ඒ ගොවිතැන් පිලිවෙල අපේ පරණ අයට තාමත් මතකයි

රසායනික තෙල් පොහොර ගේන්න ඉස්සර අපේ මිනිස්සු ජයටම ගොවිතැන් කෙරුවා. මේ රට පුරා මෙච්චර වැව් කන්දරාවක් තියෙන්නෙ ඒ නිසානෙ. ඒ විතරක් නෙවෙයි සමහර රජ කාලවල අපේ රටෙන් පිටරට වලටත් හාල් යවා තිබෙනවා. තෙල් පොහොර ඇවිල්ලා තව අවුරුදු පනහක්වත් නැහැනෙ. ඊට ඉස්සර අපේ ගම්වල ගොවියන්ට හුඟක් හරක් හිටියා. එක ගොවි ගෙදරක තිස් හතලිස් බාන තරමටම. අපේ පරණ කෙනෙකුගෙන් ඇහුවොත් උන්දැ අදත් කියයි ඒ අයට ඒ කාලෙ හිටපු හරක් ගණන. ඒ කාලෙ අපේ අය කුඹුරුවල අස්වැන්න ගණන් බැලූවේ ලාහට අමුණ ගානෙ. ලාහට අමුණක් නොලැබුණොත් ඒක නිසරු කුඹුරක් කියලා ඒකෙ වී වගාව අත් ඇරල වෙන මොනව හරි හිටෙව්වා. නැත්නම් හරකුන්ට කන්න පොදු තණ පිටියටම එකතු වෙන්ඩ ඇරිය. ලාහක් කියන්නේ අක්කරයකින් විස්සෙන් එකක්. අමුණක් කියන්නේ වී බුසල් හතක්. ලාහට අමුණයි කියන්නේ අක්කරයකින් වී බුසල් 140 ක්. මේක අද නම් හිතන්ටවත් බැරි තරම් ලොකු අස්වැන්නක්. මේ මහා අස්වැන්න කන්දරාව අපේ ගොවියන්ට එදා ගන්ඩ පුළුවං වුනේ ඒ අය සත්තු සමඟ සහජීවනෙන්, විශේෂයෙන්ම ගවයා එක්ක සහජීවනෙන් වගා කල නිස යි. ඒ ගොවිතැන් පිළිවෙල අපේ පරණ අයට තාමත් මතකයි. ඒ කාලෙ ගොයම් කපල පාගල ඒ ටික අරගෙන ගොවියා ගෙදර යන්නෙ වැටේ කඩුල්ලත් කඩල හරක් ටික වෙලට පන්නල හරකුන්ට කුඹුර බාර දීලමයි. නිකිණි කාලෙ හින්දා උස් බිම්වල තණකොළ මැරෙන මේ කාල සීමාවේ ගමේම හරක් තණ උලා කන්නෙ මේ කුඹුරු ඉපනැල්ලෙ. ගොයම් කපනකම්ම කුඹුරු වලට වතුර හරවපු නිසාත්, වෙල තියෙන්නෙ වැව පාමුල නිසාත්, නිකිණි කාලෙත් වෙලේ සරුවට තණකොළ වැවෙනවා. ඉතිං ගමේ ඔක්කොම හරක් රංචු වෙලට වෙලා මේ එන එන තණකොල කකා ගොම පොහොරින් වෙල පුරවනවා. මෙහෙම මාස මාස තුනක් විතර හරක් වෙල පොහොර කලාට පස්සෙ තමයි ඊලඟ වැහි කාලය එන්නෙ. දැන් වෙලේ වල් තණකොළ නෑ. ඒ වෙනුවට වෙලපුරාම ගොම තට්ටුවයි. ඉතිං ගොවියො ඒ ගොම පිරුණු බුරුල් පොළොව හරකුන්ගෙන්ම හාලා වෙල වටේට හොඳට හයිය තියෙන වැටක් බඳිනවා. ඊට පස්සෙ වෙල මඩ කරලා වෙලට වී ඉහිනවා. දැන් මේ වෙනකොට වැහි කාලය හින්ද ගමේ උස් බිමේ හොඳට තණකොළ වැවෙනවා. ඒ නිසා හරකුන්ටත් කෑම හිඟයක් නෑ. ඒ උස් බිමේ වැවෙන තණකොළ කකා උන් උස් බිමට දමන ගොම ටික මූත‍්‍රා ටික වැස්සට දියවෙලා නැවත කන්නය පුරාම වෙලට ගලාගෙන එනවා. එනිසා කුඹුරු පැහෙන කල්ම වෙල් වලට පොහොර හිඟයක් ඇති වෙන්නෙ නෑ. ඒ වගේම වෙලට හොඳ වැටක් තිබෙන නිසා එරකුන්ගෙන් වෙලට හානියකුත් නෑ. ඒ විතරක්ම නෙමෙයි කුඹුරු වැටට පිටින් ලියලන හැම වල් පැළයක්ම මේ හරක් රංචු මුලටම කන හින්දා වෙල වටේම වල් ගොල්ලක් නෑ. එම නිසා වෙලට වින කරන කෘමියන්ට බෝ වෙන්ඩ හරි හැංගෙන්ඩ හරි පරිසරයක් වෙල අවට ඉතිරි වන්නෙත් නෑ. මේකෙන් වෙලට ඇති වෙන කෘමි උවදුරුත් ඉතාම අඩුවෙනවා. ඈත එපිට තණකොළ ගහක ඉඳල හදිසියේ කෘමිකේ වෙලට ආවත් ප‍්‍රමාණය අඩු නිසා හුළු අත්තක් පත්තු කරලා පොඩි කෙමක් කරල ඒ කෘමීන් ටික මැඩ පවත්වන්න ගොවියාට පහසුවෙන් පුළුවන්.

