Hybrid හෙවත් ආනයනික දෙමුහුන් බීජ නිසා ගොවිතැනට ගැටලු

For more information, visit the Exploration Portal: http://fmproddb1.ngs.org/ngs_grants/request_detail.php?&request_id=22526&c_cm=3&c_cd=7&grant_number=EC0728-15

අද එළවළු ගිනි ගණන් යැයි නොකියන අයෙකු සොයා ගැනීමට අද දවසේ නො හැකි තරම් ය. ගමේ ගොඩේ වැවෙන එළවළුත් රටින් ගෙන එනවා දැයි සිතෙන තරම් තත්ත්වයක් පසුගිය කාලය පුරාම ඇති වුණේ හුදෙක් ගංවතුර, නියඟය නිසාම දැයි යන්න විමසිය යුතුව තිබේ. එළවළු මිල මෙසේ ඉතා ඉහළ යෑමට ආසන්න හේතු වශයෙන් ගංවතුර හා නියඟය හේතු වෙතැයි කීම වැරැදි නැතත් මේ වන විට ලංකාව පුරා ඇතිවෙමින් පවතින ආහාර අනාරක්ෂිත බව මෙහිලා මූලික වෙමින් පවතී. එය නිර්මාණය කොට ඇත්තේ අර කී ස්වාභාවික විපත් හෝ හේතු පමණක් ම නොවේ.

මානව ශිෂ්ටාචාරය සංවර්ධනීය තත්ත්වයෙන් ඉදිරියට ගියේ දඩයම් යුගයේ ඇවෑමෙන් උදාවූ කෘෂි යුගය නිසා ය. ඒ අනුව සමාජගත පාලනය වෙනුවෙන් දේශපාලන නායකත්වයක් බිහි වුණ ද සමස්ත සමාජයේ ආහාර සුරක්ෂිතතාව පැවතුණේ ස්වාධීන ගොවි පන්තිය අත ය. විශේෂයෙන්ම ආසියානු ගොවියා ඒ සම්බන්ධයෙන් වඩාත් සුවිශේෂ විය. මේ තත්ත්වය ලංකාවේදී වඩාත් හොඳින් නිරීක්ෂණය කළේ රොබට් නොක්ස් ය. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසු යැයි ඔහු කීවේ ඒ ස්වාධීන පැවැත්ම මැනැවින් වටහා ගත් නිසාය.

අනාදිමත් කාලයක සිට මෙරට ගොවීන් පවත්වාගෙන ආ ස්වාධීන පැවැත්ම තුළ ඉතා දියුණු දේශීය බීජ නිපදවන ගොවි සංස්කෘතියක් ඇතිවූ අය බවට අවශ්‍ය තරම් ලිඛිත සාක්ෂි තිබේ. රජවරුන්ගේ පරම කාර්යය වූයේ එය ආරක්ෂා කිරීමය. එවැනි පොහොසත් ගොවි සංස්කෘතියක් තුළ අනෙකුත් ආසියානු රටවල කෙසේ වෙතත් අපේ රටේ ශක්තිමත් වූ ආහාර සුරක්ෂිතතාව විසින් පෙරදිග මහා ධාන්‍යාගාරය යන ගෞරව නාමය ද අපට ලැබිණ.

RiceField_web_1024.jpg

එසේ වුවද අද මේ තත්ත්වය මුළුමනින්ම කනපිට පෙරළෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ගොවියාගේ ස්වාධීනත්වය ඔවුන්ට අහිමි වීම ඊට හේතු වී තිබේ. ගොවීන්ට ඔවුන්ට අවශ්‍ය බීජ නිෂ්පාදනය කරගැනීමට තිබූ අයිතිය, යට කී ගොවි සංස්කෘතිය අහෝසි වීම තුළ එදා නොක්ස් දුටු ස්වාධීන ගොවියා ඉතිහාසයට සමු දෙමින් සිටියි. ඒ වෙනුවට අද මෙරට සිටින්නේ ගොවි කම්කරුවෙකි. කම්කරුවා යනු ස්වාධීනත්වය අහිමි, ස්වාමීත්වයකට යටත් පුද්ගලයෙකි.

අද මෙරට ගොවීන් වගා කරන්නේ හයිබ්‍රිඩ් නමින් හඳුන්වන බීජ විශේෂයන් ය. මේවා දෙමුහුන් බීජ යනුවෙන් ද හැඳින්වේ. මේ දෙමුහුන් බීජ අදටත් මෙරටට ආනයනය කෙරෙන අතර මෙරට තුළ ද නිෂ්පාදනය කෙරේ. කෘෂි විද්‍යාඥයන්, කෘෂි පර්යේෂණාගාර, කෘෂි කාර්මික විශ්ව විද්‍යාල යන මේ සියලු යටිතල පහසුකම් තිබියදීත් බීජ ආනයනය අඩුවක් නැතිව රට තුළ සිදු වේ. අද පොදු වෙළෙඳ පොළේ එළවළු මිල අනිවාර්යයෙන් ම යට කී දෙමුහුන් බීජ ආනයනයක් සමඟ මෙන්ම ඒවා නිෂ්පාදනය කොට බෙදා හරින බහු ජාතික සමාගම්වල මිල සූත්‍රයක් සමඟ බැඳී පවතී.

