ධවල යෝධයා (Great white)

“යහපත් උපදෙසක් දීමටත් එයින් ප්‍රයෝජනය ලැබීමටත් හසල දැනුමක් අවශ්‍ය වේ.”– ලා රෝවිෆොකෝල්ඩ්

c

ආචාර්ය හෙන්රි ඩයස් ඔස්ට්‍රේලියාවේ වෙසෙමින් සාගර අභ්‍යන්තරය ඡායාරූපගත කරන්නා වූ ක්‍රියාකාරිකයෙකි. පසුගිය කාලයක හෙතෙම එසේ කටයුතු කරද්දී තමන්ට මුහුණට මුහුණ හමු වූ භීෂකයින් යැයි කිව හැකි සාගරවාසීන් කිහිප දෙනෙකු ගැන සහ ඔවුන්ගේ චර්යාවන් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි – මාධ්‍යයක් ඔස්සේ තොරතුරු හෙළිදරව් කළේය. එහි එන ඇතැම් විස්තර කිරීම් සාගර වාසී භීෂකයින් ලෙසින් හඳුනා ගන්නා ඇතැම් මත්ස්‍යයන් මෙන් ම ක්ෂිරපායින් ගැන අපූරු සහ දුර්ලභ තොරතුරු අනාවරණයකි.

සාගරවාසී මත්ස්‍යයන් අතර විශාලතමයා “මෝරා” ය. ඉනුත් තල්මස් මෝරා ගේ විශාලත්වය සුවිශේෂී එකකි. සාමාන්‍ය තත්ත්වය යටතේත් මෙම මෝර විශේෂය මීටර් 15ක්වත් දිගට වැඩෙයි. මේ හැරුණු කල තමන්ට සාගර මධ්‍යයේ දී ධවල යෝධයා යැයි සිංහලයෙන් හඳුනාගත හැකිGreat White, තව ද Bull Shark නම් මෝර විශේෂයත් දින දහයක් වයසැති සිය පැටවා ද සමඟ කුදු වූ පිටක් සහිත තල්මසකුත් හමු වූයේ යැයි පවසන ආචාර්ය හරීන් ඩයස් ඒ සියල්ලන්ම තමන්ට තෘප්තිමත් අත්දැකීම් ගණනාවක් ලබා දුන් බව ද පවසයි.

ධවල යෝධයා (Great white) ගැනෙන්නේ සාගරයේ වෙසෙන ගොදුරු ගසා කෑමේ ශූර එමෙන් ම භීෂකයෙකු ද ලෙසයි. දිගින් මීටර් හයක් දක්වා වැඩෙන මොවුහු පැයට කි. මී. 40ක වේගයකින් පිහිනා යාමට සමත් වෙති. වරක් Cage dive (කූඩුවක සිටිමින් සාගර අභ්‍යන්තරයේ පිහිනා යාම) ක්‍රමවේදයට අනුව ඔස්ට්‍රේලියාවේ උතුරු සාගර කලාපයේ පෝට් ලින්කන් හිදි පිහිනා යද්දී මේ ධවල භීෂකයා හා මුහුණට මුහුණ හමුවීමකට මුහුණ පෑවේ යැයි පවසන ආචාර්ය හෙන්රි ඩයස් ඒ බව විස්තර කොට ඇත්තේ මෙසේ ය.

1

whale-shark

Great white නම් මේ මෝර විශේෂය කූඩුව කෙරෙහි ආකර්ෂණය වෙද්දිත්, අලුත ගොදුරු වූ මත්ස්‍යයකුගේ කැබලි සහ සුන්බුන් සාගර ජලයේ ඒ මේ අත පාවෙමින් තිබිණි. එපමණක් නොව ඒ මත්ස්‍ය මාංස කැබලි කූඩුව තුළට ද අවුත් පාවෙන්නට විය. එතැන දී ධවල යෝධයා තියුණු බැල්මෙන් කූඩුව නිරීක්ෂණය කරන්නට විය. ඒ බැල්ම ප්‍රහාරාත්මක බවක් ද පළ කළේය. ඉනුත් නොනැවතී කූඩුව වැර යොදා පහළට තල්ලු කරමින් ඒ තුළ පාවෙමින් තිබුණු මත්ස්‍ය මාංසවල අයිතිය නැවත ලබා ගැනීමේ උත්සාහයක යෙදිණි. ඒත් සමඟම පාවෙමින් තිබු කූඩුව සමබරතාවය අහිමි වීම නිසා පහළට වැටීම වළක්වාගත නො හැකිවී තිබේ. ධවල මෝරාගේ අදහස වූයේ කූඩුව ඇතුළට කඩා වැදීම විය හැකිය.

