මිය ගිය සාගර කලාප 40%ක් ලොව පුරා ….

Today-Ocean Day

“මිය ගිය සාගර කලාප 40%ක් ලොව පුරා සාගර ජල මට්ටම තවත් ඉහළට

සාගර හා මුහුදු ප්‍රදේශ වර්ග කිලෝ මීටර් 250,000ක් මිය ගිය කලාපයට අයත්”

2.jpg

ලෝකයේ සාගර කලාප මිය යමින් පවතී. මෙතෙක් කාලයක් මේ මහා ජල පරිසරය හැඳින්වුණේ ලෝකයේ පෙණහැල්ල යන ගෞරව නාමයෙනි. ඒ, වනාන්තර හා සමානව ම වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගෙන පෙරළා ඔක්සිජන් වායුව පිට කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගැනීම නිසා ය. එහෙත් අද වන විට පොදුවේ ලෝක සාගර කලාපයන් හි සිදුවෙන හිංසනීය මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන ගොඩබිමට ස‍ාපේක්ෂව පුළුල් ම ජෛව කලාපය වන සාගර බොහෝ තැන්වල දී මළ සාගර කලාප බවට පත්වෙමින් පවතී. මේ ආකාරයට ලොව පුරා සිදුවන සාගරයේ මිය යන ප්‍රදේශ මළ සාගර කලාප වශයෙන් හඳුනාගෙන ඇත්තේය.

මළ කලාපයක් එසේ වන්නේ එම සාගර ප‍්‍ර‍ෙද්ශයට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ විට දී ය. මානව ක්‍රියාකාරකම් නිතර සිදුවන නො ගැඹුරු වෙරළ කලාප, ගං මෝයවල් යට කී වර්ගීකරණයට වැඩි වැඩියෙන් ඇතුළු වෙමින් පවතී. ඊට හේතුව වශයෙන් සාගර විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ සාගරවල සිදු විය යුතු පෝෂණීය ගනුදෙනු නිසි ආකාරයෙන් සිදු නොවීම නිසා මෙසේ සිදු වන බවත් නිරෝගී සාගරයක් නම් ඊට අවශ්‍ය පෝෂණීය කොටස් අවශ්‍ය පමණින් ලබා ගන්නේ ජලජ පරිසරයේ වැඩෙන ඇල්ගි මූලික ජෛව ශාක මූලාශ්‍රවලිනි. ඒවා වැඩෙන්නේ ද ආක්‍රමණික ස්වභාවයකින් නොවේ. එහි එන පෝෂණ කොටස් වන්නේ නයිට්රේට් හා පොස්පේට් ඇතුළු වෙනත් කොටස් ය. නමුත් මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන අද දවසේ එකතු වීම් නිසි ප්‍රමාණය ඉක්මවා සාගර ජලය හා එක්වීම ගැටලුකාරී තත්ත්වයක් ඇති කොට තිබේ.

විශේෂයෙන් ම රසායනික පෝර භාවිතයේ ඉහළ යෑම ගොඩ බිමටත් වඩා සාගරවල මරණයයට හේතු වී තිබේ. ඒත් සමඟම කෘමිනාශක, කර්මාන්ත අපද්‍රව්‍ය අභ්‍යන්තර ජල මූලාශ්‍ර වන ඇළ දොළ ගංගා හරහා සයුරු ප්‍රදේශවලට ගලා යෑම නොනවතින ක්‍රියාවලියක් බවට පත්ව තිබේ.

ලෝකයේ විශාලම මළ කලාපය ලෙසින් හඳුනාගන්නේ බෝල්ටික් මුහුද වන අතර එය රටවල් 9 කින් පමණ වට වූ මිලියන 85 ක් ඉක්මවූ ජනගහනයක් ඇසුරේ පවතින්නකි. මේ අතර යුරෝපා සංගමයේ බොහෝ සංවර්ධිත රටවල් බහුල වශයෙන් සත්ව මෙන් ම වෙ‍ෙළඳ භෝග ‍පෝර භාවිතා කිරීම නිසා යුරෝපය ආශ්‍රිත සාගර කලාප ද බරපතළ අවදානමකට තල්ලු වී තිබේ. කෙසේ වෙතත් පළමු වරට මළ කලාපයක් ලෙසින් සාගර ප්‍රදේශයය, ලෝකයා හඳුනා ගන්නේ වෙසජික් බොක්ක වන අතර එය පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නැ‍ඟෙනහිර වෙරළාශ්‍රිතවය. දැඩි නාගරීකරණයක් සහිත මේ ප්‍රදේශය කෘෂිකර්මාන්තයට ද ප්‍රසිද්ධ ය.

