ප්‍රාග් ඓතිහාසික පරිසර පැතිරීම ගැන දුලබ තතු හෙළි කරන ගොළුබෙල්ලෙක්

6391039037_3afe20f560_b.jpg

ඇතැම් රෝග නිවාරණයට ‘ගොළුබෙලි ශ්‍රාවය’ අත්දුටු ඖෂධයක්

කුරුලු බිත්තරයක් තරම් වන, එක් බිත්තරයක් පමණක් වරකට දමන ගොළුබෙලි විශේෂයක් ගැන ඔබ අසා තිබේ ද? එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ගොළුබෙල්ලන් ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල සියයට 90 ක් තරම් වුණත් බොහෝ අය හොඳින් දන්නා හඳුනන ගොළුබෙලි විශේෂය වන්නේ ‘කළුතර ගොළුබෙල්ලා’ ය.

අනික් අතට කළුතර ගොළුබෙල්ලා ගැන බොහෝ අය නොදන්නා කරුණක් ද වේ. ඒ, ඌ ආක්‍රමණික සත්ත්ව විශේෂයක් ය යන්නයි.

මේ අවස්ථාවේදී අප සාකච්ඡාවට ලක් කරන්නේ වෙද ගොළුබෙල්ලන් වශයෙන් හැඳින්වෙන ගොළුබෙලි විශේෂ තුනක් ගැනය.acavus haemastoma haemastoma_juvenil_15mm_06big

ඔවුන්ගේ විද්‍යාත්මක නම ‘ආකේවස්’ (Acavus) ය. ආකේවස් විශේෂ තුනකි. ආකේවස් සුපර්බස්, ආකේවස් හීමස්ටෝමා සහ ආකේවස් ෆීනික්ස් යනු ඒ විශේෂ තුන වේ.

පරිසරවේදී අජන්ත පලිහවඩන සිදු කරන ලද තොරතුරු රැස්කිරීමකින් පැවසෙන ආකාරයට මේ ආකේවස් ගොළුබෙල්ලෝ ඉතා පුරාණයේ සිටම එනම් හොන්ඩ්වාලන්තයේ වසර මිලියන දෙසියයක තරම් කාලයක සිටම පැවැත එන්නෝ වෙති.

ඉහතින් කී ආකේවස් විශේෂ තුනම ශ්‍රී ලංකාවට ආවේණික වූවන් වන අතර, ඊට අමතරව ආකේවස් ෆීනික්ස් කැස්ටානියාස් නමින් තවත් උප විශේෂයක් ද බර්නාඩ් හවුස්ඩෝෆ් සහ කාලික පෙරේරා 2000 වර්ෂයේ දී සොයා නම් කොට ඇත. ඒ උප විශේෂය වාර්තා වන ප්‍රදේශ වශයෙන් කිතුල්ගල, මහනුවර, දෙහිඕවිට, යටියන්තොට, අලව්ව, අලවතුගොඩ, මාතලේ, කුරුණෑගල, සහ රිටිගල යන ප්‍රදේශ හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ බෙල්ලන් පිළිබඳ අතීතය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වාම දිවෙන්නකි. විශේෂයෙන් ම බටදොඹ ලෙන, මිණි ඇතිලිය, අළු ලෙන, පාහියන්ගල යන ලෙන් ආශ්‍රිතව සිදු කෙරුණු පුරා විද්‍යාත්මක කැනීම්වල දී මතු වූ බෙලි කටු රටේ ඉතිහාසයට අව්‍යාජ සාක්ෂි ලබා දුනි. තවද බෙල්ලන් යනු ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ ප්‍රධාන ආහාරයක් වශයෙන් ද හඳුනා ගැනිණි.

Acavus superbus grevillei_juvenil_08big

කොහොම වුණත් එතැනදී පුරාවිද්‍යාඥයින්ට වැදගත් වුණේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධ විෂය දැනුමයි. නමුත් අජන්ත පලිහවඩන පරිසරවේදියකු වශයෙන් එතැනදී මතු කළ අදහස අතිශයින් වැදගත් වූවකැයි සිතමි. ඔහු පවසන්නේ එවැනි ප්‍රාග් ඓතිහාසික නිධි විශ්ලේෂණය කිරීමේදී ප්‍රාග් ඓතිහාසික යුගයේ මේ බෙල්ලන් පැතිර තිබු රටාව නිරීක්ෂණය කළ යුතු බවයි.

