වස විස නැති බෝග වගාවට හැරවීම දවසකින් දෙකකින් බෑ

paddy-RS.jpg

එදා තිබූ වී බිස්ස, අටුව හා දුම්මැස්ස ඕනෑ  ඉස්සර තිබූ නගුල ඇතුළු ගොවි උපකරණ යළිත්

පසුගිය සති කිහිපය තුළ දී මෙරට කෘෂිකර්මයට අදාළව කැපී පෙනෙන සිද්ධීන් දෙකක් ගැන අපට අසන්නට ලැබිණි. ඉන් එක් සිද්ධියක් නම් දිගින් දිගටම (රසායනික) පෝර ඉල්ලා ප්‍රදේශ කිහිපයක ගොවීන් විසින් සිදු කරන්නට යෙදුණු උද්ඝෝෂණයයි. දෙවැන්න නම් වස විස නැති ආහාර වගාවක් වෙනුවෙන් සිදු කළාවූ දැනුම්වත් කිරීමේ ප්‍රදර්ශනාත්මක ව්‍යාපාරයයි.

එසේ බලන කල අද වන විට කෘෂි වගාවට අදාළව පවතින්නේ “යා දෙක නොරත රත – පෑහීමක් නම් නැත” වැනි තත්ත්වයක් යැයි කෙනෙකුට සිතන්න බැරිකමක් නැත. එහෙත් මේ රටේ රසායනික පෝර භාවිතය දඩමීමා කොටගෙන එය දේශපාලන සටන් ක්‍රියාමාර්ගයකට යොමු කිරීමට තවදුරටත් ඉඩ දිය යුතු නැත. අවශ්‍ය වන්නේ පාරිසරික යහ පැවැත්මකි. මනුෂ්‍ය ජීවිතයට අදාළව නිරෝගී ආස්ථානයකි.

කෘෂිකර්ම අමාත්‍යාංශය අද පෙනී සිටිය යුත්තේ වස විස නැති ආහාර වගාවක් වෙනුවෙනි. ඒ අනුව එහි අවසාන ඉලක්කය විය යුත්තේ පරිසර හිතවාදී කෘෂිකර්මයක් කියන තැනය. මෙරට ගොවි ප්‍රජාව කාබනික පෝර යොදන වගාවකට යොමු කළ හැක්කේ එවැනි පසුබිමක සිටිමින් ය. එතැනදී ආයතනික ව්‍යුහ දෙකක් වශයෙන් පවතින පරිසර සහ කෘෂිකර්ම අමාත්‍යාංශ එක්සත් ක්‍රියාමාර්ගයකට යොමු වීම ද අවශ්‍යය. මන්ද අප රටේ බොහෝ සැලසුම් අසාර්ථක වීමට ආයතනික සහයෝගය නැතිවීම හේතු වී තිබෙන හෙයිනි.

t1larg

කාබනික පෝර භාවිතයට මෙරට කෘෂිකර්මාන්තය යොමු කිරීම යනු එක දවසකින් දෙකකින් කළ හැක්කක් ද නොවේ. එය දිනෙන් දින යාවත්කාලීන කළ යුතු මෙහෙයුමක් ලෙසින් පිළිගත යුතුව තිබේ. ඒ අනුව පළමුව කළ යුත්තේ ඊට අදාළව මහ කන්නය සැලසුම් කිරීමය. ඊට අදාළව යෝග්‍ය බිත්තර වී වර්ගය තෝරා ගැනීමක්, කන්නයට ම වගා කිරීමත්, මූලික බිම් සැකසීමත් කාබනික පෝර භාවිතය සහිත කෘෂිකර්මයට අදාළය. ඒත් සමඟම පාංශු පරිසරය පෝෂණය කෙරෙන ආකාරයෙන් වගා තාක්ෂණය මෙහෙයවීම වගා නඩත්තුව මතු නොව අස්වනු නෙළීම හා සැකසීම, වී ගබඩා කිරීම, සහල් සැකසීම යන තැන් දක්වාම කාබනික පෝර භාවිතය සහිත කෘෂිකාර්මික මෙහෙයුමක් සැලසුම් කළ යුතුව ඇත.

