Lava When ‘middle earth’ flows out

7024684-volcano-wallpaper-hd.jpg

ටියැන් ටියෑන් නැගිටලා ගිහින් රූපවාහිනිය නිවල දැම්මා. ඔහු නරඹමින් හිටියෙ ලොව වටා ගිනිකඳු පිළිබඳ පර්යේෂණයේ යෙදුණු ප්‍රංස ජාතික ජෝඩුවක් පිළිබඳ වැඩ සටහනක්. ජපානයේ පර්යේෂණ චාරිකාවක නිරත වෙන අතරතුර ඔවුන් දෙදෙනා ම හදිසියේ ගලා ආ ලාවා ප්‍රවාහයකට යට වෙලා මිය යනවා. වැඩ සටහන ආරම්භ වුණේ මේ දෙපළ ජීවත්ව සිටියදී පැවසූ කතාවකින් කොටසක් තිරයේ දිස්වන්නට සැලැස්වීමෙන්.

“අපි ඉන්නෙ ගිනි කඳුත් එක්ක ප්‍රේමයෙන් බැඳිලා. ඒ රතුපාට ගිනියම් ප්‍රවාහය හරියට පෘථිවියේ හදවතින් ගලාගෙන යන රුධිරය වගේ. පෘථිවියේ ගැඹුරු අභ්‍යන්තරයට වෙන්න ජීවය කම්පනය වෙමින් සහ පිපිරෙමින් පවතිනවා. ඉතින් අපිත් කවදා හරි දවසක ඒ තුළ වැළලිලා ගියොත් අපට ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ප්‍රීති ප්‍රමෝදයක් වේවි.” වැඩ සටහන අවසානයේ දී ඔවුන් ගේ ඒ වචන යථාර්ථයක් බවට පත් වෙනවා. ඔවුන් දෙදෙනාම කැකෑරෙන ලේ වැනි ලාවා තුළ ගිලිලා මිය යනවා. (Shanghai Baby – චීන ලේඛිකා වෙයි. පරිවර්තනය – දෙවිඳු සෙනෙවිරත්න)

ගිනි කන්ද ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ Volcano යන නමිනි. මලලසේකර ශබ්ද කෝෂයට අනුව එහි සිංහල තේරුම “යමහල, ගිනිකන්ද, පුපුරා යා හැකි තත්ත්වයක්, යටපත් කරගත් ප්‍රචණ්ඩ හැඟීම්.” නම් වේ. කෙසේ වුව එම ඉංග්‍රීසි නම පසුබිමින් ඇත්තේ “වල්කන්ස්” නමින් එන ගින්නට අධිපති රෝම දෙවඟන යැයි ද පැවැසේ.

මුලින් කී රූපවාහිනි වැඩ සටහනේ ගිනිකඳු ගැන පර්යේෂණ කළ ප්‍රංස ජාතික යුවළ කැටියා ක්‍රාන්ට් සහ මොරිස් ක්‍රාන්ට් ය. ඔවුහු ගිනි කඳු ගැන පර්යේෂණ කළ තරමට ම ඒ අපූර්ව භූ සංසිද්ධිය සමඟ ප්‍රේමයෙන් ද බැඳී සිටියහ. දත්ත රැස්කර ගැනීමෙන් මෙන් ම ඒ අපූර්ව දර්ශන රූගත කරමින් ගිනිකඳු ඇසුරේ සමීප හැසිරීමක් ඇතිව සිටි බව කියැවේ. කෙසේ වුව අවසානයේ දී ජපානයේ දී ලාවා ප්‍රවාහයකට අසුවන ඔවුන්ගේ සිරුරුවත් සොයා ගැනීමට හැකි නො වී යැයි වාර්තා වී තිබේ.

article-2469204-18DD083E00000578-478_964x634.jpg

ගිනි කන්දක් පුපුරා යන්නේ වායු සහ වාෂ්පශීලි ද්‍රව්‍යවලින් සමන්විත දැඩි උෂ්ණත්වයක් මෙන් ම පීඩනයක් යටතේ පෘථිවි පෘෂ්ඨයට යටින් පිහිටි ද්‍රව පාෂාණයක් වන මැග්මා නිෂ්පාදනය වීමේ හේතුවෙනි.

