Agrofuel is Not Successful Answer

sterling_fuel_tanks.jpg

පරිසර පද්ධති අර්බූදයකට ගෙන යන කෘෂි ඉන්ධන

“ළමයින් ගෑරුප්පුවෙන් අනුභව කරන්නේ පියවරුන් රේක්කයෙන් එකතු කළ දෑය.“ – උමෝනියාවේ කියමනකි.

ශාකමය මූලාශ්‍රයවලින් ඉන්ධන නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පසුගිය දශක දෙකක් පුරා ඇතිවූ ආන්දෝලනය අද වන විට ක්‍රමයෙන් නිශ්ශබ්ද වන තත්ත්වයක් දැකිය හැකිය. වෙන එකක් තියා ඒ වෙනුවෙන් භාවිතයට ගත් ‘ජෛව ඉන්ධන’ යන යෙදුම ද ඉල්ලා අස්කරගන්නා තැනකට කරුණු යෙදී තිබේ. ඒත් සමඟම මෙය හරිත ඉන්ධනයක් ලෙස හඳුන්වා දීම තුළ පවතින්නේ ලෝක ප්‍රජාව මුළා කිරීමක් ද යන චෝදනාව ද එල්ල වෙමින් පවතී. එය Agrofuel (කෘෂි ඉන්ධන) ලෙසින් හඳුන්වා දීම සුදුසු බවත් කෙසේ වුව මේ තත්ත්වය ඉදිරියට ගෙන යාම නතර කිරීම ඊටත් වඩා සුදුසු බවත් පෙන්වා දීමට වෘත්තීය පරිසර වේදීහු මේ වන විට ඉදිරිපත් වී සිටිති.

කෘෂි ඉන්ධන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඉන් එක් වර්ගයක් ජීව ඩීසල් ය. අනෙක එතනෝල්ය. ඉන් ජීව ඩීසල් වල මූලාශ්‍රය වන්නේ ෆාම් තෙල්, සෝයා, වල් එඬරු ඇට සහ සත්ත්ව මේදයි. හයි‍ඩ්‍රෝකාබන් ඩීසල් වෙනුවට මේවා යොදා ගැනෙන අතර, ඒවා තනිකර හෝ මිශ්‍ර කර යොදා ගැනීමට හැකියාවක් ඇතැයි පැවැසේ. අද ‘ඊ 30’ ඩීසල් නමින් අලෙවි කෙරෙන ඩීසල් ප්‍රභේදයේ සියයට 30ක්ම ජෛව ඩීසල් අන්තර්ගතය යන්න බොහෝ අය නො දන්නා කරුණක් වේ.fuel-saving-construction

එතනෝල් නිෂ්පාදනයේ දී අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නේ සුක්රෝස්වලින් පොහොසත් උක් පැණි සහ පැණි රස සෝගම් ය. ඒ හැරුණු කල ඉරිඟු, තිරිඟු, බාර්ලි, වැනි පිෂ්ඨය ධාන්‍ය වර්ග ද යොදාගැනෙයි. එමෙන් ම සෙලියුලෝස් හොඳින් අන්තර්ගත දැව සහ ඉවත දමන කෘෂි අවශේෂ ද එතනෝල් නිපදවීමේ දී උපයෝගී කොට ගැනුණත් ඒවා වාණිජ වශයෙන් සිදු කෙරෙන නිෂ්පාදනයන් සඳහා යොදා නොගැනෙයි.

කෘෂි ඉන්ධන යොදාගැනෙන්නේ ඛනිජ ඉන්ධනවලට විකල්පයක් වශයෙන් යැයි පෙන්වා දෙයි. එහෙත් කෘෂි ඉන්ධන භාවිතය ගැන දුටු සිහිනය ඛනිජ තෙල් භාවිතාවේ ඉතිහාසය තරමටම පැරැණි එකකි. අනෙක් අතට එය නිකම්ම සිහිනයක් නොව, බහු ජාතික ව්‍යාපාරික සමාගම් විසින් නොයෙකුත් අත්හදා බැලීම් ඔස්සේ දුටු ව්‍යාපාරික සිහිනයක් ය යන්න ද කිව යුතුව තිබේ.