එදා මහ කන්නය සැලසුම් කිරීම සඳහා වගා ලිතක් පැවැතුණි. තවද ප්‍රාදේශීය කාලගුණික තත්ත්වය කියවීමට සාම්ප්‍රදායික ගොවි ප්‍රජාවට තිබූ අවබෝධය ද වැදගත් විය. ඊළඟ කාරණය වන්නේ කන්නයට අදාළව බිත්තර වී ප්‍රභේදය නිවැරැදිව තෝරා ගැනීමයි.

sri_lanka_women_farmers-worldbank_0

එතැනදී මූලික වූයේ ප්‍රාදේශීය කාලගුණික තත්ත්වයයි. අදාළ වී වර්ගය ඊට ගැළපීමයි. එමෙන් ම ඒවායේ ප්‍රමිතිය එනම් මිශ්‍ර වීම්, හාණි වීම් රහිත බවට සහතිකයක් ද අතීත ගොවියා අපේක්ෂා කළේය. ඒත් සමඟම වෙළෙඳපොළ ඉල්ලුම, පාරිභෝගික රුචිය ද අමතක කළ හැකි කාරණා නොවේ. කෙසේ වුව වී වගාවේ දී වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් කන්නයට ම වගා කිරීම අවශ්‍යම කරුණක් වේ. එය ද ප්‍රධාන තල දෙකක් යටතේ ක්‍රියාත්මක විය යුතුය. පළමුවැන්න නියමිත කන්නයටම වගා කිරීමයි. දෙවැන්න යායේ සියලුම ගොවීන් එක තීරණයකට පැමිණ එකවර වගා කිරීමයි. සාම්ප්‍රදායික ගොවි ආදර්ශය අපට පෙන්වා දෙන්නේ වර්ෂා ජලය සහ සූර්යාලෝකය විපර්යාසයකින් තොරව ලබා ගැනීමට එය මනා පිටුවහලක් වෙන බවයි. එපමණක් නොව රෝග පළිබෝධ මර්දනය වෙනුවෙන් ද කන්නයට ම සහ එකවර වගා කිරීම අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග වේ.

කාබනික වී ගොවිතැනේ දී මූලික බිම් සැකසීම පවත්නා ආකාරයෙන් ම සිදු කරන්නේ නම් එය නිවැරැදි ක්‍රියා මාර්ගයක් නො වනු ඇත. එම කාර්යය කාබනික වගාවකදී සැලකෙන්නේ පස සරු කිරීමේ ක්‍රියාවලියක් හැටියට ය. ඒ අනුව බිං නැඟුම, පුරන් හීය වශයෙන් ද හඳුනාගන්නා මේ කියන පළමු සී සෑමේ දී පස බුරුල් කළ යුත්තේ අඟල් 8 – 10ත් අතර ගැඹුරකට ය. ඒ සඳහා සුදුසු නගුල් වන්නේ සිංහල ගැමි නගුල, යකඩ නගුල, මෝල් බෝඩ් නගුල හෝ තැටි නගුල යැයි නිර්දේශ වී තිබේ. උදැල්ල ලියැදි කෙටීමට සුදුසු ම උපකරණයය. උදැල්ලෙන් කෙටීමේ දී සිදු වන්නේ පොළොවේ යට තද ස්ථරය කැඩී යටින් ඇති පස මතු පිට පස සමඟ මිශ්‍ර වී පුරන්ව ගිය බිම සාරවත් කිරීමයි. එය වඩාත් තහවුරු කර ගැනීමට ඊට කොළ පෝර හෝ පිදුරු යෙදීම සිදු විණි.

daily-life-in-sri-lanka-10.jpg

දෙවන සී සෑම හැඳින්වෙන්නේ මද හීය හෙවත් මඩ හීය යන නමිනි. එය පළමු සී සෑමෙන් දින 10 – 14ක් අතර කාලයකට පසුව සිදු වේ. හරස් අතට සිදු කෙරෙන්නා වූ මේ සී සෑම සඳහා ද සිංහල ගැමි නගුල සුදුසු ය. රොටවේටරය හෝ කොකු නගුල ඊට සුදුසු බවට හඳුනාගෙන තිබේ. දිරාපත් වූ කාබනික පෝර පසට එකතු කිරීම ද ඊට අදාළව සිදු වන්නක් වේ. නියර බැඳීමට උදැල්ල යොදා ගැනීමට කටයුතු කොට ඇත්තේ ද විශේෂ හේතුවක් නිසා ය. ඒ වල් පැළ මර්දනය වීම ඒ නිසා සිදු වන හෙයිනි.

ඊළඟ අවස්ථාව වන්නේ පැළ සිටුවීමයි. එහි දී ඊට අදාළ සුදුසු ක්‍රමවේද ලෙසින් අතීතයේ සිට ම පිළිගැනීමට ලක්ව ඇත්තේ පැරෂුට් ක්‍රමයට හෝ පේළියට ඇට සිටුවීමයි. කෙසේ වුව යෝග්‍ය වගා තාක්ෂණයක් අනුව යෑම අවශ්‍යම කටයුත්තක් වේ. ඒ සඳහා ඩැපොග් තවාන, ගොඩ තවාන, මඩ තවාන, නර්සරි ට්‍රේ තවාන ආදිය නිර්දේශීත වගා ක්‍රමවේද වේ. පේළියට ඇට දැමීමේ දී සීඩරය යොදා ගැනේ. බීජ දැමීම වැපිරීමක් වශයෙන් සිදු වෙන්නේ නම් බීජ ඝනත්වය අවම වන ලෙසින් (ඉඩකඩ සහිතව) එය සිදු විය යුතු ය.