10401438_10152180529666961_582581196187227745_n

ගන්නොරුව බීජ සහතික කිරීමේ සේවාව හයිබ්‍රිඩ් බීජ යන්න අර්ථ ගන්වා ඇත්තේ මෙසේ ය. හයිබ්‍රීඩ් බීජ යනුවෙන් අදහස් කරන්නේ ජානමය විවිධත්වයක් ඇති මවුපිය ශාක දෙමුහුම් කිරීමෙන් ලැබෙන පළමු පරම්පරාවේ බීජ ය. මේ බීජ පොදුවේ එෆ් – හයිබ්‍රීඩ් හෙවත් එෆ් – දෙමුහුන් වශයෙන් හඳුන්වනු ලබයි. මේ ආකාරයෙන් හඳුන්වන හයිබ්‍රීඩ් බීජ ගොවීන් අතර වඩාත් ම ජනප්‍රිය වුණේ ඉන් ලැබිය හැකි වූ වැඩි අස්වැන්න නිසා ය. ඒත් සමඟමව මේ පැළ ශීඝ්‍රයෙන් වැඩෙයි. එය ද ගොවීන්ගේ සතුටට හේතු විය. මේ ආකාරයට වැඩි අස්වැන්නක් උපදවන, ඉක්මනින් වැඩෙන හයිබ්‍රීඩ් බීජවලින් උපදින බෝග සාම්ප්‍රදායික බෝගවලට සාපේක්ෂව පළිබෝධ උපද්‍රවවලට ඔරොත්තු දීමේ ගුණයෙන් ද යුතු යැයි කරන ලද ප්‍රචාරය නිසාත් ලොව පුරා ගොවීන් අතර එය ඉක්මනින්ම ජනප්‍රිය විය.

එසේ වුණත් හයිබ්‍රීඩ් හෙවත් දෙමුහුන් බීජවලින් දෙවැනි පරම්පරාවක් උපදවා ගත නො හැකි ය. එමෙන්ම අද වන විට එහි මිල ද ඉහළය. මිල තීරණය කරන්නේ ද බහුජාතික සමාගම් ය. ඒ අනුව එක් කන්නයක් වගා කොට අහවර වීමෙන් පසු ඊළඟ කන්නය සඳහා ද බීජ නැවතත් අදාළ සමාගම්වලින් මිලයට ගැනීමට ගොවීන්ට සිදු වේ. මෙතෙක් කාලයක් විශේෂයෙන් ම ආසියානු කලාපයේ ගොවීන් බීජ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ද කන්නයට වගා කළ යුත්තේ කිනම් බෝග ද යනුවෙන් තීරණය කිරීමට අදාළව ද අත්කරගෙන සිටි ස්වාධීනත්වය අහෝසි වන්නේ ඒ ආකාරයටය. ඒ ස්වාධීනත්වය ආර්ථික අධිපතිවාදයක් ලෙසින් තමන් සතු කර ගැනීමට අර කී සමාගම් මේ වන විට සමත් ව තිබේ. රොබට් නොක්ස් එදා නිවැරැදිව ප්‍රකාශ කළ අන්දමට ස්වාධීනව තීරණ ගැනීම මෙන්ම නිෂ්පාදන හැකියාව අතින් රාජ්‍ය පරිපාලනයට ද සුදුසු වූ මෙරට ගොවි පරපුර අද වන විට කෘෂි කම්කරුවන් යැයි කිව හැකි තැනකට ඇද වැටෙමින් සිටියි.

gvo_gentechnik_genmais_0

ආනයනය කරන්නා වූ දෙමුහුන් බීජ පසුගිය කාලය පුරාම මෙරට ගොවිතැන සමඟ ඇති කොටගත් ගැටුම් ද සුළුපටු නැත. ඒ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇත්තේ මේ ආනයනික දෙමුහුන් බීජ මෙරට පාරිසරික පැවැත්ම සමඟ එකඟ නොවීම ඊට හේතු වී ඇති බවයි. අනිත් අතින් ගත් කල එකී ආනයනික බීජත් සමඟ ආගන්තුක රෝග තත්ත්වයන් ද මෙරට වගා බිම් අතර පැතිර ගිය අයුරු ද පසුගිය කාලයේ දී අපට දැකගත හැකි විණි. උදාහරණයක් ලෙස වරක් වැලිමඩ ප්‍රදේශයේ ගොවීන් එසේ ආනයනික අර්තාපල් බීජ වගා කිරීමෙන් පසු ඔවුන්ගේ මුළු අස්වැන්න ම රන්වන් කෝෂ වටපණු රෝගයෙනුත්, අල කුණු වීමේ බැක්ටීරියා ආසාදනයෙනුත් විනාශ වී ගියේ ය.