අපේ සාගර කලාපය තුළ දී බහුලව හමු නොවන Bull shark නම් විශේෂය ඔහුට හමු වන්නේ ෆිජීහි පැසිෆික් වරාය ඇසුරේදීය. එහිදී එම මෝරුන් එකට ගැවසෙමින් සිටියේයැයි පවසන දිය යට කිමිදෙන පාරිසරික ඡායාරූප ශිල්පියා එම මත්ස්‍යයා දිගින් මීටර් 4ක් වත් වෙනු ඇතැයි පවසයි. සාගර කලාපයන්හි පිරිසුදු ජල තලයන්හි දැකිය හැකිය. සාගරවාසී මත්ස්‍ය භීෂකයන් අතරට Bull shark ද අයත් වේ. එහෙත් එතැනදී ඔවුන්ට ලැබෙන්නේ තුන්වැනි තැනයි. පළමු භීෂකයා ඉහත දී හඳුන්වා දුන් ධවල යෝධයා හෙවත් Great whit ය. දෙවැන්නා Tiger shark (කොටි මෝරා) වේ.

great-white-shark-jumping-wallpaper-4.jpg

great white

ඒ අනුව සාගරයේ වෙසෙන තෙවැනි භීෂකයා වන්නේ මේ වන විටත් ඔබට හඳුන්වා දී ඇති Bull shark ය. වරක් තමා ෆිජියානු කිමිදෙන්නෙකු ද සමඟ අර කී සාගර කලාපයේ ගැවසෙද්දී මේ කියන තෙවැනි භීෂකයා තමන් හමුවට පැමිණෙමින් සිටියේ යැයි ආචාර්ය ඩයස් පවසයි. වීදුරුමය පරාවර්තනයක් වැනි සාගර ජලය අභ්‍යන්තරයේ ඉදිරියට එමින් සිටි මේ මත්ස්‍යයා ගේ දර්ශනය අලංකාරයෙන් අනූන එකක් ම විය. ඔහු බොහොම සුව පහසු අයුරින් තමන් ආසන්නයටම පැමිණෙමින් සිටි අවස්ථාවේ ෆිජියානු කිමිදෙන්නා තමන් අත වූ ලෝහමය යෂ්ටිය ඉදිරියට තල්ලු කරමින් භීෂකයා ඉවතට යැවීමට කටයුතු කොට තිබේ. දිය යට කිමිදෙන ඡායාරූප ශිල්පියා ඒ සම්බන්ධයෙන් තවදුරටත් පවසන ආකාරයට ඒ මෝර මත්ස්‍යයා කැමරා ආම්පන්න අසලටම ඒ වන විටත් පැමිණ සිටියේය.

යම් අවස්ථාවක දී එසේ මෝරෙකු සමඟ සාගර අභ්‍යන්තරයේ දී මුහුණට මුහුණ පාන කිමිදුම්කාර ඡායාරූප ශිල්පියකුට එම මත්ස්‍යයා දිගින් දිගටම සිය ගමන වෙනස් නොකර අභියෝගාත්මකව ඉදිරියටම පැමිණෙයිනම් ෆිජී කිමිදුම්කරුවාගේ උපාය සාර්ථක උපායක්ම වේ. එයට හේතුව මේ මත්ස්‍යයන් කොයි ආකාරයෙන්වත් ලෝහමය ආඝ්‍රාණය ප්‍රිය නොකිරීමයි. නො එසේ නම් ඒ ලෝහමය ගන්ධය මඟ හැර යාමට කැමැති වීම යි. ලෝහමය රසයට ද ඔවුන් දක්වන්නේ එම ප්‍රතිචාරයම යි. ලෝහ මුගුරක් ඉදිරියට තල්ලු කොට ඉදිරියට එන මෝරාගේ ගමන ඉවතට හැරවීම අර්ථයක් ඇති කටයුත්තක් වන්නේ ඒ අනුව යි. කොහොම වුණත් ඒ උත්සාහය අසාර්ථක වුණොත් විය හැකි දේ වන්නේ තමන් ඉදිරියෙන් ඇති කැමරා ආවරණ ආම්පන්න ඌගේ මුව තුළට ඇතුළු වන අයුරින් ඉදිරියට තල්ලු කිරීම විනා අනිකක් නොවේ. එහෙත් එවැන්නක් ජීවිතයත් මරණයත් අතර සිදු වන ගනුදෙනුවක් වීමට ද ඉඩ තිබේ.