7565782_orig.jpg

මිහිතල උණුසුම ඉහළ යෑම විසින් ද සාගර ප්‍රදේශ ක්‍රමානුකූලව මරණය කරා ගෙනයනු ලබයි. එක් අතකින් මානව ක්‍රියාකාරකම් නිසාත් අනිත් අතින් ඇතැම් ස්වභාවික හේතු නිසාත් මරණයට පත් වෙන සාගර කලාප දේශගුණික විපර්යාස හමුවේ ද පාරිසරික කලාප බවට පත් වීම සුළුවෙන් තක්සේරු කළ හැක්කක් නොවේ.

අධික උණුසුම සාගර ජලය ප්‍රමාණය ඉක්මවා උණුසුම් කරයි. (මේ වන විටත් ඉන්දීය සාගරය මේ අවදානමට ඍජුව ම ගොදුරු වී ඇති ආකාරය අපි පසුගිය ලිපියකින් පෙන්වා දුනිමු.) එසේ වැඩි වන උෂ්ණත්වය හමුවේ සාගර ජීවිහු වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ඉල්ලා සිටිති. එය ස්වාභාවික ය. නමුත් ඔවුන් ඉල්ලා සිටින තරමේ වැඩිපුර ඔක්සිජන් සැපයුමක් දීමේ ලා උණුසුම් වන සාගර ජලය අසමත් වේ. අවසන් ප්‍රතිඵලය වන්නේ එම සාගර ප්‍රදේශය ජීවීන් රහිත හෝ ජීවය මියගිය මළ සාගර කලාපයක් බවට පත් වීම යි. අද වන විට ලොව පුරා මළ සාගර කලාප 405 ක් පමණ ඇති බවත්, 1960 දී ලොව පුරා දැකිය හැකි වූයේ එවැනි තැත් 40 ක් පමණක් ය යනුවෙන් පළවූ වාර්තාවේ තිබේ. කෙසේ වුව අද වන විට ලොව පුරා සාගර සහ මුහුදු ප්‍රදේශවල අවම වශයෙන් වර්ග කි.මී. 250,000 ප්‍රමාණයක් ම පවතින්නේ මියගිය සාගර ප්‍රදේශ වශයෙනි.

md2.jpg

ලෝකයේ සාගර පැවැත්මට අදාළව සාගරයක් මිය යන හෝ ඊට පසුබිම සැදෙන ඍතුව වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙන්නේ ගිම්හාන සමය යි. ඊට හේතුව වන්නේ ගෙවතු, කුඹුරු මෙන් ම පොදුවේ ගත් කළ භූමියේ ඇති එමෙන් ම අභ්‍යන්තර මිරිදිය ජල මූලාශ්‍රවලට එකතුවෙන නයිට්‍රජන් සහ පොස්පරස් වැනි රසායන සාගර කරා සේදී යෑම ගිම්හාන සමයේ දී හොඳින් ම සිදු වීම යි. එසේ ගොස් කරදියට එක් වන එකී රසායනයන් ඇල්ගී සහ ප්ලවාංගවල වර්ධනය වැඩි කරයි. පමණ ඉක්මවා වැඩෙන මේ ජීවි ශාක මිය ගිය පසුත් සාගරයේ තැන්පත් වනවා මිස පිටතට නො යයි. සාගරය තුළ වියෝජනය වීම ද සිදු වේ. ඒ කාර්යය සඳහා ඔක්සිජන් ඉල්ලා සිටීමයි. සාගරයේ සමස්ත ජෛව පැවැත්මට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය තවදුරටත් පහත වැටීමට එයද, හේතුවක් වේ.

ගිම්හාන කාලයේ දී දිගින් දිගට ම භූමියෙන් සේදී එන රසායන ද්‍රව්‍ය සාගර ජලයට එකතු වීම නිසා සාගර ඔක්සිකරණය වීම නම් ස්වාභාවික ක්‍රියාවලිය ද නවතී. එක් පැත්තකින් අනවශ්‍ය තරමින් ඇල්ගි ප්ලවාංග වර්ධනය වී ඒවා වියෝජනය වීමට වැඩි ඔක්සිජන් ඉල්ලා සිටිද්දී අනිත් පසින් ජලය ස්වාභාවිකව ම ඔක්සිකරණය වීම නවතින විට එම සාගර ප්‍රදේශය මළ කලාපයක් බවට පත්වීම වැළැක්විය නොහැකි සාගර විද්‍යාඥයින්ගේ නිරීක්ෂණ පෙන්වා දෙන අන්දමට යට කී හේතුව නිසා ජලය ලීටර් එකකින් ඔක්සිජන් මිලිග්රෑම් 20කටත් වඩා අඩුවීම අද දවසේ සුලබ තත්ත්වයක් බවට පත් වෙමින් තිබේ. මේ තත්ත්වය ඉතා බරපතළ අවසානයක් කරා සාගරවාසී ජීවීන්ව ඇද දමමින් ද තිබේ.