එවිට එවකට තිබු පරිසර පද්ධතීන්හි පැතිරීම පිළිබඳ නිවැරැදි අනුමාන තොරතුරු ලබා ගැනීමට ද පුළුවන් වනු ඇත. එමෙන්ම එවැනි පර්යේෂණ මඟින් වර්තමානයේ පුළුල් ලෙසින් සාකච්ඡාවට ලක්ව ඇති දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනයන් සඳහා ද ඉතා වැදගත් සාධක ලබාගත හැකි වනු ඇත.acavus haemastoma melanotragus juvenil_1_03big

මෙහි දී සාකච්ඡාවට ලක් කෙරෙන ආකේවස් ගොළුබෙලි විශේෂ වෙද ගොළුබෙල්ලන් ලෙසින් ද හැඳින්වෙන බව ඉහත දීම සඳහන් විණි. එසේ වීමට හේතු වන්නේ මේ ගොළුබෙල්ලන්ගේ ශ්‍රාවය ආයුර්වේදීය ප්‍රතිකාරවලට යොදා ගැනීමය. ඒ අනුව ඇස්වලට යම් විසක් කැටුණු විට එය සමනය කිරීමට මේ ගොළුබෙලි ශ්‍රාවය යොදා ගැනෙයි. එමෙන්ම අස්ථි බිඳී යෑමකදී ඒ ශ්‍රාවය රෝගියාට බීමට දෙයි.

තවද වාත රෝග යනුවෙන් හඳුනා ගන්නා තත්ත්වලදී තවත් ඖෂධ හා එය මිශ්‍ර කොට ආලේපයක් වශයෙන් යොදා ගැනෙයි. ආකේවස් ගොළුබෙලි ශ්‍රාවය ආයුර්වේදයට එන්නේ ඒ ආකාරයටයි.

මේ ගොළුබෙල්ලන් වසර දහයක පමණ ආයු කාලයක් ගෙවනවා ය යන්න බොහෝ අය නොදන්නා කරුණකි. අනික් අතට ගොළුබෙල්ලන් ගැන පොදුවේ ඇති අගති හැඟීම් කරණ කොටගෙන මෙවැනි විශේෂයන් සම්බන්ධයෙන් පරිසර සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ නොහැකි තත්ත්වයක් ඇති බව ද පරිසරවේදීන් මෙන්ම සංරක්ෂකයන් විසින් පෙන්වා දී තිබේ.

Hemiplecta_distincta_hatching_01big

මුලින්ම කී ආකාරයට මේ විශේෂය වරකට දමන්නේ එක් බිත්තරයකි. එය ප්‍රමාණයෙන් කුරුලු බිත්තරයකට සමානය. (සෙ. මි. 1.5 x 2) පොළවේ පස් ගොඩවල් හෝ කොළ රොඩු අතර සඟවා එය තැන්පත් කිරීම මේ සතුන්ගේ සිරිතයි. ඉතා හොඳින් ආවරණය වූ තුරු වියන් සහිත වනාන්තරවල වෙසෙන මොවුන්, එවැනි ඝන ආවරණ සහිත ගෙවතුවල ද දැකිය හැකිය.

එසේම වූවත් පසුගිය දශක ගණනාවක් තුළ මහා පරිමාණයෙන් ව්‍යාප්ත වූ වැවිලි බෝග හමුවේ මේ සතුන්ට තමන්ගේ නිවාස භූමි අහිමි වී තිබේ. ඒ ආකාරයෙන් ස්වාභාවික වනාන්තර අසීමාන්තිකව එළි පෙහෙළි වීම විශේෂයෙන්ම තේ වගාව, ගෙවතු විනාශ වීම යනාදි කරුණු කාරණා මත ඉහළ වටිනාකමක් සහිත මේ ගොළුබෙලි විශේෂ පරිසරයෙන් අහෝසි වී යන තත්ත්වයක් ද නිර්මාණය වෙමින් පවතින බැව් පැහැදිලිවම දකින්නට තිබේ.

