ඉඳිකටුපානේ පොලිතින් තට්ටු

“උගතකුගෙන් සිදුවිය යුතු ඉහළම සේවාව තම දැනුම අන්‍යයන් අතරේ බෙදා දීම යි.” – රස්කින්

සිරිපා කරුණා කරද්දී එදා තිබූ සංවරය, හික්මීම අද නෑ

ඉඳිකටුපානේ පොලිතින් තට්ටු

කෝඩුකාරයන්ගේ හිසේ ඉලූ දෙහි සබන් පොතු සීත ගඟුල අවට

වන්දනා සමයේ බිහිවන පෙට්ටි කඩ පිටුපස කැලි කසළ

ශ්‍රී පාද වන්දනා සමය නුදුරේදීම ආරම්භ වේ. අතීතයේ සිටම පැවැත්වෙන මෙය මෙරට බැතිමතුන්ගේ මහා වන්දනා චාරිකාවක් යැයි කීමේ කිසිදු වරදක් නැත. එහෙත් ඒ වන්දනා සමයේදී වරදක් නොසිදුවෙනවා ම ද නොවේ. දැනට වසර ගණනාවක සිට ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ (YZA) සාමාජික සාමාජිකාවෝ ශ්‍රී පාද වන්දනා සමය අවසානයේ දී, පුදබිම පුරා අත්හැර ගොස් ඇති පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන සහ දිරන අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු යෙදූහ. තරුණ සත්ත්වවේදීන්ගේ එම වෑයම අතිශයින් ප්‍රශස්තය. එහෙත් ඔවුන්ට ඒ සා දුකක් විඳගෙන එසේ කටයුතු කිරීමට සිදු ව ඇත්තේ ඇයි? අප ඇසිය යුතු ප්‍රශ්නය එය යි.

ඒ සාමාජික සාමාජිකාවෝ කණ්ඩායම් වශයෙන් එකතුව අසංවේදී බැතිමතුන් විසින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය එකතු කිරීම, නල්ලතන්නියේ සිට උඩමළුව දක්වා වූ ප්‍රදේශය පුරාම සිදු කරති. මේ ආකාරයට එක් අවස්ථාවක දී ඔවුහු පොලිතින් හා ප්ලාස්ටික් කි. ග්‍රෑ. 620 ක ප්‍රමාණයක් එකතු කළහ. ඒ වනාහි පුදුමාකාර තත්ත්වයක් නොවේදැයි කල්පනා කොට බැලීම වටී.

ශ්‍රී පාද වනාන්තරය 2010 වසරේ දී ලෝක උරුමය වනාන්තරයක් ලෙසින් නම් කෙරිණි. එහි ඇති මෙරටට‍ ආවේණික ජෛව විවිධත්ව ගහනය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල සියයට 65 ක් තරම් ය. එවැනි විශාල එමෙන්ම අපට ආවේණික ජෛව සම්පතක් හිමි ලෝක උරුමයක් ද වන ශ්‍රී පාද වනාන්තර අඩවිය දෙසැම්බරයෙන් ආරම්භ වී මැයි මාසයෙන් අවසන් වන වන්දනා සමයේ දී මුහුණපාන කනගාටුදායක ඉරණම ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබේ.

ශ්‍රී පාද අඩවිය එක් පැත්තකින් රත්නපුරය නගර සීමාව ද අනිත් පසින් නුවරඑළිය නගර සීමාව කරා ද විහිදෙයි. තෙත් කලාපීය කඳුකර වනාන්තර අතරට ගැනෙයි. අරිද්ද, කීන, කටු කිතුල් යන ශාක විශේෂයන්ගෙන් ද, නෙළු වර්ග, වේවැල් විශේෂ, යනාදියෙන් මෙන් ම බෝවිටියා යන පඳුරු විශේෂයන්ගෙන් ද පොහොසත් ය. ඉර රාජ, සඳ රාජ, වන රාජ, වෙසක් මල්, නගා මැරූ අල යන දුර්ලභ මෙන් ම වඳ වී යාමේ ආසන්නයට ම පැමිණ ඇති උඩවැඩියා විශේෂ ද මෙහි දී හමුවෙතැයි පැවැසේ. පොදුවේ ගත් කල මල් පිපෙන ශාක විශේෂ 497 ක් මෙහි ඇති බවටත් ඉන් 184 ක්ම මෙරටට ආවේණික ය යනුවෙනුත් හඳුනාගෙන තිබේ. ඒ ආකාරයට ශාක ආවේණිකත්වය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල සියයට 37 කි.