එසේ පුපුරා යන ගිනි කඳු වර්ග කොට ඇත්තේ ඒවායේ හැඩය සහ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමෙනි. විවෘත වන ගිනි කන්දකින් ලාවා පිටවන ප්‍රමාණය, එහි ප්‍රබල බව ද මෙහි දී සැලකිල්ලට ගැනේ. නිදසුනක් ලෙස පුළුල් විවරයක් සහිතව වේගවත් පිටවීමකින් පුපුරා යන “පළිහ” ගිනි කඳුවල ලාවා අවට ප්‍රදේශය පුරා පැතිර යන්නේ පළිහක ආකාරයෙනි. එසේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර යාමට හේතුව එම ලාවා ඝනත්වයෙන් අඩු වීම නිසා බවට නිරීක්ෂණය කොට තිබේ.

ඒ හැරුණු කල වටකුරු ස්වභාවයකින් යුත් ගිනි කඳු විශේෂයක් ද වේ. ඇතැම් විට ඕවලාකාර හැඩය ද ගනියි. තනි විවරයක් සහිත මේ ගිනි කඳු බොහෝ විට එක් වරක් පුපුරා යෑමෙන් පසු නිහඬ වන ස්වභාවයක් දැකිය හැකි ය. අඟුරු කේතුක වශයෙන් හඳුනාගන්නා මේ ගිනි කඳු, විශාල ගිනි කඳුවල පසෙකින් ගලා එන ලාවා, බොර ආදිය ඝනීභවනය වීමෙන් ඒ අවට ම තැන්පත් වී නිර්මාණය වන බවට ද හඳුනාගෙන තිබේ.

ශතවර්ෂයක පමණ කාලයක් නිශ්ශබ්දව සිට ක්‍රමයෙන් සක්‍රීය වී ඇතැම් අවස්ථාවල දී මහද්වීපික තැටිවලට පවා බලපෑම් ඇති කරන ගිනි කඳු විශේෂය “සුපිරි ගිනි කඳු” ලෙසින් නම් කෙරේ. විශාල මුදුන් විවරයකින් මහ පො‍ළොවේ අභ්‍යන්තර උණුසුම පිටතට මුදා හැරෙන මේවායින් විශාල සල්ෆර් ප්‍රතිශතයක් වායුගෝලයට නිදහස් වේ. ඒ අනුව එකී ක්‍රියාකාරිත්වයන් ගෝලීය උෂ්ණත්වය සම්බන්ධයෙන් ද බලපෑම් කරන බවට හඳුනාගෙන තිබේ. ඇතැම් ප්‍රදේශ නො සිතූ විරූ ලෙසින් දීර්ඝ ශීත කාලගුණවලට ගොදුරු වන්නේ ඒ අනුව ය.

13043590_10154655518186416_8453594053184389569_n

ගිනි කන්දක ක්‍රියාකාරිත්වය යමහලක් හා සම කළ හැකි ය. එවැනි ස්වභාවික යමහලක් වන එය පොෙළාව අභ්‍යන්තරයෙන් ආරම්භ වී පෘථිවියේ මතු පිටට පැමිණීම පරිසරවේදීන්ට අනුව බිහිසුණු ම පාරිසරික විපර්යාසයක් වේ. එසේ අභ්‍යන්තරික පිටවීමක් වන මැග්මා නම් ඓන්ද්‍රීය ද්‍රව්‍ය මිශ්‍ර වූ උණුසුම් පාෂාණමය ද්‍රාවණය පො‍ළොව මතු පිට දී විටෙක සෙමින් ද තවත් විටෙක ප්‍රවේශම්කාරී ලෙසිනුත් වෙනත් අවස්ථාවක දී ප්‍රචණ්ඩ අයුරිනුත් ගලා යන්නේ ලාවා යන නමිනි. පොළොව මතුපිට ලාවා ගලා යාමේ ශෛල්‍යය එසේ විවිධත්වයකින් යුක්ත වන තරමට ම ගිනි කඳු පුපුරා යන ස්වභාවය තුළ ද වෙනස් හැඩතල තිබේ. උදාහරණයක් වශයෙන් අයිස්ලන්තයේ දී ගිනි කන්දක් පුපුරා යද්දී එක්වන ම මහා අළු දුම් ප්‍රවාහයකින් අහස වැසී යනු දැකිය හැකි ය. ඒ ආකාරයෙන් ඉහළ විහිදෙන මහ පොළවේ උෂ්ණත්වය අහසේ කි. මී. ගණනාවක් පුරා පැතිර යන බවට නිරීක්ෂණය කොට තිබේ.

