තීරු හමුවීම ඔවුන්ට අමුතු දෙයක් නොවුණි. වෙන එකක් තියා මුහුදු බෙල්ලන්ගේ කවච මෙන් ම ඇතැම් අවස්ථාවල දී මත්ස්‍ය ඇට කටු පවා හමුවුණු බවට ඔව්හු සාක්ෂිකරුවන් වී සිටිති.

borella-kanatte-cemetery

බොරැල්ල හා බැඳුණු මේ පුරා පාරිසරික ලක්ෂණ ගැන පුරා විද්‍යාඥයින්ටත් වඩා පරිසරවේදීන්ගේ අවධානය පැහැර ගන්නේ මේ අතරවාරයේ දී ය. විශේෂයෙන් ම කොළඹ ආශ්‍රිතව පරිසර ගවේෂණයේ යෙදෙන්නවුන් බොරැල්ල නගරයට තදාශ්‍රිතව කලපු මඩ සහිත පාංශු ස්තරයක් පැවැතිය හැකි ද? අද පවතින්නේ ස්වාභාවිකව ම කලක් කලපු පරිසරයක් ව පැවැති බිමක් පරිණාමයට හසු වීමෙන් හටගත් භූගෝලීය තත්වයක් ද? එසේ නැති නම් සංවර්ධන කටයුතු හරහා ආදේශ වූ තත්වයක් ද යන්න පවා ඉහත තත්වයට එරෙහිව මතු කෙරිණි.

සාගරවාසී මත්ස්‍ය පොසිල

ඉතිහා‍සයේ නිවැරදි මූලාශ්‍රයන් වශයෙන් ඉතිහාසඥයන් කවදත් සැලකුවේ සෙල්ලිපි ය. ඒවා නිවැරදි ඓතිහාසික ලේඛන වශයෙන් සැකයකින් තොරව ම පිළිගැනෙයි. එසේ නම් කැලණිපුර ශිලා ලේඛනය ද ගත යුත්තේ එවැනි තාත්වික වාර්තාකරණයක් වශයෙනි. උක්ත ශිලා ලිපිය “කලම්බු තිත්ථ’ යනුවෙන් හඳුන්වන්නේ අද – කොළඹ යි. එපමණක් නොව, එහි පාරිසරික තත්වය ගැන එයින් කෙරෙන පෙන්වා දීමට අනුව ‘කලම්බු තිත්ථ’ යනු මඩ සහිත ජලය හෝ වගුරු ආශ්‍රිත වූ තොටුපළකි. ඉදින් එසේ බලන කල්හි කලපු මඩ සහිත පාංශු ස්තර බොරැල්ලට තදාසන්නව හමුවීම අද්භූතයක් හෝ ආදේශකයක් විය හැකිද? අනික් අතට සාගරවාසී මත්ස්‍ය පොසිල බවට සැක හැර දැන ගත් හමු වීම් ඉහත තත්වයේ පැවැති අවිශ්වසනීය බව තවදුරටත් නැති කොට ඇතැයි යන්න පිළිගැනෙමින් පවතී.

බෙල්ලන්ගේ කවච හෙවත් බෙලිකටු

ඒ හැරුණු කල බෙල්ලන් ගේ කවච හෙවත් බෙලි කටු හමු වීම තුළ කෙනෙකුට එක්වර ම සිහිපත් විය හැක්කේ ප්‍රාග් ඓතිහාසික යුගය හා බැඳුණු ආදි මානවයන් පිළිබඳ ජනප්‍රිය පුරාවෘත්තයි. ඒ අනුව බළන්ගොඩ මානවයා මෙන් ම හෝර්ටන්තැන්නෙන් බැස ආ මිනිසා ගැන ද සිහිපත් වීම නොවැළැක්විය හැකිය. නමුත් ඒ තැන්හිදී අපට හමුවන්නේ කාත්‍රීම බෙලි කටු නිධි වේ. එහෙත් බොරැල්ල හා ඒ තදාශ්‍රිතව අප හඳුනාගන්නේ ස්වාභාවික බෙලිකටුය. ඉහත කී බෙදීම අප විසින් ඉදිරිපත් කරනු ලබන්නක් නො ව පුරා විද්‍යාඥයින් විසින් කරන ලද විභේදනයකි. එබැවින් ඒ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් මෙහිදී අවශ්‍ය වේ.

