මා දකින අමරදේව අඩකින් ජයග්‍රාහීයි අඩකින් පරාදයි

 

එරික් ඉලයප්ආරච්චි

අමරදේවයන්ගේ මෙහෙවර තුලනාත්මකව පහදා දීමට උත්සාහ දරන ප්‍රවීණ විචාරක, ලේඛක එරික් ඉලයප්ආරච්චි මේ සාකච්ඡාවේ දී මෙරට සංගීත ක්ෂේත්‍රයේ වැසී තිබුණු ප්‍රදේශයක් විදාරණය කිරීමට උත්සාහ දරයි.

* මේ වන විට බොහෝ විචාරකයින් අමරදේව හා ඔහුගේ සංගීත භාවිතය පිළිබඳ නොයෙක් මත ප්‍රකාශ කරමින් සිටිනවා. නමුත් මේ මතවල විද්‍යාත්මක පදනම ගැන ඔබ සිතන්නේ කුමක්ද?

අමරදේව තමයි අපේ රටේ අසහාය සංගීත පෞර්ෂයක් හැටියට ගොඩනැගෙන්නේ. ඒවගේම මේ ගොඩනැගීමේ දී ඔහුamaradeva-img_assist_custom තමයි ජාතික සංගිතඥයා හැටියට ප්‍රකාශයට පත්වෙන්නේ. ඒ අනුව අපේ රටේ සංගීතයේ සංඥාව ලෙස ඔහුගේ රූපය (Image) තමයි හඳුනා ගැනෙන්නේ. විශේෂයෙන්ම විදග්ධ වියත් සමාජය තුළ ඔහු තමයි වඩාත්ම ශාස්ත්‍රීය ගායකයා හැටියට හඳුනාගන්නේ. එහි දී ඔහුගේ රූපය (Image) තමයි, සිංහල සංගීතයේ ප්‍රධාන රූපය (Image) බවට පත්වෙන්නේ. අසන්නෙක් ලෙස අමරදේවගේ මේ ‘රූපය'(Image) නැති නම් විෂය (Subject) කියවීමට විද්‍යාවක් සොයා ගත යුතු වෙනවා. එයයි සංගීත කලා විචාරකයකුගේ මේ මොහොතේ වගකීම වන්නේ .

* අමරදේව කියවීම සඳහා විද්‍යාවක් ගොඩනගනවා නම් ඒක කරන්නේ කොහොමද?

අමරදේව කියවීම සඳහා විද්‍යාවක් සොයා ගැනීම අද දවසේ විචාරකයින් සතු සංස්කෘතික වගකීම බවට පත්ව තිබෙනවා. එවැනි විද්‍යාවක් සොයා යෑමේ දී එය හුදෙක් සංගීතයට පමණක් සීමා වූවකට වඩා සමාජීය සහ මනෝ විශ්ලේෂණාත්මක ප්‍රවේශයක් බවට පත් වෙනවා. ඒ අනුව අමරදේව කියවීමේ විද්‍යාව අපට ගොඩනගා ගැනීමට සිදුවන්නේ, මෑත යුගයේ කලා විචාර ක්ෂේත්‍රයට ඇතුළු වෙච්ච මනෝ විශ්ලේෂණය, ඒ වගේම සංඥාර්ථ වේදය (සංඥාර්ථ විද්‍යාව) සංඥාර්ථ විශ්ලේෂණය ආදිය ඔස්සේයි. ඒ සඳහා සංඥාවේදය පැත්තෙන් රෝලන්ඩ් බාත්වත්, මනෝ විශ්ලේෂණය පැත්තෙන් ලකාන්වත්, සංඥාර්ථ විශ්ලේෂණය පැත්තෙන් ජූලියා ක්‍රිස්ටේවාවත් උපයෝගී ගරගෙන අපිට මේ විද්‍යාව ගොඩනගා ගැනීමට පුළුවන්. සංගීත විශ්ලේෂණය සඳහා උපයෝගී කරගත හැකි විද්‍යාව වන්නේ මේ ක්‍රමවේදය යි.

 ඉහත සඳහන් කළ ආකාරයට එම චින්තකයින් පදනම් කරගෙන අමරදේව කියවීමේ විද්‍යාව ඔබ ගොඩ නඟන්නේ කොහොමද?