තවත් අවස්ථාවක දී තොංගාවලදී සාගර කලාපයක තමන් ලද අත්දැකීමක් ගැන ද මේ ඡායාරූප ශිල්පියා සටහන් කොට තිබේ. එය ඔහුගේ තෙවැනි තෘප්තිමත් අත්දැකීම යැයි ද එහිදී ඔහු පවසා තිබේ. ඔහුට එහිදී මුණ ගැසී ඇත්තේ කුදු වූ පිටකොන්දක් ඇති තල්මස් (Humpback whales) විශේෂය යි. මේ කියන තල්මසුන් මේ සාගර කලාපයට පිවිසෙන්නේ සිය අභිජනක කටයුතු සඳහා ය. සාගර වෙරළේ සිට මීටර් 200ක් තරම් දුරින් ඇති මේ ගැඹුරු සාගර ප්‍රදේශය නිසල ජල පරිසරයක් සහිතය. ඔවුන්ට මනා පසුබිමක් ලබා මීටර් 500ක් පමණ ගැඹුරකින් යුක්තය. අශ්වබල 360ක් වන මෝටර් බලයක් සහිත බෝට්ටුවකින් අර කී තල්මසුන් අහිතන් ඉලක්ක කොට ගිය ගමනේ දී තමන් එක්වනම එතැනට පැන්නේ යැයි පවසන දිය යට කිමිදෙන ඡායාරූප ශිල්පියා එහිදී පිටකොන්ද කුදු තල්මස් මවක් සිය දස දිනක් වයසැති පැටවා සමඟ තමන් හා මුහුණට මුහුණ හමු වුණේ යැයි පවසයි. ඒ නිසා අත්විඳි අතිමහත් සුන්දරත්වය ගැන ඔහු ලියන්නේ මහත් ආස්වාදයකිනි.

පිටකොන්ද කුදු තල්මස්සු අහිංසකයෝ වෙති. එහෙත් අනවශ්‍ය අයුරින් ඔවුන්ගේ පැටවුන් අසලට ළං නොවීම මැනවි. එසේ එවැනි එක් අවස්ථාවකදී පසුපසින් හඹා ආ එම තල්මස් මව හෝ පියා සිය හොම්බෙන් ඇන කිමිදුම්කරුවන් ඉවතට තල්ලු කොට දමන්නට හොඳටම ඉඩ තිබේ.

සාගරය යනු ගොඩබිමට සාපේක්ෂව වැඩිම ඉඩක් පෘථිවියෙන් තමන් සඳහා වෙන් කරගෙන ඇති පරිසර පද්ධතියක් වේ. බොහෝ අය නොදත් නුදුටු මේ පරිසර කලාපය අභ්‍යන්තරයේ ගොඩබිම හා සමානවම බොහෝ පරිසර පද්ධති දැකගත හැකිය. එමෙන්ම සාගරය යන සමස්තය තුළ ගැඹුරු සහ නොගැඹුරු යනුවෙන් කොටස් දෙකකට බෙදීමක් ද තිබේ. එහිදී නොගැඹුරු සාගරය ලෙසින් හැඳින්වෙන්නේ මහද්වීපික තටාකය ඇසුරු කරන ප්‍රදේශයයි.

සාගරයේ අනිත් විශේෂත්වය වන්නේ එහි පතුලය. ඒ අනුව මඩ සහිත පතුලක් ඇති මඩ බිම් ද වැලි පිරුණු පතුලක් ඇති වැලි බිම් ද අපට හමුවන්නේ ඒ අනුවය. භූ විෂමතා ලක්ෂණ අනුව ද සාගර පත්ලේ විවිධ පරිසර පද්ධති නිර්මාණය වී ඇත. අපේ සාගර කලාපයන්හි දකින්නට නොලැබුණත්, ශීත දේශගුණය පවතින නොගැඹුරු සාගර තීරයන්හි මුහුදු ඇල්ගා බිම් නිර්මාණය වී ඇත්තේ එකී භූ විෂමතා පිහිටීම් අනුව යමිනි.

භූ පිහිටීම වශයෙන් ගත් කල ශ්‍රී ලංකාව යනු ඉන්දියන් සාගරය මධ්‍යයෙහි පිහිටි දූපතකි. ඒ අනුව අපට අනන්‍ය වන සාගර කලාපය ප්‍රමාණාත්මකව කි. මී. 2,56,410 කි. එසේ ගත් කල අපට හිමි වන සාගර ජෛව විවිධත්වය ප්‍රමාණාත්මකව සුළුපටු නැත.

blue_whale_sri_lanka_3.jpg

blue whale

පොදුවේ හඳුනාගෙන ඇති ආකාරයට අපගේ සාගර කලාපය තුළ පෘෂ්ඨවංශීන් වශයෙන් ගැනෙන ක්ෂිරපායීන් විශේෂ 28 ක් වෙසෙන බවත් ඔවුන් කුල 6කට අයත් බවටත් හඳුනාගෙන තිබේ. තල්මසුන් විශේෂ සහ මුහුදු ඌරෝ ද මේ අතර වෙති. අපේ අය මුල්ලන් වශයෙන් හඳුනාගන්නේ ඩොල්පින් නම් ක්ෂිරපායින්වය. තව ද උග්‍ර විෂ සහිත සර්ප විශේෂ ද දැකිය හැකි අතර අපේ බසින් ඔවුන්ට කියන්නේ වාලක්කඩින් කියාය. එවැනි සර්ප විශේෂ 13ක් අපට අයත් සාගර කලාපයේ දී දැකගත හැකිය. අප මුලින්ම කතා කළ මෝරා මත්ස්‍ය විශේෂ 61ක් අප අවට ගැවසෙන බව ද අමතක නොකළ යුතුය.