ආකේවස් ගොළුබෙල්ලන්ට විලෝපිතයන් ද බහුලය. ඒ අනුව වනාන්තරයේදී කැහිබෙල්ලා සහ මුගටියාත් ගෙවතුවල දී ඇටි කුකුළාත් ඔවුන්ගේ පැවැත්ම අහෝසි කරන්නවුන් බවට පත්ව සිටියි. සිය වාසභූමි අහිමි වූ පසුබිමක ඔවුහු ඉහතින් පෙන්වා දුන් විලෝපීය අනතුරට ද වඩත් විවෘත ලෙසින් මුහුණ පා සිටිති. ඒ අනුව මේ සතුන් සංරක්ෂණය කරනවානම් මුලින්ම කළ යුත්තේ ඔවුන්ගේ වාසභූමි පිළිබඳව අවබෝධයක් ලබාගැනීමය.

වෙද ගොළුබෙල්ලන් වශයෙන් හඳුනාගන්නා මේ සතුන් බොහෝ විට ගස් කඳන් මත සිටිනු දැකිය හැකිය. අප දන්නා ගොළුබෙල්ලන් බොහෝ විට හුදෙකලාව දකින්නට ලැබුණත් මොවුන් ගස් කඳන් මත දී රංචු වශයෙන් දැකිය හැකිය. එවැනි රංචුවකට පස් දෙනකුගේ සිට තිස් දෙනකු දක්වා ඇතුළත් විය හැකි බවට නිරීක්ෂණය කොට තිබේ.

බොහෝ විට කොස්, දෙල්, කෙසෙල් වැනි ගස්වලත් පුවක්, කිතුල් යන ශාක විශේෂවලත් මේ විශේෂ වෙසෙන බවට හඳුනාගෙන තිබේ. එහෙත් ඒ පාරිසරික තත්ත්ව ඉතා වේගයෙන් වෙනස් වෙමින් එසේ නැත්නම් මුළුමනින්ම අහෝසි වෙමින් පවතී. ස්පාඤ්ඤයේ විසූ මහා කවියකු වන පැබ්ලෝ නෙරුදා වරෙක සිය ජීවිතයේ මුල් කාලය ගැන කියූ යමක් මෙහිදී අපට සිහි වේ.

“මගේ නිවහන පිහිටියේ විශාල ගෙවත්තකයි. තදින් වැහි වැටෙන කාලයේදී එහි මිදුලටම ජලය ගලා ආවේය… ඒ ගෙවත්තේ තිත්ත වැල් හා සුවඳැති මල් පිපෙන්නා වූ පඳුරු වැඩී තිබුණි.

acavus haemastoma haemastoma juvenil_5_04big

අපේ ඒ ගෙවත්ත සෙසු ගෙවතු මෙන් නොව වෙනස් ආකාරයකින් පෙනී ගියේ සෙසු ඉඩම්වල මෙන් නොව විසල් සෙවණ ඇති ගස්වලින් අඳුරු හෙවණක් සැදී තිබුණ හෙයිනි. බිම දිගේ පිපුණු පොපි මල්, පරෙවි ලේ පැහැයේ රතු පාට මල්, වැන්දඹුවන් සිහිගන්වන කළු පාට මල්…” එහි පිරී තිබුණු බව පැබ්ලෝ නෙරුදා ලියා තිබේ.

තමන් ළමා වියේ සිටම කුරුල්ලන්ටත්, සිප්පි කටුවලටත් හරිත පැහැ ගස්වැල්වලටත් මහත් සේ ඇලුම් කළ බව ද හේ පවසයි. ඉදින් ස්වභාව ධර්මයේ ඒ චමත්කාරය කවියට අප එකතු නොකරන්නේ නම් ඒ කවිය නිරුවත් යැයි ද ඔහු සිතයි.

අප අද මුහුණ පා සිටින්නේ ඒ නිරුවතටයි. කවියේ මෙන්ම ස්වභාව විචිත්‍රත්වයේ නිරුවතටයි. ආකේවස් ගොළුබෙල්ලන්ට අත්වී ඇති ඉරණම නිර්මාණය කරනුයේ ද ඒ නිරුවතම විසින්මයි.

බී. කේ. එම්. එස්. ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s