ලෝක ආහාර සුරක්ෂිතතාවට මෙන් ම පාරිසරික යහපැවැත්මට බලපෑම් එල්ල කරන තවත් ආක්‍රමණික පැවැත්මක් ගැන ද මෙහිදී කිව යුතුව තිබේ. ඒ ජාන වෙනස් කළ ආහාර නිෂ්පාදනයයි. ඒ සම්බන්ධයෙන් ද බොහෝ කරුණු මේ වන විට අනාවරණය වෙමින් පවතී. ලෝකයේ ජාන වෙනස් කළ ආහාර මුලින්ම හඳුනාගන්නේ හරිත විප්ලවය හරහා ය. එදා හරිත විප්ලවයේ මෙම ජයග්‍රහණය හඳුන්වා දුන්නේ ලෝක ආහාර හා පෝෂණය වෙනුවෙන් සිදු කළා වූ යෝධ පිම්මක් වශයෙනි.

Amaranth.jpg

එහෙත් අද ලොව කෘෂි විද්වතුන් මෙන් ම පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ඒ නිසා අපගේ පාරිසරික පැවැත්මටත්, ශාරීරික සෞඛ්‍යයටත් නිවැරැදි සේවාවක් සැපයූ දේශීය සහල් විශේෂ බොහෝමයක් ලොවෙන් තුරන් වී ඇති බවයි. හඳුනාගත නොහැකි මෙන්ම බොහෝමයක් බෝ නොවෙන රෝග ගණනාවකට ද යට කී ජාන වෙනස් කළ ආහාර හේතු වී ඇති බවට හඳුනාගෙන තිබේ. අපේ රටේ ද ජාන වෙනස් කළ වී ප්‍රභේද කිහිපයකට ජාතික කෘෂිකර්මය සීමා වෙමින් පැවැතීම ඛේදවාචකයක් ලෙසින් විනා අන් ලෙසකින් සැලකිය හැකි දැයි නොදනිමි.

ආහාරවල (එය ස්වාභාවික ආහාර වශයෙන් ගැනීම වඩාත් නිවැරැදි යැයි සිතමි.) ජාන වෙනස් කිරීම පැහැදිලිවම පරිසර විරෝධි ක්‍රියාවක් යැයි පිළිගන්නා තැනකට ද අද ලෝකය ගමන් කොට තිබේ.

ඒ නිසා ජාන වෙනස් කළ ආහාර සම්බන්ධයෙන් ලෝක මට්ටමින් අද ඇත්තේ එකඟතාවකට වඩා විරෝධතාවකි. නිදර්ශනයක් ලෙස දුම්කොළවල (සිගරට් නිෂ්පාදනයේ දී) අන්තර්ගත නිකොටින් ප්‍රමාණය තවදුරටත් වැඩි කරගැනීමට එයට බාහිරින් ගත් ජාන විශේෂයක් එකතු කරන්නේ යැයි හඳුනාගෙන තිබේ. හැම්ස්ටර් නම් එම ජානය ලබාගන්නේ මීයාගෙනි. එමෙන් ම ජාන වෙනස් කොට නව ජෛව නිෂ්පාදන ඉදිරිපත් කිරීමට මිනිස් ජාන ද භාවිත කොට තිබෙන බව ද හෙළි වී තිබේ. ඒ අනුව ලෝකයේ බැටළු පට්ටිවලට ඇතුළු කළ බැටළු විශේෂයකට මිනිස් ජාන ඇතුළත් කොට සිදු කළ අත්හදා බැලීමක් ගැන ද පසුගිය දිනවල අසන්නට ලැබිණි. එය සිදු කළ පර්යේෂකයින් එසේ කිරීමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ මිනිස් ප්‍රෝටීන් අන්තර්ගත බැටළු කිරි ලබා ගැනීමට එසේ කළ බවය.