ඔවුන් එහි දී ප්‍රචාරණය කළේ මූලික වශයෙන් ම මෙය පරිසරයට හිතවත් ඉන්ධනයක් ය යන කරුණයි. එමෙන් ම වේගයෙන් ඉහළ යන ඛනිජ තෙල් මිල හමුවේ මනා ප්‍රතිකර්මයක් ද බව යි. ඒ විතරක් නොවේ මඩ සෝදාගත් කල සුපිරි සුඛෝපභෝගී සමාජයට පිවිසීමට මේ නිසා ගොවීන්ට පුළුල් ප්‍රවේශයක් නිර්මාණය වන්නේ ය යනුවෙන් මේ සමාගම් විසින් පෙන්වා දෙනු ලැබීය.

3.jpg

කෙසේ වෙතත් කෘෂි ඉන්ධන භාවිතාව නිසා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් වායුව මුදා හැරීම අවම වන බවට සහතිකයක් ලබා දීමට අදටත් හැකියාවක් ලැබී නැත. ඒත් සමඟම ගෝලීය උණුසුම ඉහළ යෑමට කෘෂි ඉන්ධන වගා බිම් හේතු වී ඇති බව ද මේ වන විට සොයාගෙන ඇත. පොදුවේ ගත් කල ගෝලීය උණුසුම ඉහළ යෑමට අදාළව හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 14ක ප්‍රතිශතයක් කෘෂිකර්මයෙන් සැපයෙන්නේ ය යන්න බොහෝ අයගේ අවධානයට ලක් නොවූ කරුණක් වේ. ඉනුත් වැඩි ම බලපෑමක් සිදු කරන්නේ කෘෂි රසායන සහ රසායනික පෝර භාවිතය යි. විශාල වශයෙන් පසට එකතු කෙරෙන නයිට්‍රජන් පෝර හේතු කොටගෙන නයිට්‍රස් ඔක්සයිඩ් වායුව වායු ගෝලයට එකතු වීම ප්‍රසිද්ධ නොකළ සත්‍යයකි. මේ හැරුණු කල වගා කටයුතු සඳහා සීමාවකින් තොරව වනාන්තර එළි පෙහෙලි කිරීම, ඒකීය වගා කටයුතු පදනම් කරගත් ඉඩම් භාවිතය ද සියයට 18ක ප්‍රතිශතයකින් ගෝලීය උෂ්ණත්වයට දායකත්වය සපයමින් තිබේ.

ප්‍රවාහනය මූලික කරගත් ඉන්ධන භාවිතයට විකල්පයක් ලෙස කෘෂි ඉන්ධන භාවිතයට ගැනීමේ හැකියාව ද මේ වන විට පරාජයට පත්ව ඇති බව පැහැදිලි ය. ඒ නිසා අනාගත ඉන්ධන අවශ්‍යතාවය යම් ප්‍රමාණයකින් විසඳන්නට මෙමඟින් පුළුවන්කමක් තිබුණත් එය සාර්ථක විසඳුමක් වශයෙන් පිළිගැනීමට ක්ෂේත්‍රයේ විද්වත්හු කැමැති නොවෙති. ඊට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මේ නිසා වේගවත් වීමට නියමිත ලෝක වනාන්තර විනාශය යි. එමෙන් ම ඒ නිසා ධාන්‍යවලට ඇතිවන අධි ඉල්ලුම විසින් ලොව පුරා ආහාර අනාරක්ෂිත බවක් ඇති වීමට ඇති හැකියාව යි. ඒ අනුව පොදුවේ ගත් කල එය මනුෂ්‍යයන්ගේ ජීවත්වීමේ අයිතිය නිර්දය ලෙස පැහැර ගැනීමක් හැටියට ද නිර්වචනය කොට තිබේ.

