කිඹුලන්ට, සංහාරය නොව සංරක්ෂණය ලබා දෙන්න. – පරිසරවේදි පුබුදු වීරරත්න

crocodile-971489_960_720.jpg

සුදු වළාකුළු ඉහළ අහසේ සෙමින් පා වී යද්දී මදලස ගමනින් නිල්වළා තොමෝ එදෙස බලමින් ගලා යන්නීය. නමුත් පසුගිය කාලය පුරාම මේ ගංගාව මිනිස් – කිඹුල් ගැටුම් හමුවේ බලවත් චෝදනාවන්ටද ලක් විය. නිල්වළාවේ වෙසෙන කිඹුලන්ගේ ප‍්‍රහාරයට ලක් වී විනාශ වූ මිනිස් ජීවිත ගැන මෙන්ම මිනිසුන් අතින් ඝාතනය වූ කිඹුලන් සම්බන්ධ වාර්තා පසුගිය කාලයේදී පුවත්පත්වල නිතර පළ විය. මේ සියල්ල සිදු වන්නේ මිනීමරු කිඹුලන් නිසා යැයි පවසමින් වන ජීවී නිලධාරින්ද සිදු කරන්නේ උන් අල්ලාගෙන ගොස් වෙනත් ප‍්‍රදේශයකට අත් හැරීමය. මෙසේ එවැනි සතුන් අල්ලාගෙන ගොස් වෙනත් ප‍්‍රදේශ වලට අත් හැරීම සාර්ථක ක‍්‍රම වේදයක් දැයි ”කිඹුලන් පිළිබඳ ජාත්‍යන්තර උපදේශක කමිටුවේ” සාමාජික සමීර කරුණාරත්නගෙන් මම වරක් ඇසුවෙමි. සමීර පැවැසූ අන්දමට එසේ ගෙනගොස් දැමීමෙන් සිදු වන්නේ ප‍්‍රදේශවාසී සතුන් හා ආගන්තුකයා අතර ගැටුම් ඇති වීමයි. එසේ නැත්නම් ඒ ආගන්තුකයා එකී ප‍්‍රදේශයට ආක‍්‍රමණිකයෙකු වීමයි. තවද ඒ ආගන්තුක සත්වයා බෝ වෙන රෝග තත්වයක් ඇති සත්වයෙකු වුවහොත් ප‍්‍රදේශවාසී සතුන්ටද ඒ රෝගය බෝ වී පැතිර යාම නොවැළැක්විය හැකි කරුණක් වෙයි. එසේ බලන කළ වන ජීවි කළමණාකරණය යනු මෙවැනි ආතක් පාතක් නැති කටයුතු නොවන බව පැහැදිලිය.

කෙසේ වුව නිල්වළාවේ මිනිස් – කිඹූල් ගැටුම ක‍්‍රමයෙන් උග‍්‍ර වෙද්දී ප‍්‍රශ්නකාරී කිඹුලන් අල්ලා ගැනීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක විය. ඊට අදාලව ප‍්‍රධාන පෙලේ පරිසරවේදීන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගැනීමටද වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය. ඔවුන් අතරින් කෙනෙකු වූ පුබුදු වීරරත්න පෙන්වා දෙන අන්දමට කිඹුලන් වෙසෙන ඒ කලාපය අතීතයේ සිටම ඒ සතුන් විසූ ඔවුූන්ගේ නිජබිම් කලාපයක් වේ. නමුත් අද වන විට සිදු වී ඇත්තේ නිල්වළා ගංඟාව නම් ඒ කිඹුලන්ගේ නිජබිම් කලාපයේ පේ‍්‍රරණ කළාපයද ඉක්මවමින් මිනිස් ජනාවාස පැතිරී යාමයි. ඒත් සමඟම ඒ පේ‍්‍රරණ කලාපය තුළ මානව ක‍්‍රියාකාරකම් බහුල වීමයි. ඒ අනුව ප‍්‍රතිපලය පැහැදිලිය. කිඹුලන්ට ඔවුන්ගේ ගොදුරු බිම් අහිමි වී තිබේ.

captured-crocodile

ගංගාවක ස්වාභාවික පැවැත්ම වෙනුවෙනුත්, එහි වෙසෙන සත්වයින්ගේ ආහාර බිම් වශයෙනුත් පේ‍්‍රරණ කලාපයක අවශ්‍යතාව ප‍්‍රතික්ෂේප කළ නොහැක. නමුත් අදාල ප‍්‍රදේශයේ ඒ සියලූ පාරිසරික තත්ව මිනිසා විසින් ආක‍්‍රමණය කරනු ලැබ ඇති බව පුබුදු වීරරත්න පවසයි. ඒ අනුව නිල්වළාවේ කිඹුලන් ගෙඟන් ගොඩ වන විටම හමු වන්නේ මිනිස් ජනාවාස නම් එහි වරදකරුවන් වන්නේ කිඹුලන් ද? මිනිසුන් ද? ඒ ගැන වෙනම සිතිය යුතුය. ඉතා පැහැදිලිවම නිල්වළාව ඇසුරේ පමණක් නොව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල නිර්මාණය වෙමින් පවතින මිනිස් – කිඹුල් ගැටුමේ සාපරාධී කර්තෘත්වය කිඹුලන් මතම පැටවීම කොහෙත්ම සාධාරණ නොවේ. ඉහත කී කරුණ නිසාම මේ සත්වයෝ බරපතල ආහාර අහේනියකට මුහුණ පා සිටිති.