ගෝලීය උණුසුම පෘථිවි ජෛව පැවැත්මට හා සමානව ම බලපෑමක් සාගර ජෛව පැවැත්මට ද සිදු කරන බැව් සොයාගෙන ඇත. ගොඩබිමට සාපේක්ෂව සමුද්‍ර පරිසරයේ උෂ්ණත්වය ඉහළ යෑම පහළ අගයක් ගත්ත ද ඒ පහළ අගය තුළ වුව සමුද්‍ර ජෛව පැවැත්මට මුහුණ පා ඇති තර්ජනය සුළු නැත.

ඉහළ යන උෂ්ණත්වය නිසා හටගන්නා වෙනස් වන දේශගුණික තත්ත්ව හමුවේ සාගර ජලයේ පාවෙන ශාක ජීවි කොටස් වඳ වීම නියතියක් වේ. ඇතැම් මත්ස්‍ය විශේෂ ඉහළ යන උෂ්ණත්වය හමුවේ ගැඹුරු සාගර කලාපවලට ගමන් කළ ද මන්ද චලනයක් සහිත කොරල් වැනි ජෛව විශේෂයන් ට එසේ ඉක්මන් පියවර ගැනීමේ හැකියාවක් නැත. ඒ නිසා අනිවාර්යයෙන් ම එවැනි ජීවිහු ඉහළ යන උෂ්ණත්වය හමුවේ තම පැවැත්ම පිළිබඳ අර්බුදයකට මුහුණ පාති.

200597043-geisternetz-verfangen-unechte-karettschildkroete-elba

සමුද්‍ර ජල පරිසරයන් හි පී.එච් අගය පහළ වැටීම ද පැහැදිලිවම අර්බුදයක් වේ. මූලික වශයෙන් ම මේ තත්ත්වය සාගරයේ විචිත්‍ර මෙන් ම ආරක්ෂණය ජෛව විශේෂයක් වන කොරල් පරවලට ඍජු තර්ජනයක් එල්ල කරන අතර අවසානයේදි එම ජෛව කලාපය මිය යෑම ද ඒ නිසා සිදුවිය හැකි බවට හඳුනාගෙන තිබේ. තවද කැල්සියම් කාබනේට් වලින් සැදුණු සැකිලි සහිත එමෙන් ම කවච ඇති බෙල්ලෝ ද මට්ටීන් ද ඒත් සමඟම වඳ වෙති. සාගර මිය යෑමට එය ද අදාළය.

ගෝලීය උණුසුම හමුවේ ධ්‍රැවාසන්න ප්‍රදේශයන් හි ඇති හිම කලාප දියවීම ගැන බොහෝ අය කතා කරති. ඒ නිසා සාගර ජල මට්ටමේ ඉහළ යෑම ගැන බිය වෙති. එහෙත් ඒ නිසා විය හැකි බරපතළ ම අනතුර ගැන අදහස් පළවීම නම් සිදු නොවනතරම් ය. යට කී අයිස් පර්වත ඝන ස්ථාවර පිහිටීමක් වශයෙන් පවතින්නේ ම වායුව බහුල වීම යන තත්ත්වය ද ඉක්මවා ලොව ජෛව පැවැත්මට තර්ජනාත්මක අවදානමක් ඇති කළ හැකි මීතේන් වායුව නිදහස් නොකිරීමට ය. ඒ නිසා ම අදටත් පෘථිවිය සෙසු ග්‍රහ ලෝක අබිබවා ජෛව පැවැත්මට හිතකරම වාස භූමිය බවට පත්ව තිබේ. නමුත් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හමුවේ ලිහිල් වන ධ්‍රැවාසන්න අයිස් ගබඩා අතරින් අද වන විට මීතේන් නම් ඒ ජෛව විරෝධි වායුව අප ආශ්වාස කරන වායු ගෝලයට නිදහස් වෙමින් පවතින බවට විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