563b5dd5f1a0e931af28e03a9bb3b8c8_XL (1).jpg

amaradewa_1_සංගීතය සහ භාෂාව අතර සම්බන්ධතාවය අරන් බැලුවොත්, භාෂාව කියන්නේ සංඥා පද්ධතියක්. සිමියොටික් (semiotics) සිස්ටම් එකක්. ඒ වගේම සංගීතය කියන්නෙත් සංඥා පද්ධතියක්. රෝලන්ඩ් බාත් මෙය පැහැදිලි කිරීම සඳහා බෙනිවිස්ටේ කියන චින්තකයා උපුටා අරගන්නවා. ඒ අනුව භාෂාව, සිනමාව, සංගීතය, චිත්‍ර කලාව,සෙල්ලම් බඩු, ක්‍රීඩාව…ආදී වශයෙන් සංඥාර්ථ පද්ධති ගොඩක් ඔහු හඳුන ගන්නවා.මේ සියල්ල අතරින් භාෂා සංඥාර්ථවේදයේ පවතින සුවිශේෂත්වය තමයි, වෙනත් සංඥාර්ථ පද්ධතීන් අර්ථකථනය කිරීමට ඇති හැකියාව. ඒක අනෙක් ඒවට කරන්න බැහැ. උදාහරණයකට සංගීතයට බැහැ භාෂාව විශ්ලේෂණය කරන්න. ඒ වගේ ම චිත්‍රකලාවට බැහැ භාෂාව අර්ථකථනය කරන්න. ඒ අනුව අනෙක් සංඥාර්ථ පද්ධතීන් අර්ථකථනය කරන්න පුළුවන් භාෂාවට පමණයි. එය සිංහල සංගීතය කියවී සඳහා යොදා ගත්තොත්, අපට ඒ තුළ පවතින ගැටලුවක් නිරාවරණය වෙනවා. ඒ තමයි භාෂාව තමන් තුළ පවතින මේ මහඟු හැකියාව ඔස්සේ වෙනත් සංඥාර්ථ පද්ධතීන් අර්ථකථනය කරන්න ගියාම ඒ සංඥා පද්ධතීන්ට සිද්ධ වෙන විනාශයක් තිබෙන බව. අපි මේ කාරණාව සිංහල සංගීතයට සම්බන්ධ කළොත්, සිංහල භාෂාව විසින් සංගීතය අපේ රට තුළ අර්ථකථනය කර ගන්නා අභ්‍යාසයට තමයි අපි සිංහල ගීතය කියන්නේ. ඒ අනුව සංගීතය අර්ථකථනය කරන්න. සිංහල භාෂාව යනවා මෙන්න මේ අර්ථකථනයේ ප්‍රථිඵලයක් විදියට තමයි සිංහල ගීතය බිහි වෙන්නේ.

* මේ ආකාරයට කිසියම් භාෂාවක් විසින් හිතුවක්කාරී අන්ඳමින් සංගීතය අර්ථකථනය කළොත් එතනදි සංගීතයේ පවතින ශ්‍රවන ගුණයට සිදු වන්නේ කුමක්ද?

භාෂාව විසින් සංගීතයේ පවතින මේ ශ්‍රවන ගුණය මර්දනය කිරීම හරියට අර කුඩාරමට රිංගපු ඔටුව වගේ වැඩක්. ශ්‍රවන ගුණය කියන්නේ සංගීතය නම් භාෂාව කියන්නේ ඔටුව නම්, සංගීතය ඇතුළට භාෂාව කියන ඔටුවා ඔළුව දාගන්නවා. පසුව මුළු කූඩාරම ම අයිති කර ගන්නවා. අපේ සිංහල ගීතය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එනම් සිංහල භාෂාව විසින් සංගීතයේ පවතින මේ ශ්‍රවන ගුණ , අනන්‍යතා ගුණ ඔක්කොම තමා තුළටම අවශෝෂණය කරගන්නවා. මේ ගැටලුව තමයි, සිංහල ගීතයේ පවතින මූලිකම ගැටලුව ලෙස මම හඳුනා ගන්නේ.

