ජීවත් වීමේ සාහිත්‍යය

under-8-football-tournaments.jpg

ජීවත් වීම යැයි කියන්නේ මිනිසකුට මෙලොව පැවැතිය හැකි විශිෂ්ටතම අත්දැකීම විය යුතු ය. ඊට මෙහා දෙයක් නොවිය යුතුය. කොයි ආකාරයෙන්වත් අවාසනාවන්ත අත්දැකීමක් නම් නො විය යුතුමය. අවාසනාව නම් දෙයක් ඇතැයි පිළිගැනීම තුළම අවාසනාවන්තයකු නිර්මාණය වන බවත් ප්‍රධානම කරුණ එය ප්‍රතික්ෂේප කරන මානසිකත්වයක සිටීම ය යන්නක් අවධාරණය කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා දෙපා ලදිමි යනු යහපත් කියැවීමක් වේ.

“මිනිසාගේ අවසානය ළඟා වී ඇතැයි පිළිගැනීමට මා සූදානම් නැත. මේ සියල්ල විඳ දරා ගැනීමට මිනිසාට ආත්ම ශක්තියක් තිබිය යුතුය. ලේඛකයාගේ යුතුකම වාර්තා කිරීම පමණක් නොවේ. ඔහු මිනිස් ජීවිතයේ පැවැත්මට උපකාර කළ යුතුය. අතීතයේ සිදු ව ඇත්තේ එයයි.” එසේ පවසන ඇමෙරිකානු ලේඛක විලියම් ෆෝක්නර් මිනිස් ජීවිතය විනිවිද දැකීමට සමත් ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවකු යැයි සේනාරත්න වීරසිංහ පවසයි. බෙංගාලි ලේඛක මෝති නන්දිගේ STRIKER නම් නවකතාව “දෙපා ලදිමි” නමින් සිංහලයට පරිවර්තනය කරන ඔහු ඊට සුදුසු ම කියමනක් ලෙසින් යථොක්ත පාඨය තෝරා ගැනීමේ කිසිදු වරදක් නැතැයි අපට හැඟුණේ කෘතිය කියවා අවසන් කිරීමෙන් පසු ව ය. දෙපා ලදිමි මූලික වශයෙන් සාහිත්‍යයික කියවීමක් වුණත් අවසාන විග්‍රහයේදී ඒ වනාහි ජීවිතය කියවා ගැනීමක් වේ.

කෙසේ වෙතත් සාහිත්‍යයික කියවීමක් වශයෙන් ගත් කල දෙපා ලදිමි කෙනෙකුට, සමාජ දේශපාලන අත්දැකීමක් වශයෙන් ද කියවිය හැකි ය. තවත් අයෙකුට එය සංවේදී මානුෂීය අත්දැකීමක් වෙනවාට සැක නැත. ඒ සියල්ල අත්හැර දැමූවත් එය අපූරු කතා රසයක් ඇති නවකතාවක් යැයි කීමට බොහෝ අය ඉදිරිපත් වෙනු ඇත. ජීවත්වීමේ ප්‍රහර්ෂය ප්‍රතික්ෂේප නො කරන කුමන තත්ත්වයක් යටතේ වුව ජීවත්වීම පිළිබඳ බලාපොරොත්තු අත්නොහරින අත්දැකීමක් සාහිත්‍යයික වශයෙන් කියවීම අපූරු මෙන්ම විශිෂ්ටතම ව්‍යායාමයක් වේ. සිය පෙරවදනින් විලියම් ෆෝක්නර්ගේ පුළුල් අර්ථවත් කියමනක් උපුටා දක්වන පරිවර්තක එයින් කෘතියට ලබා දෙන්නේ නිවැරැදි ආරම්භයක් බව පාඨකයාගේ ද තීරණයක් වන්නේ ඒ නිසා ය.

ඒ අනුව ජීවත් වීම යැයි කියන්නේ මිනිසකුට මෙලොව පැවැතිය හැකි විශිෂ්ටතම අත්දැකීම විය යුතු ය. ඊට මෙහා දෙයක් නොවිය යුතුය. කොයි ආකාරයෙන්වත් අවාසනාවන්ත අත්දැකීමක් නම් නො විය යුතුමය. අවාසනාව නම් දෙයක් ඇතැයි පිළිගැනීම තුළම අවාසනාවන්තයකු නිර්මාණය වන බවත් ප්‍රධානම කරුණ එය ප්‍රතික්ෂේප කරන මානසිකත්වයක සිටීම ය යන්නක් අවධාරණය කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා දෙපා ලදිමි යනු යහපත් කියැවීමක් වේ. තමන් සමඟ එකට පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන දුප්පත් “රතන්” ගේ කෙඳිරිලි දුක් පාපොච්චාරණය ප්‍රෙසන් වෙතින් ඉවතට ගලා යන්නේ ඒ නිසා විය යුතු ය.