ලෝක කෘෂිකර්මයට අදාළව ගත් කල මානව ඉතිහාසයේ මුල සිටම පැවතුණේ ඉංග්‍රීසි F අකුරු තුනකි. ඒ food (මනුෂ්‍ය ආහාර), feed (සත්ත්ව ආහාර) සහ fiber (තන්තු ශාක) නම් ත්‍රිත්වයයි. ඒ අතරට බලහත්කාරයෙන් එක් කළ fuel(ඉන්ධන) ගැන මේ වන විට මූලික හැඳින්වීමක් සිදු කොට තිබේ. ඉන්ධන බෝග වගාව දැනට සිදු කෙරෙන ආකාරයට මිශ්‍ර බෝග වගාවක් නො වේ. එය ඒකීය භෝග වගාවකි. ඒකීය භෝග වගා බිම් පහසුවෙන් ම සෝදා පාළුවට ලක් වේ; භූගත සාරවත් බව ඒ නිසා අවම වේ. ජලය හිඟ වීම මෙන් ම ජලය දූෂණය වීම ද එක විට ම සිදු වේ. ඒ හැරුණු කල අද දවසේ, සෝයා, වල් එඬරු, උක්, තිරිඟු, ඉරිඟු, කැනෝලා කෘෂි ඉන්ධන වශයෙන් යොදාගැනෙන අතර හෙට දවසේ තෘණ වර්ග මතු නොව, ඇල්ගීවලින් පවා කෘෂි ඉන්ධන නිපදවන්නට යොමු වන තත්ත්වයක් නොව කෘෂි විද්‍යාඥයන් පවා මේ තත්ත්වය අනුමත නො කරන්නේ එය බරපතළ අන්දමේ පාරිසරික සුරා කෑමකට අත වැනීමක් විය හැකි යැයි පෙන්වා දෙමිනි.

the-invisible-fuel-is-a-natural-gas-car-a-good-way-to-go-green-1000x634.jpg

 

අනෙත් අතට කෘෂි ඉන්ධන වගාව වාණිජ වගා ව්‍යාපෘතියක් වශයෙන් ද පවතින්නේ අසාර්ථක තැනකය, යන්න මේ වන විටත් සනාථ වූ තත්ත්වයක් වේ. අද්‍යතන සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන අන්දමට ලොව පුරා ඇති සියලු ගොවි බිම් ප්‍රයෝජනයට ගනිමින් ඉහළම පලදාවක් සහිත කෘෂි ඉන්ධන බෝග වගා කළත්, ඉන් ලබාගත හැකි කෘෂි ඉන්ධන ප්‍රමාණවත් වන්නේ අද ලෝකය ඉල්ලා සිටින සමස්ත ඉන්ධන ප්‍රතිශතයෙන් සියයට 20ක් තරම් අවම තත්ත්වයකටය. (Plants at the Pump) ආර්ථික සහ‍යෝගීත්වය සහ සංවර්ධන සංවිධානය (OECD) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් දැක්වෙන්නේ කෘෂි ඉන්ධන සියයට 10ක් වූ අවම ප්‍රතිශතයකින් ප්‍රවාහන කටයුතුවලට යොදා ගැනීමට නම් ලෝකය පුරා ඇති ගොවි බිම්වලින් සියයට 70කටත් වැඩි ඉඩම් ප්‍රමාණයක කෘෂි ඉන්ධන බෝග වගා කළ යුතුව ඇති බවයි.

