‘වීසා නැතිව දරු ප්‍රසූතියට ශ්‍රී ලංකාවට එන පක්ෂියෝ

BIR015-00107_hr.ngsversion.1458043851116.adapt.885.1.jpg

ඔබ ‍මන්නාරම් ගොස් ඇති බවට සැකයක් නැත‍. නිතර එහි යන එන අයෙකු නම් මන්නාරම ගැන අලුතෙන් දැනගන්නට ඇත්තේ කුමක් දැයි සිතන්නටත් පුළුවන. එහෙත් ඇතැම් විට ඔබ කොහෙත් ම නොදන්නවා විය හැකි සුන්දර ආගමනයක් මේ දිනවල මන්නාරම ප්‍රදේශයේ සිදු වෙමින් තිබේ. පොදුවේ ගත් කල මුළු ආසියාකරයේ ම පක්ෂීන් පැමිණෙන පක්ෂි නිවාස භූමියක් ලෙස මන්නාරම ගැන දන්නවුන් අල්පය. එසේ පැමිණෙන ඔවුහු සංක්‍රමණික පක්ෂීහු වෙති.

නැ‍ෙඟනහිර පසින් මැන්චුරියාව දක්වාත් බටහිරින් කළු මුහුද දක්වාත්, සයිබීරියාවේ ආක්ටික් සීමා‍ව කරාත්, දකුණු දෙසින් ඉන්දියාව හමුවන තුරුත් පැතිර ගිය ප්‍රදේශයක වෙසෙන්නා  වූ සංක්‍රමණික පක්ෂීහු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති. එහෙත් ලංකාවේ සෑම තැනකටම නොවේ. මන්නාරම ඉන් එක් ස්ථානයකි. ඒ හැරුණු කල ශ්‍රී ලංකාවේ දක්ෂිණ කලාපය කරා යන සංක්‍රමණිකයන් අතරමඟ නැවතුම් බිමක් වශයෙන් සලකා මේ ප්‍රදේශයේ රැ‍ෙඳන බවක් ද හඳුනාගෙන තිබේ. එසේ කෙටි කලක්, ඔවුන් මන්නාරම් ප්‍රදේශයේ රැඳී එහි සැරි සරමින් සිටින අයුරු මේ දිනවලදී දැනගත හැකි ය.

නොගැඹුරු ජල පරිසරයක් ඇති එමෙන් ම වැලි සහ මඩ තැනිතලා, වඩදිය මඩබිම්, කලපු, නොගැඹුරු සාගර කලාප, වැලි දූපත්, සාගර තෘණ බිම්, කරදිය වගුරු, කඩොලාන, සහිත පරිසර විවිධත්වයක් සහිත වන්කාලෙයි ප්‍රදේශය අදටත් සැලකෙන්නේ ජලාශ්‍රිත කුරුල්ලන්ටම වෙන් වූ පාරිසරික රජ දහනක් ලෙසිනි. අරමුලින් පරිසර පද්ධතිවලට අමතරව වැලි කඳු, ශුෂ්ක කලාපීය කටු පඳුරු බිම්, ස්වාභාවික පොකුණු හා වැව් ද ඒ ජලචර කුරුලු භූමිය වැඩිදුරටත් පොහොසත් කොට තිබේ. එම පරිසර පද්ධති ඇසුරේ සත්ත්ව හා ශාක ආහාර බහුල බවත්, මනුෂ්‍ය ජනාවාසකරණය ව්‍යාප්ත නොවූ පසු බිමකත් සාංක්‍රමණික ජලචර සියොත්හු ආරක්ෂාකාරී පැවැත්මක් ද පෝෂණීය ආහාර වේලක් මේ කලාපයේ දී අත්කරගෙන සිටිති.

shilohvost.jpg

ලොව පුරා වෙසෙන සාංක්‍රමණික පක්ෂීන් පියාසර මං කිහිපයක් ඔස්සේ සිය සංක්‍රමණය සිදු කරන බවට හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාව ගමනාන්තය ‍වූ මධ්‍යම – දකුණු ආසියා පියාසර මඟ ඉන් එකකි. සිය නිජ බිම්වලට ශීත කාලය පැමිණෙන බව දැනුණ තැන් සිට මේ මඟ ඔස්සේ අක්ෂාංශ සීමා අතරේ සාංක්‍රමණිකයෝ දකුණ දෙස බලා ගමන් ආරම්භ කරති. මේ ‍ම‍ඟෙහි ගමන් කරන එවැනි බොහෝ සංක්‍රමණික පක්ෂීන් ශ්‍රී ලංකාව හමු වූ විට දී තවදුර පියාඹා යාම අත්හැර මෙහි නවතින අයුරු ද නිරීක්ෂණය කොට තිබේ. මන්නාරමට ආසියානු කලාපයේ බොහා් පක්ෂීන් පැමිණෙන බව අප ඉහතින් පැවසූ මේ කරුණු ද සැලකිල්ලට ගැනීමෙනි.