striker.jpg

“ඔයා ගෝල දිනාගන්ඩ ඕනෑ. පස්සෙ ලොකු ක්ලබ් එකකට බැ‍ඳෙන්ඩ ඕනෑ. ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්ඩ ඕනෑ. ගෙදර අය බඩගින්නේ සිටිනවා කියලා තමන් බඩගින්නේ නොඉඳ ඔවුන්ගේ කොටසත් ඩැහැගෙන ගිල දමන්ඩ ඕනෑ. අපි වාගේ දුප්පත් මිනිස්සුන්ට ඉදිරියට යන්ඩ ඕනෑ නම් ටිකක් දරුණු වෙන්ඩ ඕනෑ. කරුණාව, මුදිතාව තමයි බලාපොරොත්තුවේ සතුරෝ.” (60 පිටුව)

මිනිසකුට දුප්පත්කමෙන් උගත හැක්කේ කුමක් ද? අවාසනාවන්තයකුගේ අත්දැකීම් වනාහි නිවී ගිය තරු එළියක් වැනිය. රතන් ගේ චරිතය අපට හඳුනාගන්න සිදු වන්නේ ද ඊට සමාන ආකාරයකිනි.

හර්ෂදා යනුවෙන් ද ‘දෙපා ලදිමි’හි සැලකිය යුතු චරිතයක් වෙසෙයි. එහෙත් හර්ෂදා යනු පාඨකයා වෙනුවෙන් කළ චරිත නිරූපණයකට වඩා ප්‍රධාන චරිතය වන ප්‍රෙසන් ව මතු කර දීමට සිදු කළ පසුබිම් චරිතයක් යැයි සිතිය හැකි වේ. කෘතිය අවසන් වන තුරුම ඒ චරිතය කළු ද සුදු ද කියාවත් දැනගැනීමට අවස්ථාවක් පාඨකයාට හිමි නොවේ. එහෙත් සැම විටම කතා නායකයාට ලබා දෙන ධෛර්ය සම්පන්න වදන් හරහා මතුවන හර්ෂදා යනු කොයි ආකාරයෙන්වත් දුර්වල පැවැත්මක් නොවේ. ඒ අනුව කෘතියේ ශක්තිය රැඳී පවතින්නා වූ මර්මස්ථානයක් වශයෙන් හර්ෂදාව නම් කිරීමෙන් ඔහුට හෝ කෘතියට කිසිදු දොසක් හිමි නොවේ.

“ප්‍රෙසන්, තේරුම් ගන්ඩ මේ තමයි ඔබ ඉදිරියේ තියෙන අභියෝගය. මේ අභියෝගෙ බාර ගන්නව ද නැද්ද යන එක ගැන ඔබට මිස වෙන කාටවත් විසඳුමක් දිය නො හැකි යි.” (66 පිටුව) හර්ෂදාගේ දෙසුම අවසානයේ තමන්ගේ නහරගත රුධිරය වේගයෙන් හඹාගෙන දිව යන්නාක් මෙන් දැනුණේ යැයි ප්‍රෙසන් කියයි. හර්ෂදා පැවසු ඇතැම් දේ ඔහු මහත් භක්තියෙන් මෙන්ම ශක්තියෙන් නැවත නැවත තමන්ට ම ඇසෙන්න පවසා ගන්නට වූයේ ය. ඒ පාඨකයාට ද ඒ ශක්තිය සහ ධෛර්යය ලබා දීම කතුවරයාගේ අභිලාෂය වූ බැවිනි.

“මුල් කුණු වෙන්න පටන් ගත්තම ඔබ සටන් කොට හමාරයි. මුල් තමයි ඔබේ චරිතය. අභියෝග… මිනිසා ඉදිරියේ නොයෙකුත් ස්වරූපයෙන් අභියෝග මතු වෙනවා.” (69 පිටුව)

motinandi-dec3.jpg

 

නිලීමා ද ප්‍රෙසන්ට ජීවිතය කියා දෙන චරිතයක් බවට පත්වී සිටියි. එතැනදී හර්ෂදාට සාපේක්ෂව චරිත නිරූපණයක් වශයෙන් ද ඇය ඉදිරියෙන් සිටියි. ප්‍රෙසන් හා සමානව ම ඇය පාඨකයා ඉදිරියේ ස්ව අනන්‍යතාවක් ඇති ව හැසිරෙයි; ඒ අතර කතා නායකයාව ද නැගිටුවා තබයි.

“ප්‍රෙසන්, අභියෝගවලට මුහුණ දෙන්ඩ බැරි මිනිහාට කවදාවත්ම ඉදිරියට යන්ඩ හම්බ වෙන්නෙ නැහැ. ප්‍රෙසන්, තමන්ගේ හැකියාවන් අත්දැක නොබලා දියුණු වෙන්ඩ බැහැ. ඉගෙන ගන්ඩ බැහැ. සාර්ථක මිනිසුන් වෙන්ඩ පුළුවන්කමක් නැහැ.”