* අපට මේ සඳහා ඔබ කලින් සඳහන් කළ මනෝ විශ්ලේෂණය දායක කරගත හැක්කේ කවර ආකාරයටද?

thumb500_amaradewa_04රෝලන්ඩ් බාත් කියන කාරණාවක් තමයි, සංගීතය තුළට භාෂාව කඩා වදින්නේ පරිකල්පනීය ප්‍රවේශයකින් බව. ඒ අනුව පරිකල්පනය, සංඥාව සහ යථ කියන ලැකානියානු වෙන් කිරීම අනුව සංගීතය අයත් වන්නේ පරිකල්පනීය මොහොතකට. එනම් මේ සංගීතය තුළට භාෂාව කඩා වදින්නේ පරිකල්පිතය ලෙසයි. එය එක්තරා ආකාරයක ළදරු තත්ත්වයක්. එනම්, සංගීතය කියන සංකේත ලෝකය තුළට භාෂාව ඇතුළු වෙන්නේ ළදරු පරිකල්පිතයක් ලෙස. මේ හේතුවෙන් සංගීතයට තමන්ගේම අවිඥානයක්, තමාගේම වූ ගැඹුරුබවක් ඇති කර ගැනීමට සංගීතයට ඇති හැකියාව මේ ළදරු පරිකල්පිතය විසින් සීමා කරනවා. එවිට ගොඩනැගෙන්නේ අවිඥානයක් රහිත සංගීතයක්. උදාහරණයකට අපි බීතෝවන්ගේ සංගීතය හෝ රාගධාරී සංගීතය ගත්තොත් ඒ තුළ ගැඹුරු අවිඥානයක් වගේම සවිඥානයකුත් පවතිනවා. සංගීතයට ඇතුළුවන මේ භාෂාවේ ළදරු පරිකල්පනීය තත්ත්වය (භාෂාව තමාගේ ක්ෂේත්‍රය තුළ ළදරු තත්ත්වයක පවතින බව මින් අදහස් වෙන්නේ නැහැ.) නිසා සංගීතයේ වැඩෙන මනස අවුරනවා. මෙය තමයි අද සිංහල සංගීතය මුහුණ දී සිටින ඛේදවාචකය.

* ඔබ කියන්නට උත්සාහ කරන්නේ ප්‍රතිභාවෙන් අනූන සංගීතය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු, ඉන්දීය රාගධාරී සංගීතය හැදෑරූ, විදග්ධ සංගීතඥයෙක් වන අමරදේව ඔබ ඔය කියන ඛේදවාචකයේ ගොදුරක් වෙනවා කියාද?

හරියටම හරි. ඔහු සංගීතයේ මේ මහ ගැටයට අහුවෙනවා. නැති නම් ඒ දැලේ පැටලෙනවා. අපට සිංහල සංගීතය හා අමරදේව පිළිබඳ කතා කරන්න වෙන්නේ මෙන්න මේ විද්‍යාව මත පදනම්වයි. සංගීතය තුළට භාෂාව ඇතුළු වෙද්දි සංගීතයට ලොකු හානියක් සිදු වන බව රෝලන්ඩ් බාත් සඳහන් කරනවා. භාෂාවෙන් විතරක් මේ සංගීත නිර්මාණය කරන්න ගියාම විතරක් නෙමෙයි විචාරය කරන්න ගියාමත් ලොකු අවුලක් සිද්ධ වෙනවා. භාෂාවෙන් සංගීතය විචාරය කරන්න පුළුවන් එක්තරා සීමාවක් දක්වා පමණයි. මේ සීමාව නිසා හැම මොහොතකම භාෂාව නාම විශේෂණ (adjective) හැටියට තමයි සංගීතය දෙස බලන්නේ. භාෂාවට මේ තුළට ඇතුළු වෙන්න වෙනත් ක්‍රමයක් නැහැ. මේ නිසා මිහිරි සංගීතය, කන්කළු සංගීතය, අමිහිරි සංගීතය, ජනප්‍රිය සංගීතය, සම්භාව්‍ය සංගීතය, බටහිර සංගීතය, ජාතික සංගීතය, සිංහල සංගීතය, ජන සංගීතය,පර්යේෂණාත්මක සංගීතය, ප්‍රබුද්ධ සංගීතය, පීචං සංගීතය… ආදී වශයෙන් නාම විශේෂණ ගොඩක් හැදෙනවා. මේ නිසා නාම විශේෂණවලින් තොරව සංගීතය පිළිබඳව අපට කතා කළ නොහැකි වෙනවා. මේ නිසා නිවේදකයෙක් නැතිව සංගීතය ගෙන යන්න බැරි තත්ත්වයකට අපි පත් වෙනවා. මේ ගැටලුව නිසා නිවේදකයාගේ භූමිකාව අපට සංගීත ප්‍රසංගකදි නැතිව බැරි සාධකයක් බවට පත් වෙනවා. බටහිරට ගියාම මයිකල් ජැක්ෂන්,මැඩෝනා,ප්‍රින්ස්,බෝයි ජොර්ජ්…මේ අයට නිවේදකයො නැහැ. නමුත් අපට නිවේදකයො ඉන්නවා. අපේ රටේ සංගීතය හසුරුවන්නේ භාෂාවෙන්. මේ නිවේදකයො වැඩිපුරම පාවිච්චි කරන්නේ නාමවිශේෂණ. ඒ අනුව අපේ නිවේදකයා කියන්නේ මිනිස් අවයව ලැබූ නාම විශේෂණයකට. අමරදේවට සංගීතඥයෙක් හැයියටත්,ගායකයෙක් හැටියටත් තමන්ගේ සංගීත දිවිය ගෙවන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ සංගීත ලෝකය තුළ යි.