 

දිගින් දිගටම වෙල ඇතුලෙ තණකොළ උලාකාලා තියෙන නිසා වෙල ඇතුලෙ තිබුණු තණකොළ වලින් ඇට හැදී කුඹුර පුරා විසිරී නැහැ. ඒ හින්දා ගොයම් පැළ ඇතුලේ වල් පැල මතුවෙන්නෙත් ඉඳල හිටල එකක් දෙකක් විතරයි. ඒක යමින් එමින් ගොවියාටම උදුරලා දාන්න පුළුවන්. ඉතිං ඒ නිසා ඒ කාලෙ ගොවියන්ට කුඹුරුවලට රසායනික තියා කාබනික පොහොරවත් දමන්න මහන්සි වෙන්ඩ ඕන වුනේ නෑ. වල් නාශක කෘමි නාශක වලට කිසිම වියදමක් ගියෙත් නෑ. හදිසියේ නියඟයක් ඇවිල්ලා හරි කුඹුරක් මැරුනොත් පාඩුව වෙන්නෙ වෙලට ඉහපු වී බුසල් තුන හමාරම විතරයි. අක්කරයකට වී බුසල් 40 ක් ලැබුණත් මේ ගොවිතැන් රටාව හින්ද වී බුසල් තිස් හය හමාරකම සුද්ද ලාබ. ඉතිං එහෙම තියෙද්දී වී බුසල් එකසිය හතලිහක් අක්කරේකට ගත්ත ගොවියාට මොන කෑම හිඟයක්ද ? මොන අහේනියක්ද ? මේ වස විස නැති සිංහල හාලේ බත් කාල, ගෙදර හරකුන්ගෙන්ම ගන්න එළකිරි, මී කිරි ටික බඩ පුරා බීපු ඒ අයට මොන ලෙඩ රෝගද ?

යටත් විජිත කාලෙ සුද්දො අපේ වැව් පුළුවන් තරම් කප කපා පුරංවෙන්ඩ ඇරපු හින්දා නිදහස ලැබෙන කොට අපට කුඹුරු තිබ්බෙ ටික යි. ඒත් ලෝක යුද්දෙ වෙලාවෙ සුද්දන්ට එකතු කරගෙනයන්ඩ තරං අපේ අටු කොටුවල වී පිරිලා තිබුණා.

සුද්දො දැනගෙන හිටියා අපට කවද හරි නිදහස දෙන්ඩ සිදුවන බව. ඒ හින්දා සුද්දො ඒ අයගෙ පාන් පිටි ටික, රසායනික තෙල් පොහොර, කිරි පිටි විතරක් නෙවෙයි බේත් හේත් පවා අපට විකුණන්ඩ යටත් විජිත කාලෙ ඉඳලම බොහොම වීරිය කෙරුවා. ඒ හින්දම ලෝක යුද්දෙ වෙලාවෙ සුද්දො අපේ වී ටික එක්කරගෙන අපට පාන් පිටි, බජිරි ඇට ගෙනත් කන්ඩ දුන්නා. අපට නිදහස දුන්නට පස්සෙත් ඒ අය මේ හීනෙ අතෑරියෙ නෑ. අපේ ඉස්කෝලෙ ළමයින්ට බනිස් ගෙඩියයි, කිරි වීදුරුවයි ගානෙ දෙන්ඩ කාලයක් ඇමරිකාව අපේ ආණ්ඩුවට කිරි පිටි ටිකකුයි පාන් පිටි ටිකකුයි නොමිලේ දුන්නෙත් ඒ නිසායි. ඒ වෙලාවෙ අපේ රටේ ළමයි බනිස් නං කෑවා. හැබැයි කිරි බීවෙ නෑ. හොරෙන්ම විසි කෙරුවා. මොකද ඒ කාලෙ ගෙවල්වල ඕනෑ තරං කිරි තිබුණ හිංද මේ කැට ගැහුණු ජරා පිටිකිරි බොන්ඩ කවුරුවත් කැමති වුණේ නෑ. ඒ හින්දම ඒ අයට මේ නිකං දීමෙන් එච්චර ප‍්‍රයෝජනයක් වුණේ නෑ.

(මතු සම්බන්ධයි)

(ගවයයි ගොවියයි ඔබයි මමයි න් කෘතියෙනි)

වෛද්‍ය නවරත්න කන්දේගෙදර

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s