“හැකියාව ඔයාට තියෙනවා. ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්ඩ නම් ඔබ හොඳ ක්‍රීඩකයෙක් වෙන්ඩ ඕනෑ. අනුන්ගේ රූකඩයක් හැටියට ඉන්දියානු ටීම් එකට සෙල්ලම් කරනවාට වඩා හොඳයි මහන්සි වෙලා හොඳ ක්‍රීඩකයෙක් වෙන එක.” (71 – 72 පිටු)

එවැනි පසුබිමක ඇවිද එන ප්‍රෙසන් අවසානයේ දී තමන්ට තමන්වම නිදර්ශනයක් කර ගැනීමේ භූමියට පැමිණෙයි. ඔහු සිය ශක්තිය අවදි වන සැටි හඳුනා ගනියි. බොහෝ සීමාවන්හි ඇති නිසරු බව දියාරු බව හොඳින් අවබෝධ කරගන්නා ඔහුට අවසානයේ දී තමන් තුළින් ම නැඟී එන ඒ ශක්තිමත් හඬ අසන්නට ලැබෙයි. කෘතියේ උච්චතම අවස්ථාව තිබෙන්නේ එතැනය. එසේම ඔහු, ඔහුටම සවන් දෙන්නට සූදානම් වී සිටියි. මේ ආකාරයට පාපන්දු ක්‍රීඩාවෙන් දීප්තිමත් අනාගතයක් ඉල්ලා සිටින ප්‍රෙසන්ව කතුවරයා විසින් ඉස්මතු කොට දක්වනු ලබන්නේ එසේ නැත්නම් ඒ වෙනුවෙන් ඔහුට ධෛර්යය සහ ශක්තිය එකතු කරන්නේ ඉතා සියුම් අයුරිනි. එමෙන්ම අපූරු කතා රසයකිනි.1d1bc1f4-b788-428a-af1c-d277a89656a1

“මම ඊයේ රෑ පුදුමාකාර සිහිනයක් දුටුවෙමි…” යි කියමින් ආරම්භ කෙරෙන කතාව බොහෝ දුක් කම්කටොලු, ඇද වැටීම්, නින්දාවන් කලාතුරකින් ලැබෙන ජයග්‍රහණ හරහා ඉදිරියට ඇදී යන්නේ කතන්දරයක් කියන්න කතුවරයාගේ ඇති සමත්කම මොනවට පෙන්වා දෙමිනි. ප්‍රෙසන් තුළින් මතුවන හඬ එය වඩාත් තීව්‍ර තැනකට ගෙන යයි.

“ප්‍රෙසන් ඔබට අහිමි වූ දෙයක් නැත. ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට තවම කල් තිබේ. වහාම යන්න. ගොස් පුහුණු වන්න. මහන්සි ‍වන්න. ඔබ මෝඩයෙකු වූවා යැයි සිතන්ට එපා. ගෞරව ප්‍රශංසා ලැබෙන්නේ ජාතික කණ්ඩායමක සාමාජිකයෙකු වීම නිසා නෙවෙයි. සැබෑ හැකියාව නිසායි. එය හොඳින් මතක තබාගන්න.” (87 පිටුව)

ඒ දුෂ්කර වූත්, කනගාටුදායක වූත්, එහෙත් කිසි විටෙක අත් නොහැර අරගලකාරී ලෙසින් ඉදිරියට ගෙන ගියා වූත් ජීවිතයක් අපූර්ව ආඛ්‍යානයක් බවට පත් වන්නේ කිසිදු ආයාසයකින් තොරවය. දෙපා ලදිමි කතාවක් වශයෙන් අවසන් වන්නේ කතා නායකයාගේ ජයග්‍රහණයකින් බව ඇත්තය. එහෙත් ජය පසුබිමේ ඇති බොහෝ දුක් සහිත විඳ දරා ගැනීම් සිහිපත් වන විට කෙනෙකුගේ සිතකට ඇතුළු විය හැක්කේ හිස් ජය ගොසක මහා ශබ්දය නොවේ. ඒ ශබ්ද සුළඟින් ගසාගෙන යද්දී නිහඬ බරැති හැඟීමක් අවසාන වශයෙනුත් තීරණාත්මක ලෙසින් එවැන්නෙකුගේ සිතක් අභ්‍යන්තරයේ රැ‍ඳෙන්නේය.

“මලින් පිරි ආරුක්කු අතරින් මල් වැට අද්දරින් මම සිට ගතිමි. එක දිගට රතිඤ්ඤා හා මල් වෙඩි පුපුරන්ට පටන් ගත්තේය. ඉන් නිකුත් වෙන ආලෝකයෙන් රැස්ව සිටි ජනයාගේ මුහුණු බැබළෙන හැටි මට පෙනිණි. ඒ මුහුණු අතර එක් මුහුණක නළල මත වූ සලකුණක් කාන්තිමත්ව ලෙසින් බැබ‍ළුණේය. ඒ වූකලී ශ්‍රේෂ්ඨත්වයේ සංකේතයයි.” (144 පිටුව)

හර්ෂදා හමු වූ කලින් අවස්ථාවක ප්‍රෙසන්ට සිහිපත් වූ අර්නස්ට් හෙමිංවේගේ ප්‍රකට කියමන මෙහි දී මට සිහිපත් වේ.

“මිනිසා පරාජය කළ හැකි ය. එහෙත් විනාශ කළ නොහැකි ය.”

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s