මේ මොහොතේ මා සිටිනවා… ඒත් ඊලඟ මොහොතේ වෙනස්ම තැනකට යා හැකියි.- පසන් කොඩිකාර

229246_345011092255156_697551135_n.jpg

අපි කොතනින්ද මේ කතාව පටන්ගන්නෙ.? මම මෙහෙම කියන්නම්. මීට දශක දෙකකට පමණ පෙර ලබා ගත් විදෙස් අධ්‍යාපනයක්ද ඇතිව මවුබිමට ආ එක් තරුණයෙක් සාහිත්‍ය ලෝකයේ සැරිසරන්න පටන් ගත්තා. ඒ කාලයට සාපේක්ෂව ඔහුගේ ඇ\ූූම් පැලැඳුම්වල පවා වෙනසක් තිබුණා. විදෙස් සම්භාව්‍ය කෘති ගණනාවක්ම සිංහලට නැගූ ඹහු ඒ සඳහා කෘති තෝරා ගත්තේත් අමුතු පිලිවෙළකටයි. සමාජ දේශපාලනික වශයෙනුත් එක් ඉවුරක හුදෙකලා නොවූ මේ අමුතු තරුණයා ඒ ගැන මෙහෙම කියනවා. ”මම අද හිතන දේ හෙට දවසේ හිතන විදිහට බාධාවක් නොවිය යුතුයි” මේ, ඒ අමුතු තරුණයාගේ කතාවයි.

ඔබේ සාහිත්‍ය ආගමනය කෙසේ කවදා සිදු වී ද?11070790_879528135444398_7285886554601031424_n

මම ලියන්න පටන් ගන්නේ නම් පාසැල් සමයෙන් පසුවයි. විදේශ අධ්‍යාපනයක් ලබා පැමිණියාටත් පසුවය කියා කියන්න පුළුවන්. ඒ කාලයේ ලියූ කෙටිකතා පුවත්පත් වලත් පල වුණා. කොහොම හරි ඔය විදිහට ගිහිල්ලා තමයි මම පරිවර්තන කාර්යයටත් අත ගහන්නෙ. ඔබ කී ආකාරයට ඒ පරිවර්තන කෘතිවල අමුත්තක් තියෙනවා විය හැකියි. ඒ කෘති කියවු පාඨකයන් සමහර විට ඒවායේ එන සමාජ දේශපාලන දැක්ම ඔස්සේ මාව අමුතු විදිහකට කියෙවිවා වෙන්නත් පුළුවන්.

”මාස්ටර් සහ මාගරීටා” පසන් කොඩිකාර කියන පරිවර්තකයාව සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ චරිතයක් බවට පත් කලා යැයි මා කීවොත්..?

කෘතියක් හැටියටත් එය අභියෝගාත්මකයි. භාෂාව අතින් වගේම සමාජ දේශපාලන පසුබිම වශයෙනුත් එය විශාල පරාසයක පැතිරෙනවා. මුල් කාලයේදී අපි සෝවියටි රුසියන් සාහිත්‍යය ගැන සිතා සිටි ආකාරය ගැන ඔබත් දන්නවා. නමුත් මම සෝවියට් රුසියාවේ අධ්‍යාපනය ලබන්න යන්නේ එහි පෙරස්ත්‍රොයිකා වෙනස සිදුවන කාලයේදීයි. ඒ නිසාම රට තුළ වාරණයට ලක් වූ කෘති කියෑවීමේ අවස්ථාව මට ලැබුණා. ඒත් සමගම ඒ තහනම් කෘති ඇසුරේ නුහුරු වගේම අපූරු අත්දැකීම් විඳ ගැනීමේ අවස්ථාවත් අපට ලැබෙනවා. ඒ අත්දැකීම් සිංහල බසට නැගීමේ බලවත් ආශාවක්ද මා තුළ හට ගන්නවා.

ඒ නුහුරු අත්දැකීම් සම්බන්ධයෙන් සිංහල පාඨකයාව ප‍්‍රමාණවත් අයුරින් දැනුවත් කිරීමට ඔබ සමත් වුණා යැයිි ඔබ සිතනවාද?

බොහෝ අවස්ථාවවලදී කෘතියේ පෙරවදන ඒ වෙනුවෙන් යොදා ගත්තා. ඒ අනුව කෘතියේ විශේෂත්වය, හඳුණාගත යුතු සාධක, ආදී කරුණු ගැන විස්තර ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒත් දේශපාලනික වශයෙන් ඒවා පටු දේශපාලන තීරු වලට ගොනු කරන්න අපට පුළුවන්කමක් නෑ. එසේ කළ හැකි නම් ඒවායේ සම්භාව්‍යත්වයක් ඇතැයි කීමේ කිසිම තේරුමකුත් නෑ. මම කැමතියි ඒ ගැන මෙහෙම කියන්න. රුසියානු සම්භාව්‍යය සාහි්‍යයේ ඒ පොහොසත්කම ඔවුන් තමන්ගේ නූතන සාහිත්‍යයට අරගෙන ඇවිත් තිබෙනවා. මිහායිල් ගුල්ගාකොව් එවැනි ප‍්‍රතිභාසම්පන්න ලේඛකයෙක්. එවැනි අග‍්‍රපල ලෙසින් ගැනෙන කෘතිවල පටු දේශපාලනයක් සෙවීම කිසිම තේරුමක් නැති වැඩක්. අනිත්තෙක එහෙම හොයන්න බැරිකමකුත් ඒ කෘති වල තියෙනවා. අවසාන විග‍්‍රහයේදී එයම ඒ කෘතියේ පොහොසත්කම බවටත් පත් වෙනවා. එවැනි පොහොසත් කෘතියක් මොනම හේතුවක් නිසාවත් ලඝු කරන්න බැහැ.