* මේ තුළ අමරදේව සූවිශේෂී වෙන්නේ කොහොමද?.

amaradewa-1අපට අමරදේව පිළිබඳව කතා කරන්නට සිදුවන්නේ භාෂාව (language ) සහ හඬ(voice) කියන පදනමේ සිටයි. රෝලන්ඩ් බාත් සඳහන් කරන ආකාරයට ගායකයා කියන කෙනා නිමවෙලා තියෙන්නේ හඬ අණු (grain of voice) වලින්. මෙතනදි අණු කියලා අදහස් කළේ යමක් සකස්වී පවතින දේ කියන අදහසින්. සංගීතය සහිත ගායකයා සහ භාෂාව එකතු වන මොහොතේදී තමයි මේ හඬඅණු (grain) හැදෙන්නේ. මේක ද්විත්ව(Double) නිෂ්පාදනයක්. අමරදේවගේ ස්වන අණු (grain of voice of Amaradewa) කියලා අපි ඒකට කියමු. සරලව කිව්වොත් අමරදේව සිංහලෙන් ගායනා කරද්දී ඉතා විශිෂ්ට හඬඅණු නිෂ්පාදනය කරනවා. ඒ ගැන සැකයක් නැහැ. මෙහෙම හදන හඬ අණු කොතරම් විශිෂ්ටද කියනවා නම්, මේ ගායනා කරන්නේ අපි සහ අපේ භාෂාව කියලා. අපට හැඟෙනවා එවිට අමරදේව ගායනා කරනවා කියන්නේ සිංහල භාෂාව ගායනා කරනවා කියන එකයි. අමරදේවම භාෂාව බවට පත්වෙනවා. විලියම් ශේක්ස්පියර් ගැන කතා කරද්දි හැරල් බ්ලූම්, ශේක්ස්පියර් කියන්නේම ඉංග්‍රීසි භාෂාව කියලා කියනව. ඒවගේ අමරදේව කියන්නෙම සිංහල භාෂාව. ඔහු ඒ තත්ත්වයට ළඟා වෙනවා.ඒ තමයි අමරදේව ලබන විශීෂ්ටත්වය.

* රෝලන්ඩ් බාත් සඳහන් කරන හඬ අණු (grain of voice) පිළිබඳව තව දුරටත් පැහැදිලි කළොත්?

මේ හඬයි භාෂාවයි සංගීතයයි එක්කහු වෙලා තැනෙන හඬඅණුවල(grain) වියමන් දෙකක් පවතින බව රෝලන්ඩ් බාත කියනවා.ඒ අනුව අමරදේවගේ ගායනයේදී අපට වියමන් දෙකක් හමුවෙනවා. පළවෙනි එක තමයි ඒ ගායනයේ ස්වරූපය. ඒ ගායනය කොහෙමද අපිට ඇහෙන්නේ, ඒ ඇහෙන හඬ පරාසය, අමරදේව ගායනා කරනවයි කියලා ඇතිවන හැඟීම, ගීතයේ අර්ථය සන්නිවේදනය වන ආකාරය, ස්වර පිහිටා තිබෙන පදනම, පද රචනාව සකස් වී ඇති ආකාරය, ස්ථායි හා අන්තරා කොටස් සැකසී ඇති ආකාරය… මේ සියල්ලම අයිති වෙන්නේ ගීත රූප වියමනට(pheno-text). කොහොමද ගීතය නිමවී ඇත්තේ කියන එකයි, මෙහි සරල අදහස. මේ රූප වියමනේදී අමරදේව විශිෂ්ටයි. පරිපූර්ණයි.