ගංගා පත්ලද බිඳී යන අයුරින් වැලි හෑරීමද උක්ත ප‍්‍රශ්නය උග‍්‍ර කරන තවත් සාධකයක් වශයෙන් හඳුණාගෙන තිබේ. එසේ ගංගවාල වැලි හෑරීම හේතු කොට ගෙන ගැඹුරු වන ගංගා පත්ල කරා කරදිය ගලා ඒම අද පොදු තත්වයක් බවට පත්වී තිබේ. කිඹුලා මේ කරදිය මුසු ජල පරිසරයට කැමැති සත්වයෙකි. ඒ අනුව මෙතෙක් කලපු හා ඒ ඇසුරේ වෙසුණ කිඹුලන් ක‍්‍රමයෙන් රට මැදට ඇදී ඒම වෙනදාට වැඩියෙන් සිදුවේ. නිල්වළා ගංගාව ගත් කල අද එම අර්බුදයටත්, නාගරික සහ කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීමටත්, තවද ගව ඝාතනාගාරවල සත්ව අපද්‍රව්‍ය බැහැර කරන අපද්‍රව්‍ය මූලාශ‍්‍රයක් බවටත් පත්ව තිබේ. මේ නිසා එහි වෙසෙන කිඹුලන්ට මාංශ සහ රුධිරයේ රසය හොඳින් හුරු පුරුදු වී ද තිබේ. මීට විසදුමක් වශයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කිඹුලන් සංරක්ෂණය කිරීමට මාතර – කිරල කැලේ මෙන්ම මුතුරාජවෙල යොදා ගන්නා බවට අදහසක් පලවී තිබේ. එහෙත් පරිසරවේදී පුබුදු විරරත්නගේ අදහස වන්නේ එහි සාර්ථකත්වය ගැන ස්ථිර අදහසක් දිය නොහැකි බවයි. විශේෂයෙන්ම අධික වර්ෂාවකදී ඇතිවිය හැකි ගංවතුරත් සමඟ මෙම කිඹුලන් එම ප‍්‍රදේශ ඉක්මවා ගමන් කිරීම වැලැක්විය හැක්කක් නොවේ. එවිට යලිත් පරණ තත්වයම ඇති විය හැකිය. දෙවනුව එසේ ආගන්තුක ප‍්‍රදේශවලට ගෙන ගොස් දමන කිඹුලන් ආහාර අහේනියකට මුහුණ දීමේ අවදානමක්ද තිබේ. සාමාන්‍ය තත්වයකදී වුණත් ගොදුරු සොයා ගෙන සෑහෙන දුරක් ගමන් කිරීමේ හැකියාවක් කිඹුලාට ඇත. එවිට ආගන්තුක ප‍්‍රදේශයේදී මුහුණ පාන ආහාර අහේනිය ඉදිරියේ මෙම සතුන් නැවතත් සිය ගොදුරු බිම් කරා නොයන බවට දිය හැකි සහතිකය කුමක්ද?

10501931_10204499056381577_7425264373257857137_n.jpg
Pubudu Weerarathna – Environmentalist

අවසාන වශයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සතුන් අල්ලා මුදා හරින ක‍්‍රමය ගැනද අත්දැකීම් සහිත කතා තිබේ. උදාහරණයක් ලෙස නිල්වළාවෙන් අල්ලා ගත් කිඹුලෙකුව දඟලන්නට බැරි ආකාරයට වර පටින් බැද යාල කලාපයට ගෙන ගොස් නිදහස් කොට ඇත්තේද මඩ සහිත වැවකට යයි දැන ගැනීමට තිබේ. යාල වන ජීවී ආරංචි මාර්ගවලට අනුව එම සත්වයා ඒ වනවිටත් සිටියේ අඩපණ වූ තත්වයකය. උගේ ඉදිරිපස ගාත් ගැට ගසා තිබුණේ ඉහලට එසවෙන ආකාරයටය. පසුව එම ප‍්‍රදේශයට ගෙන ගොස් වරපට ලිහා දැමුවත් බොහෝ වෙලාවක් යනතුරු එම ගාත් පහලට ගැනීමට නොහැකිව අසරණ තත්වයෙන් පසු වී ඇති එම කිඹුලාව එතැනින් එළවා දමන්නට මෙම නිලධාරීන් බොහෝ සේ ශබ්ද පවත්වා ඇත. කූඩුවක් තුල සිටි එම සත්වයාව එලියට ගැනීමට කූඩුවට පවා පහර දී ඇත. අනතුරුව එම කිඹුලා මහත් අසීරුවෙන් බඩ ගා එළියට ගොස් දවසක් පමණ යනතුරු එක තැන ලැග සිට ඇත. ඊට හේතුව ඌ අතිශයින්ම දුර්වලවී සිටීම බව පැහැදිලි විය.

එසේ අඩපණ වූ එම සතුන් යලිත් ක‍්‍රියාශීලි වී පුරුදු තත්වයට පත් වෙනු ඇතැයි මෙම රජයේ නිලධාරීන් සිතනවා නම් ඊට වඩා අභාග්‍යයක් තවත් නැත. සතුන් නොමරා මරන මෙම ප‍්‍රතිපත්තියට වන ජීවි සංරක්ෂණය යැයි කිව නොහැකිය. ඉඳින් ඔවුන් එය එසේ යැයි සිතනවා නම් ඒ වනාහි ජාතියක් වශයෙන් අප ලබන අන්ත පරාධීන තත්වයක් වේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Views – 1,425

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s