ලොව පුරා වෙසෙන එවැනි පක්ෂීන් අදටත් ලංකාව සුන්දර නවාතැන් පොළක් වශයෙන් සලකන බවක් පක්ෂි නිරීක්ෂකයින්ගේ වාර්තා සැලකිල්ලට ගැනීමේ දී පෙනී යයි. ඒ අනුව සාංක්‍රමණිකයන් වශයෙන් උල් වූ පෙඳයක් සහිත තාරාවුන් 95,000 ක් ද රන් පැහැ හිසක් සහිත තාරාවුන් 56,000 ක් ද, සීයක්කාරයන් 5000 ක් ද කළු පැහැ පෙඳයක් ඇති මහ වටුවන් 3000 ක් ද වශයෙන් විශාල පක්ෂි ගහන‍යක් ලංකාවෙන් වාර්තා වී ඇතැයි ලංකා කුරුලු සංගමය පවසයි.

වන්කාලෙයි අභය භූමියක් වශයෙන් 2008 වසරේදී ප්‍රකාශයට පත්වූ අතර 2010 දී රැම්සා තෙත් බිමක් වශයෙන් ද නම් ‍කොට තිබේ.

1200391IMG_1757

සාංක්‍රමණික පක්ෂීන් මෙසේ උණුසුම් දේශගුණික පරිසර කලාප සොයා සිය වාර්ෂික දිගු දුර සංක්‍රමණ ආරම්භ කරන්නේ හුදෙක් ශීතලයෙන් අත්මිදීමේ අරමුණින් පමණක් ම නොවේ. එය ඔබ විශේෂයෙන් ම දැනගත යුතු කරුණකි. ඒ අතර ඇතැම්හු අභිජනන අවශ්‍යතාව වෙනුවෙන් ද මෙරටට පැමිණීම සිදු කරන්නා වූ සංක්‍රමණයන් වෙති. උදාහරණයක් හැටියට මෙරට දකුණු කලාපයේ වෙරළාශ්‍රිතව ඇති ගෙදවාන ගල්පර දූපත් මේ දිනවල සිය රටවල ශීත සමය මඟ හැර උණුසුම සොයා එන සාංක්‍රමණිකයන්ගේ ලැගුම් ස්ථාන වී තිබේ. සිය නිජ බිම් හි ශීත සමය අවසන් වන කල්හි ඔවුහු ඒ ගල්පර දූපත් අත්හැර යති. එය ඇත්තකි.

එහෙත් ඒ නිසා ම ගෙදවාන කොදෙව් එතැන් සිට පාළුවට යනවා යැයි යමෙකු සිතන්නේ නම් එය වරදකි. සිය රටේ ගිම්හාන ‍උණුසුම පවතිද්දීත් සිය අභිජනන කටයුතු වෙනුවෙන් එසේ නැත්නම් බිජු දමා පැටවුන් හදා වඩා ගෙන ආපසු සිය රටවල් බලා යෑමේ අරමුණින් ඒ ගෙදවාන දූපත් කලාපයට රෝස මුහුදු ලිහිණියා පැමිණෙන්නේ ඉන් පසුව ය. ඇතැම් පක්ෂී සංක්‍රමණයක් හුදෙක් ශීත සමය මඟ හැර යාමේ අරමුණින් පමණක් සිදු කරන්නාවූ කටයුත්තක් නොවේ යැයි අප කීවේ එහෙයිනි. ඒ අනුව රෝස මුහුදු ළිහිණියාට අපේ රට මාතෘදාරකාභිවෘද්ධි මධ්‍යස්ථානයකි. ඔවුන්ගේ පැටවුන් උප්පැන්නය ලබන්නේ ශ්‍රී ලංකාවෙනි.