මේ ආකාරයට ජාන වෙනස් කිරීම අද තිබෙන්නේ දැවැන්ත ආහාර කර්මාන්තයක් වශයෙනි. එය මේ වන විට සිය පර්යේෂණ අවධිය පසුකොට නිෂ්පාදන අවධියට පැමිණ තිබේ. එහි දී ඉදිරියෙන් ම සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එහෙත් කැනඩාව, ආර්ජන්ටිනාව, පිලිපීනය, චීනය පමණක් නොව ඉන්දියාව ද මේ වන විට ජාන වෙළෙඳපොළේ ඉදිරි පෙළට පැමිණෙමින් සිටියි. ඊට අදාළව විවිධ අයුරින් අත්හදා බැලීම් ද සිදු කෙරෙමින් පවතී. ඒ අනුව ජාන වෙළෙඳපොළ අලුත්ම නිෂ්පාදන අත්හදා බැලීමක් වී තිබෙන්නේ සත්ත්ව ජාන ඇතුළත් ශාක ආහාර නිපදවීමය. එවිට නිර්මාංස ආහාර අනුභව කරන්නන්ට යන කලදසාව ගැන මෙහි දී සාකච්ඡා නො කෙරේ.

එක්තරා කාලයක දී විශේෂයෙන් ම එංගලන්තය පුරා ව්‍යාප්ත වූ පිස්සු ගව රෝග වසංගතය නම් ගවයන් විශාල වශයෙන් මරණයට පත් කළ රෝගය ගැන ඔබට අමතක ඇතැයි සිතමි. මේ පිළිබඳව නිසි වැටහීමක් ලබා ගැනීමට මහත් උත්සාහයක් ගත් විද්‍යාඥ කණ්ඩායම් ඊට අදාළ විවිධ නිගමන නිකුත් කරන්නට යෙදුණි. ඒ අතරින් එක් නිරීක්ෂණයකින් කියැවුණේ ගවයන්ට ලබා දුන් පෝෂණීය (කෘත්‍රිම) විශේෂයක් ගැනය. ඒ ආහාරය ගවයන් සඳහා නිෂ්පාදනය කෙරුණේ මරා දැමෙන ගවයන්ගේ ශරීර මසෙහි සුන්බුන් අඹරා පිටි කිරීමෙනි. මානව ශිෂ්ටාචාරය අද ගමන් කරමින් තිබෙන්නේ පරිසරය සමඟ කිසිදු හිතවත්කමක් එකඟතාවක් ඇතිව නොවේ යැයි පෙන්වා දීමට ඒ නිදර්ශනය වුණත් සෑහේ.

වර්ෂ 2001 දී එවකට පැවැති රජය ප්‍රති සම්බන්ධිත ජාන වෙනස් කළ ආහාර පිරිසැකසුම් කිරීමත්, ආනයනය කිරීමත් තහනමට ලක් කරමින් පනතක් පවා ගෙන ඒමට කටයුතු කොට තිබේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක කමිටුවේ උපදෙස් මත මෙය සිදුවූ අතර එසේ ජාන වෙනස් කිරීමෙන් අනතුරුව මෙරටට ආනයනය කෙරෙන, චීස් වර්ග, බීට්, ඊස්ට්, සීනි, ධාන්‍ය වර්ග, තක්කාලි මෙන් ම එළවළු තෙල් වර්ග එහිදී විශේෂයෙන් අවධානයට ලක්කොට තිබිණි. ඒ අනුව එවැනි ආහාර විශේෂ තවදුරටත් ආනයනය කරන්නේ නම් එම ආහාර ජාන වෙනස් කළ ඒවා නොවන බවට සහතිකයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් එහිදී මතු කොට තිබිණි. ඒත් අද වෙනතුරුත් එය ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවක් දැනගැනීමට නැත. ඒ අනුව ලෝක මට්ටමින් නිෂ්පාදනය වන ජාන වෙනස් කළ ආහාර හඳුනා ගැනීමේ පැහැදිලි ක්‍රමවේදයක් අදටත් නැති බව කිව යුතුව තිබේ. ඒ නිසා ම සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා වන සමුළු අතරට මෙය ද මාතෘකාවක් විය යුතුම වේ.

විශේෂයෙන්ම අපේ සාම්ප්‍රදායික ආහාර රටාවට අයත් සමබල ආහාර වේල ආහාර සහ පෝෂණ විද්‍යාඥයින් පිළිගන්නේ ආරක්ෂාකාරී බෝගවලින් සකස් වූවක් ලෙසිනි. එමෙන් ම සෞඛ්‍යමය ආරක්ෂණයක් ලෙසින් ද ඊට විද්‍යාව පිළිගත් සහතිකයක් ද තිබේ. ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීම, ශරීර උණුසුම පාලනය කිරීම, හෘදය රෝග, දියවැඩියාව මර්දනය වීම අපේ සාම්ප්‍රදායික ආහාර වේල මැනැවින් ඉටුකළ බව පිළිගත් පෝෂණ විද්‍යා සහතික තිබියදීත් ජාතියක් වශයෙන් අප එය පිළිගන්නේ ද පිළිපදින්නේ ද යන්න සම්බන්ධයෙන් ඇත්තේ පැහැදිලිවම, අපැහැදිලිතාවකි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s