කාබනික ගොවිතැනේ දී වැඩි අවධානයක් යොමු කරගනිමින් අද දවසේත් සාකච්ඡාවට ලක්ව ඇති කරුණක් නම් පලිබෝධ නැසීමයි. අද දවසේ පලිබෝධ නාශක සිදු කෙරෙන්නේ එක් එක් කුඹුරුවල පෞද්ගලික තීන්දු තීරණ අනුවය. ඒ අනුව එක් කුඹුරකින් පලවා හැරෙන පලිබෝධ කාරකයන් අසල ඇති අනිත් කුඹුරු කරා පලා යෑම සිදු වේ.

නමුත් සාම්ප්‍රදායික වගා තාක්ෂණයේ දී පලිබෝධ පාලන ක්‍රමය ද ඒකාබද්ධ එසේ නැත්නම් සාමූහික තත්ත්වයකින් සිදු කොට තිබේ. වල් පැළෑටි පාලනය ජලය බැඳීම හෝ විඩර් කිරීම හරහා සිදු කොට තිබේ.

rice-farmers-sri-lanka.jpg

අස්වනු නෙළීම හා සැකසීමේදීත් වගා ලිත අනුව යමින් වියළි කාලගුණයක් සහිත දවස් ඒ සඳහා තෝරාගෙන තිබේ. අනිත් අතට අස්වනු නෙළීමේදී වඩාත් සුදුසු ක්‍රමය ලෙසින් හඳුනාගෙන ඇත්තේ මිනිස් ශ්‍රමය සහ කුඩා යන්ත්‍ර යොදා ගැනීමයි. මහා පරිමාණයේ යන්ත්‍ර යොදා නොගැනීමයි. තනිකරම මිනිස් ශ්‍රමයෙන්ම කපන ලද ගොයමක් නම් සම්පූර්ණ දවසක්, ඉපණැල්ලේ තබා වියළා ගැනීම අවශ්‍ය බැව් සැලකිය යුතුය.

වී වගාවේ දී සාර්ථක අස්වැන්නක් පවත්වා ගැනීම සඳහා වගා තාක්ෂණය හා සමානම වටිනාකමක් ඇතැම් විට ඊටත් වඩා අගයක් ගබඩා කිරීමට ලැබේ යැයි කීමේ වරදක් නැත. අප සතුව පැවැති සාම්ප්‍රදායික අස්වනු ගබඩාකරණයට අදාළ වී Paddy-Field2බිස්ස, අටුව සහ දුම්මැස්ස අද වන විට අභාවයට ගොස් තිබේ. මෙරට පැවැති සාම්ප්‍රදායික ගොවි සංස්කෘතියේ පිරිහීමත් සමඟ එය එසේ සිදුවූ බව ද පැහැදිලිය. නමුත් ඒවායින් ඉටු වූ අස්වනු රක්ෂණය අනාගත කාබනික වගා සංස්කෘතියක් වෙනුවෙන් අවශ්‍ය කරනවා ද යනුවෙන් හඳුනා ගැනීම වැදගත්ය. ඒත් සමඟම බැඳි පවතින අස්වැන්න කෘමි හානිවලින් වළක්වා ගැනීමට සාම්ප්‍රදායිකව ප්‍රයෝජනයට ගත් දෙහි, කොහොඹ හෝ නික වැනි ස්වාභාවික මූලාශ්‍ර වඩාත් සංවර්ධනීය තත්ත්වයකින් ඉදිරියට යන්නේ කෙසේ දැයි කල්පනා කිරීම ද කාබනික කෘෂිකර්මයක් වෙනුවෙන් පැහැදිලි අවශ්‍යතාවක් වේ.

කාබනික ගොවිතැන මූලික වශයෙන් ම පාරිසරික යහ සාධනය මෙන් ම මනුෂ්‍ය පැවැත්ම නිරෝගී බවට අවශ්‍ය ක්‍රියාකාරී මෙහෙයුමක් විය යුතු යැයි අපි මුලදීමත් කීවෙමු. ඒ අනුව සම්පූර්ණ වශයෙන්ම කාබනික ගොවිතැනක් ගැන කතා කරමින් එහෙත් මිනිස් සිරුරට කිසිදු පෝෂණීය දායකත්වයක් ලබා නොදෙන හුදෙක් වැඩි අස්වැන්නක් මත පිහිටා වගා කරන නිස්සාර වී වගා නිෂ්ඵලය. එය අත්හිටුවිය යුතු ය. අප සතු පෝෂණීය සහල් ප්‍රභේද අඩු අස්වැන්නක් ලබා දෙන්නේ ය යන මිථ්‍යාව පරාජය කිරීම ද ඒත් සමඟ ම සිදු විය යුතු ය. අප සහල් නිෂ්පාදනය කරන්නේ අපේ රටට අවශ්‍ය පමණටය. මහා පරිමාණ සහල් අපනයනයක් අදටත් අප අතින් සිදු නොවේ.