sri-lanka-day-3-adams-peak-113_2.jpg

වනාන්තරයේ වෙසෙන ක්ෂිරපායීන් අතර අලි ඇත්තු ද වෙති. වියළි කලාපීය වනාන්තරවල වෙසෙන අලි ඇතුන්ට සාපේක්ෂව මොවුන් නොකිලිටි කළු පැහැයෙන්ම දකින්නට ලැබෙන්නේ දෙවියන්ගේ අඩවියේ වෙසෙන සතුන් වීම නිසා ය, යන මතයක් පොදුවේ බැතිමතුන් අතර තිබේ. එහෙත් පරිසරවේදීන්ට අනුව නම් ඊට හේතුව තෙත් සහිත මේ වනාන්තරයේ දී දූවිලි සිය සිරුරට ඉස ගනිමින් සිසිලක් ලබාගැනීමේ වුවමනාවක් හෝ හැකියාවක් ඔවුන්ට නැති වීමයි. අනිත් අතට සීතල කඳුකරයේ විසූ අලි ඇතුන් ඉංග්‍රීසි යටත්විජිතවාදීන් විසින් සමූල ඝාතනය කිරීමෙන් අනතුරුව කඳුකරවාසීව වෙසෙන අලි ඇතුන් (විශාල වශයෙන් නොවේ.) දැකිය හැකි කඳුකර වනාන්තරයක් වේනම් ඒ ශ්‍රීපාද අඩවියයි.dsc05205

1942 දී Peak wilderness Sanctuary වශයෙන් නම් කෙරුණු අභය භූමියක් ද වන මේ වනාන්තරය භූමියේ ප්‍රමාණාත්මක අගය හෙක්ටෙයාර් 56,000 කි. එහතේ එය හුදෙකලා කඳු පිහිටීමක් නොවේ. ශ්‍රී පාද කන්දේ පරිවාර කඳු වශයෙන් බෑන සමනල, කුණු දිය පර්වත, දෙතනගල, ගොන් මොල්ලි මෙන්ම මිරිසකොට් හඳුනාගෙන තිබේ.

ජෛව විවිධත්වයට අදාළව ගත් කල ඉතා අපූර්ව සත්ත්ව විශේෂයක් මෙහි දී දැකගත හැකි ය. ඒ හිරි දණ්ඩා ය නමින් ම හඳුන්වා දෙන ආකාරයට දණ්ඩක් වැනි මේ සත්ත්වයාට පාද පිහිටා නැත. හිරිදණ්ඩා උභය ජීවි ගණයට අයත් වේ. උරගයින් අතරින් අං කටුස්සන් විශේෂ දෙකක්මත් (රයිනෝ සහ රළු අඟ කටුස්සන්) පක්ෂීන් අතර හිස සුදු මයිනාත් දුර්ලභ ජෛව හඳුනා ගැනීම් වශයෙන් පරිසරවේදීහු සලකති. නුවරඑළිය දිස්ත්‍රික් මායිමේ දී හමුවන ලංකා අරංගයා ද එවැනිම දුර්ලභ පක්ෂි විශේෂයක් වේ.

little-adams-peak-1.600x.85.jpg

කෙසේ වෙතත් ශ්‍රී පාද අඩවියේ පාරිසරික අධ්‍යයනයන් සිදු කොට ඇත්තේ (සෙසු වනාන්තරවලට සාපේක්ෂව) අවම වශයෙනි. පරිසර වේදීන් ඒ ගැන පවසන්නේ එහි අධික ශාකගහනයක් පැවැතීම හේතු කොටගෙන පහසුවෙන් යට කී කටයුත්තේ නිරත වීමට නොහැකි වීම ඊට හේතු වී ඇති බවයි. විශේෂයෙන් ම අදාළ කලාපය තුළ ක්ෂිරපායින් සම්බන්ධ සිදු කොට ඇති අධ්‍යයනයන් වඩාත් හිඟ ය.