කෘෂි ඉන්ධන භාවිතය සහ එහි ව්‍යාප්තය සම්බන්ධ සංවාදය අද වන විට ඇමෙරිකානු සෙනෙට් සභාව තුළත්, යුරෝපීය පාර්ලිමේන්තුවේත් එතැන් සිට දකුණු ඇමෙරිකානු සහ දකුණු ආසියානු වනාන්තර සීමා දක්වාත් සංවාදයටත්, විරෝධයටත්, ආක්‍රමණයටත් ලක් වූ මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඒ ආකාරයේ පසුබිමක් තුළ ය. ඒ අනුව කෘෂි ඉන්ධන වගාව මේ වන විට පෞද්ගලික ආයෝජනය මහජන අවධානය නො අඩුව දිනා ගනිමින් පවතින්නක් බවට පත්ව තිබේ. මේ වන විටත් කෘෂි ඉන්ධන වගා ව්‍යාපෘති ඇති කළ රටවලින් ඊට එරෙහිව විරෝධයන් මතු වෙමින් පවතින බවත්, ඒ නිසා ඇති වී තිබෙන පාරිසරික ව්‍යසන හමුවේ එසේ නැඟී එන මහජන විරෝධතාවන් නිසා එය තවදුරටත් ඉදිරියට ගෙන යා නො හැකි තත්ත්වයක් ගොඩ නැ‍ඟෙමින් ඇති බවටත් හඳුනාගෙන තිබේ.

ඉහත තත්ත්වය වඩාත් වැඩි දියුණු වීමට කෘෂි ඉන්ධන පරිසර හිතකාමී, කාර්යක්ෂම ඉන්ධනයක් ය යන පෙන්වා දීම මිථ්‍යාවක්යැයි හෙළිදරවු වීම ද හේතු වී තිබේ. ඒ අනුව අද දවසේ එය පරිසර හිතකාමී ඉන්ධනයක් ය යන්න ප්‍රතික්ෂේප වී තිබේ. තව ද කාර්යක්ෂමතාව අතින් ද එය පවතින්නේ ද පහළ තැනකය. ඒ අනුව මේ වන විටත් ඊට අදාළව සිදු කොට ඇති ආයෝජන ඒ හරහා බලාපොරොත්තු වූ ප්‍රතිලාභ ගණනය කිරීම් ක්‍රමයෙන් බිඳ වැටෙන්නට පටන්ගෙන තිබේ.

ඇමෙරිකානු රජයේ තොරතුරු හා දත්තවලට අනුව 2003 – 2030 අතර කාල වකවානුව තුළ ගෝලීය ඉන්ධන භාවිතාව වැඩි වීම ප්‍රතිශතයක් වශයෙන් සියයට 71ක් වීමට නියමිතය. ඉනුත් වැඩි වශයෙන්ම වැය වෙතැයි සිතන්නේ තෙල්, ගල් අඟුරු ස්වාභාවික වායුවයි. එයට ප්‍රතිකර්මයක් වශයෙන් යෝජනා වී ඇති පුනර්ජනනීය සියලු බලශක්ති ප්‍රභවයන් එක්රැස් කොට ගත්තත්, ඉන් සැපයෙන්නේ ගෝලීය ඉන්ධන අවශ්‍යතාවෙන් සියයට 9ක් තරම් ප්‍රතිශතයක් යැයි හඳුනාගෙන තිබේ. එවැනි හඳුනා ගැනීමක් තුළ ප්‍රවාහනය වෙනුවෙන් කෘෂි ඉන්ධන කෙරෙහි විශාල වශයෙන් බලාපොරොත්තු තැබීම සහ මහත් වූ ආයෝජනයක් ලෙසින් ගැනීම නිශ්චල කටයුත්තක් බවට පත් වෙමින් තිබේ. ඇතැම් විවේචනයකට අනුව එය භයානක ස්වයං මෝහනයක් වී තිබේ.