paddy-farmers-water-buffaloes-man-landscape-fields-photo-wallpaper.jpg

එසේ කරන්නට සිතුවත් ඒ වෙනුවෙන් නිර්මාණය වූ ජාත්‍යන්තර වෙළෙඳ පොළක් ද අපට නැත. එවැනි පසුබිමක් තුළ බහු ජාතික බීජ සමාගම් විසින් මෙරට සහල් නිෂ්පාදනය පහත් අගයකට ඇද දමමින් සිදු කරන්නා වූ ව්‍යාජ ඉගැන්වීම් තවදුරටත් පිළි නොගැනීම කාබනික වගා මෙහෙයුමක් වෙනුවෙන් අවශ්‍ය කොන්දේසියක් වේ. අපේ සාම්ප්‍රදායික වී වර්ග කීපයක් මෙ සේ ය. මේ ප්‍රභේද බොහෝ දුරට අපේ කුඹුරුවල නැති බව ද කිව යුතුය. රට අභ්‍යන්තරයේ වගා කළ යුතු (ඊට හේතුව එය කිවුලට ඔරොත්තු නොදීමයි) මාස 2 1/2 වී ප්‍රභේදයක් වන සුවඳැල් ලෛංගික ශක්තිය වඩන පැහැදිලි කටහඬක් ඇති කරන බහිස්ශ්‍රාවීය පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිරෝග කරන බවට සහතික කොට තිබේ. අනිත් අතට ලවණ සහිත පසට මඳ වශයෙන් ඔරොත්තු දෙන මාස 3 1/2 කළු හීනටි ශරීරයේ විෂ නසන බවටත්, මල බද්ධයට පිළියම් සපයමින් ශරීර ශක්තිය වඩන බවටත් සහතික මෙන්ම පිළිගත් වාර්තා තිබේ. එය නිවුඩු සහලකි.

හැට දා වී ලවණ පසට හොඳින් ඔරොත්තු දෙයි. දින 65 හේ රතු නිවුඩු සහලක් වන එය ශරීරයේ ඍජු බව ඇති කරන මලබද්ධය දුරු කරන්නකි. ශරීරය සිසිල් කරන වා පිත් සෙම් ආබාධ දුරු කරන්නකි. ලිංගික ශක්තිය වඩන මාස 3 රතු නිවුඩු සහලක්වන රත් දැල් ද ලවණතාවට ඔරොත්තු දෙයි. මේ අතර පච්චපෙරුමාල් ගැනෙන්නේ ලවණතාවට ඉතා හොඳින් ඔරොත්තු දෙන වී ප්‍රභේදයක් වශයෙනි. අධික මඩ සහිත කුඹුරුවල ද හොඳින් වැඩෙන එය මාස 3 1/2 රතු නිවුඩු සහලකි. පිසූ කල්හි රසවත් ආහාරයකි. දියවැඩියාවට මනා ඔසුවකි. ඒ ආකාරයට ම පිසු කල රසවත් අහරක් ලබා දෙන දහනල ද කිවුලට ඉතා හොඳින් ඔරොත්තු දෙන මඩ සහිත කුඹුරුවලත් සාර්ථකව වැඩෙන රතු නිවුඩු සහලකි.

අප සතු සාම්ප්‍රදායික වී ප්‍රභේද කිහිපයක් ගැන ඉහතින් කළ විස්තරය පෙන්වා දෙන්නේ මෙරට කාලගුණ සහ පාංශු විවිධත්වයට ගැළපෙන ආකාරයට ජෛවමය විවිධත්වයක් ඒවාට තිබෙන බවයි. එකී ගැළපීම් තුළ කොයි ආකාරයෙන්වත් ඒවායේ සාරවත් වර්ධනයට බාහිර රසායනික අවශ්‍ය වුණේ නැත. මේ අනුව කාබනික ගොවිතැන වස විස නැති ආහාර සංස්කෘතියක් ගැන කෙරෙන වගා සහ සමාජ සංස්කෘතික මෙහෙයුමක් සමඟ බද්ධ විය යුතුව තිබේ. එසේ නැතිව හුදු ප්‍රදර්ශන අලංකාරයන්ගෙන් නම් වැඩක් නොවේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s