අධ්‍යයන වාර්තා බහුල නොවුණත් සිදු කරන ලද හැදෑරීම්වලට අනුව ගත්තත් විසල් මෙන් ම වෙසෙස් ජෛව සම්පත් සහිත කලාපයක් වන ශ්‍රී පාද අඩවිය ක්‍රමයෙන් වර්ධනය වන නො දැමුණු සංචාරක සංස්කෘතියක් හමුවේ මුහුණ පා ඇති තත්ත්වය පරිසර විරෝධි ද වේ.

අතීතයේ විසු අපේ ඇත්තන් දැඩි සීතලය මඟ හරවා ගත්තේ සහල පිටි, මී පැණි සමඟ ගම්මිරිස් යෙදු අග්ගලා කෑමෙනි, වන පෙත මැදින් ගමන් කළේ සාම්ප්‍රදායික ජන කවි ගායනා කරමිනි. ඒ කවි ගායනය අවට වන පෙත සිසාරා පැතිර ගියේ පරිසරය කූප්පන ගෝසාවක් විලස නොවේ. එදා එසේ ශ්‍රී පාදය කරුණා කළ බැතිමත්තු සිය කට වචන එමෙන්ම සියලු ඇවැතුම් පැවැතුම් සංවරයකට, විනයකට යටත් කොට ගෙන සිටියහ. ඒ නිසා ම පූජ්‍යස්ථානයක ගෞරවය මෙන් ම පාරිසරික සුරක්ෂිත බව ද අඩුවක් නැතිව ම රැකිණි. එහෙත් අද එහි පවත්නා මිනිස් හඬ කවියක් නොව ගෝසාවකි. ජංගම දුරකතන නිරතුරුවම නද දෙමින් ඒ තත්ත්වය තවදුරටත් දූෂණය කරයි.pseudophilautus_femoralis_male1alr201_16

මෙවන් නොදැමුණු සංචාරකයන් අතින් කෙලෙසෙන්නේ හෙළ සංස්කෘතිය පමණක් නොවේ. ශ්‍රී පාද රක්ෂිතය පුරා ම විසිරී පවතින ජෛව සම්පත්වලට මොවුන් ඇති කරන්නේ දැඩි තර්ජනයකි. ශ්‍රී පාද වන්දනා සමයේ දී සිදුවන පාරිසරික දූෂණය ගැන දීර්ඝ විවේචනයක් ඉදිරිපත් කරමින් හසන්ත විජේතුංග එසේ පවසයි. ඒ අනුව අදාළ කාලයේ දී වඩාත් තර්ජනයට ලක් වන්නේ උරග හා උභය ජීවින්ය. උදෑසන සිට රාත්‍රිය දක්වා ම නොකඩවා ඉහළට පහළට කරුණා කරන සංචාරකයන්ගේ පාදවලට හසු වී මියගිය උරගයන් සහ උභය ජීවින් බොහෝ දෙනෙකු පියගැට පෙළ මත දැකගත හැකිය.

තව ද සංචාරකයන් කිසි වග විධානයක් නැතිව ඉවත ලන ආහාර අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට පක්ෂි විශේෂ මෙන් ම වඳුරන් හුරු වී සිටීම කොයි ආකාරයෙන්වත් සුබ ලකුණක් නොවේ.

පොලිතීන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් අභය භූමියේ භූ විද්‍යාත්මකව සිදු විය හැකි හානිය ද හසන්ත මෙසේ පැහැදිලි කරයි. පොලිතීන් හා ප්ලාස්ටික් දිගු කාලීනව නොදිරා පොළව මත තිබීමෙන් ඒ මතට කොළ රොඩු ආදිය පතිත වී හියුමස් ලෙස වියෝජනය සිදු වේ. ඒ පොලිතීන් මත ඇති හියුමස් තට්ටු වර්ෂා කාල‍යන් හිදි ගැලවී ගොස් නාය යෑම් පවා සිදු විය හැක. තමන් විසින් කරන ලද නිරීක්ෂණයකට අනුව එවැනි තත්ත්වයක් හැටන් නල්ලතන්නි මාර්ගයේ ඉඳිකටුපාන අසල දී දැකගත හැකි වී යැයි ද ඔහු පවසයි. ඊට ඍජුවම හේතු වී ඇත්තේ ඉඳිකටුපාන පුරා රැස් ව තිබූ පොලිතීන් උරයි.