මේ ගීත රූප වියමනෙහි තවත් වියමනක් තියෙනවා. ඒ තමයි සංගීත ජනක වියමන(geno-text). එහි අදහස නම් තමාව සජීවී කරගන්නේ කොහොමද? ගීතය විදුලි ජනකයක් වගේ ජනනය වෙන්නේ කොහොමද ? ගර්භාෂයක් විදියට දරුවව හදන්නේ කොහොමද? සරලව කියනව නම් බොක්කෙන්ම ගීතය කියන්නේ කොහොමද? කියන අදහස.

මේ සංගීත ජනක වියමන නැතිනම් සංගීත වර්ධක වියමන(geno-text) කියන අදහස රෝලන්ඩ් බාත්ට එන්නේ ජූලියා ක්‍රිස්ටෙවාගෙන්. මෙතනදි තමයි ඇගේ අදහස් අපට වැදගත් වෙන්නේ.ක්‍රිස්ටේවාගේ කාන්තාවාදය(feminism) පිළිබඳ විශ්ලේෂණය තුළ සඳහන්වන ජනක වියමන (geno-text) තුළ තමයි ගැහැනිය ඉන්නේ. එතනින් තමයි ප්‍රමෝදය එන්නේ. සංගීතය තුළ තමාටම අනන්‍යවූ හැඟවුම්කාරක(signifiers) හැදෙන්නේ මේ දෙවන වියමන තුළයි.මේක තමයි ගායකයකුට වැදගත්ම මෙහොත.

මුලින් සඳහන් කළ කාරණයෙදි සිද්ද වෙන්නේ තමාව විද්‍යාමාන කිරීමයි. නමුත් ජනක වියමන (geno-text)තුළ තමයි මා කලින් සඳහන් කළ ‘ස්වන අණු’ නිර්මාණය වෙන්නේ.මගේ අදහස නම් අමරදේව දිළිඳු වෙන්නේ මෙන්න මේ ජනක වියමන (geno-text) දී යි. සරලව කිව්වොත් අමරදේව ගීත රූප වියමනේ(pheno-text) දී විශිෂ්ට වන අතර, සංගීත ජනක වියමනේ(geno-text)දී දිළිඳුවෙනවා.

* මෙතනදි ජෝතිපාලගෙයි අමරදේවගෙයි වෙනස ඔබ හඳුන ගන්නේ කොහොමද?

ජෝතිපාල ගීත ජනක වියමනේදී(geno-text) විශිෂ්ට වෙනවා.නමුත් ගීත රූප වියමනේ දී එතරම් විශිෂ්ට වෙන්නේ නැහැ. අමරදේව ගීත රූප වියමනේ(pheno-text) දී විශිෂ්ට වෙනවා.ගීත ජනක වියමනේදී(geno-text)දිළිඳු වෙනවා.ගීත ජනක වියමනේදී(genotext)තමයි මෙලඩිය නැතිව ගායකයා බිහිවෙන්නේ.එතකොට අපිට පේනවා ජෝතිපාලගෙ ගීතවලදි මෙලඩිය නැතිව ගායකයා බිහිවෙනවා.ඔහුගේ ගායන පෞර්ෂය අපට පේන්න ගන්නවා.වෙනත් උදාහරණයකින් කිව්වොත් පවරොට්ටි ගායනා කරද්දි ගීත රූප වියමන(pheno-text) තරමටම අපට පේනවා. ගීත ජනක වියමනත්(geno-text) මතුවී පෙනෙනවා.කැලේ සිංහයෙක් නාද කරනවගේ මහා යෝධ පෞර්ෂයකින් ගයනවා. මහා බෙරිහන්දෙන කෑගහන සංගීතඥයෝ,ගායකයෝඅද අපිට පේනවා. හැබැයි මේ අයට තියෙන්නේ ගීත ජනක වියමන(geno-text) තුළ වුවත් ඉතාම දුර්වල රූපයක් සහ අනුකාරක රූපයක්. බොද්‍රිලාද් කිවිවා වගේ ප්‍රතිනිෂ්පාදනයක්. ජෝතිපාල වගේ ගීත ගයන්න හදනවා.ඒක තමයි අද පවතින තත්ත්වය. අපිට අමරදේවගේ සංගීතය පිළිබඳ භූමිකාව විද්‍යාත්මකව ලිහාගන්න වෙන්නේ මේ විදිහට තමයි.

සංලාපය

රසික කොටුදුරගේ

( දිනමිණ 2016 නොවැම්බර් මස 8 වැනිදා අඟහරුවාදා)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s