මෑතක සිට සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති කල්පිටිය සාගර කලාපය සමුද්‍රීය ක්ෂිරපායින්ගේ ඉහළ ඝනත්වයක් සහ විවිධත්වයකින් යුක්තය. කල්පිටිය, තලවිල සහ කන්දකුලිය ආසන්නයේ ඇති මහද්වීපික තටාකය අතිශයින්ම පටු ය. ඇතැම් ස්ථානයක් කරා වෙරළේ සිට ඇති දුර කි. මී. පහක් තරම් ය. මහද්වීපික බෑවුම තද බෑවුම් පිහිටීමකින් යුතුව ද පිහිටා ඇත. මේ නිසා ගොඩබිමට බොහෝ ආසන්නයෙන් සමුද්‍රීය ක්ෂිරපායින් ගැවසෙන කලාපයක් බවට කල්පිටිය පත්ව තිබේ. වෙන එකක් තියා සාගරයේ නොගැඹුරු සීමාවට ද පැමිණ අනතුරක් නැතිව නැවත ගැඹුරු සාගරයට ම පිහිනා යාමේ හැකියාව ද මේ සතුන්ට ඇත. තව ද අර කීව මහද්වීපික බෑවුම ඔස්සේ පැමිණෙද්දී පෝෂක ද්‍රව්‍ය ජලයේ මතුපිට පැවැතීම නිසා ආහාර සුලබ බවක් ද පැවැතීම සමුද්‍ර ක්ෂිරපායීන්ගේ බහුලත්වයට හේතුවක් වුණා විය හැකි ය.

කොළඹින් කි. මී. 150 ක් තරම් දුරින් පිහිටි කල්පිටිය සෞන්දර්යයෙන් මෙන් ම ජෛව විද්‍යාත්මක අගයෙන් ද පොහොසත් පාරිසරික කලාපයකි. අර්ධද්වීපයක් ලෙසින් පිහිටා ඇති උක්ත පරිසර පද්ධතිය සාගර වාසී ක්ෂිරපායින් මෙන් ම මත්ස්‍යයන් ගැන හැදෑරීමට සුදුසු ලෙසින් ම නිර්මාණය කොට ඇති තෝතැන්නක් වැන්න. 1992 දී ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු කල්පිටියේ වැලිපර දූපත් සමුද්‍රීය අභය භූමිය තුළ දී කොරල් විශේෂ 156ක්, මත්ස්‍ය විශේෂ 283ක් පමණ දැකිය හැකි බවට හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් මෙවැනි සුවිශේෂ පාරිසරික ස්ථාන ගැන බොහෝ විට අප තක්සේරු කරන්නේ සංචාරක ආකර්ෂණයම පමණක් මුල් තැනට ගනිමිනි.

නමුත් සමුද්‍ර පරිසර අධ්‍යයනය යනු ලොව ඇති ප්‍රබල පරිසර අත්දැකීමක් ය යන්න මේ විස්තරය මුල සිටම කියවූවෙකුට පැහැදිලි වේ. කනගාටුවට කරුණ වන්නේ එවැනි අධ්‍යයනයක් වෙනුවෙන් උනන්දුවෙන් ඉදිරිපත් වී කටයුතු කරන සමාජ සංස්කෘතියක් අප සතුව නොතිබීමයි. ඒ නිසා ම පාරිසරික සුවිශේෂතා (සමුද්‍රීය වේවා ගොඩබිම වේවා) හඳුනාගෙන ඒවා ගවේෂණය කොට පොදු රසිකත්වය වෙනුවෙන් ඉදිරිපත් කිරීම අපේ රටට අදාළව ගත් කල අතිශයින්ම දිළිඳුය. සිදු වෙමින් පවතින බොහෝ පාරිසරික ව්‍යසනයන්ට ද අර කීව නොදැනුම්වත් බව සහ සමාජීය උදාසීනත්වය ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන බවට පැහැදිලිවම දැකිය හැකි ය. ජාතියක් වශයෙන් අප මීට වඩා ගවේෂණශීලී වීම අවශ්‍ය ද යන්න අවසාන වශයෙන් පෙන්වා දිය යුතුව තිබේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s