13.jpg

ඇතැම් ස්ථානයන්හි පොලිතීන් තට්ටු අඩි ගණනාවක් යටට‍ යනතුරු හමු වේ. එවන් ඇතැම් ස්ථානයන්හි අඩිය තබන විට මෘදු මෙට්ටයක් මෙන් පො‍ළොව සෙලවෙන්නට පටන් ගනියි. මෙවැනි එක් ස්ථානයක තිබී 1987 වසරේ කල් ඉකුත් වූ බිස්කට් දවටනයක් පවා සොයා ගැනීමට හැකි විය.‍

සීත ගඟුල ලෙසින් ප්‍රකට ගඟුලතැන්නේ ස්නානය කරන ස්ථානය ද කෝඩුකාරයන් ගේ හිසේ ඇතිල්ලූ දෙහි, සබන්, පොලිතීන්, ලේන්සු ආදිය අපද්‍රව්‍ය වශයෙන් එකතු වෙන ස්ථානයක් බවට පත් වෙමින් තිබේ.

අසංවේදී වන්දනාකරුවන් මේ ආකාරයට අපද්‍රව්‍ය බැහැර කිරීම ශ්‍රී පාද උඩමළුව දක්වාමත් පැතිර ඇතැයි පැවැසේ. එහි දෙපස වන රොදවල පොලිතින් ප්ලාස්ටික් පමණක් නොව මල අපද්‍රව්‍ය පවා ඇති බවට නිරීක්ෂණය කොට ඇත. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ආරක්ෂිත වනාන්තරයක් තුළ අවිධිමත් ආකාරයට අපද්‍රව්‍ය බැහැර කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. අවාසනාවකට මෙන් පූජ්‍යත්වයෙන් මෙන් ම පාරිසරික වශයෙන් ද ඉහළම වටිනාකමක් ඇති ශ්‍රී පාද අඩවියට එකී නීතියෙන් අවම බලපෑමක්වත් වී ඇති බවක් නම් නොපෙනේ.

විශේෂයෙන් ම මඟ දෙපස ඇති වෙළෙඳ සල්වල පසුපසට ගොස් පරීක්ෂා කළහොත් පරිසරයට අපද්‍රව්‍ය බැහැර කෙරෙන ආකාරය ගැන වඩාත් පැහැදිලි දර්ශනයක් දැකගත හැකි වේ. ඇතැම් අවස්ථාවලදී එකී අපද්‍රව්‍ය පෝර ගෝණි තුළ බහා වනාන්තර මධ්‍යයට ගෙන ගොස් දමා තිබූ අයුරු ද නිරීක්ෂණය කරන්නට හැකි වී යැයි පවසන හසන්ත විජයතුංග එය කඩ හිමියන් මෙන් ම මාර්ගය පිරිසුදු කරන්නන් අතින් ද සිදු වන්නක් යැයි චෝදනාවක් ඇති බවට පෙන්වා දෙයි.

35691_1406373332023_1613114717_997839_5615940_n

කෙසේ වෙතත් මෙසේ අපද්‍රව්‍ය බැහැර කිරීම සංචාරකයන් හෝ වන්දනාකරුවන් මත ම වරද පැටවිය නො හැකි තත්ත්වයක් ද ඇතැයි පැවැසේ. නිදසුනක් ලෙස උඩමළුව කරුණා කරන අයට අපද්‍රව්‍ය නිසි ලෙසින් බැහැර කිරීමට ඇති පහසුකම් අවම තත්ත්වයක පවතින බවට හඳුනාගෙන තිබේ. එසේ තිබෙන්නා වූ අතළොස්සක් ස්ථානවලින් ඒවා ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් ද දැකිය නොහැක. ඒ නිසා ඒවා නිතරම අපද්‍රව්‍යවලින් පිරී පැවැතීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් ව ඇත.

හසන්ත විජේතුංග පමණක් නොව බොහෝ පරිසර හිතවාදීන් පරිසර කතිකාවන් හරහා මේ තත්ත්වය ගැන බොහෝ අවස්ථාවල දී කරුණු පෙන්වා දී තිබේ. නමුත් මෙවැනි ජාතික තලයේ පවත්නා විපත් අනාවරණය කිරීමට ජාතික මට්ටමේ ප්‍රවෘත්ති මාධ්‍යය යොදා ගත යුතු ය යන්න අපේ වැටහීම යි. මක් නිසාද යත් පාරිස සුරක්ෂිත තාවය වෙනුවෙන් ජාතික තලයේ සූදානමක් මේ වන විට ගොඩ නැඟී ඇති හෙයිනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s