General-Cemetery-Kanatte-Colombo.jpg

බෙලිකටු නිධි සහ මානව ක්‍රියාකාරිත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ ආරම්භ වන්නේ, මීට වසර එකසිය පනහකට පමණ පෙර වුණත්, බෙලිකටු පිළිබඳ පුරා විද්‍යා පර්යේෂණ ආරම්භ වන්නේ 1960 දශකයේ දී ය. ඒ ආචාර්ය ඊ.ඒ.පී. දැරණියගලයන් අතිනි. දකුණු වෙරළ කලාපයට අයත් යාල ට නුදුරින් ‘උඩපොතාන කලපුව’ හී වැලිවල නම් ස්ථානයෙන් බෙලිකටු නිධියක් සොයා ගන්නේ ඒ අනුව ය. ඒ බව 1961 වසරේ දී ආචාර්ය දැරණියගල වාර්තා කොට තිබේ. පසුව මණ්ඩකල් ආරු දකුණු ඉවුරෙන් ද ‘එවැනි ම බෙලි කටු නිධියක්’ සොයා ගැනිණි. කෙසේ වෙතත් මෙසේ සොයා ගන්නා බොහෝ බෙලිකටු නිධි ස්වාභාවික ඒවා නොවන බව ට පුරා විද්‍යාඥයින් හඳුනාගෙන තිබේ. එහි තේරුම මේවා මානව ක්‍රියාකාරකම් නිසා තැන්පත් ව ඇති බෙලිකටු නිධි බවයි.

එසේ වුණත් ආචාර්ය කටුපොත වාර්තාව (1995) පෙන්වා දෙන ආකාරයට (දකුණු වෙරළ, තීරය පාදක කරගත්) ප්ලයිටොසීන සහ හෙලෝසීන යුගවලදී හටගත් ජල මට්ටමේ උස් පහත් වීම් හේතු කොටගෙන බෙලිකටු තැන්පත් වීමෙන් ද බෙලි කටු නිධි නිර්මාණය වේ. ඒවා ස්වාභාවික ව තැන්පත් වූ නිධි වශයෙන් ගැනෙයි. ආචාර්ය කටුපොත වාර්තාව අධ්‍යයනය කිරීමේ දී අපට පෙනී යන්නේ මුලින් කී ආකාරයට එනම් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් නොව, ස්වාභාවික පාරිසරික හැසිරීම් කරණකොට ගෙන (මුහුදු රළ උස් පහත් වීම් මත) තැන්පත් ‍වන බෙලි කටු ස්වාභාවික බෙලි කටු තැන්පතු වශයෙන් පිළිගැනෙන බවයි.

borella-cemetery.jpg

බොරැල්ලේ දී හමුවී ඇති (එය විධිමත් පුරා විද්‍යා ගවේෂණයකින් සිදු කරන ලද්දක් නොව අහඹු හමුවීමකි) බෙලිකටු එක්තරා කාලයක ද උස්ව නැගුණු මුහුදු රළ විසින් සාගර කලාපය තුළට බොරැල්ල ප්‍රදේශයන් ඈඳා ගෙන තිබීමක් දැයි විධිමත් පුරා සහ පරිසර විද්‍යාත්මක හැදෑරීමකින් තහවුරු කොට ගත යුත්තකි.

හැදෑරීමකින් තහවුරු කළ යුතුයි

පසුගිය අවුරුදු ලක්ෂ දහය පමණක් ගත්තත් අඩුම තරමින් විසි වතාවක් වත් සාගර මට්ටම් උස් පහත් වී ඇතැයි හඳුනාගෙන තිබේ. දැනට අප කතා කරන්නේ එක් අයිස් යුගයක් ගැන වුණත්, දීර්ඝ සහ සුළු අයිස් යුග කිහිපයකට ම ලෝකය මුහුණ පා තිබේ.

අද මේ වන විටත් ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපීය වෙරළබඩ ප්‍රදේශවලින් රතු ලැටසෝල් පස් විශේෂය සහිත බිම් හමු වී තිබේ. මෙවැනි පස් නිර්මාණය වන්නේ වර්ෂ ගණාවක් තිස්සේ මුහුදු වැල්ල දිරා පත් වීමෙනි යන්න භූ විද්‍යාඥයින් පෙන්වා දීම යි. උදාහරණයක් ලෙස ඉරණමඩු, පතිරාජ වෙල, බූන්දල යන ප්‍රදේශවල එවැනි පස් හමු වී ඇත.

මීට අවුරුදු එක් ලක්ෂ තිස් පන් දහසක් හෝ හතළිහකට එහායින් වූ අතීතයේ දී හෝමෝ සේපියන් හෙවත් නූතන මිනිසා අපි වසන මේ මහ පොළොවේ ඇවිද ගොස් ඇතැයි සනාථ කර ගන්නේ ද අර කී පස් තට්ටු හරහා වීම විශේෂත්වයකි. එදා ඒ දවසේ මුහුදු මට්ටම අදට සාපේක්ෂව අඩි 45ක් ඉහළින් තිබී ඇතැයි හඳුනාගත ඇත. එසේ බලන කල්හි ‍බොරැල්ල පමණක් නොව නුගේගොඩ යන ප්‍රදේශයත් තදාශ්‍රිත ඇතැම් ප්‍රදේශත් ගැන පුරා සහ පාරිසරික අධ්‍යයනයක් කිරීමට හැකි නම් පෘථිවිය හා බැඳුණු භූ විද්‍යා මෙන් ම ජෛව විද්‍යා හැසිරීම් රටා ගැන නොදත් දැනුම් වපසරියක් කරා යාමට ඇති ඉඩකඩ වැඩි ය. එහෙත් ප්‍රශ්නය වන්නේ එවැනි දැනුම් නිෂ්පාදනයක් වෙනුවෙන් අප සූදානම් ද යන්න යි.