පෘථිවියේ සැකැස්ම ගත් කල බාහිරින්ම පිහිටා ඇති ස්තරය හැඳින්වෙන්නේ පෘථිවි කබොල්ල වශයෙනි. එය ප්‍රධාන භූ තැටි නවයකින් සහ සුළු භූ තැටි රැසකින් සමන්විත බවට හඳුනාගෙන තිබේ. මේ භූ තැටි එකිනෙකට සම්බන්ධකම් පවත්වන ආකාරය ගැන ඇතැම් ලේඛකයකු පෙන්වා දී තිබුණේ ජිග්සෝ ප්‍රහේලිකාවකට සමාන කරමිනි. අධි තාප බලයක් සහිත පෘථිවි අභ්‍යන්තරයේ මෙම භූ තැටි පවතින්නේ මන්ද චලන පැවැත්මක් සහිතවය. එසේ බලන කල පෘථිවිය නම් පැවැත්ම ජීවමය හැසිරීමක් ය යනුවෙන් හඳුනාගැනීමේ වරදක් නො පෙනේ.

ගිනි කඳු පුපුරා යෑමක් නිර්මාණය වීම භූ තැටිවල යට කී ජෛවමය චලනය විසින් නිර්මාණය කරනු ලබන්නකි. මේ වන විටත් භූ විද්‍යාඥයින් විසින් ඊට අදාළව බොහෝ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව චලනයක් සහිත මේ භූ තැටි එක් අවස්ථාවක දී එකට ගැටීම් හෝ ඇතිල්ලීම් හමුවේ එක් තැටියක් තවත් තැටියක් යටතට පත් වන බව එසේ අනාවරණය කරගත් කරුණකි. ඒ ආකාරයට යටපත් වන භූ තැටිය විනාශ වෙමින් පෘථිවි අභ්‍යන්තරයට එකතු කිරීමක් සිදු කරයි. පසුව අප ගිනි කඳු විවර යැයි හඳුනාගන්නා පොළෝ මතුපිට ඇති සංවේදී ස්ථානයකින් ඉහළට මතුවන්නේ එසේ පෘථිවි අභ්‍යන්තරගතව සිදු වූ විනාශ වීම් හරහා නිර්මාණය වූ එකතු වීම් ය. ඒ එකතු වීම් මැග්මා නමින් හැඳින් වේ. ලාවා ලෙසින් පසුව ගලා යන්නේත් අර කියන ලද අභ්‍යන්තරගත විනාශ වීම් නිසා ඇති වූ එකතු වීම් ය.

volcanic-eruption-chile-desktop-background.jpg

සාගර පත්ලේ ද ගිනි කඳු පිපිරීම නම් සංසිද්ධිය ඇති වන බව අද වන විට පාසල් වියේ කුඩා දරුවන් පවා දන්නා කරුණක් වුණත් එය ක්‍රියාකාරී වන ආකාරය ඇතැම් විට වැඩිහිටියන් වුව නොදත් කරුණක් වේ. භූ විද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට සාගර පත්ලේ මෙවැනි පිපිරීම් හා සම්බන්ධ යමහල් ඉහළට මතු වන්නේ යෝධ දම්වැලක ආකෘතියකිනි. එසේ දම්වැල් ආකාරයකින් කාලාන්තරයක් තිස්සේ ඉහළට මතුවන මේ යමහල් පසු කාලීනව දූපත් නිර්මාණය කොට තිබේ. එසේ බලන විට අප වසන මේ පෘථිවියේ පැවැත්ම කොතරම් දිගු කාලයක් තිස්සේ සිදුවන ක්‍රියාවලියක් ද යන්නත්, ඊට සාපේක්ෂව මිනිසා යනු කොතරම් ක්ෂුද්‍ර පැවැත්මක් ඇති අයෙකු ද යන්න ගැනත් අමුතුවෙන් වටහා දිය යුතු නැතැයි සිතමි.