මීතේන් වායුව එසේ නිදහස් වීම තුළ දිගින් දිගට ම සාගර ජලය උණුසුම් වීම වැළැක්වීමට පුළුවන්කමක් නැත. එසේ වැඩි උෂ්ණත්වයක් කරා ලොව සාගර පද්ධතීන් ගමන් කළහොත් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමට සාගරය සතු හැකියාව තවදුරටත් දුර්වල වේ. ගෝලීය උෂ්ණත්වය මීටත් වඩා අගයකින් ඉහළ යෑමේ බරපතළ අවදානමක් ඉදිරියේදී බලාපොරොත්තු වීමට සිදු වන බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මෙවැනි පසුබිමක් තුළ සිටිමින් ය. මේ සෑම ක්‍රියාවලියක් විසින් ම සාගර ජෛව පැවැත්මට අවශ්‍ය ස්වභාවික ආහාර දාම මිය යැවීම ද නොවැරදීම සිදු කරන අතර ඔක්සිජන් වායුව අවශ්‍ය පමණින් නො ලැබී යෑම ද ඊට එකතු වෙනු ඇත. විශේෂයෙන් ම සාගර පරිසරයට අයත් මුහුදු තෘණ විනාශ වීම ද මේ තත්ත්වය තුළ ස්ථිර ලෙසින් ම සිදු වන්නකි. එතැනදී සිය වාසස්ථාන අහිමි වන සාගර ජීවිහු පාරිසරික අනාථයන් බවට පත් වෙති. සිය ජීවය පවත්වාගෙන යෑමට අසමත් වෙති. ලෝක සාගර පැවැත්ම අපට නොදන්වා ම මරණයට පත් වෙමින් සිටින්නේ මෙවැනි ක්‍රියාවලියක් ද සමඟ ය.

derrame.jpg

ඊළඟ කාරණය සාගර ජල මට්ටම ඉහළ යෑම නම් සංසිද්ධිය යි. අයිස් යුගය අවසන් වී පෘථිවිය සූර්ය රශ්මියෙන් උණුසුම් වීම පටන්ගත් තැන් සිට (දළ වශයෙන් දැනට වසර 18,000 කට පමණ පෙර සිට) සාගර ජල මට්ටම මීටර් 120 කට වඩා උසින් වැඩි වී ඇති බව හඳුනාගෙන තිබේ. සාගර විද්‍යාඥයින් ගණනය කොට ඇති අන්දමට (ඉහත තත්ත්වයට සාපේක්ෂව) පසුගිය වසර 3000 ක් වැනි කාලයක් තුළ සාමාන්‍යයෙන්, සාගර මට්ටම මිලි මීටර් 0.1ත් 0.2ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබේ. එය වාර්ෂිකව සිදු වූ වැඩි වීමකි. කෙසේ වෙතත් “උදම් ආමාන දත්ත” අනුව විසිවන සියවස තුළදී සාගර ජල මට්ටම මි.මී. 1 ත් 2 ත් අතර අගයකින් ඉහළ යාමක් පෙන්වයි. ඒ අනුව අද දවසේ අප ගත කරන්නේ අපට නො දැනී සාගර ජල මට්ටම ඉහළ යමින් පවතින පාරිසර පසුබිමකය යන්න බොහෝ අය නො දනිති.

සාමාන්‍යයෙන් මි.මී 1 ක් තරම් අගයකින් සාගර ජලය ඉහළ යෑමක දී සිදු විය හැකි දේ ද දැන සිටීම වැදගත් ය. අත්ලාන්තික් වැනි සාපේක්ෂව ගත් කල සමතලා සමුද්‍ර තීරයක් මෙන් ම ඩෙල්ටා පිහිටි වෙරළ තීරයක් ගොඩබිම් ප්‍රමාණය මීටර් 1.5 කින් පටු වීමට එය ප්‍රමාණවත්ය. එවැනි තත්ත්වයක් හමුවේ භූගත ජලයට ලවණ දිය මුසු වීම පහසුවෙන් සිදු වේ. ඉදිරි දිනවල පානීය ජලය අර්බුදයක අවදානමක් ඇතැයි පැවසෙන්නේ මේ තත්ත්වය අධ්‍යයනය කිරීමෙනි. මේ වන විට පැසිෆික් දූපත් වාසීහු ඉතා පැහැදිලිවම එවැනි පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටිති.

ලෝක සමුද්‍ර කලාපය අපට බොහෝ ‍ඈතින් තිබුණ ද මිය යන සාගර නම් පාරිසරික අර්බුදය එමෙන් ම එහි ප්‍රතිඵල මේ වන විට අපගේ ගෙවත්තට ම පැමිණ ඇති බව අමතක නොකිරීම මැනවි.

බී.කේ.එම්.එස්. ආරියවංශ

20130710Apo Island dive01.jpg

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s