සාංක්‍රමණික පක්ෂීන් සෑම වසරක ම ශීත කාලය සහ උණුසුම් දේශගුණය හඳුනාගන්නේ බාහිර ඉවෙන් වුණත් එසේ පැමිණෙන සහ නැවත ගමන් කරන මඟ සොයා ගත්තේ ජානගත ව‍ූ ඉවකින් යැයි කීමේ කිසිදු වරදක් අපට නො පෙනේ. අප රටේ පක්ෂි සංක්‍රමණිකයන් ගැන අදහස් පළ කරන පක්ෂි නිරීක්ෂකයන් හඳුනාගෙන ඇති අන්දමට එකී පක්ෂීන් කොටස් දෙකකි. ඉන් එක් වර්ගයක් නිතර ලංකාවට පැමිණෙන අයයි. දෙවැනි වර්ගය වන්නේ ඉඳහිට පැමිණෙන කණ්ඩායමට ය.

 

සංක්‍රමණික පක්ෂීන් වීසා නොලත් සංචාරකයන් ලෙසින් හඳුන්වා දී තිබේ. ඇත්ත වශයෙන් ම පක්ෂීන් අහසට නැඟුණේ දේශ සීමා නිර්මාණය වී රටවල් බිහිවූ පසුව නොවේ. ඔවුන්ගේ සංක්‍රමණික මාර්ග බිහිවු‍ණේ රටවල දේශ සීමා සැලකිල්ලට ගැනීමෙන් නොවේ. ඔවුන්ට අදටත් පෘථිවිය යනු එක් භූගෝලීය ඒකකයකි‍. තනි ජෛව කලාපයකි.‍ පෘථිවිය රටවල් වශයෙන් බෙදාගත්තේ මිනිසුන් ය. කුරුල්ලන් නොවේ. ඒ නිසා පෘථිවිය නම් තනි ජෛව පැවැත්ම තුළ තමන් තෝරාගත් ස්ථාන කරා සංක්‍රමණය වීමට එසේ ගොස් නවාතැන් ගැනීමට මේ සුන්දර සංචාරකයින්ට වීසා අවශ්‍ය වන්නේ නැත.

පක්ෂි සාංක්‍රමණික ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවට වෙසෙස් තැනක් හිමිවේ. මධ්‍යම ආසියානු ඉන්දියානු පක්ෂී සංක්‍රමණ මාර්ගයේ ගමනාන්තය බවට අපේ රට පත්ව තිබීම ඊට හේතුවයි. භූගෝලීය පිහිටීමට අනුව ශ්‍රී ලංකාවට පහළින් කිසිදු ගොඩබිම් ප්‍රදේශයක් වීසා නොමැතිව සංක්‍රමණයේ යෙදෙන මේ පක්ෂීන්ට හමු නොවේ. එක දිගට පසු කරන සාගර තීරයක් හමුවේ ඇති එකම ගොඩබිම ශ්‍රී ලංකාව වේ. මේ ආකාරයට උතුරු සහ දකුණු කලාපවල සිට සංක්‍රමණික පක්ෂීන් විශේෂ 225 ක් පමණ අප රටට පැමිණෙන ‍බවට නිරීක්ෂණය කොට ති‍බේ‍. ඉනුත් 150 ක් නිත්‍ය සංචාරකයෝ වෙති. මේ අතරිනුත් වැඩි පිරිසක් උතුරු දෙසින් පැමිණෙන්නවුන් ය. හඳුනාගෙන ඇති ආකාරයට දකුණින් පැමිණෙන්නේ විශේෂ විස්සක් තරම් ප්‍රමාණයකි. ඔවුහු සියල්ලන් ම පාහේ මුහුදු පක්ෂීහු වෙති.

මේ දිනවල ගල්කිස්ස සාගර කලාපයේ දී යට කී ආකාරයට පක්ෂි සංක්‍රමණිකයන් රටට ඇතුළු වෙන ආකාරය දැකිය හැකියි. ඒ කණ්ඩායම ම මන්නාරම ප්‍රදේශයෙන් ද පැමිණෙන බවට නිරීක්ෂණය කොට තිබේ‍. ආක්ටික් ප්‍ර‍දේශයේ, බටහිර ආසියාව, නැ‍ඟෙනහිර යු‍රෝපය දෙසින් පැමිණෙන මේ කණ්ඩායම ඉන්දියාවට ඇතුළු වන්නේ හිමාලය කඳු වැටියේ බටහිර පසිනි.‍ ඉන්පසුව ඉන්දියාවේ බටහිර සාගර කලාපය දිගේ පැමිණෙන ඔවුහු අර කී ආකාරයට සිය අවසන් නැවතුම් ස්ථානය වන ශ්‍රී ලංකාවට ඇතුළු වෙති.