සාගර පත්ලේ පුපුරා යන එවැනි ගිනි කඳු එසේ දූපත් නිර්මාණය කරනවා හැරුණු කල අභ්‍යන්තරිකව මහා අගාධ ඇති කරන බව ද කිව යුතුව තිබේ. ලොව උසම කන්ද කුමක් දැයි ඇසුවොත් අපේ දැනුම අවබෝධය තුළ ලබා දෙන ඍජු සහ නිවැරැදිම පිළිතුර ලෙසින් ගැනෙන්නේ එවරස්ට් කන්ද යි. නමුත් ගිනි කඳු ස්වාභාවික කඳු ලෙසින් පිළිගැනෙන යම් දවසක් පැමිණියහොත්, ලොව උසම කන්ද බවට පත් වන්නේ සාගර පත්ලේ සිට පැන නැඟුණ හවායි හි මවුනාලෝ ගිනි කන්ද යි. කඳු පිහිටීමක් වශයෙන් ගත් කල සාගර පත්ලේ සිට එයි උස මීටර් 13677 කි. මේ අනුව මවුලානෝ ගිනි කන්ද හමුවේ එවරස්ට් කන්ද සම්බන්ධයෙන් ඔබට මෙතෙක් තිබූ ප්‍රතිරූපය ගැන නැවත සිතා බැලීමට සිදු වීම කනගාටුවට කරුණක් යැයි නො සිතමි. ලොව පවත්නා විශාලතම ක්‍රියාකාරී ගිනි කන්ද ද මවුලානෝ නම් මේ ගිනි කන්ද යි.

italy-sicily-stromboli-volcano-eruption.jpg

අද වන විට ක්‍රියාකාරී තත්ත්වයෙන් ලොව පුරා පවතින ගිනි කඳු සංඛ්‍යාව 1500ක් පමණ යැයි වාර්තා වේ. මේ අතර නිරන්තරයෙන් ම ගිනි කඳු සහ භූ කම්පන සිදුවන අඳුරු ආපදා බහුල කලාපයක් ද ලොව පවතී. මේ අඳුරු පරිසර කලාපය නම් කොට ඇත්තේ “පැසිෆික් අග්නි වළල්ල” යනුවෙනි. ලොව සිදුවන භූ කම්පන වලින් සියයට 90 ක්ම සිදු වන්නේ මේ භීම කලාපයේ දී යැයි සොයාගෙන ඇත. ඉනුත් ලොව ප්‍රබලම භූ කම්පනවලින් සියයට 80 ක් තරම් ප්‍රතිශතයක හිමිකාරත්වය ද මේ පැසිෆික් අග්නි වළල්ල සතු වේ. මෙහි ඇති ගිනි කඳු සංඛ්‍යාව 452 කි. තව ද ලොව සක්‍රීය සහ අක්‍රීය ගිනි කඳුවලින් සියයට 50 ක් ම හමු වෙන්නේ මේ කියන පැසිෆික් අග්නි කලාපයේ ය.

සක්‍රීය ගිනි කඳු පවතින පෘථිවි තලයේ ඇතැම් ඒවා නිදන තත්ත්වයෙන් ද හඳුනාගෙන තිබේ. ඒ අනුව ඒවා අතීතයේ දී ක්‍රියාකාරීව පැවැත අද දවසේ නින්දට ගිය යමහල් එසේ නින්දට ගියත් ඒ නින්ද සදාකාලික නින්දක් ලෙසින් නො ගත යුතු වේ. කොයි කාලයක හෝ නැවත අවදි වීමේ හැකියාවක් එම ගිනි කඳු අභ්‍යන්තරයේ පැවැතීම ඊට හේතුව යි. ඉතාලියේ විසූවියස් සහ ජපානයේ ෆුජියාමා යන ප්‍රකට ගිනි කඳු එසේ අතීතයේ දී බරපතළ විනාශයක් සිදු කොට අද දවසේ නින්දට ගොස් ඇති යමහල් වෙයි.