4-600x400.jpg

පෘථිවිය හා බැඳුණු භූ විද්‍යා ලක්ෂණ

අද අපි ගෝලීය උෂ්ණත්වයක් ගැන කතා කරමින් සිටිමු. එය බරපතළ විවාදයකට ලක්ව තිබේ. ඊට පැහැදිලි හේතුව මානව ක්‍රියාකාරකම් හේතු ‍ෙකාට ගෙන එම උණුසුම් ප්‍රවාහය නිර්මාණය වෙමින් තිබීමයි. ශිෂ්ටාචාරයේ දියුණුවේ නාමයෙන් පාරිසරික පැවැත්මට එවැනි හානියක් සිදු කිරීමට මිනිසාට අයිතියක් නැත යන්න අර කී ආකාරයේ කලබගෑනියක් ඇති වීමට හේතු වී තිබේ. එහෙත් මේ ආකාරයේ ම ගොලීය උණුසුමේ ඉහළ යෑමක් පෙර කී කාල වකවානුවේ දී ද ඇති වී තිබේ. ඒ උෂ්ණත්වය හමුවේ ද විශාල වශයෙන් ග්ලැසියර දිය වී ගලා යෑමක් සිදු ව තිබේ. (මුහුදු මට්ටම අදට සාපේක්ෂව අඩි 45 ක් ඉහළ නගින්නේ එවැනි පසුබිමක් තුළ ය.) මේ යුගයේ දී ග්‍රීෂ්ම කාලයේ දීත් කුණාටු ඇති වූ බවට සාක්ෂි ඇත. වර්ෂාපතනය ඉහළ අගයකට ගොස් වියළි කලාපයට ජුනි, ජූලි, අගෝස්තු යන මාසවලදී මෝසම් සුළං හැමූ බව තහවුරු වී තිබේ. ඔක්තෝබර්, නොවැම්බර් මාස වන විට ගිගුරුම් සහිත තද වර්ෂාපතනයක් ලැබී තිබිණි.borella-kanatte-cemetery (1).jpg

අද පවතින ගෝලීය උණුසුම ඉහළ යාම හමුවේ තෙත් කලාපය අධි වර්ෂාපතනයටත් වියළි කලාපය දීර්ඝ නියං කාලවලටත් ගොදුරු වීමේ අවදානමක් හඳුනාගෙන ඇත. එමෙන් ම මේ වන විටත් එවැනි ලක්ෂණ විටින් විට ලොව බොහෝ තැන්වලින් ද වාර්තා වේ. මේ තත්වය ඉතා පැහැදිලිව ම එදා ඒ කාල වකවානුව තුළ පෘථිවිය මත පැවැත තිබේ. ඒ අනුව අධික වර්ෂා සහිත කාල එක් පසෙකින් ද, දීර්ඝ වියළි කාලයන් තවත් පැත්තකින් ද පවතිමින් අද පවතින පෘථිවි කාලගුණ සහ දේශගුණ රටාව නිර්මාණය වී ත‍ිබේ.

සියල්ල සිදු වී ඇත්තේ ජගත් පරිසරයේ කැමැත්ත පරිදි ය. ගොඩබිම් දිය වී, සාගර ගොඩ වී, කඳු බිම් සමතලා වී, තැනි බිම් උස් වී පෘථිවිය තත්කාලයේ අප දක්නා ආකාරයෙන් නිර්මාණය වී තිබේ. එහෙත් ශිෂ්ටාචාරයේ නාමයෙන්, සංවර්ධනාත්මක දියුණුව යයි අර්ථ නිරූපණ නිර්මාණය කරමින් යළිත් ඒ ප්‍රාථමික අත්දැකීම් කැඳවා ගන්නට නූතන මිනිසා ප්‍රයත්න ගන්නේ නම්, ශිෂ්ටාචාරය සහ සංවර්ධනය යනු කුමක් දැයි අලුතෙන් සිතා බැලිය යුතු ම වේ.

තමන්ට හීලෑ නො කරගත් ජගත් පාරිසරික පැවැත්ම ඉදිරියේ ප්‍රාග් ඓතිහාසික මිනිසා ට දීර්ඝායුෂ ලබන්නට අවස්ථාවක් නො තිබුණු බව සොයා තහවුරු කරගත් අවශේෂ වලින් පැහැදිලි වේ. එහෙත් ඊට සාපේක්ෂව අද්‍යතන මිනිසා ස්වාභාවික පැවැත්ම තමන් ට යටත් කරගෙන ඊට ඉහළින් සිටින බලවේගයක් ලෙසින් කටයුතු කරන්නට දිගින් දිගට ම උත්සාහ කරන්නේ නම්, ඒ සියලු සංවර්ධනීය බල පරාක්‍රමයන් අබිබවා ඔහු ඉදිරියේ ද නිර්මාණය වෙනු ඇත්තේ අර ප්‍රාග් ඓතිහාසික මිනිසා මුහුණ දුන් ඉරණමට වඩා වෙනස් දෙයකට නොවේය යැයි කිව යුතුව තිබේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s