DSC_9009 Redit-XL

ඒ අතරිනුත් දකුණු ඉන්දියානු සාගර තීරය ඔස්සේ කොළඹ, ගල්කිස්ස වැනි ප්‍රදේශවලට පැමිණෙන්නේ පියැඹීමට වැඩි හැකියාවක් ඇති පක්ෂීන් බවට හඳුනාගෙන තිබේ. ඒත් සමඟම යාපනයෙන් මෙරටට ඇතුළු වෙන වීසා නැති සංචාරකයින් කණ්ඩායමක් ද සිටින අතර ඔවුන්ගේ ගමන් මාර්ගය නැ‍ඟෙනහිර ආසියාව සහ ඊටත් ඉහළින් ඇති ආක්ටික් කලාපයට අයත්වේ. එතැන් සිට හිමාලය කඳු වැටියට නැ‍ඟෙනහිරින් ඉන්දියාවේ නැ‍ඟෙනහිර සාගර තීරය ඔස්සේ පැමිණෙන ඔවුහු යාපනයෙන් ඇතුළු වෙති. යාපනය සිය නැවැතුම් ස්ථානය කර ගැනීම හෝ දකුණට පියාඹා යාම ඒ ඒ පක්ෂි විශේෂ මත රඳා පවතී.

සාමාන්‍යයෙන් සිය නිජ බි‍ම්වල සරත් සහ ශිශිර ඍතු කාල ආරම්භ වන විටම සංක්‍රමණිකයෝ සිය වාර්ෂික සංචාරයට සූදානම් වෙති. ඒ අනුව නිවර්තන කලාපීය රටවලට පැමිණෙන ඔවුන් ඒ අයුරින් අගෝස්තු මස සිට දෙසැම්බරය දක්වාම සංචාරකයන් වශයෙන් ආගන්තුක රටවල වාසය කරන්නේ එම රටවල පදිංචිකරුවන් සමඟ කිසිදු ගැටුමකින් තොරවය. ඒ අයුරින් මාර්තු මස අවසන් වන තෙක් එසේ සිය සංචාරක ජීවිතය නිවර්තන කලාපීය රටවල ගත කරන ඔවුහු අප්‍රේල් මස මුල සිට නැවත සිය ගම් රටවල් බලා යාම ආරම්භ කරති.

මේ සාංක්‍රමණික චර්යාව ගත් කළ එය සෑම පක්ෂි විශේෂයක් ම දවසේ එකම කාල පරාසයක දී සිදු වෙන බවක් දැකිය නොහැක.‍ ඒ අනුව රාජාලියන්, තාරාවුන් මෙන් ම කොකුන් වැනි පක්ෂීන් දිවා කාලය මේ සඳහා තෝරාගෙන තිබේ. ඔවුන් සිය ගමන් මාර්ගය හඳුනාගන්නේ භූගෝලීය සලකුණු අනුව යමින් යැයි පැවසේ. කෙසේ වෙතත් සිය වර්ගයාගෙන් ලබාගන්නා ජානමය ඉව ඒ සඳහා ඔවුන්ට උපකාර වන්නේ යැයි පැවසීම වඩාත් නිවැරදි යැයි සිතේ.කෙසේ වෙතත් සිය සංචාරයට රාත්‍රී කාලය තෝරාගන්නවුන් ද දැකිය හැකි ය. ඔවුහු දිවා කාලයේ හිරු තාපය නො ඉවසති. තවද විලෝපිතයන් ගැන ද සැලකිලිමත් ය. එසේ හෙයින් ඔවුන් සිය සාංක්‍රමණික චර්යාව වෙනුවෙන් රාත්‍රී කාලය තෝරා ගෙන ඇතැයි පක්ෂි නිරීක්ෂකයෝ පවසති.