නමුත් සිග්මන් ෆ්‍රොයිඞ් කියන්නේ එවැනි සාහිත්‍යයික විඳීමක් නොවෙයි

ඔව්. නමුත් ෆ්‍රොයිඞ් ගැන අපට කියැවීමක් තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයේදී ෆ්‍රොයිඞ්වාදී ඉගැන්වීම් ගැන අපි අවබෝධයක් ලබනවා. එහෙම වුණත් එහි මූලික ඉගැන්වීම් ගැන අපට අවබෝධයක් නෑ. පොදුවේ ගත්තම ඒ මූලික ඉගැන්වීම් ගැන අවබෝධයක් ඇත්තෙම නැති තරම්. ඒ නිසාම ඒ මූලික ඉගැන්වීම් මා තුළ ලොකු ආකර්ශනයක් ඇති කළාය කිව්වොත් නිවැරදියි. ඒ කෘතිය මට ආස්වාදයක් වුණා. ඒ වගේම පරිවර්තන කටයුත්තේදි අභියෝගයක්ද වුණා. ඉතා පැහැදිලිවම ෆ්‍රොයිඞ් සම්බන්ධයෙන් පූර්ණ හැදෑරීමක් අපට නැහැ. අධ්‍යාපනයේදී, නාට්‍ය, සාහිත්‍ය කලා ඇසුරේදීත් ෆ්‍රොයිඩියානු සංකල්ප ගැන අවබෝධයක් අප ලබනවා. ඒ නිසාම ඔහුගේ මනෝ විශ්ලේෂණ සම්බන්ධ කියවීම් ධාරාවකට අපි යොමු වෙනවා. ඒ වගේම ෆ්‍රොයිඞ්ගේ මනෝ විග‍්‍රහය නූතනවාදී හැදෑරීම්වලටත් ලොකු බලපෑමක් වගේම පෙළඹවීමක්ද කරනවා. ඒ හැදෑරීම් අපට අවශ්‍යයි.

ගාර්ෂියා මාර්කේස් ගැන ඔබගේ හැදෑරීම කොහොමද?
මම අතගහපු තවත් අභියෝගාත්මක කටයුත්තක් තමයි එය. ලතින් ඇමරිකන් සාහිත්‍ය එය සතු ආවේණික විශිෂ්ටත්වය නිසාම ලෝක සාහිතය තුළ කතාබහක් ඇති කරනවා. මාර්කේස් ගේ ”සියවසක හුදකලාව ”ත් ලෝක සාහිත්‍ය තුළ බරපතල කතාබහක් ඇතිකල බව අපි දන්නවා. ඒ නිසා එවැනි අභියෝගාත්මක ප‍්‍රයත්නයක් වෙනුවෙන් ලොකු පෙළඹවීමක් මා තුළ ඇති වූ බව කියන්න ඕනේ.

ඒ වගේම පරිවර්තන සාහිත්‍යකරුවෙකුට ලැබෙන ලොකුම අභියෝගයක් තමයි ” මුර්කුසාගේ ජීවිත දැක්ම නම් කෘතිය. එහි කර්තෘවරයා සංගීතඥයෙක්. ඒ වගේම නවකතාකරුවෙක්. එය ජර්මන් සාහිත්‍යයට අයිති කෘතියක්. ඉංග‍්‍රීසි භාෂාවටවත් පරිවර්තනය වෙලා තිබුණේ නැහැ මම එහි මුල් පිටපතක් රුසියන් භාෂාවෙන් කියවද්දී. රුසියානු මහා ලේඛක ගොගොල්ටත් මේ කෘතිය බලපා තිබෙන බව සඳහන් වෙනවා. ඊළඟට ගුල්ගාකොව්ට ගොගොල්ව බලපෑවේ කොයිතරම් දුරකටද ඒ හා සමානවම මේ ජර්මානු ලේඛකයාත් ඔහුට බලපෑම් කොට තිබෙනවා. තවත් වැදගත් කාරණයක් තියෙනවා කියන්න. ඒ තමයි අද අපි කතා කරන ඉන්ද්‍රජාලික යථාර්තවාදය එක් දහස් හත් සිය ගණන්වල ඉඳලාම පැවතුණාය කියන කාරණය. ඒ අනුව එහි මුල් ස්වරූපය මේ කෘතියේ දකින්්න තියෙනවා.