එහෙත් තුර්කියේ අරරත් මෙන් ම ආර්ජන්ටිනාවේ ඇකොන්කාගුවා යන ගිනි කඳු යළි කිසිදා අවදි නොවන අයුරින් සදාකාලික නින්දට වැටී ඇති බවට ප්‍රත්‍යක්ෂ කොටගෙන තිබේ. ඒ අනුව ඒවා මළ යමහල් වේ.

valcanorussia-2.jpg

යමහල් පුපුරා යන කල්හි ඉන් උපදින ලාවාවල අඩංගු සිලිකේට් ප්‍රමාණය අනුව ද ඒවා වර්ග කෙරේ. ඒ අනුව ලාවා පො‍ළොව මතුපිට දී කොතරම් වේගයෙන් ගලා යන්නේ ද, ඒවායේ ඝනත්වය කෙසේ ද, එකී ලාවා ඝන වීමට කොපමණ කාලයක් ගත වේ ද? යන ආකාරයට ද එකී වර්ග කිරීම් සිදුවන බව දැනගත යුතු වේ. උදාහරණයක් ලෙස ගතහොත්, ආම්ලික ලාවා සහිත යමහල්වලින් නිකුත් කෙරෙන සිලිකේට් ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් සියයට 50 ට අඩු ය. එම නිසා අම්ල සහිත ලාවාවල ඝන වීම ප්‍රමාදයකින් තොරව සිදු වේ. ඒ, ඒවා ඉක්මනින් සිසිල් වන නිසා ය. නිරීක්ෂණය කොට ඇති ආකාරයට ගිනි කන්දෙන් එළියට එන අවස්ථාවේ දීම වාගේ ඒවා ආම්ලික ලාවා සිසිල් වෙමින් ඝන වීමට පටන් ගනියි. එවැනි ගිනි කඳු වටා තියුණු අයුරින් සැදුණු බෑවුම් දැකිය හැක්කේ ද ඒ නිසා යැයි භූ විද්‍යාඥයෝ පවසති.

කෙසේ වෙතත් පොළොව අභ්‍යන්තරයේ ඇති මේ මැග්මා පොෙළාවේ සංවේදී ස්ථාන පුපුරුවා ගෙන මතුපිටට පැමිණීම සැම විට ම සිදු වන ක්‍රියාවලියක් යැයි මෙහිදී නොසිතිය යුතු ය. පෘථිවි අභ්‍යන්තරයේ ඇති පැල්මවල් දුර්වල පාෂාණයන්හි ඉඩ ඇති තැන් සොයා යමින් ඒවා තුළ ද මේ මැග්මා තැන්පත් වන බව නිරීක්ෂණය කොට තිබේ. එසේ තැන්පත් වන මේ මැග්මා හේතු කොට ගෙන නව භූ රූප නිර්මාණය වීම සිදුවන බව භූ විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබ තිබේ. කාල විපර්යාසවලට අනුව යමින් පොළොව මතුපිට පස් තට්ටුවල ඉවත් වීම හේතු කොට ගෙන අර කී භූ රූප තැන්පතු හමු වී තිබේ. භූ විද්‍යාඥයින් අක්‍රාන්ත යමහල් වශයෙන් හඳුනාගන්නේ එවැනි හමු වීම් ය.

ගිනි කඳු පුපුරා යෑම මානව ශිෂ්ටාචාරය පැත්තෙන් ගත් කල බරපතළ පාරිසරික ආපදාවක් බව ඇත්ත ය. එහෙත් පෘථිවියට සිය ජෛව පැවැත්ම වෙනුවෙන් එකී ක්‍රියාකාරිත්වය අවශ්‍යම ය. වෙනස් වීම, ප්‍රතිසංස්කරණය, ඇතිවීම මෙන් ම නැති වීම ජීවය යන විග්‍රහයට අයත් ය. යමහල් ක්‍රියාකාරිත්වය ද අපට ගත හැක්කේ පෘථිවියේ සමස්ත ජෛව ක්‍රියාවලියේ ම ප්‍රබල ප්‍රකාශනයක් හැටියට ය. ඊට එරෙහිව කිසිදු සංශෝධනයක් ඉදිරිපත් කිරීමට මිනිසාගේ තාක්ෂණයට මෙතෙක් හැකි වී නැත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s