මේ අය බොහෝ දුරට කුඩා පක්ෂීන්ය. නිරීක්ෂණ වාර්තා වලට අනුව රාත්‍රී සාංක්‍රමණිකයන් සිය ගමන් මඟ තෝරා ගැනීමට විශේෂයෙන් ම දිශාවන් හඳුනා ගැනීමට තාරකා පිහිටීම උපයෝගි කරගනියි. ඒ හැරුණු කල පෘථිවි චුම්භක ක්ෂේත්‍රය, මෝසම් සුළං වැනි ස්වාභාවික සංසිද්ධින් ද ඒ සඳහා උපකාරි කරගන්නා බවක් ද හඳුනාගෙන තිබේ.

සාංක්‍රමණික පක්ෂීන් කි.මී. හාර දහසක්, පන්දහසක් පමණ දුරක් සිය සංචාරයේදී ගෙවා දමන බවක් ද පැවසේ.‍ ඇතැම් විශේෂ මසක පමණ කාලයක් තිස්සේ මෙසේ පැමිණෙතැයි ද පැවසේ. කෙසේ වුව සෑම වසරක්ම සිදු කෙරෙන මේ පක්ෂි සංක්‍රමණය මනා කළමනාකරණයක් තුළ සිදු වන්නක් බවටත් කිසිදු අතපසු වීමක් වෙනුවෙන් ඒ තුළ ඉඩක් තබා නැති බවටත් අධ්‍යයනය කොට ඇති මිනිසුන් ඒ ගැන පුදුම වන බව මොවුහු නොදනිති.

lymvzvt_bmvp_2

බටහිර රටවල ශීත ඍතුවේ උදාවත් සමඟ අප රටේ කලපු ආසන්න ප්‍රදේශ පිටරටින් ආ වෙසෙස් අමුත්තන් රාශියකින් පිරී ඉතිරී යයි. සෑම වසරකම සිදුවන මේ සංසිද්ධිය නිසා කලපු ආශ්‍රිත එම ප්‍රදේශවලට ගෙනඑන්නේ අමුතුම කලඑළියකි.

විවිධ වර්ණයේ විවධ හැඩයේ අප කලාතුරකින් දකින කුරුලු අමුත්තන් හැම තැනකම ගස් මුදුන් වසාගෙන එක් එක් හඩින් කෑ ගසන්නේ හරියට පුරුදුකාරයො ‍වගෙයි.

මෙලෙස කිලෝමීටර් 8000ක් තරම් දුරක් පියාඹාගෙන ආ අමුත්තකු තමයි පසුගිය දාක පුත්තලම කලපුව ආසන්න ප්‍රදේශයක කකුලක් කැඩී වැටී සිටියදී ගමේ කෙනෙකුට හමුවුණේ.

පරිසර හිතකාමී ඒ පුද්ගලයා මුහුදු ලිහිණි වර්ගයේ එම කුරුල්ලා පිළිබඳව වනජීවි නිලධාරීන්ට දැනුම් දීමේ ප්‍රතිඵලයක් ලෙස කුරුල්ලාට වහාම ප්‍රතිකාර ඇරැඹුණා. එම කුරුල්ලාගේ වම් පාදයට ඇමිණූ මුදුවක් සොයා ගැනීමට ලැබුණේ ඒ ප්‍රතිකාර ඇරැඹීමත් සමඟයි. එම මුදුව පළඳා තිබුණේ එංගලන්තයේ කෞතුකාගාරයක් මගින් බව ඒ සමගම අනාවරණය වුණා.

2821.Hyde, Kensington and Regents Park (171)

සංක්‍රමණික පක්ෂීන් පිළිබඳ කරන පරීක්ෂණ සඳහා මේ ආකාරයෙන් කුරුල්ලන්ගේ අත්තටුවල හෝ පාදයක හඳුනා ගැනීමේ සංකේත යෙදීම සිදු කෙරෙනවා.

සෑම වසරකම අපේ රටට එන කුරුලු අමුත්තන් අතරින් එකකු වන ඒ කුරුල්ලාගෙ පාදය දරුණුවට තුවාල වුණේ කොහොමද යන්න ප්‍රශ්නයක්. එපමණක් නොවෙයි කැඩුණු පාදය නිසි අයුරින් සකස් කර ගැනීමට ලැබේද යන්නත් සැක සහිතයි.

ඒ කෙසේ වෙතත් මේ කුරුල්ලා පිළිබඳ වැඩි දුර තොරතුරු එංගලන්තයෙන් ලබා ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව සූදානම් වන බවට තොරතුරු පළ වුණා. ඒ කුරුල්ලා කොහෙන් ආ එකෙක්දැයි අනාවරණය වෙන්නේ ඉන්පසුවයි.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s