ඔබ නැමැති පුද්ගලයා කවුද? ඔහු ඔබ තුළ සිටිනවාද? එය ප‍්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කලොත් ඔබේ පිළිතුර කුමක්ද?

මං ගැන කියනවා නම් නිශ්චිත අදහසක නෙමෙයි මම මා ගැනම ඉන්නේ. මම මා තුළම සංවාදයක යෙදෙනවා. තෝරා ගැනීමකින් තොරව නිරීක්ෂණය මතම පිහිටමින් මම නැමැති පුද්ගලයා සමාජ පැවැත්මක් සොයා යමින් සිටිනවා. මා කවදත් නිශ්චිත මතයක හෝ දෘෂ්ටියක සිටියේ නෑ. අදටත් නෑ. මේ මොහොතේ මා සිටිනවා. මේ මොහොතේ සිටින මා ගැන මං දන්නවා. ඒත් ඊළග මොහොතේ බොහෝ විට මා වෙනස්ම තැනකට යා හැකියි.

548286_345011248921807_645248556_n

එහි තේරුම ප‍්‍රතිපත්තියකින් තොර බව යැයි මා කීවොත්?

ප‍්‍රතිපත්තිය කියන දේ සරල අර්ථයෙන් ගන්න මම කැමැති නැහැ. තවද මම මටම බාධාවක් වෙනවට කැමතිත් නැහැ. ඊළඟ මොහොතේ මා දරන අදහසට මමම වුණත් බාධාවක් විය යුතු නැහැ. එවැනි බාධා වලට මම කැමැති නැහැ. ඒත් අවාසනාවකට වගේ එවැනි බාධාවල් මා තුළ තිබෙන බව මා හඳුනා ගන්නවා. කොහොම වුණත් අප අපි වෙනුවෙන්ම ගොඩ නඟා ගන්නා ප‍්‍රතිරූප වලින් තොරව මේ කටු අකුල් වලින් ගැලවිලා නිදහස් වී යන්න මම කැමතියිිිිිිිිි. සාහිත්‍ය කෘති පරිවර්තනයේදී වුණත් මගේ කැමැත්ත වන්නේ අභියෝගාත්මක කටයුත්තකට අත ගහන එකයි. ඒ වගේම අළුත් හඳුනාගැනීම් එමෙන්ම වටිනාකම් සමාජයට එකතු කරන්නත් මම කැමතියි.

”පිටස්තරයාගේ මරණය” ඊට නිදර්ශනයක්ද?

අන්ද්රෙයි කුර්කොව්ගේ කෘතියක් වන එය මෑත කාලීන රුසියානු සාහිත්‍යයට අයත් කෘතියක්. මෙතෙක් කාලයකට අපි කියෙව්වේ මහා රුසියානු සාහිත්‍ය කෘති. ඒ වගේම සෝවියට් සාහිත්‍ය කෘති. එහෙත් මෙය ඉතා මෑත එනම් අනූවෙ දශකයට අයත් වූවක්. අළුත් හඳුනාගැනීමක් වගේම අද රුසියාව කියවීමක් ලෙසිනුත් සැලකිය හැකියි.

වර්තමාන විශ්ව විද්‍යාල පරිසරය නිර්මාණ හීන තත්වයක් කරා ගොස් ඇතැයි නැගෙන චෝදනාවට ඔබට පිළිතුරක් තිබෙනවාද?

විශ්ව විද්‍යාල පරිසරය හැටේ දශකයේදී කැපී පෙනෙන සුවිශේෂතා අත්කර ගෙන තිබුණා. වැඩවසම්වාදී සමාජය ක‍්‍රමයෙන් වෙනස් වන තැනකයි එදා රට තිබුණේ. ශිෂ්‍යයන් වශයෙන් ගත්තමත් ඔවුන් ද්විභාෂිකයි. ඒ නිසාම ඒ අයගේ සාහිතය මෙන්ම ශාස්ත‍්‍රීය දැනුම පෘථුල තැනක තිබුණා. මේ අය ද්විභාෂීය කියවීමත් සමඟ සමාජීය වශයෙන් පරිවර්තනීය ගමනක යෙදුණා. පසුව අපිට එය අහිමි වුණා. නමුත් මෑතක සිට යළිත් ඒ තත්වය ගොඩ නැෙඟන ආකාරයත් දකින්නට පුළුවන්. අහිමි වූ ඒ සමාජ මෙන්ම බුද්ධි වටිනාකම් සොයා යන තත්වයක් නිරීක්ෂණය කරන්නත් පුළුවන්. එවැනි වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒත් මතක තියාගන්්න ලෝකය අපිව පහු කරලා මේ වනවිටත් හුඟාක් දුර ගිහිල්ලා.

(මෙම සාකච්ජාව මුලින්ම පළ වූයේ 2012. 12. 16 දින රන්දිව පුවත් පතෙහිය.*

සාකච්ජා කළේ – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s