කෘෂි ඉන්ධන වගාව ලෝක ජල පරිභෝජනයට ද බලවත් තර්ජනයක් එල්ල කොට තිබේ. විශේෂයෙන් ම අධික ජල පරිභෝජනයක් එය ඉල්ලා සිටින අතර ඊට සාපේක්ෂව බරපතළ ජල දූෂණයක් ද ඒ නිසා සිදු වන බවට ඊට අදාළව සිදු කරන ලද නිරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ලොව බොහෝ රටවල් පානීය ජල අර්බුදයන්ට මුහුණ පා ඇති තත්ත්වයක් තුළ මෙය බරපතළ කරුණක් බවට ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය පවා පිළිගෙන තිබේ. ඔවුන්ගේ 2006 මාර්තු මස වාර්තාව කෘෂි ඉන්ධන වගාව සම්බන්ධයෙන් හටගෙන ඇති මේ හදිසිය හේතු කොටගෙන පවත්වන ජල අර්බුදය වඩාත් උග්‍ර අතට හැරෙනු ඇතැයි අනතුරු අඟවා තිබේ. උදාහරණයක් හැටියට ඉන්දියාව සිය කෘෂි ඉන්ධන වගාවන් (උක්) සඳහා මුළුමනින් ම වාගේ ප්‍රයෝජනයට ගෙන ඇත්තේ එරට ගොවීන්ගේ වාරි ජලය යි. චීනය සිය ප්‍රධාන කෘෂි ඉන්ධන වගාව වශයෙන් තෝරාගෙන ඇත්තේ තිරිඟුය.

ඒ සඳහා අවශ්‍ය වන ජල අවශ්‍යතාවෙන් සියයට 45ක්ම වාරි ජලයෙන් සපයා ගෙන ඇත. මෙසේ ආහාර කෘෂිකර්මය වෙනුවෙන් වෙන් කොට තබා ඇති වාරි ජලය මෙවැනි මහා පරිමාණ ඉන්ධන වගාවක් වෙනුවෙන් යොදාගැනීම තුළ ම අනාගත ජල අර්බුදයත්, වර්තමානයේ ජල දූෂණයත් එකවර නිර්මාණය වී ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති. එය ජල පිපාසාවකින් පෙළීම ද හේතු කොට ගෙන ය.

නිදසුනක් හැටිය උක් ශාකයේ මුල මීටරයකටත් දිගට වැඩෙමින් පොළොව තුළට ම ගමන් කරමින් වසර පුරා අධික ජල පරිභෝජනයක් සිදු කරයි. මේ ආකාරයට හැසිරෙන මහා උක් වගා බිම් ප්‍රදේශය පුරා ඇති භූගත ජලයට කොතරම් හානිකර බලපෑමක් කරනවා ද යන්නත්, ඒ අනුව ස්වභාවික ජල මූලාශ්‍රයන්ට කොතරම් අහිතකර බලපෑමක් සිදු වන්නේ ද යන්නත් සිතා ගැනීම අපහසු නොවනු ඇත.

එමෙන් ම මෙවැනි වගා බිම් සඳහා මහා පරමාණයෙන් යොදන අධි සාන්ද්‍රතාවක් සහිත රසායනික පෝර සහ පළිබෝධ නාශක ද ලෝකය හමුවේ ඇති කොට තිබෙන්නේ මාරාන්තික පැවැත්මකි. අධික අස්වැන්නක් ඉක්මනින් ලබාගැනීම විනා පාරිසරික සුරක්ෂාව පිළිබඳ ඉලක්ක මේ වගාකරුවන්ට නැත. එහෙත් ඒ නිසාම මෙවැනි ආර්ථික මංකොල්ලකාරී ව්‍යාපෘති හමුවේ පාරිසරික ඝාතන සිදු කිරීමට ඉඩ නොදිය යුතු ය යන උද්ඝෝෂණයත් සමඟ ලෝක පරිසරවේදීහු අවදි වෙමින් සිටිති. එහෙත් එය ඒ උදවියට පමණක් එය පවරා නිහඬ මුවින් විසීමට ලෝක ප්‍රජාව සූදානම් නොවිය යුතු ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s